UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ති‍්‍රපිටකය සහ අනුරාධපුරය මහා විහාරය

මෙම ලිපියෙහි මුල් කොටස පොසොන් පුර පසළොස්වක (ජූනි 19වනදා) පත්‍රයේ පළවිය

එම ගමෙහි මිනිසුන් එක් දිනයකදී මේ භික්ෂුණීන්ට නොදන්වාම පලා ගියහ. එම දුර්භාග්‍ය සමයේදි ඔවුන්ට උපකාර කිරීමේ හැකියාවක් එකී ගැම්වැසියන්ට නොතිබුණි. සම්මෝහ විනෝදනීයේම සඳහන් වන තවත් පුවතකට අනුව මේ කාලයේ දකුණේ සිතුල්පව්වේ සහ තිස්සමහාරාමයේ තුන් අවුරුද්දකට සෑහෙන තරම් වී තිබුණි. එහෙත් ඒවා මීයන් විසින් කාදමන ලදී. ඒ එක් එක් විහාරයකින් මේ බව නොදත් මහරහතන් වහන්සේලා අනෙක් විහාරයට යෑමට පිටත් වූයේ ආහාර ලබාගැනීම පිණිසය. අතරමඟදී ඔවුන්නොවුන් මුණගැසුණු මෙම රහතන් වහන්සේලා, තමන්ගේ ගමන නිශ්චල එකක් බව අවබෝධ කරගත්හ. අවසානයේ උන්වහන්සේලා, වනාන්තරයට වැද සාගින්නෙන්ම පිරිනිවන් පෑහ. විසුද්ධිමාර්ගයේ සඳහන් වන්නේ මුල චූලසීව නම් තෙරුන් වහන්සේ නමක් මේ කාලයේ මහාවිහාරය වැඳීමට ගිය බවයි. ඒ වන විට මහාවිහාරය හිස්ව, මහ සෑ මළුවේ එඬරු ගස් වැටී මහාසෑය සෙවල පාසිවලින් වැසී තිබුණේය. උන්වහන්සේ හා එතැනින් දැදුරු ඔය අසල මිනිසුන් සිටි තැනකට ගොස් ඒ මිනිසුන් සමඟ ගස්වල කොළ කා ජීවත් වූය. ඉසිදත්ත සහ මහාසේන නම් තෙරුන් වහන්සේලාට ද අතිශය දුෂ්කර වූ කාලයක් ගත කරන්නට සිදු විය. තැනින් තැනට ගිය උන්වහන්සේලා අල ජනපදයට පැමිණි බවත් එහිදී ආහාරයට ලැබුණේ, එක් තැනක මිනිසුන් විසින් මද කා දමා ගිය මී ගෙඩි කිහිපයක් පොතු පමණක් බව සම්මෝහවිනෝදනියේ දැක්වේ. තවත් තැනකදී උන්වහන්සේලාට ලැබුණේ නෙළුම් දඬුය. තවත් තැනකදී කෙසෙල් පතුරුය.

මේ කාලයේදී, ත්‍රිපිටකය කටපාඩමින් දත් භික්ෂූන් වහන්සේලා එය අභාවයට පත් නොවී ආරක්ෂා කරගැනීම පිණිස තමන්ට කළ හැකි සියලු උපක්‍රම යොදා තිබේ. එක් අවස්ථාවක ඉන්දියාවට යාම පිණිස සමුද්‍රතීරයට ගිය භික්ෂූන් වහන්සේලා සැට නමක් යළි මලය රටට පැමිණ ගස්වල කොළ සහ මුල් පමණක් ආහාරයට ගනිමින් ජීවත් වී තිබේ. එහිදී උන්වහන්සේලා තමන් කටපාඩමෙන් දත් ධර්මය අමතක වේය යන බියෙන් ඒවා නිරන්තරයෙන් සජ්ඣායනා කළහ. වාඩිවී සිටීමට තරම් ශක්තියක් තමන්ට නැතිවූ විට උන්වහන්සේලා හිඳගෙන ධර්මය සජ්ඣායනා කළහ. තවදුරටත් ශරීරය කෙලින් තබා ගැනීමට නොහැකි වූ විට වැලිගොඩවල්වලට හිස හේත්තු කරගෙන ධර්මය සජ්ඣායනා කළ බව සමන්තපාසාදිකාවේ සඳහන් වී තිබේ.

