UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සකල සතට සෙත සලසන උද්දේසික ධාතූන් වහන්සේ

සකල සතට සෙත සලසන උද්දේසික ධාතූන් වහන්සේ

ආනන්ද බෝධි කතාවේ ත්‍රිවිධ චෛත්‍යය ගැන කියැවේ. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික කොටස් ශාරීරික ධාතුන් වහන්සේ සේ සැළකේ. පාරිභෝගික යමක් වේනම් එයත් වැඳුම් පිදුම් ලැබීමට සුදුසුය. එය පාරිභෝගික ධාතූන් වහන්සේය. භාග්‍යවතුන් වහන්සේ යැයි සලකා ඉන් බාහිර යම් දෙයකට වන්දනා මාන කරයිනම් එය උද්දේසික ධාතූන් වහන්සේ ලෙස සැලකේ.

ශාරීරික වූත්, පාරිභෝගික වූත් ධාතූන් වහන්සේ ගැන අප සැලකිය යුතු පමණට විස්තර ඉගෙන ගත් අතර, ඒ උතුම් පරම පූජනීය පාරිභෝගික වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳව ඇති දැනුමනම් ඉතාම අල්පය. ඒ පිළිබඳව ඉදිරියේ ඔබ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර, අද කතා කරන්නේ උද්දේසික ධාතුන් වහන්සේ පිළිබඳව ය.

මුල් යුගයේ වන්දනා

මිනිසුන් වශයෙන් බුද්ධ ශාසනයේ මුල් යුගයේ බෝධින් වහන්සේට වන්දනාමාන කළ අතර, ආනන්ද බෝධීන් වහන්සේ රෝපිත වූයේ ඒ නිසාය. හුදෙක් භාග්‍යවතුන් වහන්සේට දෙව් මිනිසුන් පුදනු ලැබීය. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් වැඩි පසුව ශාරීරික සර්වඥ ධාතූන් වහන්සේ පිදුම් ලබති. පාරිභෝගික ධාතූන් ද පිදුම් ලබති. එදා බුදුරජාණන් වහන්සේ සිතුවමට හෝ කැටයම් මූර්තියකට හෝ ගැනීමට ශ්‍රද්ධාවන්තයින් පැකිලිණ. ඒ තථාගතයන් වහන්සේ ඔවුන් දෑසින් දුටු නිසාය. රහතන් වහන්සේගෙන් බුදුගුණ ඇසුව නිසාය. පිළිමයකට නෙලිය නොහැකි බුදුරජාණන් වහන්සේගේ අසහය රූප කාය ඔවුන්ගේ දක්ෂතා ඉක්මවා ගියේය. ඒ හේතුවෙන් ඔදවැඩී ගිය ශ්‍රද්ධාව ආදී හේතු නිසා බෝධීන් වහන්සේ ස්තූප,ධර්ම චක්‍රය, වජිරාසනය, සිරිපා සටහන් ආදියයි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය වූයේ. ඒ සියල්ලම උද්දේසික ධාතුන් වහන්සේ ගණයට අයත් වේ. භාග්‍යවතුන් වහන්සේගේ චරණ සිරිපා කමල් වන්දනා කරන ලෙසයි එකල ශ්‍රාවකයා සිරිපා සටහන් කැටයමක් පවා වන්දනා කළේ.

ප්‍රතිමා වහන්සේ උද්දේසික ධාතුන් වහන්සේ නමකි

අද උද්දේසික චෛත්‍යයක් ලෙස විශේෂයෙන් අපට වන්දනාමාන කරගෙන පින් රැස්කර ගන්න ලැබෙන්නේ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ මුල් කරගෙනය. බුද්ධ ප්‍රතිමාවේ ආරම්භය ගැන ලොකු විස්තරයක් නැතත්, ධර්මාශෝක අධිරාජ්‍යයාගේ සමයේත් බුද්ධ ප්‍රතිමා නිර්මාණය වූ බවක් සටහන්ව නැත. එයට හොඳම උදාහරණය සාංචි කැටයම්. සාංචියේ කිසිම කැටයමක බුද්ධ ප්‍රතිමාව කැටයම් වී නැත. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බෝධීන් වහන්සේ, ධර්ම චක්‍රය ආදිය සංකේතය වී තිබුණි. පසුකාලයේ දී යි ප්‍රතිමා නිර්මාණය වී ඇත්තේ. භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ ඔබට මතකද පිප්පිලි කුමාරයා රනින් ස්ත්‍රී රුවක් නිර්මාණය කළ බව. ඒවගේම ඒ කාලයේ තිබුණ චරණ කියා චිත්‍රයක්. ඒ චිත්‍රය ඇත්තෙන්ම සෙලවෙන බවකුයි දිස් වූයේ. කලාව දියුණු නමුත් ඒ කලාවටවත් භාග්‍යවතුන් වහන්සේගේ, රූපය නෙලිය නොහැකි දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි උතුම් ශ්‍රී ශරීරය නිර්මාණය කරන්නට නොහැකි විය. එයට හේතුව “දිස්සමානෝපි තාවස්ස රූප කායෝ අචින්තියෝ” පෙනෙන්නට තිබෙන බුදු සිරුර පවා අචින්තනීයයි. නමුත් ක්‍රි.ව. 2 වන සියවසේ කණිෂ්ක රාජ සමයේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය වූ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත බුදුගුණ අබියස බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙන්කළ යම් වස්තුවක් වේද, එයත් පූජනීයයි. ඒ නිසා උද්දේශික ධාතුන් වහන්සේ වන්දනා කරන විට පූජා සත්කාර කරනවිට බොහෝ පින් රැස්වේ.

