UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විරාජමානව වැඩසිටිනා මුතියංගන මහා ස්තූපය

"මුතියංගන මහා සෑයේ වැඩසිටින ධාතුන් වහන්සේ කෙබඳුද? පරම්පරා කතාවෙන් පැවතගෙන එන එක කතාවක් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ගැලූ දහදිය මුතු බවට පත්වූ බවත් ඒ මුතු මේ සෑයේ තැන්පත් කොට ඉන්දික නම් ඇති දෙවිඳු විසින් මේ සෑය ඉදිකළ බවයි. පසුව ධාතුසේන රජු, විජයබාහු රජු, පළමුවැනි රාජසිංහ රජු , කීර්ති ශ්‍රී රාජසිංහ රජු වැනි රජවරු විසින් සෑය ප්‍රතිසංස්කරණය කර ඇත."

මුක්තික ධාතූන් වහන්සේ සහ කේෂ ධාතුන් වහන්සේ විරාජමානව වැඩ වෙසෙන වන දෙවියන්ගෙන් පවා පිදුම් ලබන මුතියංගන මහා ස්තූපය පිළිබඳව අද සාකච්ඡා කරන්නෙමු.

මීට පෙර අප සාකච්ඡා කළේ තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේ වැඩ සිටින මහා ස්තුපයන් වන්දනාමාන කිරීමෙන් තමන්ගේ ජීවිතයට කෙතරම් පින් රැස්කර ගත හැකිද? යන්න. එමෙන්ම ඒ ධාතුන් වහන්සේගේ ආනුභාවයෙන් අදටත් සැමට සෙත සැලසෙන බව.

මුතියංගන මහා සෑයේ වැඩසිටින ධාතුන් වහන්සේ කෙබඳුද? පරම්පරා කතාවෙන් පැවතගෙන එන එක කතාවක් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ගැලූ දහදිය මුතු බවට පත්වූ බවත් ඒ මුතු මේ සෑයේ තැන්පත් කොට ඉන්දික නම් ඇති දෙවිඳු විසින් මේ සෑය ඉදිකළ බවයි. පසුව ධාතුසේන රජු, විජයබාහු රජු, පළමුවැනි රාජසිංහ රජු , කීර්ති ශ්‍රී රාජසිංහ රජු වැනි රජවරු විසින් සෑය ප්‍රතිසංස්කරණය කර ඇත. තථාගත සිරුරෙන් නික්මුන දහදිය මුතු බවට පත් ධාතුන් වහන්සේ පිහිටි අංගනය එනම් මුතු+ අංගනය නිසා මුති + අංගනය වූ බව සඳහන්. ඒ වගේ මුනිවරුන් වැඩිසිටි අංගනය මුනි + අංගනය මුතියංගනය වූ බවද ජනප්‍රවාදයේ සඳහන්. එමෙන්ම සසර දුකින් නිදහස් වීම “මුක්ති” යන අර්ථයෙන් මුක්ති + අංගනය මුතියංගනය වූ බවද සිතිය හැකියි. මේ ආකාරයට මේ මහා සෑයේ නමට විවිධ අර්ථකතන සමඟ අංගනය වූ බවට බොහෝ මත ඇත.

සොළොස්මස්ථානයන්ගෙන් එක් පින් බිමක් වන මුතියංගන මහා සෑය නමුණුකුල දිව්‍ය විමානයට අධිපති ඉන්දක දෙවියන්ගේ අඩවියෙහි පිහිටා ඇත. පන්සියයක් මහරහතන් වහන්සේ සමඟ තථාගතයන් වහන්සේ තෙවනවර ලක්දිවට වැඩි අවස්ථාවේදී ඉන්දක දෙවිඳුන්ගේ ආරාධනයෙන් එම ස්ථානයේ සමවත් සුවයෙන් වැඩසිටි සේක. මුතියංගනය සෑ රජුන් පිහිටි ස්ථානය රහතන් වහන්සේ සේවනය කළ රහතුන් බිහි වූ සැබවින්ම මුනිවරුන්ගේම අංගනයක් (සැරිසරන මිදුලක්) බඳුය. ඒ සෑ මළුවේ බොහෝ රහතන් වහන්සේ වැඩි සිටි අතර උන්වහන්සේ පිරිනිවන් පෑ පසුව උන්වහන්සේගේ ධාතුන් වහන්සේ කුමක් සිදුවේද? ඒ ධාතුන් වහන්සේ සෑයට සෘර්දි වී තිබිය නොහැකිද?

