UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හිරණ සුවණ්ණ පුණ්ණාරාම විහාරයේ සිට මහ සඟරුවන හත්සිය නමක් පිණ්ඩපාත චාරිකාවේ

හිරණ සුවණ්ණ පුණ්ණාරාම විහාරයේ සිට මහ සඟරුවන හත්සිය නමක් පිණ්ඩපාත චාරිකාවේ

පානදුර නගර සමීපයේ හිරණ සුවණ්ණ පුණ්ණාරාම පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියට සම්බන්ධ නිවාස ගණනාවක් අතරින් නිවාස 700 ක් තුළ එකම දවසක එකම වේලාවක කසාවතින් බැබළෙන ස්වර්ණමය දුර්ලභ මහාදානමය පින්කමක් සිදු කෙරේ.

ජුනි මස 25 වන දින පැවැත්වීමට නියමිතව තිබූ එම පුණ්‍ය මහෝත්සවයේදී එක් හිමි නමක් එක් නිවසකට වඩින සේ, නිවාස 700 ටම ස්වාමින් වහන්සේලා 700 නමක් වඩමවා දවල් දානය හා පරිෂ්කාරාදිය පූජා කිරීමට නියමිතය. එම දානමය පින්කම සංවිධානය කරනු ලබන්නේ වත්මන් විහාරාධිපති බොරලුගොඩ සෝමාලෝක හිමියන්ගේ අනුශාසකත්වය මත විහාරාධිකාරි මොරවක සුමණ හිමියන්ය. මෙයට පෙර එක්තරා සීමා වූ කාලසීමාවක් තුළ එක් නිවසක එක් ධර්ම දේශනාව බැගින් මාසයක් පුරා දිනපතා ධර්මදේශනා ගණනාවක් සතරපේරුවේ දායක කාරකාදීන්ගේ නිවාස තුළ සිදු කරුනු ලැබුවේ ප්‍රදේශවාසීන්ගේ ධර්ම ඤාණය ප්‍රගුණකරමින් දහම් ප්‍රබෝධයක් ජනිත කිරීම උදෙසාය. සෑම වසරකම වසර උදාවන දින කීපයකට පෙර දින ගණනාවක් විහාරස්ථානය තුළ පිරිත්දේශනා කර වසර උදාව සමාරම්භයේදී ගම්වාසි සැමට සෙත්පතා ගමපුරා ජංගම රථයකින් පිරිත් සජ්ඣායනා කරමින්, පිරිත් නූල් බඳිමින්, පිරිත් පැන් බෙදා දෙමින් සිදුකරන ආශිර්වාදාත්මක පරිත්‍රාණ දේශනාවන් ඉතාමත් විචිත්‍රය. ඊට සමගාමීව පානදුර මූලික රෝහලේ ගිලනුන් වෙනුවෙන්ද මේ සත්කාරය මෙලෙසින්ම සිදු කෙරේ.

සෑම වසරක පෙබරවාරි 4 වන දින ගුණානුස්මරණ දානමය පින්කමක් සිදු කරන අතර වසරේ සෑම මාර්තු මාසයේ දිනක ගැබිනි මව්වරුන් 150 ක් රැස්කරවා ඒ සැමට භාවනා වැඩසටහන් ධර්ම දේශනාවන් පවත්වා උදේ දවල් පෝෂ්‍යදායි ආහාරපානාදියෙන් සංග්‍රහකර විවිධ ද්‍රව්‍ය අවශ්‍යතා පරිත්‍යාග කරමින් සිදුකරනු ලබන මහා පුණ්‍ය කර්මයද පැසසුමට ලක්වී ඇත. තවද සෑම මසකම උදාවන සෙනසුරාදා දින 4 ට පින්කම් 4 ක් සංවිධානය වන අතර පළමු සතියේ සෙනසුරාදා දිනයේදී ප්‍රදේශයේ ගිලන් වූ අයට නිරෝගී සුව ප්‍රාර්ථනයෙන් අටවිසි බෝධි පුජාවන් ද දෙවන සතියේදී ළමයින් හා යෞවනයින් උදෙසා බෝධි පූජා හා ධර්ම දේශනාවන්ද තුන්වන සතියේදී සැමට ආශිර්වාදාත්මක බෝධිපූජා හා ධර්මදේශනාවන්ද 4 වන සෙනසුරාදාවේදී ගැබිනි මව්වරුන් උදෙසා ආශිර්වාදාත්මක බෝධි පූජා පවත්වා විචිත්‍ර ධර්ම දේශනාවන්ද පවත්වනු ලැබේ.

