UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙලිතුඩින් දහම් රස මවන සිතුවම් ශිල්පියා සරත් නන්දකුමාර

තෙලිතුඩින් දහම් රස මවන සිතුවම් ශිල්පියා සරත් නන්දකුමාර

බුදුසරණ පුවත්පතේ චිත්‍ර ශිල්පී සරත් නන්ද කුමාරගේ ප්‍රථම ඒක පුද්ගල බෞද්ධ චිත්‍ර ප්‍රදර්ශනය “සිත් සනසන රූ” නමින් මාර්තු මස 4 දින ප.ව.3.00 ට විවෘත වන අතර 5 හා 6 යන දිනයන්හි පෙ.ව.9.00 සිට ප.ව.7.00 දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී නොමිලයේ පැවැත්වේ. අගනුවර දී චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වීම ඉතා සුලබ සිද්ධියක් වුව ද මෙය අතිශයින් දුලබ අත්දැකීමක් වනු නිසැකය. එය එසේ වන්නේ ඇයි?

එම දුලබ ගුණය නිවැරැදිව අවබෝධ කැර ගැනීම සඳහා චිත්‍ර කලාව පිළිබඳ නිර්වචනයක්, ශ්‍රී ලාංකේය චිත්‍ර කලා ඉතිහාසයත්, බෞද්ධ චිත්‍ර කලා සම්ප්‍රදාය යටතේ සරත් නන්දකුමාර නමැති සිතුවශිල්පියා දක්වා ඇති කුසලතාවන් ද දැන සිටීම වැදගත් ය.

චිත්‍ර ශිල්පියකු ලෙස සරත් නන්ද කුමාරයන්ගේ ප්‍රතිභාව වඩාත් ඉස්මතු වූයේ බුදුසරණ පුවත්පතෙහි කවර සඳහා ඔහු කළ නිර්මාණ වලින් යැයි කිව හැකිය. මා කතුවරයා වශයෙන් සිටිදී 2004 සැප්තැම්බර් මස 28 වන දා බුදුසරණ බිනර පොහොය කවරය නිර්මාණය කිරීම සඳහා පවරණ ලද වගකීමෙන් එම ගමන ඇරැඹිණ,. දශකයකට අධික කාලයක් පුරා ඔහුගේ සිතුවමින් හැඩවුණු බුදුසරණ කවර සංඛ්‍යාව විශාල ය.

බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය හා ස්වභාෂා අධ්‍යාපනය නිසා ඇති වූ සමාජ පරිසරය මඟින් නූතන බෞද්ධ කලා රසික ප්‍රජාව, නිර්මාණය වූ බව අමුතුවෙන් කිව යුතු නැත. එබඳු කලා රසික ප්‍රජාවක් වෙත ගමන් කිරීම සඳහා දැවැන්ත පාලමක් නිර්මාණය කළ බෞද්ධ චිත්‍ර ශිල්පියා වන සෝලියස් මැන්දිස් (1897-1975) පිළිබඳව මෙහි දී සඳහන් කිරීම වැදගත්ය.

නාත්තන්ඩිය සුමනකුසුමාරාම විහාරයේ සිට කැලණි රජමහා විහාරය දක්වා පැමිණ නව නිර්මාණ චාරිකාව අතරතුර සෝලියස් මැන්දිස් ඉන්දියාවේ දී සිතුවම් කලාව හැදෑරූ බව කිව යුතුය. ඔහුගේ නිර්මාණ ප්‍රගතියේ සැබෑ රහස ඇත්තේ ඉන්දියාවේදී ලද කලා අධ්‍යාපනයයි. එහෙත් සරත් නන්ද කුමාර සිතුවම් කලාවට පිවිසියේ එබඳු රතු පලසක් මත නො වේ.

බොරැලැස්ගමුව මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ආරම්භ කළ සරත් නන්දකුමාර හයවන වසරේදී පැපිලියාන සුනේත්‍රාදේවි විද්‍යාලයට ඇතුළත් වි තිබේ. එහි වසර දෙකක් අධ්‍යාපනය හදාරා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට යාමට ඔහුට සිදු විය. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එහි දී සමත් වූ ඔහුට චිත්‍ර කලා විෂය සඳහා විශිෂ්ට සාමාර්ථයක් ලැබිණ.

