UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල් පූජාවේ මල් පූජාවේ සැබෑ ආනිසංස ලබන්නේ කෙසේද

මල් පූජාවේ මල් පූජාවේ සැබෑ ආනිසංස ලබන්නේ කෙසේද

පුද්ගලික වශයෙන් ලබාදෙන උතුම්ම පූජාව බුද්ධ පූජාවයි. බුදුරදුන් උදෙසා බොහෝ පිරිස් විවිධ පූජාවන් සිදු කරනු ලබයි. බුදුරදුන්ගේ ජීවමාන කාලයේ දී මෙන්ම උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසුව ද මෙම පූජාවන්හි අඩුවක් නැත. එම පූජාවන් අතර සුවිශේෂී පූජාව මල් පූජාවයි.

එනම් එය එදත් අදත් පැවැත එන ඕනෑම කෙනෙකුට පහසුවෙන් කළ හැකි පූජාවකි. කුමන මල් කුමනාකාරයකින් පූජා කළ ද එය ප්‍රශ්නයක් නොව්. බෞද්ධයා නිරන්තරවම මල් පූජාවේදී වඩා අර්ථවත්ව මෙම පූජාවන් සිදු කළ යුතු අතර එසේ වන්නේ නම් දෙලොව සැප විපාක ලැබිය හැකිය.

මල් පූජාවේ ආනිසංස සිහිපත් කිරීමේ දී බෞද්ධ සාහිත්‍යයේ බොහෝ අවස්ථා ඇත. මෙයින් බොහෝ දෙනාගේ ම අවධානය යොමු වන අවස්ථාවක් ධම්මපදට්ඨ කතා අටුවාවේ ඇතුළත්ය. සැබෑ අනුහස් ලැබෙන ලෙස මල් පූජා කිරීමත් පූජාව කෙසේවිය යුතු ද යන්නත් මෙයින් මනාව හඳුනාගත හැකිය. මෙය අරබයා බුදුරදුන් බාල වග්ගයේ දී ගාථා ධර්මයක් ද දේශනා කර ඇත. එහි නිදානය මෙසේය.

මල් විකිණීම තම රැකියාව කරගත් "සුමන" නම් මල්කරුවෙකු සෑම දිනකම බිම්බිසාර රජුට මල් ගෙන යයි. දෑ සමන් මල් නැලි අටක් ගෙන යන මොහුට කහවණු අටක් ලැබෙන අතර එයින් තම ජීවිතය පවත්වාගෙන යයි. එක් දිනක් බුදුරදුන් වඩින දුටු මොහු තමා රජුට ගෙන යන මල් ජීවිත පරිත්‍යාගයෙන් බුදුරදුන්ට පිදූහ. එම සියලු මල් බුදුරදුන්ට වියනක් මෙන් උන්වහන්සේ වඩින පසු පස ගමන් කළහ. මෙය දුටු සුමනමාලාකරුට මහා සතුටක් ඇතිව තම නිවසට ගිය මුත් බිරිඳ එයින් අමනාපව රජු කරා ගොස් සමාව අයදීය. රජුට ගෙනයන මල් බුදුරදුන්ට පිදීම ගැන ඇය රජු ඉදිරිපිට තම සැමියාට දොස් කියූ නමුත් රජු ඔහුගේ ශ්‍රද්ධාව ගැන අනුකම්පා කොට බුදුරදුන් ප්‍රමුඛ භික්ෂූන්ට රජ මිදුල තුළ දානය පිළිගැන්වීය. මල් තිරයෙන් ආවරණ වූ බුද්ධරූපය දුටු රජු ඇතුළු පිරිස මහත් ප්‍රමෝදයට පත්වූහ. දන් වැළඳීමෙන් පසු බුදුරදුන් සුමනමාලාකරුගේ මල් පිදීමේ පින්කම පිළිබඳ ඇගයීම් වශයෙන් මෙසේ ධර්ම දේශනා සිදු කළහ.

තංච කම්මං කතංසාධු
යංකත්වා නානුතප්පති
යස්ස පතීතෝ සුමනෝ
විපාකං පටිසේවතී

ධර්ම දේශනාව අවසානයේ දී රජු මහත්සෙයින් ප්‍රසාදයට පත්ව සෑම වස්තුවකින්ම අටබැගින් මහත් පරිත්‍යාගයක් සුමනමාලාකරුට සිදු කළහ. එම පරිත්‍යාගය අටුවාව දක්වනුයේ ‘සබ්බට්ඨක’ පරිත්‍යාගය වශයෙනි. මෙම ගාථාවේ ඇතුළත් විවරණය කරගත යුතු ප්‍රධාන වචන හතරක් ඇත. එය මනාව තේරුම්ගන්නා කෙනෙකුට මෙම ගාථාවෙන් කියවෙන සොම්නස ඇතිවන ක්‍රියා නැවත නැවත සිදු කිරීම යහපත් වන අයුරු අවබෝධ කරගත හැකිය. එම වචන හතර මෙසේය.

