UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නෙත් සිත් පහන් කරවන කොළඹ නවම් මහා පෙරහර

නෙත් සිත් පහන් කරවන කොළඹ නවම් මහා පෙරහර

ගල්බොඩ ඤාණිස්සර නා හිමි

මෙරට භාෂා සාහිත්‍යයට අත්‍යුදාර මහඟු මෙහෙවරක් ඉටුකළ ශ්‍රේෂ්ඨ සංඝපීතෘන් වහන්සේ නමක් ලෙස ශාසන වංශ කතාවේ සඳහන් කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන පිහිටුවා වදාළ බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර පවතින විහාරස්ථානයකි කොළඹ ගංගාරාම මහා විහාරස්ථානය. හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමිපාණන් වහන්සේගේ සුරතින් රෝපණය කර ගංගාරාම පුණ්‍ය භූමියෙහි වැඩ වසන බෝධීන් වහන්සේගේ ආශිර්වාදය පතා දෙනෝ දහස් දෙනා එම බෝධි වන්දනාවේ නිරත වනුයේ අපමණ අනුහස් එහි ඇති හෙයිනි. ශ්‍රී සුමංගල නායක මාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යරත්නය දෙවුන්දර ශ්‍රී ජිනරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගංගාරාම විහාරස්ථානය අරඹා ශාසනික කටයුතු සිදු කර ඇත.

කොළඹ නගරයට අලංකාරයක් ගෙන දීම සඳහා ගංගාරාම විහාරස්ථානය යුගයේ අවශ්‍යතාවය අනුව නවීකරණය වී ශ්‍රී ලාංකේය. ජනතාවගේ ආගමික හා ශාසනික කටයුතු ජාතික මෙහෙවර හා සංස්කෘතික සුවිශාල මෙහෙවරක් ඉටුකරනු ලබන මහා ප්‍රතාපවත් ඓතිහාසික විහාරස්ථානයක් බවට ගොඩ නැඟී තිබේ.

හික්කඩුවේ නායක මාහිමියන් වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරේ තවත් සුවිශේෂ වූ යතීන්ද්‍රයන් වහන්සේ නමකි ගංගාරාමයේ වත්මන් විහාරාධිපති ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙරට සියලු දෙනා උන්වහන්සේ හඳුන්වනු ලබන්නේ ‘පොඩි හාමුදුරුවෝ’ නමිනි. පොඩි හාමුදුරුවන්ගේ නමකී පමණින් ගංගාරාමයත්, ගංගාරාමයේ නම කී පමණින් පොඩි හාමුදුරුවෝත් සිහියට නැගෙනුයේ ගංගාරාමයේ වත්මන් නවෝදයේ නිර්මාතෘන් වහන්සේ උන්වහන්සේ වන හෙයිනි. “පොඩි හාමුදුරුවෝ” ලෙස උන්වහන්සේ එසේ හඳුන්වනු ලබන්නේ උන්වහන්සේගේ වයස අවුරුදු දහසයේ දී ස්වකීය ගුරු දේවයන් වහන්සේගේ දෑස නොපෙනීම මත විහාරස්ථ පරිපාලනය උන්වහන්සේගේ දෙවුරට පැමිණීම හේතුවෙනි. එසේ පැවරී තිබූ භාරධූර කාර්යය උන්වහන්සේ ඉතා දක්ෂ ලෙස ඉටුකර තිබේ.

වත්මන්හි ගංගාරාම විහාරස්ථානයේ යම් දියුණුවක්, අභිවෘද්ධියක්, සංවර්ධනයක් සිදුවී තිබේ නම් ඒ උන්වහන්සේගේ ශක්තියේ සහ කැපවීමේ වික්‍රමය හෙවත් ප්‍රතිඵලයයි.

