UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

චරිතාපදානය-5

මෙරට මෑත ශාසන ඉතිහාසයේ සුපේෂල ශික්ෂාකාමී හිමිනමක් වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ චරිතාපදානය බුදුසරණ පුවත්පතට සම්පාදනය කිරීම සඳහා තොරතුරු සැපයීමට මඟ පෙන්වන්නේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමිපාණන් වහන්සේ විසිනි.

ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙසින් සෝභිත හිමියන් ප්‍රසිද්ධ වීමත් සමඟම දෙස් විදෙස් බොහෝ දෙනෙක් උන් වහන්සේ සොයා පැමිණි බව අපි දනිමු. සෝභිත හිමියන් විසින් තමන් වහන්සේටම උරුම වූ දේශනා ශෛලියක් අනුගමනය කිරීමත් රජ මැදුරේ සිට දුගියාගේ කුඩා පැල්පත දක්වාම උන් වහන්සේ ධර්ම දේශනා පිණිස වැඩම කිරීම නිසාත් දන්නා නොදන්නා ඕනෑම අයකුගේ ආරාධනයක් උන් වහන්සේ විසින් භාර ගැනීම නිසා සමාජයේ කුමන තරාතිරමක අයකු අතර වුවද උන් වහන්සේ ජනප්‍රිය දේශකයාණන් වහන්සේ නමක් විය.

මේ සියල්ලටම වඩා උන් වහන්සේගේ ජනප්‍රියත්වයට හේතු වූයේ සමාජයේ අප දන්නා කතාවක් වුවත් ජාතක කතාවක් වුවත් උන් වහන්සේටම උරුම වූ අපූරු ශෛලියකින් දේශනා කිරීමයි.

ධර්ම දේශනාවලදී සෝභිත හිමියෝ අපූරු උපක්‍රම භාවිත කළහ. පැරැණි පොත පතින් උකහා ගත් දැනුම උන් වහන්සේ ශ්‍රාවකයා ට දේශනා කළේ තමන් වහන්සේ දේශනා කරනු ලබන ධර්මය වඩාත් පැහැදිලි කරනු පිණිසය. සමාජයේ සිටින විවිධ වර්ගයේ පුද්ගලයන්ද උන් වහන්සේ ධර්ම දේශනාව පිණිස උපයෝගී කර ගත්හ.

පෙර කී ලෙස අප කලින් අසා ඇති ඕනෑම ජාතක කතාවක් වුවත් අලුත් කතාවක් සේ ඉදිරිපත් කිරීමට උන් වහන්සේට තිබූ හැකියාව වෙනත් කිසිම ධර්ම දේශකයාණන් වහන්සේ නමකට තිබෙනවාදැයි සැක සහිතය.

උපමා කතා අවශ්‍ය තැනට ඒවා භාවිත කළහ. මේ සියල්ල වටා ධර්ම දේශනය හසුරුවා ගෙන කාලය කළමනාකරණය කර ගන්නට ද උන් වහන්සේට අපූරු හැකියාවක් තිබුණි.

සෝභිත හිමියන්ගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කළ පසු දින ගණනාවක් යන තුරුම එම ධර්ම දේශනයේ විවිධ කරුණු ඒ සමාජයේ විවිධ පිරිස් අතර නිරුතුරුවම කතා බහට ලක් වේ.

උන් වහන්සේගේ බොහෝ ධර්ම දේශනා කාලීනය. ඒවා සමාජ විවරණය. ඇතැම් විට දේශපාලන විග්‍රහයකි. ඇතැම් විට මනා ආර්ථික විග්‍රහයකි. ගෙදර අය - වැය කළමනාකරණය කර ගන්නට හොඳ දැනුම ලබා දීමකි.

උන් වහන්සේගේ ධර්ම දේශනාවක් පැය ගණනාවක් වුවත් අසා සිටින්නට හැකියාවක් අප සමාජයේ තිබුණි. ධර්ම දේශනාවේ දී වුවත් කිව යුතු දේ සුදුසු ඕනෑම තැනකදී දේශනා කරන්නට උන් වහන්සේ පසු බට නොවූහ. එය රජ ගෙදර වේවා, දුගී පැල්පත වේවා උන් වහන්සේට විශේෂයක් නොවීය.

සෝභිත හිමියන් ගේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කිසිවකු කාලය ගැන ප්‍රශ්න කරන්නේ නැත. බොහෝ දෙනාට අවශ්‍ය වන්නේ සෝභිත හිමියන්ගේ ධර්ම දේශනයටත් වඩා උන් වහන්සේ වැඩම කර වචන දෙක තුනක් හෝ කතා කිරීම පමණකි.

‘අපේ ගමට සෝභිත හාමුදුරුවෝ වැඩිය එකම ලොකු දෙයක්‘ මේ බොහෝ ගැමියන්ගේ හඬයි.

සෝභිත හිමියන් බොහෝ විට කල්වේලා ඇතිව ධර්ම දේශනයට විශේෂ කරුණු එකතු කර ගන්නට එතරම් කැමැත්තක් දැක් වූයේ නැත. ඇතැම් විට උන් වහන්සේගේ ධර්ම දේශනය ප්‍රදේශයේ පුද්ගලයන් සම්බන්ධව විය. නැත්නම් ප්‍රදේශයට උචිත පරිදි විය. උන් වහන්සේ කලකට පෙර ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන් සමඟ ගාල්ල ප්‍රදේශයේ විශේෂ ආගමික වැඩ සටහනක් පිණිස වැඩම කිරීමට වූහ. එදින පස්වරුවේ 5 සිට 6 දක්වා වු පැයක කාලයක් පාණදුර ප්‍රදේශයේ විහාරස්ථානයක ධර්ම දේශනාවක් ද විය.

