UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

කහටපිටියේ සුමතිපාල අනු නා හිමි

උතුම් කෘතවේදී පුණ්‍ය මහෝත්සවයට ප්‍රධාන අනුශාසකත්වය ලබාදුන්නේ මධ්‍යස්ථානාධිපති ප්‍රධාන කර්මස්ථානාචාර්ය අතිපූජ්‍ය ඉඟුරුවත්තේ පියනන්ද මහානායක ස්වාමීන් වහන්සේ හා නේවාසික මහා සංඝරත්නයයි. එමෙන්ම දායකත්වය සියනෑ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ සමිතිය හා විශේෂයෙන් සීල, භාවනා සමිතියේ පින්වතුන්ගෙන් ලැබෙන උපකාරය ඉතා අගනේය.

හොරණ කහටපිටිය නැමැති ගම්පියසේ විසූ පී.ඩී. සුවාරිස් පින්නවලගේ නන්දාවතී යන දම්පතීන්ට දාව මෙලොව එළිය දුටුු මාහිමිපාණෝ දසවසක් සපිරෙද්දී උඩුවේ සිරි සුනන්දාරාමාධිපතිව එවක වැඩ විසූ හාන්දුපැල්පොල පුඤ්ඤානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1907 ජනවාරි 31 වැනි දින කහටපිටියේ සුමතිපාල නමින් සසුන්ගත විය.

අනතුරුව පුඤ්ඤානන්ද නාහිමියෝ සිය ශිෂ්‍ය පුත්‍රයා වහන්සේ කැටුව බුරුමයේ යැන්ගුන්නුවර අම්බරුක්ඛාරාමයෙහි අධිපති වූ විචිත්ත නා හිමිපාණන් යටතේ ඉතා කෙටි කාලයකින් සුමතිපාල හිමියන් ධර්ම අධ්‍යාපනය ලැබීය.

මණ්ඩලයේ නුවර දී සුධම්ම මහා සංඝ සභාවේ සභාපති ඌ ජවන් සයාඩෝ මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා එම සංඝ සභාවේ ඌ වායාම මහා තෙරණුවන්ගේ ආචාර්යත්වයෙන් සම්භාවනීය මහ සඟරුවන සම්මුඛයෙහි 1916 අගෝස්තු 10 වෙනි දින උපසම්පදා විය.

1917 දී මෙරටට වැඩම කළ හිමියන් භාවනාව පිළිබඳව ප්‍රායෝගිකව ප්‍රගුණත්වයක් ලබාගැනීමේ අදහසින් නැවත යැන්ගුන් නුවරට වැඩම කොට සාසනයෙයිතා” භාවනා මධ්‍යස්ථානයට ඇතුළත් වී එම මධ්‍යස්ථානයේ ප්‍රධාන කර්මස්ථානාචාර්ය මහාෂී ෂයාඩෝ මාහිමිපාණන් වහන්සේ වෙතින් ප්‍රායෝගික සතිපට්ඨාන භාවනා ක්‍රම පිළිබඳව මනා අවබෝධයක් ලබාගත් නා හිමියන් යළිත් තම මාතෘභූමියට සැපත් විය.

2500 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් 1956 ජනවාරි 8 වැනිදා කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය ආරම්භ කරමින් එහි නිර්මාතෘන් වහන්සේ හා ප්‍රධාන කර්මස්ථානාචාර්යන් වහන්සේ ලෙස දෙස් විදෙස් වශයෙන් පැමිණෙන යෝගාවචර ගිහි පැවිදි සියලු දෙනාට භාවනා උපදෙස් ලබා දුන්හ.

මේ 1956 බුද්ධජයන්ති සමයයි. පුවත්පත් මගින් දැනගත් පරිදි මෙම භාවනා ක්‍රමය පිළිබඳව බුරුම ජාතික ස්වාමින් වහන්සේලා වෙත කඳුබොඩ දෙල්ගොඩ ප්‍රදේශයේ පිනැත්තියන් පිරිසක් තමන්ට අයත් කඳුබොඩ වත්තේ භාවනා වැඩීමට මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැමැත්ත පළකොට ඒ බව කර්මස්ථානාචාර්ය කහටපිටියේ සිරි සුමතිපාල මා හිමියන්් හමුවී සාකච්ඡා කළහ.