ගංගාරාම විහාරස්ථානය මූලිකකර ගනිමින් කොළඹ නගරයේ පවත්වන ලද පෙරහරක් අතීතයේ දී පැවැති අතර එය ඇසළ පෙරහර නමින් හඳුන්වා තිබේ. එසේ ඇරැඹුණු පෙරහර විවිධ ගැටලු හමුවේ අතරමග නතරවී ගියේ ය. අනතුරුව ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ආරම්භ වන්නේ 1978 දී ආර්. ප්‍රේමදාස අගමැතිතුමාගේ මූලිකත්වය ඇතිවය. කොළඹ නගරයේ පෙරහරක් නොතිබූ යුගයක මෙරට වෙනත් පෙරහරක් නොපැවැති සමයක ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර පැවැත්වේ. කොළඹ නවම් මහා පෙරහර නැරඹීම ස ඳහා මේ වන විට මෙරටට විදේශිකයන් බහුලව පැමිණෙන සමයක් වී ඇත.

සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේ දෙනටම අග්‍රශ්‍රාවක තනතුර පිරිනැමූ ඓතිහාසික ආගමික දිනය නවම් පුර පසළොස්වක පොහොය දවසයි. ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවූ ඓතිහාසික දිනය ද මෙම නවම් පුන් පොහොයයි. එවන් වූ ශාසනික ඓතිහාසික අනුස්මරණීය සිද්ධීන් ලොවට සිහිපත් කරවමින් තෙරුවන් වෙත පිදෙන පූජෝපහාරයක් ලෙස නවම් මහා පෙරහර වීදි සංචාරය කිරීම සුවිශේෂී වෙයි. පෙරහරක් තුළ දක්නට ලැබෙන සියලු අංගෝපාංග නවම් මහා පෙරහර තුළ අන්තර්ගතය. මෙරට පැවැත්වෙන කිසිදු පෙරහරකට නොදෙවැනි අයුරෙන් පෙරහර සංවිධානය කර වීදි සංචාරය කිරීමට කටයුතු යොදා ඇත.

නවම් මහා පෙරහර ඉතා උසස් අයුරෙන් ඉෂ්ට සිද්ධ කරන්නකි. එක් වසරක ඇතුන් 27 ක් ඇතුළත්ව අලි ඇතුන් 169 ක් කොළඹ නවම් පෙරහරට සම්බන්ධවීම නවම් පෙරහර තබා ඇති වාර්තාවක් ලෙස සැලකිය හැකිය.

ආචාර්ය කිරින්දේ අස්සජි හිමි

කොළඹ නවම් මහා පෙරහරේ දී ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සධාතුක කරඬුව හා පිළිම වහන්සේ, ශ්‍රී සද්ධර්මය වෙනුවෙන් ධර්ම පුස්තක, ධර්ම සජ්ඣායනා කරමින් වැඩම කරවන ස්වාමීන් වහන්සේලා සහ ඊට අමතරව මහ සඟරුවන යන තුණුරුවනම නියෝජනය වන පෙරහරකි. කොළඹ නවම් මහා පෙරහර වෙනුවෙන් ඔබ යම් ආධාරයක් කරනවාද, ඒ මුදල නවම් මහ පෙරහරේ ගමන් කරන සංස්කෘතිකාංග ඉදිරිපත් කරන නර්තන ශිල්පීන්ගේ සංවර්ධනය වෙනුවෙන් වැය කෙරේ.

අපේ අනන්‍යතාවය විදහා දැක්වෙන උඩරට, පහතරට, සබරගමු ආදී විවිධ නර්තන සම්ප්‍රදායන් අප රට තුළ දක්නට ලැබීම අපේ රටේ කලාව, සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට ලබාදෙන ශක්තියක් වනු ඇත.

කොළඹ නවම් මහා පෙරහර ගංගාරාම විහාරස්ථ ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ තරුණ දරුවන්ගේ ශක්තිය විදහා දැක්වෙන අවස්ථාවක් ද වේ. ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ තුන් දහසකට ආසන්න දරුවන් මෙම පෙරහරේ සියලු කාර්යයන් සිදු කරනු ලැබේ. ජාති ආගම් භේදයෙන් තොරව සියලු ජාතීන්ට අයත් විවිධ ආගම් අදහන දරුවන් කොඩි සේසත් රැගෙන නවම් මහා පෙරහරේ දෙදින පුරා ගමන් කරනු ලැබේ.