එකල බිහි වූ සතුට නමැති චිත්‍ර කතා පුවත්පතෙන් ආභාෂය ලැබූ ඔහු එම පුවත්පතේ චිත්‍ර ශිල්පියකු වූ නොයෙල් ලසන්ත හඳුනා ගත්තේය. නොයෙල් ලසන්ත ඇසුරෙන් යම් දැනුමක් ලබාගත් ඔහුට නිසි මඟ පෙන්වීමක් ලැබුණේ සිරිපාල කත්‍රිආරච්චි ගෙනි. ලේක්හවුස් ආයතනයේ චිත්‍රශිල්පියකු ලෙස සේවය කළ සිරිපාල කත්‍රිආරච්චි ආධුනිකයන්ට සිය දැනුම බෙදා දුන් සැබෑ ගුරුවරයකු ලෙස ප්‍රකටය. සිරිපාල කත්‍රිආරච්චිගේ සෙවණේ 1975 සිට වසර තුනක් පමණ ශාස්ත්‍රානුකුලව චිත්‍ර කලා දැනුම ලබා ගත් සරත් නන්ද කුමාර තරුණයා, තමාම නිර්මාණය කළ එක්දින චිත්‍රකතාවක් රැගෙන සතුට පුවත්පතට ගොස් තිබේ. එහි දීද ඔහුගේ මඟ පෙන්වන්නා වූයේ සිරිපාල කත්‍රිආරච්චි සිත්තරාය. ඔහු රැගෙන ගිය චිත්‍ර කතාව සතුට පුවත්පතේ පළ නො කළ ද ඔහු ගැන පැහැදුණු එම පුවත්පතේ කතුවරයා වූ ග්‍රැන්විල් සිල්වා මොහුගේ අනාගත ගමනට මග විවර කැර දුන්නේය. අජන්තා රණසිංහ නමැති ප්‍රවීණ පුවත්පත් කලාවේදියා ලියූ,ආදරණීය වසන්ති චිත්‍ර කතාවෙන් ඔහුගේ ගමන අරඹිණ, තැපැල් දෙපාර්මේන්තුවේ තමා කළ රැකියාවෙන් ඉවත් වූ ඔහු (1979 දී ලේක්හවුස් ආයතනයේ සේවයට පැමිණියේ ය. සතුට පුවත්පතේ ස්ථිර සේවයට 1980 අගෝස්තු මස 01 වන දා බැඳුණු ඔහු අදටත් ලේක්හවුස් චිත්‍ර ශිල්පියෙකි.

සතුට පුවත්පත පසුව මධූර බවට පත්වු අතර මධූර 2000 වසරේදී වැසී ගියේය. ඉන්පසු දිනමිණට අනුයුක්ත කළ ඔහු 2003 දී තාවකාලික ව බුදුසරණට පැමිණ තිබේ. 2004 වසරේදී බුදුසරණ ඔහුගේ නවාතැන ලෙස ස්ථිර කෙරිණ.

සරත් නන්ද කුමාර නමැති චිත්‍ර ශිල්පියාගේ නිර්මාණාත්මක ගුණය වඩාත් හොඳින් ඉස්මතු වන්නේ එකම මාතෘකාව නැවත නැවතත් චිත්‍රණය කිරීමේදි ය. ජය ශී‍්‍ර මහා බෝධිය සිරිලකට වැඩම කිරීම හෝ මහින්දාගමනය වැනි කුමන මාතෘකාව යටතේ යළි යළිත් බුදුසරණ කවරය සඳහා සිතුවම් නිර්මාණය කළද ඒවායේ සියුම් වෙනස්කම් දක්නට ලැබේ. ඇතැම් විට එකම සිදුවීම කෝණ කිහිපයකින් රූපගත කළා වැනිය. ඔහුගේ මෙම විශිෂ්ට හැකියාව බුදුසිරිත සිතුවම් පෙළ ඔස්සේ ප්‍රකට කරමින් සිටී.