මේ සඳහා තමන් සතු වත්තේ පිහිටි බංගලාව කර්මස්ථානාචාර්යන් වහන්සේලාගේ ප්‍රයෝජන පිණිසත් භාවනා කිරීම සඳහා අවශ්‍ය පහසුව ඉදිකර දීමටත් පොරොන්දු විය. මෙලෙස මෙම භාවනා මධ්‍යස්ථානයේ ආරම්භය සිදු විය. මේ උතුම් විදර්ශනාලෝකය දල්වාලීමෙහිලා අග්ගමහා පණ්ඩිත ත්‍රිපිටකධාරි අග්ගමහා කම්මට්ඨානාචාර්ය මහා ෂී ෂයාඩෝ මාහිමිපාණන්ගේ වැඩම කිරීම ආරම්භක මොහොත මහත් භාග්‍ය සම්පන්න වීමට හේතුවක් විය. එම තාවකාලික භාවනා මධ්‍යස්ථානය ස්ථිර ගොඩනැගිලි සහිතව පවත්වාගෙන යාම සඳහා ආරම්භක ඉඩම් හිමි පිරිස අක්කර 03 ක පමණ භුමි භාගයක් වෙන් කර දුන් අතර එය වර්තමාන කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය පිහිටා ඇති ස්ථානයයි. මේ වන විට විපස්සනා භාවනා ප්‍රගුණ කිරීම සඳහාත් දානය පිරිනැමීම සඳහාත් විශාල පිරිසක් එක් රොක් වන්නට විය. දෙස් විදෙස් ප්‍රගුණ කළ ඇතැම් සැදැහැතියන් විසින් දායකත්වය ගෙන ස්වාමීන් වහන්සේලාට නේවාසික කුටි පහසුකම් විහාර මන්දිරය, නාහිමි කුටිය, සීමාමාලකය, කාන්තා පිරිමි පිරිස වෙනුවෙන් භාවනා කුටි, ළිං , පැන්, පොකුණු, සනීපාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය ස්ථාන කෙටි කාල පරාශයක් තුළ ඉදිකරවූ අතර, බුරුම, ජාතික ස්වාමින් වහන්සේලා විසින් මධ්‍යස්ථානාධිපති ධුරය හා ප්‍රධාන කර්මස්ථානාචාර්ය , සිරි සුමතිපාල මාහිමිපාණන්ට පැවරූහ.

එවක භාවනා පුහුණුවීම පිණිස පැමිණි දැන උගත් තරුණ පිරිස් මාහිමියන්ගෙන් පැවිද්ද ලබාගෙන සිටි අතර, මෙරට වැඩ විසූ අග්‍රගණයෙහිලා සලකන පැවිදි උතුමන් වහන්සේලා ද මෙම භාවනා ක්‍රමය ප්‍රගුණ කරන්නන් අතර වූහ. විශේෂයෙන් පරම පූජනීය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමි ඇස්වන්තේ පේමරතන නා හිමි, රාජකීය පණ්ඩිත පරදුව පදුමජෝති නා හිමි මෙන්ම විදේශ රටවල සිටි ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේලා ද මෙම මධ්‍යස්ථානයට වැඩම කොට භාවනා වැඩීම කළහ.

මෙයට පුරා තිස් හතර වසරකට පෙර එනම් 1982 ජුනි 15 වැනි දිනට උපතින් අවුරුදු 84 වෙනි වියේ වැඩසිටි ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ අධිකරණ සංඝනායක පදවියෙන් මෙන්ම තත් නිකායික අනුනායක ධුරයෙන් පිදුම් ලැබූ නා හිමියන් සසුන් මෙහෙය නිම කොට අපවත් වූ සේක.