1. කම්මං

2. අනුතප්පති

3. පතීතෝ

4. සුමනෝ

සාමාන්‍ය ජීවිතයේ දී සිදුකරන සෑම ක්‍රියාවක් ම පොදුවේ සලකනුයේ කර්ම ලෙසය. හොඳ කර්ම කුසල හෙවත් යහපත් ලෙසත් නරක කර්ම අකුසල හෙවත් අයහපත් ලෙසත් විස්තර වේ. කුසල නම් එය විඳීමට හැකි අතර අකුසල නම් විඳ විය හැක. සුමන මාලාකරුගේ ක්‍රියාව කුසල වූ අතර එය මෙලොව බොහෝ සැපසම්පත් ලැබීමට හේතුවූවා පමණක් නොව ආනන්ද හිමියන් අමතා බුදුරදුන් දේශනා කරනුයේ යම්දින සුමන මාලාකරු සුමන නමින් පසේ බුද්ධත්වයට පත්වන බවයි. එය එසේ වනුයේ රජුගෙන් දඬුවම් ලැබේයැයි දැන දැනම රජු විෂයෙහි දිය යුතු මල් බුදුරදුන්ට පිදීමයි. එසේ සිදු කළේ ජීවිත පරිත්‍යාගයෙනි. එය දානයෙහි පරමත්ථ ගණයට වැටෙන්නකි. තාවකාලික භෞතික අවාසි නොසලකා දිර්ඝකාලීන ආනිසංස ගැන කල්පනා කරමින් යහපත් ක්‍රියා සිදු කිරීම කෙතරම්ම යහපත් දැයි සුමන මාලාකරුගේ මල් පූජාවෙන් තේරුම් ගැනීම පහසුය. එය සසර විඳින තරම් පිනකි. එය එසේ යැයි සඳහන් කළ හැක්කේ ඔහු තුළ පැවති චේතනාව මතය. බොහෝ මල් වර්ග බොහෝ සෙයින් පිදුව ද ඇතැම්විට බලාපොරොත්තු අනුසස් නොලැබෙනුයේ චේතනාව අපිරිසුදු බැවිනි. අනුන් පැරදවීම, ඊර්ෂ්‍යාව, ලෝභය, සහිතව මල් පිදීම යහපත් කර්මයක් නොවේ. එසේම අතුබිඳ, මල් පොහොට්ටු විනාශ කරමින්, අන්‍ය වතුවලින් හොරාට නම් නෙළන්නේ එය යහපත් නොවේ.

මල් පිදීමේ දී එය පිනක් කුසල කර්මයක් වනුයේ තමන් සතු දෙයක්ම පිදිය යුතුය. එම චේතනාව ධර්මයෙහි විස්තර කරනුයේ ‘අත්තූපකරණ පරිච්චාය චේතනාව‘ වශයෙනි. නාගවිමාන වස්තුවෙන් පවා පැහැදිලි වන්නේ එම තත්ත්වයයි. මුගලන් හිමියන් දිව්‍යලෝකයේ දී දකින දෙවියන් මහේශාක්‍ය වීමට හේතුව වූයේ මල්කරුවාගෙන් මිලදී මල් ගෙන පිදීමයි. පෙර භවයක ඔහු විසින් පිදු මල් අටකි. එහෙත් අනුසස් මහතය. හේතුව චේතනාව පිරිසුදුය. නෙළුම්මල්, පිච්චමල්, කූඩගණන් පිදුවද සිත අපිරිසුදු නම් වංචනික, වංක නම් එය යහපත් කර්මයක් කුසල කර්මයක් නොවේ.

