UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

චරිතාපදානය-6

යුගයේ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ චරිතාපදානය බුදුසරණ පාඨකයන්ට ගෙන එනු ලබන්නේ කෝට්ටේ ග්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන් විසිනි.

මාදුළුවාවේ සෝභිත හිමියන් ධර්ම දේශකයකු වශයෙන් පමණක් නොව මෙරට ජාතික ප්‍රශ්නවලදී මුල්තැන ගැනීමටද හැම විටම ක්‍රියා කළහ. විශේෂයෙන්ම මෙරට සිංහල ජාතීන් වෙනුවෙන් හඬ නැඟීම පිණිස උන් වහන්සේ මඬිහේ පඤ්ඤාසීහ මහා නාහිමියන්ගේ සභාපතිත්වයෙන් සිංහල බල මණ්ඩලය පිහිටවූහ. එය මෑත ඉතිහාසයේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් ගත් අභීත පියවරක් ලෙස හැඳීන්වීමට පුළුවන. සිංහල බල මණ්ඩලයේ ලේකම් ධුරය දැරුවේ මේ චරිතාපදානය සපයන ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන් ය. උප සභාපති ධුරය දැරුවේ මාදුළුවාවේ සෝභිත හිමියන් ය.

මෙහිදී උන්වහන්සේ සිංහලයන් මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් දැඩි ලෙසින් අවධානය යොමු කරන්නට වූහ. එතැන් සිට සෝභිත හිමියන් මෙරට ජාතික ව්‍යාපාර සම්බන්ධව අවධානය යොමු කළ යම් සමිතියක් සංවිධානයක් වූයේද උන් වහන්සේ ද එතැන විය. එයම උන් වහන්සේට දැඩි දෝෂාරෝපණ එල්ල වන්නට හේතුවක් විය.

සිංහල බල මණ්ඩලය මෙහෙයවීමෙන් කොළඹ බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ විශේෂ සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. ඒ 1982 ජුලි මස 21 වැනිදා ය. ධාර්මිෂ්ඨ සමාජයක් සංකල්පය ඔස්සේ මේ විශේෂ දේශන පැවැත්වීමට නියමිත විය. සම්මන්ත්‍රණ දේශන පැවැත්වීමට නියමිතව තිබුණේ පස්වරු 3.00 ට වන බැවින් ඊට සහභාගිවීම පිණිස සෝභිත හිමියෝ සහ ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියෝද පස්වරු 2.00ට 2.30ට පමණ වැඩම කර සිටියහ. රැස්වීම ආරම්භ වන්නටත් පෙර අතිවිශාල ජනතාවත් එහි සිටීම එක් අතකින් පුදුම උපදවන සුළු විය.

සිංහල බෞද්ධ අයිතීන් පිළිබඳව උනන්දුව දැක් වූ දෙදහසකට අධික පිරිසක් ද මේ සඳහා පැමිණ සිටියහ. සිංහල බල මණ්ඩලයේ සභාපති අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියෝ ගිලන්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නිසා මේ විශේෂ සම්මන්ත්‍රණයේ මුලසුන හෙබවූයේ සිංහල බල මණ්ඩලයේ ලේකම් ඉත්තෑපාන ධම්මාලංකාර හිමියෝය. රැස්වීම ආරම්භ කිරීම සඳහා රැස්ව සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවනු ලැබුවේද උන්වහන්සේ විසිනි. පස්වරු 3.30 ට පමණ රැස්වීම ආරම්භ වීමෙන් පසු පිළිගැනීමේ කතාව සිදු කළේ මාදුළුවාවේ සෝභිත හිමියන්ය.

මෙහි ප්‍රධාන දේශනය පැවැත්වීමට ආරාධනා කොට තිබුණේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාටය. සිංහල බල මණ්ඩලයේ ආරාධනයෙන් දේශනයක් පැවැත්වීමට පැමිණියද මහාචාර්යවරයා එහි සාමාජිකයෙක් නොවීය. සම්මන්ත්‍රණයේ අනිකුත් දේශකයන් ලෙස පැමිණියේ මහාචාර්ය ටී. බී. කාන්ගහ ආරච්චි, රාජනීතිඥ සිරි පෙරේරා, මහාචාර්ය ඇම්. බී. ආරියපාල, ගාමිණී කීර්තිචන්ද්‍ර සහ ආචාර්ය තිලක් කාරියවසම් යන මහත්වරුය.

