UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් පොත සුලබ කළ කිරම විමලජෝති හාමුදුරුවෝ

දහම් පොත සුලබ කළ කිරම විමලජෝති හාමුදුරුවෝ

දකුණු ලක හම්බන්තොට දිසාවේ කිරම ග්‍රාමය සාහිත්‍යධර පැවිදි උතුමන් කීප නමක් බිහිකල ග්‍රාමයකි. 1947 මාර්තු මස 31 වනදා කිරම ග්‍රාමයේ සම්භාවනීය පරපුරක වාසනාවන්ත පුත් රුවනක් බිහිවිය. දරුවන් නව දෙනෙක් ගෙන් යුත් පවුලක උපන් එම කුමරුවා දයාබර මෑණියන්ගේ ඉල්ලීමට අනුව මාතර වෙහෙරහේන රජ මහා විහාරයේදී පරවාහැර වජිරඤාණ නාහිමියන්ගේ සහ පරවාහැර රේවත නාහිමියන්ගේ මූලිකත්වයෙන් 1960 ජුනි 26 වනදා කිරම විමලජෝති හිමි නමින් සසුන් කෙතට ඇතුළත් විය. පැවිද්දෙන් පසු මාතර මහා මන්තින්ද පිරිවෙනින් අධ්‍යාපනය ලැබූහ.

උන්වහන්සේ 1966 ජුනි 26 වනදා කෝට්ටේ රජ මහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේදී අධිසිල් ලැබූහ. කාලයාගේ ඇවෑමෙන් ප්‍රංශ ජාතික පිරිසකගේ ඉල්ලීමකට අනුව ප්‍රංශයට වැඩම කිරීමේ අපේක්ෂාවෙන් 1975 තායිලන්තයට වැඩම කරවීය. තායිලන්තයේ “වටිසකේට්’ විහාරස්ථානයේ දින කීපයක් වැඩ සිට මැලේසියාවට සහ සිංගප්පූරුවට වැඩම කිරීමට අදහස් කර දුම්රියෙන් මැලේසියාවට වැඩම කරවූහ. මැලේසියාවේ ක්වාලම්පූර්හි මහා විහාරස්ථානයෙහිදී ආචාර්ය කිරින්දේ ධම්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හමුවීමෙන් අනතුරුව ප්‍රංශයට වැඩම වන ගමන වෙනුවට එම විහාරස්ථානයෙහි නේවාසික වන මෙන් ධම්මානන්ද නාහිමියෝ කරන ලද ඉල්ලීමට කිරම විමලජෝති හාමුදුරුවෝ එහි නේවාසික වූහ. එහිදී විහාරස්ථානයේ සියලු කටයුතු සොයා බලමින් දිවා රෑ වෙහෙසවෙමින් මහත් කැපවීමෙන් කටයුතු කළහ.ආචාර්ය කිරින්දේ ධම්මානන්ද නාහිමියන්ගෙන් ලද ආභාෂය කිරම විමලජෝති හාමුදුරුවන්ගේ ගමන්මග වෙනස් කළේය. සම්බුදු සසුනත් මව්බිමත් වෙනුවෙන් කළ හැකි මෙහෙවර පිළිබඳව නව මගක් පැහැපත් කළේය.

මැලේසියාවේ වෙසෙන චීන ජාතික බොදුනුවන්ගේ විවිධ ජීවන ගැටලු හමුවේ කිරම විමලජෝති හාමුදුරුවෝ ඊට සම්බුදු දහම තුලින් නිසි සැනසීම ලබාදීමට වෙහෙසුනහ. ඊට ප්‍රතිඋපකාර වෙනුවෙන් මුදල් ආධාර උපකාර කළහ. එහෙත් උන්වහන්සේ මුදල් සෙවීමට යොමු නොවූ අතර සිය දායක දායිකාවන් කැමැත්තෙන් පිරිනැමූ ආධාර ආරක්ෂා සහිතව තබාගැනීමටද අවධානය යොමු කළහ.

