UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී මහා බෝධි පුරාණය - 2 :  පූජනීය වෘක්ෂයක් වූ ශ්‍රී මහා බෝධින් වහන්සේ

පූජනීය වෘක්ෂයක් වූ ශ්‍රී මහා බෝධින් වහන්සේ

අප අද සිට පිළිවෙලට බෝධීන් වහන්සේගේ පුරාණ කතාව ඉගෙන ගන්නා අතර, එය ඔබට ලැබෙන විශේෂ වාසනාවක්ද වනු ඇත. පෙර අප ඉගෙන ගත්තා බුදුරජාණන් වහන්සේ නමකට උතුම් සම්බුද්ධත්වය සඳහා සෙවන සලසන බෝධීන් වහන්සේ හටගන්නේ පෘථිවියේ මධ්‍යය මණ්ඩලයේ කියා. ඒ ස්ථානය දඹදිව වජිරාසනය පිහිටි බුද්ධගයාව. මේ පෘතුවිය හට ගන්නාවිට එතනැයි මුලින්ම හට ගන්නා ස්ථානය. ලෝකය විනාශ වනවිට අවසානයට විනාශ වන්නේ බෝධි භූමියයි.

බුද්ධ ශූන්‍ය කාලවලදී සුදුවැලි ඇතිරූ තණකොළ නැති පිරිසුදුව භූමියක් ලෙස එම ස්ථානය පවතී. සක් දෙවිඳුටවත් බෝධි භූමියට උඩින් යාමට බැරි බව කියයි. අපේ බුදුරජාණන් වහන්සේට පමණක් නොවේ සෑම බුදුරජාණන් වහන්සේ නමකටම සම්බුද්ධත්වයට සෙවන සලසන්නේ වෘක්ෂයකි.

සත් බුදුරජාණන් වහන්සේලාගේ බෝධි

දීඝ නිකායේ “මහා පදාන” සූත්‍රයේ සඳහන් වන්නේ කල්ප සියයක් ඇතුළත ලොව පහළ වූ බුදුරජාණන් වහන්සේ පිළිබඳව යි. කල්පයක් කියන්නේ ඉතා දීර්ඝ කාලයකි. උපමාව මේ වගේ. යොදුනක් දිග (කි.මී.10 කියා සිතන්න) යොදුනක් පළල යොදුනක් උස පෙට්ටියක් තිබේ. එහි අබ පුරවා තිබෙන අතර, සම්පූර්ණයෙන්ම අවුරුදු සීයයකට එක් වතාවක් යම් පුරුෂයෙක් මෙයින් එක් අබ ඇටයක් ඉවත් කරති. ඒ ආකාරයට තවත් වසර සීයකට පසු තවත් අබ ඇටය ඉවත් කරති. ඒ අබ පෙට්ටියේ අබ ඉවර වුවත් කල්පයට තිබෙන අවුරුදු ගණන අවසන් නොවේ. එසේනම් කොපමණ දීර්ඝයි ද?

මීට කල්ප 91 කට පෙර ලොව පහළ වූ විපස්සී බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වුණේ පලොල් වෘක්ෂයක් මුල. ඊට කල්ප 31 කට පෙර බුදු වූයේ සිඛී සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ සම්බුදු වුණේ ඇටඹ ගසක් මුල. ඒ කල්පයේම වෙස්සභූ නමින් තවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණි. ඒ කාලේ බෝධිය වුණේ සල් ගසකි. මේ මහා භද්‍ර කල්පයේ මුලින් පහළ වූ කකුසඳ බුදුරජාණන් වහන්ස්ගේ බෝධි වෘක්ෂය වුයේ මහරී වෘක්ෂයයි. ඊළඟට කෝණාගමන බුද්ධ ශාසනයේ දිඹුල් බෝධීන් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නුග රුකක් මුල බුද්ධත්වයට පත්වුණි. නුග බෝධියට තමා ඒ කාලයේ වැඳුම් පිදුම් කළේ. සෑම බුද්ධ ශාසනයකම බෝධීන් වහන්සේට පූජෝපහාර සිදු වී ඇත.