එදින පස්වරුවේ විශේෂ නාට්‍ය පුහුණුවක් සඳහා පිටත්ව යාමට අවශ්‍ය වූ නිසා මහාචාර්ය සරච්චන්ද්‍ර මහතාගේ කතාව න්‍යාය පත්‍රයේ මුලට යොදන ලදී. ඒ අනුව සම්මන්ත්‍රණයේ ප්‍රථම කතාව ඔහුට ලැබිණ.

ඔහුගේ දේශනයද ධර්මිෂ්ඨ සමාජයක් කරා යන ගමන සම්බන්ධයෙන් විය. ‘වර්තමාන සිංහල සංස්කෘතියේ පිරිහීමට හේතු මොනවාද‘ මැයෙන් කතාව ඇරැඹූ මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා වර්තමාන සමාජය විෂම වී ඇති බවත්, ඒ විෂමතාව හේතු කොටගෙන දූෂණ, සොරකම්, කොල්ලකෑම් වැඩි වී ඇති බවත් කීය. බුදුන්වහන්සේගේ දේශනාව අනුව ගිහියකුගේ දිවිපෙවෙත ගත කළ යුතු ‘සම්මා ආජීව‘හෙවත් යහපත් දිවි පැවැත්ම අද සමාජයෙන් අතුරුදන් වී ඇති බවද පැවසූ මහාචාර්යවරයා මෙවැනි තත්ත්වයක් උද්ගතවීමට හේතුව විවෘත ආර්ථිකය බවද පෙන්වා දුන්නේය. (විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ එවකට ජනාධිපතිවරයා ලෙස සිටි ජේ.ආර්. ජයවර්ධන මහතාය) ඒ සමඟම ශාලාවේ රැස්ව සිටි පිරිස අතුරින් හූ හඬ කිහිපයක් නැගුණි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාට එම හූ හඬ ගැටලුවක් නොවූයේ සෝභිත හිමියන්, ඉත්තෑපාන ධම්මාලංකාර නා හිමියන් ඇතුළු පිරිස වැඩම කර සිටි නිසාය. මහාචාර්යවරයා යළිත් දේශනය පවත්වන අවස්ථාවේදී ප්‍රේක්ෂකාගාරයෙන් වේදිකාවට පැමිණි අයෙක් ඉත්තෑපාන ධම්මලංකාර හිමියන්ට ළංව

‘මොනවද මේ මිනිහ මේ කියන්නේ, වහාම මේ කතාව නවත්වන්න කියන්න‘ යනුවෙන් පවසන ලදි. පැමිණි පුද්ගලයා දෙස නොරුස්නා ස්වභාවයෙන් බැලූ ඉත්තෑපාන ධම්මාලංකාර මහ නා හිමියෝ‘ඔහේ කවුද ඒ කතාව නවත්වන්න. මේ රැස්වීම පවත්වන්නේ අපේ අවශ්‍යතාවට‘ යනුවෙන් පිළිතුරු දුන්හ.

නිහඬව ගිය ඔහු විනාඩි කිහිපයකින් පැමිණ යළි පෙර කතාවම කියන්නට විය. මහා නාහිමියන්ගේ පිළිතුරද පෙර සේමය. වේදිකාවට පැමිණි තැනැත්තා ප්‍රේක්ෂකාගාරයේ සිටින තම සහචරයන්ට යම් සංඥාවක් ලබා දුණි. වේදිකාවට කඩා පැන පොලු මුගුරු අතට ගත් මේ පිරිස සෝභිත හිමි ධම්මාලංකාර හිමි ඇතුළු පිරිසට ද හිංසා වන සේ හැසිරුණු අතර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාට කරදර කළහ.