ලෝකයේ වැඩිම මූර්ති නිර්මාණය බුද්ධ ප්‍රතිමා වහන්සේ

යම් ශාස්තෘන් වහන්සේ නමකගේ ප්‍රතිමා වැඩිපුරම නිර්මාණය වී ඇත්නම් ඒ භාග්‍යවතුන් වහන්සේගේ. අදටත් ස්තූප නිර්මාණය කරනවිට දහස් ගණනක් බුද්ධ ප්‍රතිමා තැන්පත් වේ. අතීතයෙත් සමහර ස්තූපවල දහස් ගණන් බුද්ධ ප්‍රතිමා තැන්පත්ව තිබේ. බොහෝ බුද්ධ ප්‍රතිමා රනින්, රිදියෙන් මෙන්ම වෙනත් ලෝහ, ගල්, මැටි, ලී ආදියෙන් නිර්මාණය විය. ටික කලකට පෙර ඉන්දියාවේ අයෝධ්‍යාවේ විශාල අර්බුදයක් පැන නැගුණ අතර, හින්දු ආගමිකයින් පැවසුවේ අයෝධ්‍යාව රාමගේ නගරය යි. ඒ නගරය අපේ කියායි. ඉස්ලාම් ආගමිකයන් කියා සිටියේ ඔවුන්ගේ කියායි. අවසානයේ ප්‍රදේශයේ තෝරාගත් ස්ථාන කැණීම් කළ අතර, පුදුමයට මෙන් එක දිගට බුද්ධ ප්‍රතිමා මතුවී තිබේ. ඔවුන් ඒ ප්‍රතිමා එසේම වසා දමා ඇත.

දඹදිව වජිරාසනයේ අසිරිමත් බුද්ධ ප්‍රතිමා වහන්සේ

තුන්ලොවම මවිත කරවන ආනුභාව සම්පන්න බුද්ධ ප්‍රතිමා වහන්සේ වජිරාසන බුද්ධ ප්‍රතිමා වහන්සේ. හරිම සුන්දරයි. ශාන්තයි. කාරුණික නෙත් සඟල පුදුම සහගතයි. ඒ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ අතීතයේ නිර්මාණය වුණේ දෙවියන් අතින් බව කියැවේ. රජතුමාට අවශ්‍ය වූයේ සුන්දර බුදුරුවක් නිර්මාණය කිරීමට. එයට අපූරු අයෙකු ඉදිරිපත් වූවා. ඔහු රජතුමාට කියා සිටියේ මාස හයකට හරියන ආහාර ඇතුල් කර කුටියේ දොරවල් වසන්න කියාය. මාස හයෙන් ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරන බවයි. රජතුමා එකඟ විය. ඒත් මාස තුනක් යනතැන දොර අරින රජු දකින්නේ අද නිර්මාණය වී තිබෙන ප්‍රතිමා වහන්සේයි. අර පුද්ගලයා කුටියේ නො සිටියේය. මාසය හයක් සිටියානම් කොපමණ සුන්දර ප්‍රතිමාවක් නිර්මාණය වේවිද? අද තිබෙන ප්‍රතිමා වහන්සේ ගේ සුන්දරත්වය කෙතරම් අද්විතීයද? මේ වනවිට කොතරම් සිවුරු පූජා වී ඇද්ද? කොතරම් දෙනා වන්දනාමාන කොට ඇද්ද? වජිරාසනයේ බුද්ධ ප්‍රතිමා වහන්සේනම් ඉතාම ආනුභාවසම්පන්නයි. අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූදා වැඩ සිටින විලසින් සිතා ශ්‍රද්ධාවෙන් වන්දනා කරගෙන පින් රැස් කරගන්න අවස්ථාව තිබේ. ලෝකෝත්තර ප්‍රාර්ථනා සිහි කරමින් ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කරමින් වන්දනා කළ යුතුයි. වජිරාසන බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙවියන්, බඹුන්, නිරන්තරයෙන් වන්දනා කරන අති පූජනීය පාරිශුද්ධ ධාතුන් වහන්සේ නමකි. කුසිනාරාවේ පිරිනිවන් වැඩිය විලසින් නිර්මාණය වී ඇති ප්‍රතිමා වහන්සේ බොහෝ දෙනා පහන් සංවේගයට පත් කරති.