පසුතැවිලි නොවීම හෙවත් පංචස්තාප නොවීම ‘න අනුතප්පති’ ලෙස මෙහිදී විස්තර වේ. සිදුකළ ක්‍රියා මෙනෙහි වීමේ දී සොම්නසක ඇතිවිය යුතු ය. එය පිනකි. කුසලයකි. එසේ නොවන්නේ නම් එය පවකි. අකුසලයකි. පින තුළින් භව සමුදය ද කුසලය තුළින් නිරෝධයද ඇතිවේ. එහෙයින් සුමන මෙන් පසුතැවිලි නොවන ආත්ම තෘප්තිය ඇතිවන ක්‍රියා සිදුකළ යුතු ය. දෙව්දත් තෙර අපාගත වන්නේත් මුගලන් හිමි කළුපාට වන්නේත් කුස රජුගෙ මූණ කැවුමක ස්වරූපය ගනු ලබන්නේ ද පසුතැවිලි වන ක්‍රියා සිදු කිරීම තුළිනි. මිනිසා තිරිසනාගෙන් වෙන් වන්නේ ද සිතාමතා නරකින් හොඳ වෙන් කරගෙන කටයුතු කිරීම නිසාවෙනි. එය එසේ නොවන්නේ නම් මිනිසත්කම ගැටලු සහගතය.

සුමනමාලාකරුගේ ක්‍රියා නිසා එතුමාගේ යසස පැතිරෙන අයුරින් බුදුරදුන් කටයුතු කළහ. පිණ්ඩපාතය සඳහා මහමඟ වැඩීම මෙන්ම රාජමාලිගාව තුළට නොවැඩ මාළිගා මිදුලෙහි වැඩ සිටියේ ද එසේ යම් හෙයකින් උන්වහන්සේ මාළිගාව තුළට වැඩියේ නම් සාමාන්‍ය ජනයාට මෙම ඓශ්චර්ය දැකිය නොහැකිය. කෙනෙකුගේ යසස වැඩීමට ඔහුගේ ජීවිත කාලය තුළ කෙරෙන ක්‍රියාකාරකම් යහපත් විය යුතුය. උපතේ දී හා විපතේ දී සෑම විටම එක පිරිසක් දුකට වේදනාවට පත්වේ. මිනිසත්කමේ උතුම් බව රඳා පවතින්නේ ජීවිත කාලය තුළ සෑම පාර්ශ්වයක් ම සතුටු වන ආකාරයෙන් තම ජීවිත පවත්වා ගත හැකි නම් පමණි. සුමනමාලාකරු, අනේපිඬු සිටු, විශාඛා බන්ධුල මල්ලිකා, කෝසල මල්ලිකාව පිළිබඳ එදා මෙන්ම අද ද ප්‍රශංසා මුඛයෙන් සිහිපත් කරනුයේ ඒ නිසා ය.

සොම්නස පී‍්‍රතිය හෙවත් පිනායාම මෙහිදී සුමනෝ යන්නෙන් අදහස් කෙරේ. පින යනු සතුටයි. ධර්මය තුළ පිනායාම ම පින ලෙස අර්ථවත් වේ. හදවත සිත සතුටුවේ නම් එය පිනකි. කෙටිකාලීනව මෙන්ම දීර්ඝ කාලීනව සතුට ඇතිවන ක්‍රියා සිදු කිරීමට සෑම විටම බුද්ධිමතා කටයුතු කරයි. සුමනමාලාකරුට බොහෝ සම්පත් ලැබෙනුයේ මේ පින තුළිනි. බුදුරදුන්ට මල් පිදීම නිසා සතුටු වනුයේ උන්වහන්සේ නොව පුදන ඇත්තන්. එහෙයින් සතුට සොම්නස පවතිනුයේ මල් තුළ නොව සිත් තුළය. කුමන ඉන්ද්‍රිය වෙහෙසවා ක්‍රියා කළද සතුට දැනෙනුයේ සිතටය. පින්කමක් සිදුකිරීමෙන් පසු එසේ සොම්නසට පත්නොවන්නේ නම් මල් හෝ වෙනත් පූජාවකින් ඵලයක් නැත.

මල් පූජාවක සැබෑ ආනිසංස ලැබීමට නම් සුමණ මාලාකරුමෙන්ද නාගවිමාන වස්තුවේ දෙවියන් මෙන් කටයුතු කළ යුතු ය. එසේම ලංකාවේ සිටි සුළුගුණ උපාසක මෙන් දිව්‍ය ලෝකයේ දී, දකින ලද රක්තවර්ණ දිව්‍යරාජයාමෙන් මල් පිදීම කළ යුතුමය. එවිට යසස පැතිරේ. සතුට ඇතිවේ. එමෙන්ම දෙලොව ජයගත හැකිය. ඒ සඳහා සැවොම වීර්ය වඩත්වා.

 

 බක් අව අටවක පෝය

 බක් අව අටවක පෝය අපේ‍්‍රල් 29 වනදා සිකුරාදා අපරභාග 9.10 ට ලබයි. 30 වනදා සෙනසුරාදා අපරභාග 08.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 30 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය මැයි මස 06 වනදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]