සරච්චන්ද්‍ර මහතා බේරා ගැනීමට ඉදිරිපත් වූ සෝභිත හිමියන්ටද කරදර කර උන්වහන්සේ තල්ලු කර දමනු ලැබීය. සරච්චන්ද්‍ර මහතා එළියට ඇදගෙන ගිය පිරිස ඔහු කානුවට ඇද දමා යළිත් ශාලාව තුළට කඩා වැදුණි. ශාලාවේ රැස්ව සිටි පිරිසද ඒ මේ අත දිවගියේ මැර ප්‍රහාරයෙන් බේරිමටය. මැරයෝ රැස්වීම් ශාලාවේ පුටු පොළොවේ ගසමින් ශබ්ද විකාශන යන්ත්‍රද කඩා බිඳ දමමින් මහත් හානියක් කළහ.

එළි මහනේ තිබූ සෝභිත හිමිගේ මෝටර් රථයටද අලාභ කර තිබිණි. මෙම ප්‍රහාරයේදී සෝභිත හිමියන්ට අමතරව සිංහල බල මණ්ඩලයේ භාණ්ඩාගාරික එස්. පී. සේනාරත්න, නුගේගොඩ සිරිසේන එදිරිසිංහ, ආචාර්ය තිලක් කාරියවසම් යන මහත්වරුන් සහ පනානේ විනයවංශ හිමියෝද තුවාල ලැබූහ. ශාලාවේ සිටි පිරිසට පහරදී එහි පුටු දොර ජනෙල්වලටද හානි සිදුකළ මැර පිරිස් රැස්වීම කඩාකප්පල් කිරීමෙන් පසු ඉවත්ව ගියහ. මෙම මැර ප්‍රහාරය ඡායාරූපගත කරමින් සිටි මාධ්‍යෙව්දී ඡායාරූප ශිල්පී විමලසිරි ජයලත් මහතාගේ කැමරාවද මැර පිරිස් උදුරා ගත්තේ ඔහුටද පහර දීමෙන් පසුවය.

රැස්වීම කඩාකප්පල් කිරීමෙන් පසු රැස්වීම් ශාලාවේ ඉතිරි වී තිබුණේ කඩා බිඳ දමනු ලැබූ පුටු, කුඩ, සෙරෙප්පු හා ගැලවී ගිය සිවුරක් පමණි. ප්‍රහාරයෙන් පසු මැර පිරිස විසිර ගොස් තිබිණි.

පසුව මාදුළුවාවේ සෝභිත හිමියන් පෙරටු කර ගෙන භික්ෂුන් වහන්සේලා කිහිප නමක් සහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ගාමීණි කීර්තිචන්ද්‍ර ඇතුළු පිරිසක් ද කුරුඳුවත්ත පොලිසියට ගොස් මේ සිද්ධිය පිළිබඳව පැමිණිලි කළහ.මේ අවනඩුව පොලිසියට ගෙන ගියත් පොලිස් නිලධාරීහු පැමිණිල්ල පවා ලියා නොගැනීමට අකාරුණික වූහ. සෝභිත හිමියන් යනු එවන් සිද්ධීන් ගෙන් නැවැත්විය හැකි චරිතයක් නොවීය. එසේ වුවත් එම සිද්ධිය අද පවා බොහෝ දෙනා කතා කරන මහත් ආන්දෝලනයට පත් වූවකි. අද අපට පොලිස් ප්‍රහාර කදුළු ගෑස් ප්‍රහාර උද්ඝෝෂණ අලුත් දෙයක් නොවන නමුත් එදා ජනතාවට එය විශාල සිදුවීමක් විය.

මෙම රැස්වීමට පහරදී එය කඩාකප්පල් කිරීම සඳහා 500 ක පමණ පිරිසක් ලංගම බස් රථවලින් ගෙන්වා තිබූ බවත් පසුව හෙළිවිය. ඒ සෝභිත හිමියන්ගේ ඉදිරි ගමන වැළැක්වීම සඳහාය.

එය වැළැක්වීමට හැකි වීද


පසුගිය සතියෙන් - මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ - චරිතාපදානය-5

 

 මැදින් පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය මාර්තු 15 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.12 ට ලබයි. 16 වන දා බදාදා පූර්ව භාග 10.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වනදා අඟහරුවාදාය..

මීළඟ පෝය මාර්තු 22 වන දා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]