ඇසතු බෝධිය උපත

මේ මහා භද්‍ර කල්පයේ සතරවැනි බුදුරජාණන් වහන්සේ ගෞතම අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේය. එදා වෙසක් පොහෝදා උන්වහන්සේ ලුම්බිනියේ උපත ලබන තුරු ගයාවේ වජිරාසන භූමියේ කිසිදු ගසක් නොතිබුණි. තණකොළ ගහක්වත් නොමැත. වෙසක් පෝදා ලුම්බිනියේ බෝධි සත්ත්වයන් වහන්සේ උපදින විටම ඒ මොහොතේමයි මව් ශාඛාවක් නොමැතිව ඇසතු වෘක්ෂය වජිරාසනයෙන් මතුවුණේ. එය සහජාත වස්තුවකි. අශ්වත්ථ කියාත්, පිප්පලි කියාත් හඳුන්වති. ඒ වෘක්ෂයන් ගැන බොහෝ දෙනා නොදනී. බෝසත් සිදුහත් කුමරා යසසින් වැඩෙන්න වැඩෙන්න ඇසතු රුකත් වළාකුලක් වගේ වැඩුණි. ඒ වෘක්ෂයේ පුදුම ආශ්චර්යයක් තිබුණි. ඒ තමා කැලේ දර සොයන්න යන අය ඒ වෘක්ෂය කපන්නේ නැත. ඔවුන්ට හිතෙන්නේද නැත. ඒ කාලයේ බෝධිය කියා කතාවක් නොතිබුණි. රිලවුන්, වඳුරන්, ගවයන්, අලි ඇතුන් ළඟිින් යති. එති. නමුත් ඉති කඩන්න හිතෙන්නේ නැත. අනාගතයේ මහා පින්වන්තයෙකුට ලෝකයම අවබෝධ කරන්න සෙවන සලසන්න මේ උතුම් වෘක්ෂය නිරුපද්‍රිතව වැඩුණි.

අභිනිෂ්ක්‍රමණය කර වැඩියේ ඇසතු වෘක්ෂය දිශාවටය

සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මි හිස හැරුණේ මගධය දිශාවට. නේරංජරා නදියෙන් එහා සේනානි ගම (අද දුර්ගේශ්වරී පැත්ත) මහත් දුෂ්කර ක්‍රියාව සිදු කළ ප්‍රදේශය. කෙසේ හෝ සය වසරක් ගතවුණි. දැන් බෝධින් වහන්සේටත් වයස අවුරුදු තිස් පහකි. අවුරුදු තිස්පහකට පසු බෝධිය හොඳින් අතුපතර විහිදා ගිය වනස්පති වෘක්ෂයකි. සුජාතාව දුන් කිරිපිඬුත් වළදා මහාබෝධි සත්ත්වයෝ නේරංජරා නදියේ මේ පැත්තට පැමිණුනි. එයයි ඉරණම. ධර්මතාවය. කිරිපිඬු වැළඳුවේ එගොඩ. ඇසතු රුක මෙගොඩ. මහා බෝධි සත්ත්වයෝ ඒ විස්තර නොදනී. මෙගොඩට වැඩිය අතර, සොත්ථිය බමුණා දුන් කුසතණ මිටි අටත් රැගෙන භාවනාවට වාඩිවෙන්න තැන විමසද්්දී එකවරම සිත ඇඳී ගියේ මේ වනස්පති වෘක්ෂයටය. එය ධර්මතාවයකි. ඇසතු රුක වෙත වැඩිය මහා බෝසතාණෝ වටේට ගමන් කරන්නේ කුස තණ අතුරන්න තැනක් බලමින්. හොඳට මට්ටම් වෙලා පහසුවෙන් හිඳගැනීමට බිම තිබුණේ නැඟෙනහිර පැත්තෙනි. එයත් ධර්මතාවයකි. උන්වහන්සේ අසුන් ගති. මේ වෘක්ෂය තවමත් බෝධියක් නොවේ. දස දහසක් ලෝක ධාතුවල දෙව් බඹුන් පැමිණුනි. එදා වෙසක් පුන් පෝය දිනයයි.

මාර යුද්ධයේදී තනි නොතිනියට සිටි බෝ රජුන්

දස බිම්බරක් මාරසෙනඟ ගුගුරුවා ගෝරනාඩු කරමින් එද්දී සියලුු දෙව් බඹුන් පළා ගියේය. නො සැලී අප මහා බෝසතුන් පිටුපස වී සිටියේ ඇසතු බෝ රජාණන් වහන්සේ. එදා සිදු වූ මහා භයානක මාර යුද්ධය විඳ ගත්තේ බෝ රජුන්. මාර පරාජය කොට මුනිඳු දැහැන් වඩනවිට එය විඳගන්තේ බෝ රජුන්. තුන්යම ත්‍රිවිද්‍යා ලබනවිට ඒ අසිරිය විඳගත්තේ බෝ රජුන්. අපුරු ලොවට හිරු මඬලක් සේ දුක් විඳින සත්ත්වයන් සසරින් නිදහස් කරවන්නට තුන් ලොවටම අගරජු ලෙස පොළොව කම්පා කරමින් මහත් වූ ආලෝක දහරා විහිදුවමින් මහත් ආශ්චර්යය මැද්දේ සම්බුදු වනවිට ඒ අසිරිය විඳගත්තේ බෝ රජුන්. පුරා සතියක් අරහත්ඵල සමවත්සුව විඳිමින් බෝ සෙවනේම භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි සේක.