මලියදේව මහා රහතන් වහන්සේ “ච චක්ක සූත්‍රය” මේ ස්ථානයේදී දේශනා කළ අතර, එහිදී හැට නමක් රහතන් වහන්සේ ඒ භූමියේදී බිහිවිය. මලියදේව මහරහතන් වහන්සේ පළමුවරට ච චක්ක සූත්‍රය දෙසුවේද එම පින්බිමේදී ය. එය සිහිවීමට මලියදේව බෝධිය නමින් බෝධින් වහන්සේ නමක්ද රෝපණය වී ඇත. නමුණුකුල පර්වතය ඇතුළු ඒ අවට පර්වත තුළ උන්වහන්සේ දැහැන්ගත විය. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ඒ ධාතුන් වහන්සේ මහාසෑය තුළ වැඩ සිටිනවා යැයි කිව්වොත් ශ්‍රද්ධාවන්තයාට එය අරුමයක් නෙවේ.

මේ ආකාරයට උතුම් ධාතුන් වහන්සේ තැන්පත් ස්ථාන අප්‍රකට වීම නිසා බොහෝ දෙනාට පින්දහම් රැස්කර ගැනීමට අවස්ථාව අහිමිව ඇත. තවත් විශේෂයක් ලෙස විහාරය සතු ‘පෙතිකඩ” යනුවෙන් යම් දෙයක් පවතී. එහි අටවිසි බුදුරදුන් වහන්සේගේ පිළිරුව සිතුවම් කොට ඇත. ප්‍රදේශයේ නියං කාලවලදී පුදපූජා මැද නමුනුකුල කඳු මුදුනට පෙතිකඩ වැඩමකර දෙවියන්ට පින් දුන්විට නියඟය නිමවී මහා වැසි ඇද වැටෙන බව මිනිසුන් අතර විශ්වාසයක් පවතී. එනිසා භාග්‍යවතුන් වහන්සේගේ යම් ධාතුන් වහන්සේ නමක් තැන්පත්ව සිටින යම් සෑයක් වේනම් ඒ මහා සෑය ඔබත් ශ්‍රද්ධාවෙන් වන්දනා කළ යුතු වේ. එය ඔබගේ දෙලොව යහපත උදෙසාම වේ.

ඔබත් මුතියංගන මහ සෑය මෙසේ වන්දනා කරන්න

විරාජිතං බුද්ධ ගුණේත සබ්බදා
සුරක්ඛිතං ඉන්දක දේව තේජසා
ජයංගණං සිහල දීප වාහිනං
මුතියංගනං ථූප වරං නමාමි

සැමදා අනන්ත බුදු ගුණයම හොබවන විරාජිත වූ මහා තේජස් ඇති ඉන්දික දෙවියන් විසින් ආරක්ෂා කරන, සිංහල වැසියන්ගේ ජය භූමිය බදු උතුම් මුතියංගන මහා ස්තූපය මම වන්දනා කරමි.

විමල සුසීතල භූරී ජලාසය
ප්පභව කංදර භූසිත සුන්දරං
ගිරි නදී වන දේවතා හි පූජිතං
නමථ තුංග මුතිංගන චේතියං

නිර්මල වූ සිසිල් ජලය පිරී බොහෝ ජලාසයන්ගෙන් හා ඉතා සුන්දර බවින් සෝබමාන පර්වතවාසී, නදීවාසි වනවාසී දෙවියන් විසින් නිතර පුදන උත්තුංග වූ පවර මුතියංගන සෑ රජුන්ට නමස්කාර වේවා.