1979 දී පමණ මැලේසියාවේ සැදැහැති දායක පිරිසක් සමඟ දඹදිව වන්දනාවේ යෙදුණු කිරම විමලජෝති හාමුදුරුවෝ පරෝපකාරය දිවි දෙවැනි කොට ඉටුකරන බව හෙළිවන ත්‍රාසජනක අත්දැකීම් කීපයකට යොමුවීමටද සිදුවිය. හිතවත් දායක පිරිසේ ජීවිත රැක ගැනීම ආදී පරහිතකාමී ගතිගුණවලින් යුත් උන්වහන්සේ ගැන අතිශයින් පැහැදුණු දායක පිරිස් අතර “ලෝක් වෑන් යැටි” නම් දායිකාවක්ද වූවාය. වයස අවුරුදු හැත්තෑ එකක් පමණවූ ඇය මැලේසියාවේ බැංකු කීපයක කොටස්කාරියක්ද වූවාය. දඹදිව වන්දනා ගමනින් පසු කිරින්දේ ධම්මානන්ද නාහිමියන්ගේ අවසරයෙන් කිරම විමලජෝති හාමුදුරුවෝ බැංකුවට වැඩමවා ගෙන ගොස් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ක් පමණ බැංකුවේ තැන්පත් කරන ලදී. මා අද ජීවත්ව සිටින්නේ ඔබ වහන්සේට පින් සිදු වන්නටය. මට මුදල් අවශ්‍ය නෑ. ඔබ වහන්සේ කැමැති මෙහෙවරක් ආරම්භ කරන්න. අවශ්‍යතරම් ආධාර ඊට මා දෙන්නම් යැයි ඇය කීවාය.

කිරම විමලජෝති හාමුදුරුවෝ තමන් උපන් රටේ තමන්ගේ ආගම දහම වෙනුවෙන් බෞද්ධ ජන සමාජයේ චිර ජීවනය අපේක්ෂා කළ හෙයින් බෞද්ධ සමාජයේ ආගමික දියුණුව සඳහා ගත සිත මෙහෙයවීමට කල්පනා කළහ. ඊට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා උන්වහන්සේ 1992 ජනවාරි 2 වනදා දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ආරම්භ කළහ.

ඒ වන විට උන්වහන්සේට ස්වකීය විදේශීය කැපකරු දායක දායිකාවන්ගෙන් ලැබී තිබූ මුදල් ආධාර රුපියල් කෝටි පනස් පහක් පමණ විය. ඊට අමතරව රුපියල් කෝටි විස්සක් පමණ වටිනා ඉඩකඩම් ආදියද විය. එහෙත් ඒ බව කිසිවකුටත් දැන්වීමටද උනන්දු නොවූ උන්වහන්සේ නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ගොඩනැගිලි ඉදිකරමින් එහි භාවනා වැඩසටහන් පැවැත්වූහ. ඊට මැලේසියාව, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව ආදී විදේශීය ජනතාව සොයා ආහ.

එසේ පැමිණි පිරිස් වෙත ඉංගී‍්‍රසි භාෂාවෙන් රචිත පොතපත අවශ්‍ය වූ අතර එබඳු පොතපත ඉතා විරල බව උන්වහන්සේට අවබෝධ විය. කිරම විමලජෝති හිමියන් ඉන්දියාවට වැඩම කරවා ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක පමණ ධර්ම ග්‍රන්ථ ලංකාවට රැගෙන ආහ. මුදල් ඉපයීමේ අදහසින් නොව අවශ්‍ය අයට කියවීම සඳහා ඉතා කුඩා පොත් සාප්පුවක් ආරම්භ කළේය. එකල ජනාකීර්ණ නොවූ එම ප්‍රදේශයේ එවන් කටයුත්තකට නොගැලපෙන බව ඇසුරු කරන්නන්ගේ අදහස් වුවත් කිරින්දේ ධම්මානන්ද නාහිමියන්ටද දන්වා උන්වහන්සේ විසින් රචිත ග්‍රන්ථ රැසක් ද ගෙන්වා එහි තැන්පත් කරන ලදී.