ඇසතු වෘක්ෂය බෝධීන් වහන්සේ නමක් විය

අපගේ භාග්‍යවතුන් වහන්සේට උතුම් චතුරාර්යය සත්‍යය ධර්මය අවබෝධ කරන්නට සතර මග ඵල උපදවා ගන්නට උපකාර වූණා කියන අදහසිනුයි ඇසතු වෘක්ෂයට “බෝධී” කියන ව්‍යවහාරය ආවේ. ඒ උතුම් බෝ සෙවනේ පෘතුවියේ අන්කිසි තැනක සම නොවැදුන බුදු කෙනෙකු උපදවාගත් සියලු සමාධි, සමාපත්ති, ඥාන, විද්‍යා, ගුණ ආදියට සමවැදුනි. නව අරහාදි ගුණ, දසබල ඤාණ, විශාරද ඤාණ, සබ්බඤ්ඤුත ඤාණ , මහාකරුණා සමාපත්ති ඤාණ ආදී නොයෙකුත් ගුණ උපදවා ගනු ලැබුවේ බෝ සෙවනේදී ය. උන්වහන්සේගෙන් විහිදුන නිකෙලෙස් කාන්තිය බෝ රජුන් උරාගති.

භාග්‍යවතුන් වහන්සේගේ නේත්‍රා පූජාව

දෙවන සතියේ ඊසාන දිශාවේ සිට බෝ රජුන් දෙස පුරා සතියක් ඇසිපිය නොහෙළා බලා සිටිසේක. එයට “අනිමිසලෝචන පූජාව” කියා හඳුන්වති. භාග්‍යවතුන් වහන්සේගේ නිල්වන් නෙත් සඟලින් ඒ ආකාරයට එපමණ කාලයක් බලා සිටිය වස්තුවක් මේ තුන් ලෝකයේම නැත. භාග්‍යවතුන් වහන්සේගේ නේත්‍ර සඟලින් පිදුම් ලැබූ බෝධීන් වහන්සේ කොතරම් පූජනීයද? ගෞතම බුදු සසුන පවතින තුරු සකල සතට සෙත සලසන්නට උතුම් බෝධින් වහන්සේ තුළ බුද්ධානුභාවය ගැබ්වුණි. කෘතගුණ සත්පුරුෂ ධර්මය භාග්‍යවතුන් වහන්සේ ලොවට පෙන්වා වදාළහ. තුන්වැනි සතියේ භාග්‍යවතුන් වහන්සේ සක්මන් කළේ බෝ සෙවනේම ය. එවිට ඒ භූමිය පවා කොතරම් පූජනීයද? දඹදිව ගියවිට අපට ඒ ස්ථාන වන්දනා කරන තරමට පින් රැස්වේ. භාග්‍යවතුන් වහන්සේ සත් සතියම බෝධින් වහන්සේ අවටමයි වැඩ වාසය කළේ. අපගේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ මොහොතේ පටන් අද දක්වාම බෝධීන් වහන්සේ පිදුම් ලබති.

එතැනින් පසු වූයේ කුමක්ද?

භාග්‍යවතුන් වහන්සේ ධර්මචක්‍රය පැවැත්වීමට බාරාණසිය බලා වැඩම කළ සේක. බෝධින් වහන්සේ විරාජමානව වැඩ සිටි අතර, පසු කාලයේ ඒ අවට විහාර ආරාම ඇතිවුණි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේම බොහෝ අය බෝධීන් වහන්සේට වැඳුම් පිඳුම කරති. ඒ සම්බන්ධ විස්තර අප ඊළඟ ලිපියෙන් කතා කරමු. කෙසේ නමුත් දෙවියන්, බඹුන්, නාගයන් බොහෝ දෙයින් ඒ කාලයේම බෝධීන් වහන්සේට උපහාර කළ අතර, වැඳුම් පිදුම්ද කළහ. බුදුරජාණන් වහන්සේ උන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ ආකාරය විස්තර කරද්දී බෝධින් වහන්සේ ගැන විස්තර කළ අවස්ථා බුද්ධ දේශනාවල තිබේ. ආනන්ද බෝධින් වහන්සේ හට ගන්නේත් මේ උතුම් බෝධින් වහන්සේගේ බීජයකිනි.

අප තවත් විස්තර ඉදිරි ලිපිවලින් කතා කරන්නෙමු. ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආනුභාවයෙන් ඔබට සෙත් වේවා.


ශ්‍රී මහා බෝධි පුරාණය - 1 : විශ්මිත ප්‍රාතිහාර්ය පානා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ

 

  පොසොන් අව අටවක පෝය

  පොසොන් අව අටවක පෝය ජුනි 27 වනදා සඳුදා අපරභාග 12.44 ට ලබයි. 28 වනදා අඟහරුවාදා පූර්වභාග 10.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 27 වනදා සඳුදා ය.

මීළඟ පෝය ජූලි 04 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]