මේ ආකාරයට දොළොස් වසරක් මුළුල්ලේ ඇති බැමිණිතියා සාය නිම වූ විට ,අනුරාධපුරය හැර ගොස් සිටි භික්ෂූන් වහන්සේලා නැවත මහාවිහාරයට රැස් වූහ. මේ ආකාරයට දඹදිවට ගිය භික්ෂූන් වහන්සේලා සහ මලය රටට ගිය භික්ෂූන් වහන්සේලා සැට නමක් ඇතුළු පිරිස ඔවුනොවුන් හමු වී එතෙක් ඉතා දුකසේ තමන් කටපාඩමින් රැකගත් ත්‍රිපිටක සංසන්දනය කර බලා තම දෙපක්ෂයේම කටපාඩම් සමාන බව සැකහැර දැනගත් බව මහාවංශයේ සඳහන් වී තිබේ.

මෙසේ දිගින් දිගටම කටපාඩමෙන් රැකගෙන පැමිණි ත්‍රිපිටකය යළි මෙවැනි දුෂ්කර තත්ත්වයක් ඇති වුවහොත්, රහතන් වහන්සේලා ප්‍රධාන භික්ෂූන් වහන්සේලා අභාවයට පත් වී නිර්මල ත්‍රිපිටක සඳහටම අහිමි වී යා හැකි බව,අනුරාධපුර මහාවිහාරයේ මහ තෙරුවරුන් තේරුම් ගත්හ. එකල මහාවිහාරයේම ස්වාධීන ආරාමයක්ව පැවති ථූපරාමයේ විසූ කුන්ථගත තිස්ස නම් මහ තෙරුන්වහන්සේ නමකගේ මූලිකත්වයෙන් භික්ෂූන් වහන්සේලා රැස්වී ලෝවාමහාපායේදී මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූහ. එහිදී තීරණ වූයේ අනාගතයේ මෙවැනි අභාග්‍යය නිර්මල බුද්ධ භාෂිතය සුරැකීමට නම් එය ග්‍රන්ථාරූඪ කළ යුතු බවයි. ශාසන ඉතිහාසයේ ඉතා තීරණාත්මක වූ එම සිදුවීම ක්‍රියාත්මක වූ ආකාරය වල්පොල ශ්‍රී රාහුල හිමියෝද දක්වති.

මේ ශ්‍රේෂ්ඨ සද්කාර්යය කළෝ අනුරාධපුර මහා විහාරයේ මහා සංඝරත්නයම වෙති. යම් ලෙසකින් එදා උන්වහන්සේලා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ නොකළේ නම්, නිර්මල බුද්ධභාෂිතයට කුමක් සිදුවනු ඇති ද? ක්‍රි.ව. 5 වැනි සියවස පමණ වන විට බුද්ධඝෝෂ මාහිමියන් ප්‍රධාන මහ තෙරවරු අට්ඨකතා ලියුවේ මේ ත්‍රිපිටක මුල් කරගනිමිනි. බුදුන් උපන් දේශයට අහිමි වී ගිය ඒ උතුම් දහම යළි මුළු ලෝකයටම ලැබුනේත්, සකල ලෝකවාසි ජනතාවට සැබෑ විමුක්තිය ලබාගත හැකි වූයේත්, අනාගතයට එය සිදුවන්නේත්, අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටි මහාවිහාරයට පින් සිදුවන්නට බව අපි ඉතා විචාරශීලීව වටහා ගත යුතුය.

 

  පොසොන් අව අටවක පෝය

  පොසොන් අව අටවක පෝය ජුනි 27 වනදා සඳුදා අපරභාග 12.44 ට ලබයි. 28 වනදා අඟහරුවාදා පූර්වභාග 10.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 27 වනදා සඳුදා ය.

මීළඟ පෝය ජූලි 04 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]