සරත් නන්දකුමාර සිය චිත්‍ර සඳහා යොදා ගන්නා වර්ණ පවා අපූරුය. ඒවායේ පසුබිම අලංකාර කිරීම පිණිස කල්පිත පුෂ්ප ආදිය යොදා ගැනීමක් බොහෝ විට දක්නට ලැබේ. කාලය හා අවකාශය දැක්වීමට යොදාගන්නා උපක්‍රමද විශිෂ්ට ශිල්පීය දක්ෂතා ප්‍රකට කරයි. භික්ෂූන්ට කඨින ඇතිරීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ අවස්ථාව නිරූපණය කිරීම (වප් පොහොය -2010) උදාහරණ වශයෙන් ගැනීමට පුළුවන.

දම්සක් පැවතුම් සුතුර දෙසූදා චිත්‍රනය කළ අවස්ථා දෙකක් කෙරෙහිද පාඨක අවධානය යොමු කිරීම මැනවැයි සිතමි. මුව වනයෙහි ඉතා ස්වාභාවික දර්ශනීය පරිසරයක ගසක් මුල වැඩ සිටින බුදුරදුන් ඉදිරියේ පස්වග මහණුන් කුතුහලයෙන් යුතුව හිඳ සිටින අයුරු 2005 ජූලි 21 වන දා ඔහු සිතුවම් කැර ඇත. ඔහු යළි 2011 ජූලි 14 වන දා එම අවස්ථා නිරූපණය කැර ඇත්තේ සඳ පායා ඇති මොහොතක බුදුරදුන් අබියස බැතියෙන් වැඳගෙන සිටින පස්වග මහණුන්ය. දිව්‍යාංගනාවන් අහස් කුසෙහි සිට බුදුන් වහන්සේ වෙත ගෞරව දක්වන ආකාරය එහිදී නිරූපණය කොට තිබේ. කාලය හා අවකාශය කෙරෙහි පමණක් නොව චරිත ඉදිරිපත් කරන කෝණ කෙරෙහි ද ශිල්පියා දක්වන අවධානය අගය කළ යුතුය.

සරත් නන්ද කුමාර ගේ අනන්‍යතාව වඩා හොඳින් ප්‍රකට කළ අවස්ථාව ලෙස මහින්දාගමනය සිතුවම සැලකීම වරදක් නොවේ. රටේ බොහෝ ප්‍රදේශවල පොසොන් දින දන්සැල් හා වෙනත් පින්කම් පැවැත්වෙන අවස්ථාවන්හිදී මේ සිතුවම ඩිජිටල් තාක්ෂණයෙන් විශාලනය කොට ප්‍රදර්ශනය කිරීම සුලබ දසුනකි. රූපවාහිනි මාධ්‍යයෙන්ද මහින්දාගමනය සිතුවම බොහෝ විට විකාශනය කෙරේ. එය අන්තර්ජාලය ඔස්සේද යළි යළිත් උපුටා දක්වනු ලබන චිත්‍රයකි.

සරත් නන්ද කුමාර විසින් බෞද්ධ තේමාවන් යටතේ තෙල්සායම්, දියසායම්, පැස්ටල්, ඇක්‍රලික් හා ඉන්දියන් ඉන්ක් වැනි විවිධ මාධ්‍යයන් උපයෝගී කොට ගෙන අඳින ලද චිත්‍ර සියයක් පමණ මේ චිත්‍ර ප්‍රදර්ශනයට ඇතුළත්ය. බුදුසරණ පුවත්පත සඳහා අඳින ලද මාතෘකා පමණක් නොව නවතම මාතෘකා ද සිත්සනසන රූ තේමාවට ගැළපෙන පරිදි ඊට යොදා ගෙන තිබේ.

සරත් නන්ද කුමාර සතු චිත්‍ර කලා ප්‍රතිභාව සලකා බලන කල ඔහු පුවත්පත් චිත්‍ර ශිල්පියකුට සීමා වී සිටීම කණගාටුවට කරුණකි. විහාර බිතුසිතුවම් කලාවට විශාල සේවයක් කිරීමේ හැකියාව ඔහු සතුව තිබේ. මෙම චිත්‍ර ප්‍රදර්ශනය ඔහුගේ අනාගත නිර්මාණ දිවියට පිවිසෙන සුබ මොහොත වේවායි පතමි.

 

 නවම් පුර පසළොස්වක පෝය

   නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 21 වන දා ඉරිදා අපරභාග 10.34 ට ලබයි. 22 වනදා සඳුදා අපරභාග 11.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 22 වනදා සඳුදාය.

මීළඟ පෝය මාර්තු 01 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]