UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නායක පදවි ලබන හලියද්දේ සාරානන්ද නා හිමි

නායක පදවි ලබන හලියද්දේ සාරානන්ද නා හිමි

ධර්ම විනයට අනුගතව සිය භික්ෂු දිවිපෙවෙත අර්ථවත් කරන හලියද්දේ සාරානන්ද නාහිමියන් අභිමානවත් යති පරපුරක් නියෝජනය කරන සසුනඹරේ සුදිලෙන කනක තාරකාවකි. යටිනුවර මැද පළාත හලියද්ද නම් ග්‍රාමවරය ජාතභූමිය කොට, රණසිංහ මුදියන්සේලාගේ පුංචි බණ්ඩාර නිළමෙතුමන් හා තැලිගම ගමරාලලාගේ එමලින් ලිවේරා මෑණියන් යන දම්පතින්ට දාව 1957 වෙසක් මස 15 වන දින මෙලොව දුටුවහ. ගිහි නමින් ජයන්තිරත්න බණ්ඩාර හලියද්ද නමින් වූ අතර මූලික අධ්‍යාපනය කුරුඳුවත්ත ශ්‍රී සුසීල විදුහලින් ලැබූහ. සසරගත කුසල මහිමයත් මව්පියන් සතු ශ්‍රද්ධාද්ධ්‍යාශයත් කරණ කොටගෙන අංකුඹුර රාජමහා විහාරාධිපති ව වැඩ විසු අංකුඹුරේ ශ්‍රී දේවානන්ද මාහිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1967 ජුනි 10 වන දින හලියද්දේ සාරානන්ද යන නමින් ප්‍රවෘජ්‍යා දිවියට ඇතුළත් වී සපිරුණු විසිවයස් ඇතිව 1976 ජුනි 06 වන දින මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී උපසම්පදා සීලයෙහි පිහිටුවූහ.

මූලික බණ දහම් සිය ගුරු දේවයන් වහන්සේගෙන් ලද සාරානන්ද හෙරණපාණෝ ඉහලමුල්ල ශ්‍රී සෝමානන්ද පිරිවෙනින් පැවිදි අධ්‍යාපනයට යොමුවූහ. අනතුරුව කීර්තිමත් අධ්‍යාපන ආයතන වූ මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පිරිවනින් හා කුරුණෑගල මලියදේව විද්‍යාරක්ෂක මහ පිරිවනින් උසස් අධ්‍යාපනය ලබා රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම පිළිබඳ ගුරු පුහුණුවත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාවත්, ජනසන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාවත් ලැබු සාරානන්ද නාහිමියෝ දැනුමෙන්, කුසලතාවෙන් මෙන්ම ආකල්පයෙන් සපිරුණු පඬිරුවනක් බවට පත්ව කුරුණෑගල කිරිදිගල්ල සුධර්මෝදය පිරිවනින් ගුරු සේවයට පිවිසි අතර අංකුඹුර සිද්ධාර්ථ පිරිවනින් හා අංකුඹුර ජාතික පාසලෙන් ගිහි පැවිදි දහස් සංඛ්‍යාත සිසු දරුවනට මඟපෙන්වන දීප්තිමත් ආචාර්යවරයෙකු ලෙස මේ දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයට කරනා මෙහෙය ප්‍රසංසනීය වේ. සාරානන්ද නාහිමියන් අංකුඹුර ජාතික පාසලේ විදුහල්පති ධුරයත්,අංකුඹුර රජමහා විහාරය ඇතුළු තදනුබද්ධ විහාරස්ථානවල ආධිපත්‍ය ධුරයත් දරමින් පරිපාලනයේ මෙන්ම ආයතන කළමනාකරණයෙහි දක්වන සුවිශද බව අගය කළ යුතුය.අංකුඹුර රජ මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් සිය දායකකාරකාදීන්ගේ කුදු මහත් ආගමික මෙන්ම සමාජීය අවශ්‍යතා ඉටුකර දෙනුයේ කරුණාධ්‍යාශයෙනි. පූජාපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ධුරය දරමින් ප්‍රදේශයේ දහම් පාසල් අධ්‍යාපනය නගා සිටුවීමට කළ මෙහෙය අපරිමිතය.

අත්‍යුදාර ශාසනික ,ජාතික ආගමික, සමාජීය හා අධ්‍යාපනික සේවාවක් සිදුකරන හලියද්දේ සාරානන්ද නාහිමියන්ට පදවි තනතුරු සොයා යෑමට අවශ්‍ය නොවූහ. පදවි තනතුරු උන්වහන්සේ කරා පැමිණියේ සැබවින්ම පදවි තනතුරු දැරීමට සුදුසු නිසාවෙනි. ශාසනික වගකීම් දැරිය හැකි සුදුසුකම් සපිරූ භික්ෂුන් වහන්සේලා වෙත ශාසනික තනතුරු ප්‍රදානය ජීවමාන බුදුසමයේ සිට පැවත එන සම්ප්‍රදායකි. එය ශාසනයේ චිරස්ථිතියට හේතු වූ බව නොරහසකි. එකී පෞරාණික ශාසනික සම්ප්‍රදායට අනුව මෙකී ශාසනික සුදුසුකම් සපුරා ඇති සාරානන්ද මාහිමියන් වෙත සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක විංශත් වර්ගික කාරක සංඝ සභාව වෙතින් චන්ද්‍ර කීර්ති ශ්‍රී පියදස්සී යන ගෞරව නාමය සහිතව සාරසියපත්තුවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම අතිශයින් වැදගත් වූ ශාසනික කාර්යකි. අභිනව නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය පොසොන් මස 25 වන දින පස්වරු 03.00 ට අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්මාභිධාන මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා කථානායක කරු ජයසූරිය මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් අංකුඹුර රජ මහා විහාරස්ථානයේදී සිදු කෙරේ.

 

  පොසොන් අව අටවක පෝය

  පොසොන් අව අටවක පෝය ජුනි 27 වනදා සඳුදා අපරභාග 12.44 ට ලබයි. 28 වනදා අඟහරුවාදා පූර්වභාග 10.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 27 වනදා සඳුදා ය.

මීළඟ පෝය ජූලි 04 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]