උදෑසන ගිලන්පස ලබා ගැනීමට මග්ගොන ප්‍රදේශයේ ප්‍රසිද්ධ බිස්කට් අවන්හලක රථය නවත්වන ලදී.

ගිලන්පස වළඳා මෝටර් රථයට නැඟීමට පෙර එම අලෙවි සලේ තිබූ බිස්කට් වර්ග දහයක් දොළහක් පමණ සෝභිත හිමියෝ මිලදී ගත්හ. උදෑසන කාලයේ දුර ගමනක් වඩිනා විටදී බිස්කට් වැනි සුළු ආහාරයක් මග දිගට ටිකෙන් ටික ලබා ගෙන යාම උන් වහන්සේගේ සිරිතයි.

තමන් වහන්සේ මිලදී ගත් බිස්කට් වර්ග දෙස වරක් දෙවරක් හොඳීන් බැලූ සෝභිත හිමියෝ ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන් දෙසට හැරී. මෙසේ පැවසූහ.

‘අද හවස පාණදුරේදි බණ කියන්න ඕන මේ බිස්කට් වර්ග සම්බන්ධ කරගෙන‘

‘බිස්කට් වර්ගවලින් ඔබ වහන්සේ කියන බණ මොකක්ද ‘ අප මහා නාහිමිපාණන් වහන්සේ විමසූහ.

‘මේ බිස්කට් වර්ග ගණනාවක් තියෙනවනේ. ඇගිලි විස්කෝතු, ඉඟුරු විස්කෝතු, හුළං විස්කෝතු, සව්බොරව, විස්කිරිඤ්ඤ මේ වගේම මේ සමාජයේ ඉන්න මිනිස්සුත් විවිධාකාරයි. මේ සේරම බිස්කට් වර්ග වුණාට වර්ග වලින්, පෙනුමෙන් රසින් වෙනස්නේ. මිනිස්සුත් ඒ වගේ බෙදන්න පුළුවන්නේ. මේ පැත්තේ මිනිස්සු මේ බිස්කට් ගැනත් හොඳට දන්න නිසා ඒ ගැන කියන්නත් පහසුයි.

ගාල්ලේ පින්කම අවසන් වීමෙන් පසු මහ නාහිමියන් වහන්සේ සමග පාණදුර විහාරස්ථානයේ ධර්ම දේශනයට සෝභිත හිමියෝ වැඩම කළහ.

සෝභිත හිමියන්ගේ ධර්ම දේශනය නියමිත වේලාවටම ආරම්භ කෙරිණි. ධර්ම දේශනය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමිපාණන් වහන්සේද හොඳීන් අසා සිටියහ. සමස්ත ධර්ම දේශනයම බිස්කට් වලින් දේශනා කරන ලදී. සමාජයේ එක එක මිනිසුන් එදා උන් වහන්සේ මග්ගොන අවහන්හලෙන් මිලදී ගත් බිස්කට් වලට සම්බන්ධ කරමින් ධර්මය දේශනා කළහ. ඒ ධර්ම දේශනය ඇත්තෙන්ම බිස්කට් රසටත් වඩා අගනා බව ධර්ම දේශනයට සවන් දුන්නෝ පැවසූහ.

සෝභිත හිමියන්ගේ ධර්ම දේශනා කාල සටහන පුදුමාකාරය. උදය වරුවේ අවම වශයෙන් ධර්ම දේශනා දෙකකි. හවස් වරුවේ ධර්ම දේශනා දෙකකි. රාත්‍රියේ ධර්ම දේශනා තුනකි. ඒ අනුව දිනකට ධර්ම දෙශනා 7ක් පමණ වේ. සාමාන්‍ය ධර්ම දේශකයාණන් වහන්සේ නමකට මේ අයුරින් ධර්මය දේශනා කිරීම සිතා ගැන්මටත් අපහසුය.

සති අන්නයේ මේ තත්ත්වය තවත් වැඩිය. සෝභිත හිමියන්ගේ මේ ධර්ම දේශනා කාල සටහන දන්නා පිරිස් අතළොස්සකි.

ඇතැම් විට අද ධර්ම දේශනය අනුරාධපුරයේය.හෙට මාතරය.

එක් ධර්ම දේශනාවකට වැඩම කර නාග විහාරයට වැඩම කරන උන් වහන්සේ ‘ඉවරයක් නෑනේ බණ කියලා, ආයිත් යන්න එපැයි‘ දැඩි වෙහෙස නිසා යම් නොසතුටක් පළ කරති. යළිත් නැඟී සිට ‘ඒක ඉතින් අපි කරන්නම ඕනනේ ‘ යනුවෙන් පවසා යළිත් ධර්ම දේශනයකට වැඩම කරති. මේ සෝභිත හිමියන් මෙරට ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙසින් ඉතා සුළුතරයක් හැරෙන්නට අනෙක් බොහෝ දෙනා නොදන්නා ලෙසින් ධර්මය දේශනා කළ ආකාරයයි.

ධර්ම දේශනයෙන් නොනැවතී සෝභිත හිමි ජාතික සටන්වලට පෙරමුණ දුන් ආකාරය මැදින් පුර අටවක පෝදා බුදුසරණ පත්‍රයෙන් කියවමු.

ලියන්නේ


පසුගිය සතියෙන් - මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ - චරිතාපදානය-4

 

 නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 08 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.34 ට ලබයි. 9 වනදා බදාදා පූර්ව භාග 07.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 08 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 15 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]