මෙවන් සුවිශේෂී වෙනස් වූ විවිධ ආගමික කටයුතු පැවැත්වෙන මේ පුණ්‍ය භූමියේ සමාරම්භය බොහෝ ඈතට දිව යන්නෙකි. 1900 පෙබරවාරි මස 08 වන දින පානදුරේ ඛේමානන්ද නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නයට ගම්වාසීන් විසින් ඉඩම් කැබැල්ලක් පූජා කරන ලදී. එම ඉඩම සඟ සතුව පූජාකරන ලද්දේ ගමට අලංකාර විහාරස්ථානයක් නිර්මාණය කරදෙන ලෙස ආරාධනා කරමිනි. ඒ අනුව හිරණ සුවණ්න පුණ්ණාරාමය නමින් පොල් අතුපැලකින් ආරම්භ වූ විහාරස්ථානයේ මුල්ම විහාරාධිපති පානදුරේ ඛේමානන්ද මහා ස්වාමීන් වහන්සේය. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු හිරණ ශ්‍රී සුමණජෝති නාහිමියන් විහාරාධිපති තනතුරට පත්ව විහාරාංග රැසක් ඉදිකර වූහ. කල්‍යාණි ශ්‍රී සාමගී‍්‍ර ධම්ම මහා සංඝ සභාවේ මහෝපාධ්‍ය ධුරයක් හෙබවූ නාහිමියෝ විනයධර ආදර්ශමත් හිමිනමක් වූහ. නැදුරණ චන්ද්‍රානන්ද හාමුදුරුවන් පන්සලේ වැඩ සිටි අතර, උන් වහන්සේ සියලු කටයුතු විමසා විහාරස්ථානයේ දියුණුව පිණිස කටයුතු කළහ. මෙම වෙහෙරෙහි වත්මන් විහාරාධිපති සුමණජෝති නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය බොරළුගොඩ සෝමාලෝක හාමුදුරුවෝය.

වර්තමාන විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි අභිනව සංඝාවාසය ඉදිකිරීම, ධාතු මන්දිරය හා පුස්තකාලය, කෞතුකාගාරය, දානශාලාව, දහම්පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම් මෙන්ම ධර්මශාලාව හා විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය , ප්‍රාකාර ඉදිකිරීම්, පිවිසුම් දොරටුවෙහි තොරණ ඉදිකිරීම් ආදී වර්තමාන විහාරස්ථානයේ දියුණුව ඇති වී තිබෙන්නා සේම ආධ්‍යාත්මික දියුණුව සඳහා වැඩසටහන් සිදුකරයි. විහාරස්ථානය සම්බන්ධ සියලුම දායක පින්වතුන්ට එක්දිනයක් යොදා රැස්වීම් පැවැත්වීම සඳහා” “සිරි සදහම් පදනම” ආරම්භ කර තිබේ. වර්තමාන විහාරාධිපති හිමිපාණන්ගේ අනුශාසනා පරිදි අභිනව සංඝාවාසය ඉදිකිරීම, ධාතු මන්දිරය හා පුස්තකාලය, කෞතුකාගාරය, දානශාලාව, දහම්පාසල් ගොඩනැගිල්ල, ඉදිකිරීම් මෙන්ම ධර්මශාලාව හා විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය,ප්‍රාකාර ඉදිකිරීම”, පිවිසුම් දොරටුවෙහි තොරණ ඉදිකිරීම් ආදි වර්තමාන විහාරස්ථානයේ දියුණුව ඇති වී තිබෙන්නා සේම ආධ්‍යාත්මික දියුණුව සඳහා වැඩසටහන් සිදුකරයි. විහාරස්ථානයේ උන්නතිය උදෙසා සිරි සදහම් පදනම ආරම්භ කර එමගින් විවිධ වූ පින්කම් සමාජ සුබසාධන කටයුතු සියල්ල කරනු ලබයි.

ඒ අතරින් 2013 වර්ෂයේ වස්කාර මඩුව (කුරුළුවැව) විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කර එම විහාරවාසි ස්වාමින් වහන්සේලා උදෙසා හීල් සහ දහවල් දානය පිළිගැන්වීම හා ගැබිනි මව්වරුන්ටද ආහාරපානාදිය මෙන්ම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම සිදු කරන ලදී.

2015 පොළොන්නරුව කඩවත් මඩුව විහාරස්ථානය ඇතුලු නොදියුණු විහාරස්ථාන 4 ක් සඳහා ඇඳන්, මෙට්ට, පුටු ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට 60 නමක් විෂයෙහි අංග සම්පූර්ණ දහවල් දානය එහි දීද ගැබිණි මව්වරුන් සඳහා ආහාරපානාදියෙන් සංග්‍රහකොට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග ද කරන ලදී. 2016 පිළියන්දල මඩපාත පිරිවෙන් විහාරස්ථානයේදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය ධර්ම ග්‍රන්ථ පරිත්‍යාග කරන ලදී.

 

  පොසොන් අව අටවක පෝය

  පොසොන් අව අටවක පෝය ජුනි 27 වනදා සඳුදා අපරභාග 12.44 ට ලබයි. 28 වනදා අඟහරුවාදා පූර්වභාග 10.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 27 වනදා සඳුදා ය.

මීළඟ පෝය ජූලි 04 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]