උන්වහන්සේගේ ගුණ සමරු පින්කම ඉකුත් 14, 15 දිනවලදී පැවැත්විණි.


ලේනබටුවේ මිත්තාලෝක හිමි

ලේනබටුවේ මිත්තාලෝක හාමුදුරුවෝ 1964 සැප්තැම්බර් මස 13 වන දින උපත ලැබූහ. කංකානම් ගමගේ සිරිසේන හා ලීලාවතී රාජපක්ෂ දම්පතීන්ගේ පස්වන පුත් රුවන වූ උන්වහන්සේගේ ගිහි නම කංකානම් ගමගේ කමල් නම් විය. මේ කුමරුවා ලේනබටුවේ කණිෂ්ඨ විදුහලෙන් ඉගෙනුම ලැබීය. 1975 දී කඹුරුපිටිය බටපත්තල විහාරස්ථානයට අනුබද්ධිතව ලේනබටුව භූමි භාගයෙහි ‘අරිය දස්සනාරාමය’ නමින් මනරම් විහාරස්ථානයක් ඉදිවන්නට විය.

1976 ජනවාරි මස 19 වන දින කඹුරුපිටිය බටපන්නල ශ්‍රී උපසේන පිරිවෙණේ විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දිසාපාලක ධුරන්දර සද්ධර්ම වාගීෂ්වර ශ්‍රී ගුණරතනවංසාලංකාර පණ්ඩිතාචාර්ය කැකුණේවෙල ශී‍්‍ර අරියමිත්තා ස්වාමීන් වහන්සේගේ පි‍්‍රය ශිෂ්‍යයකු ලෙස ලේනබටුවේ මිත්තාලෝක නමින් පැවිදි දිවියට පත්විය. කඹුරුපිටිය හොරපාවිට ශ්‍රී විජය සුන්දරාරාම විහාරාධිපති ශ්‍රී උපසේන පිරිවෙණේ හිටපු පරිවේණාධිපති රාජකීය පණ්ඩිත නාරංදෙණියේ පඤ්ඤාරතන මහා ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ උපාධ්‍යය ස්වාමින් වහන්සේ ලෙස කටයුතු කරන්නට යෙදුණි.

කඹුරුපිටිය ශ්‍රී උපසේන මහා පිරිවෙන් මූලික අධ්‍යාපනය ලබාගත්හ. පිරිවෙන් අධ්‍යාපනය අවසන් කර කොළඹ දෙපානම ගල උඩ ධර්මවිජය විහාරස්ථානයට වැඩම කර උසස් අධ්‍යාපනය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුශාසක ධුරය හෙබවූ සාහිත්‍යශූරි බද්දේගම විමලවංස හිමියන්ගේ ආශිර්වාදය ලබා මරදාන ශ්‍රී ලංකා මහ පිරිවෙණට ඇතුළත් වූහ. ලංකා රාමඤ්ඤ මහ නිකායේ අධිකරණ සංඝනායක ධුරන්දරව වැඩ සිටි මහාචාර්ය හේන්පිටගෙදර ඤාණසීහ මා හිමියන්ගේ මඟපෙන්වීම යටතේ රත්නපුර පාතකඩ භික්ෂු අභ්‍යාස අධ්‍යාපනික ආයතනයට ඇතුලත් වූහ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියද එම කාලය තුළ හිමිකර ගත්හ.