සිංහල භාෂාවෙන් පළවූ බෞද්ධ පොත පත එකල සුලභ නොවූහ.අනතුරුව මුද්‍රණ යන්ත්‍රයක් ගෙන්වා ගනිමින් එමගින් බෞද්ධ පොත පත මුද්‍රණය කිරීමේ කාර්යය ආරම්භ කළහ.එහෙත් එසේ මුද්‍රණය කළ පොත පත වුවද කියවීමට දැඩි උනන්දුවක් මුලදී නොතිබූ හෙයින් බෞද්ධ ග්‍රන්ථ අඩංගු ජංගම බස් රථයක් වසර 10 ක් පුරා රටේ සෑම පළාතකම සංචාරයේ යෙදවීය. 1994 සිට පොත් ප්‍රදර්ශන පැවැත්වීමටද කිරම විමලජෝති හාමුදුරුවෝ මූලික වූහ.

ලාභයක් සඳහා නොව බෞද්ධ පොත පත සුලභ කරවමින් එම ග්‍රන්ථ පරිශීලනය කරවීම මූලික අරමුණ කරගත් කිරම විමලජෝති හාමුදුරුවෝ ත්‍රිපිටකය පුනර්මුද්‍රණය කරවූහ. ඊට රුපියල් කෝටි 10 ක් වැය කරමින් ත්‍රිපිටක ග්‍රන්ථ කට්ටල දහසක් මුද්‍රණය කරවූහ. ඊට වසර තුනක පමණ කාලයක් ගතවිය. මෙරට පඬිවරුන් ලවා සූත්‍ර පිටකය සිංහලට පරිවර්තනය කළේය. අට්ඨකථා, ග්‍රන්ථ පනහක් සිංහල භාෂාවෙන් කියවීමටද හැකි වූයේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මුල්වීමෙනි.

පාලි ත්‍රිපිටකයේ පාලි පෙළ අටුවා, ටීකා, පාලි සිංහල පරිවර්තන ග්‍රන්ථ මුද්‍රණය කරවීමෙන් එම ග්‍රන්ථ සුලබ කරවූහ. සිංහල අමාවතුර බුත්සරණ, සද්ධර්මරත්නාවලිය ,ජාතක පොත, මිලින්ද ප්‍රශ්නය, විශූද්ධි මාර්ගය ආදී ග්‍රන්ථද, ප්‍රාචීන භාෂා සඳහා අවශ්‍ය පොත්ද සුලබ කරවූහ. පැරණි ග්‍රන්ථ මෙන්ම නව ග්‍රන්ථද ඇතුළත්ව මේ වන විට දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ග්‍රන්ථ 1800 ක් පමණ මුද්‍රණය කරවා ඇත. මහාවංසය කාණ්ඩ පහකින් මුද්‍රණය කරවා පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනමන ලදී. මෙසේ බෞද්ධ පොතපත සුලබවීමෙන් එය කියවන ගිහි පැවිදි උභය සමාජයේ මහත් බෞද්ධ ප්‍රබෝධයක් ඇති වී තිබෙන බවද කිරම විමලජෝති හාමුදුරවෝ පවසති.

සාමකාමී නිදහස් විවේකී පරිසරයක අක්කර විස්සක පමණ භූමි භාගයක හොරණ දෙකඳුවල භාවනා මධ්‍යස්ථානයද උන්වහන්සේ විසින් ආරම්භ කරන ලදී.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කොළඹ තුන්මුල්ලේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයද උන්වහන්සේ ඉදිකරවූහ.

කිරම විමලජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පැවිදි දිවියට 56 වසරක් සපිරීමත් උපසම්පදාවෙන් 50 වසරක් සපිරීමත් නිමිත්තෙන් ජුනි 24,25,26 තෙදින පුරා පින්කම් මාලාවක් පැවැත්වේ. 26 වනදා කනංකේ පුහුල්හේන මෛත්‍රී විහාරයේ ධර්ම ශාලාව කිරම විමලජෝති නාහිමියන්ගේ සුරතින් විවෘත කෙරේ.

 

  පොසොන් අව අටවක පෝය

  පොසොන් අව අටවක පෝය ජුනි 27 වනදා සඳුදා අපරභාග 12.44 ට ලබයි. 28 වනදා අඟහරුවාදා පූර්වභාග 10.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 27 වනදා සඳුදා ය.

මීළඟ පෝය ජූලි 04 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]