නීලගිරි මහ සෑ රජාණන් වහන්සේ

නීලගිරි මහා සෑ රජාණන් වහන්සේ කැනීම් කිරීමේදී ධාතු ගර්භයත්, ඒ ධාතු ගර්භය තුළින් හමු වූ සර්වඥ ධාතුන් වහන්සේ පිළිබඳව විවෘත වූ නිසා අප විස්තර දනී. ඒ පිළිබඳව අතීතයේ සිටි භාතිය නම් ඇති රජුගේ කාලයේ ගොඩනැඟුණ සෑයකි. ඒ සෑයේ පේසාවළලු ආසන්නයේ එක ප්‍රදේශයකම ධාතුන් වහන්සේ තැන්පත් කළ පළිගු කරඬු දෙසිය ගණනක් හමුවිය. ඒ සෑම කරඬුවකම අභ්‍යන්තරයේ රත්තරන් තහඩුවේ ධාතුන් වහන්සේ ඔතා පළිඟුව ඇතුලේ තැන්පත් කර ඒ කරඬුව දා ගැබේ තැන්පත් කර තිබුණි. සර්ඥ ධාතුන් වහන්සේ රන් කරඬුවේ තැන්පත්ව තිබුණි. එසේනම් අවුරුදු දහස් ගණනකට පසුව ගරා වැටී තිබුණ ඒ සෑය කැණීම් කිරීමේදී උතුම් ධාතුන් වහන්සේ එකම දිශාවකින් හමුවී ඇත. ඒ ධාතුන් වහන්සේ අදටත් පුරාවිද්‍යා කෞතුකාරයේදී දැක ගැනීමට පුළුවනි.

නීලගිරි මහා සෑයෙන් හමු වූ ධාතුන් වහන්සේ බොහෝ විට ප්‍රදර්ශනය කරන අතර ඔබටත් ඒ ධාතුන් වහන්සේ වන්දනාමාන කර ගන්නට පුළුවනි.

ඒ වගේ උතුම් ධාතුන් වහන්සේ රන්, රිදී, මුතු, මැණික් කරඬුවල මුතියංගන මහා සෑයේත් තැන්පත්ව තිබේ. එනිසා සෑම සෑයක්ම වන්දනා කිරීමේදී මේ මහා සෑයේ උතුම් ධාතුන් වහන්සේ වැඩ සිටිනවා කියන සංඥාවෙන් වන්දනාමාන කළත් ඔබට බොහෝ පින් රැස්වේවි.

මෙම සෑයේ වැඩසිටින ධාතුන් වහන්සේ උදෙසා අදටත් බොහෝ පුදපූජා පැවැත්වේ. තේවාවන් වත්පිළිවෙත් නොයෙක් නොයෙක් ඖෂධ පුෂ්ප උපහාර පැවැත්වේ.

එනිසා අප ඉපදුන මේ ලංකා ධරණීතලයේ මුනිවරුන්ගේ ප්‍ර‍්‍රාතිහාර්ය අපට දකින්නට ලැබීමත් ආනුභාවය දකින්නට ලැබීමත් මේ මිනිස් ජීවිතයට විශාල වාසනාවකි. ඒනිසා ඒ පිළිබඳව චිත්තප්‍රසාදයක් ඇතිකර ගත්විට ඒ උතුම් ධාතුන් වහන්සේලාගේ තිබෙන්නා වූ ආනුභාවයෙන් අපේ ජීවිතයට පිහිට පිළිසරණ ලබා ගත හැකියි.

ඔබට මුතියංගන ධාතුන් වහන්සේගේ අනුහසිනුත්, නීලගිරි මහා සෑයේ වැඩසිටි ධාතුන් වහන්සේගේ අනුහසිනුත් සෙත්වේවා.


පසුගිය සතියෙන්:- අසිරිමත් ධාතු පුරාණය 23 කොටස : අනුහස් පානා සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටිනා වෙල්ගම් වෙහෙර සෑ රජුන්

 

 බක් අව අටවක පෝය

 බක් අව අටවක පෝය අපේ‍්‍රල් 29 වනදා සිකුරාදා අපරභාග 9.10 ට ලබයි. 30 වනදා සෙනසුරාදා අපරභාග 08.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 30 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය මැයි මස 06 වනදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]