සිංහල බුදු පිළිමය

මේ වචනය හමුවන්නේ හිංයුසියංගේ වාර්තා වලය. එහිදී සිංහල දීපයෙන් දඹදිවට වඩමවන ලද ප්‍රාතිහාර්ය පාන බුද්ධ ප්‍රතිමාවක් ගැන විස්තර සඳහන් කර තිබේ. පෙරහරින් ප්‍රතිමාව වැඩමව ඇත. ඒ ප්‍රතිමා වහන්සේ ළඟ තබා ගන්න රජවරු යුද්ධ පවා කර ඇත. මේ ආකාරයට ඉතිහාසය විමසා බලන විට බුද්ධ ප්‍රතිමා වහන්සේ පිදුම් ලැබු බවත්, බොහෝ දෙනා පින්දහම් රැස්කර ගත් බවත් හොඳන් දකින්නට තිබේ.

අනුරාධපුර සමාධි ප්‍රතිමා වහන්සේ

අතීතයේ ගලින් නිර්මාණය කර රන් ආලේප කර නෙත් සඟලට ඉන්ද්‍රනීල මාණික්‍යය ඔබ්බවා තිබී ඇත. ඒ සියල්ලම විනාශ කළේ මිසදුටුවන් විසිනි. බොහෝ දෙනාගේ සිත ශාන්ත කරවන්න ඒ උතුම් ප්‍රතිමා වහන්සේට හැකි විය. අදටත් එසේමය. ලංකාවට තිලකක් බඳු ලංකාතිලකය පොළොන්නරුවේ නිර්මාණය විය. ගල් විහාරයේ උතුම් ප්‍රතිමා වහන්සේ අද්විතීයයි. සතුරු ආක්‍රමණ වලදී පවා පස්වලින් වසා බේරාගෙන ඇත. මේ සියලු ප්‍රතිමා වහන්සේ පූජනීයයි. වන්දනා කළොත් පින් රැස්වේ. බුද්ධානුස්සති සිතිවිලි ඇතිවේ. බුද්ධ ප්‍රතිමා දෙස බලාගෙන සිතේ දුක සනසා ගන්නා මිනිසුන් අදත් සිටී.

සක් දෙවිඳුන් මැවූ බුද්ධ ප්‍රතිමා වහන්සේ

අතීතයේ සුනාමි රළ පහරින් ලංකාව යට වෙන්නට යද්දී සක් දෙවිඳුන් උතුම් බුද්ධ ප්‍රතිමාවක් මවා තැන්පත් කළ බවත්, ඉන් මෙපිට ජල දහරාව නොගැලු බවත් ඉතිහාසයේ සඳහන් ය. කෙසේ නමුත් පසුගිය දා මෙරට මෙන්ම ජපානයේදීත් ඇති වූ සුනාමි ව්‍යසනයෙන් පුංචි බුද්ධ ප්‍රතිමා වහන්සේ පවා නො සෙල්වී තිබීම අසිරියකි. එය අප මවිත කළ අතර එයයි සත්‍යය. නේපාල භූමි කම්පාවේදී පවා ප්‍රතිමා වහන්සේ ඒ ආකාරයට වැඩ සිටියේය.

ස්තූප තුළ ප්‍රතිමා තැන්පත් කිරිම සුදුසුද?

ස්තූප තුළ ප්‍රතිමා තැන්පත් කිරීමේ සිද්ධිය ප්‍රතිහාර්ය යි. ඔබ අසා ඇති රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ පිරිනිවන් ඉරියව්වේ බුදුරුවන මවාගෙන වැඩ සිටින්නේ. අදටත් එසේමයි. සේරුවිල මංගල මහා සෑයේ නවරියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නලල් තලයේ ඌර්ණ රෝම ධාතුව මතුකොට ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ. අතීතයේ ස්තූප කැණීම් වලදී කොපමණ බුද්ධ ප්‍රතිමා හමුවීද සර්වඥ ධාතුන් වහන්සේ වගේ ඒ කාලේ මිනිසුන් වෙතින් බුද්ධ ප්‍රතිමා වහන්සේත් නිදන් විය. ඒ දේවල් අදත් සිදුවේ.

එනිසා භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ කඳ අබියස උන්වහන්සේ වෙනුවෙන් වෙන්කළ වැලි කැටය පවා පූජනීය විය. ශ්‍රද්ධාව යනු උදක ප්‍රාසාද මාණික්‍යය වගේ දෙයකි. සංසිදේ. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිමාවල ප්‍රාතිහාර්ය අතීතයේ දීද සිදුව ඇත. බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු උතුම් උද්දේසික ධාතුන් වහන්සේගේ අනුහසින් ඔබට සියලු යහපත උදාවේවා.


පසුගිය සතියෙන්:-  අසිරිමත් ධාතු පුරාණය 28 - ධාතූන් වහන්සේගේ උතුම් ප්‍රාතිහාර්යය

 

  වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි මස 04 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.49 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 08.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය ජුනි 12 වනදා ඉරිදාය
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]