1985 දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ 55 වන උපසම්පදා විනය කර්මය පානදුර ගංගාවේ ඉදිකරන ලද විශේෂ සීමාමාලකයේදී එවකට මහානායක ඉඳුරුවේ උත්තරානන්ද මා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යෙදුණි. ලේනබටුවේ මිත්තාලෝක හිමියන් කැකුණේවෙල ශ්‍රී අරියමිත්ත හිමියන් හා වෛද්‍යාචාර්ය බැරගම අරියබෝධි හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස උපසම්පදා ශීලයට පත්වූහ. 1990 ශ්‍රී ලංකා ගුරු සේවයට එක්වෙමින් කොට්ටාව ආනන්ද විද්‍යාලයේ ධර්මාචාර්යවරයකු ලෙස සේවය කරන්නට යෙදුණි. පාතකඩ භික්ෂු අභ්‍යාස ආයතනය තුළින් ලද සමාජ සේවා හා ශාසනික හැකියාවන් විදහා දක්වමින් ලංකා සර්වෝදය ව්‍යාපාරයද සම්බන්ධකරගනිමින් දෙපානම ගලඋඩ ධර්ම විජය විහාරස්ථානය මූලික කොටගෙන එම ගම් පෙදෙසේ අඩු ආදායම්ලාභී ජනතාවගේ සනීපාරක්ෂක කටයුතු වැඩි දියුණු කිරීම සඳහා විශාල මෙහෙවරක් කරන්නට යෙදුණි. එසේම වීර මාවත පුළුල් කරමින් ගමනාගමනය දියුණු කරන්නට යෙදුණි. ශ්‍රී වජිරබුද්ධි දහම් පාසල වැඩි දියුණු කර ගමේ දූ දරුවන්ගේ දහම් අධ්‍යාපනය නඟා සිටුවීමට විශාල මෙහෙවරක් සිදුකරන ලදී.

නැසී ගිය එස් ගුණසේකර මහා උපාසිකා මාතාව විසින් පුජා කරන ලද ඉඩම් කැබැල්ල උපයෝගී කරගෙන 1996 ජුනි 13 වන දින කලල්ගොඩ ගමට නව ආලෝකයක් ලබා දෙමින් සිරි ගුණසේකර ධර්මායතනය බිහි විය. විවිධ දුෂ්කරතාවයන් මැද ගුණසේකර ධර්මායතනය ගොඩනැඟීමට උන්වහන්සේ දිවා රෑ නොබලා කටයුතු කරන්නට යෙදුණි.

කාර්ය සාධක සමිතියේ සහ විශාඛා කූළඟන සමිතියේ දායකත්වය ඇතිවද එමෙන්ම උන්වහන්සේ වාස්තු විද්‍යාව පිළිබඳ හසල දැනුමෙන් අපමණ සේවයක් ලබාගත් ජනතාවගෙන් ලැබුණා වූ දායකත්වය හා උපකාර තුළින් ගුණසේකර ධර්මායතනය අද පවත්නා දියුණුව කරා පිය නගන්නට හැකියාව ලැබුණි. දූ දරුවන්ගේ ධර්මාවබෝධය වර්ධනය කිරීම සඳහා දහම් පාසලක්ද ආරම්භ කරන්නට යෙදුණි. එයට තම ගුරු ස්වාමින් වහන්සේගේ නාමය වන ශ්‍රී අරියමිත්ත’ යන නාමය යොදන්නට විය. උන්වහන්සේ පැවිදි ශිෂ්‍යයන් රැසක් සම්බුද්ධ ශාසනයට එක්කරන්නට යෙදුණි.

මිත්තාලෝක නායක හාමුදුුවෝ 2015 ජුනි මස 22 වන දින අපවත් වී වදාළ සේක.

අපවත් වී වදාළ නාහිමියන්ගේ පළමුවන වාර්ෂික ගුණ සමරු පින්කම වෙනුවෙන් පින්කම් රාශියක් සිදුකිරීමට ධර්මායතන දායක සභාව කටයුතු සැළසුම් කර ඇත. ඒ අනුව ජුනි මස 18,19,20,21 සහ 22 වන දින එම පින්කම් මාලාව සංවිධානය කර තිබුණි.

 

  පොසොන් අව අටවක පෝය

  පොසොන් අව අටවක පෝය ජුනි 27 වනදා සඳුදා අපරභාග 12.44 ට ලබයි. 28 වනදා අඟහරුවාදා පූර්වභාග 10.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 27 වනදා සඳුදා ය.

මීළඟ පෝය ජූලි 04 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]