කොළඹ ජීවත්වන බොහෝ දෙනා ජාති ආගම් භේදයෙන් තොරව මෙම පෙරහරේ කොටස් කරුවන් වී තිබේ.

ගංගාරාම විහාරස්ථානය විශේෂයෙන් තරුණ පරම්පරාව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ හා දැනුදු ඉටුකරන විහාරස්ථානයකි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නිසි ලෙස සමත් නොවූ දරුවකු තුළ පවතිනුයේ මහා අනියත බියකි. එවැනි පිරිස් විවිධ අතරමංවීම් තුළට ද යොමු විය හැකිය. දරුවකුට තම අනාගතය පිළිබඳව සුබවාදීව බැලීමට දරුවා වෙත වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීම කුසලතාවන්ගෙන් පිරි දක්ෂතාවයන්ගෙන් හෙබි දරුවන් මෙරටට නිර්මාණශීලී යමක් දායාද කිරීමට මේ වන විට පාඨමාලා 50 කට වැඩි සංඛ්‍යාවකට සිසුන් තුන් දහසක් පමණ පිරිසකට අධ්‍යාපනය, පුහුණුව ලබා දෙන ආයතනයකි ජිනරතන කාර්මික විද්‍යාලය.

ජිනරතන කාර්මික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති පිරිස ලක්ෂ ගණනකි. එසේ අධ්‍යාපනය ලැබූ දරුවන් ලොව විවිධ රටවල සේවයේ යෙදෙමින් මෙරටට මුදල් එවනු ලැබේ. මෙරට බොහෝ ප්‍රදේශවල සංචාරය කරන විට ඒ සිසුන් තමන්ගේම ව්‍යාපාරික ස්ථාන අරඹා කටයුතු කරන අවස්ථා දක්නට ලැබේ.

ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍රකරගෙන විවිධ ප්‍රදේශවල එහි ශාඛා, ප්‍රශාඛා බිහිකර ඇත. කතරගම විශ්‍රාම ශාලාව නොමිලයේ පහසුකම් සපයන ස්ථානයකි. එබඳු ස්ථාන නොමිලයේ පවත්වාගෙන යාම සුළුපටු කරුණු නොවේ. වැඩිහිටි නිවාස, වීදී දරුවන් ආබාධිත දරුවන් වෙනුවෙන් නිවාස ආදිය වෙනුවෙන් සහ ඒ දරුවන්ගේ ආරක්ෂාව හා අනාගතය වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටුවේ.

ශාසනික වශයෙන් කුඩා දරුවන් පැවිදිකර එම සාමණේරයන් වහන්සේලා වෙත ශිෂ්‍යත්ව ලබාදී අධ්‍යාපනය ලබාදීම, ප්‍රාචීන භාෂා ශිෂ්‍යත්ව ලබාදෙමින් ස්වාමීන් වහන්සේලාට පෙරදිග භාෂා ඉගැන්වීම පුහුණු කිරීම මෙරට පිරිවෙන්වල භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය පහසුකම් සලසාදීම ආදිය සඳහා මහත් පරිශ්‍රමයක් දරා ඇත.

පිණ්ඩපාතයේ වැඩම කරවීමට පාත්‍ර නොතිබූ යුගයක මළ නොබැඳෙන පාත්‍ර තායිලන්තයෙන් ගෙන්වාගෙන පූජා කළ අතර ගෞරවනීය මහා සංඝරත්නය හරහා ආධ්‍යාත්මික සුවයක් ළඟා කර දීමටත් මානසික සංවර්ධනයක් සඳහා ද විශාල දායකත්වයක් දරා ඇත. එදා පටන් පොත පත මුද්‍රණය කරමින් ද අපේ රටේ භාෂා සාහිත්‍යයේ ප්‍රවර්ධනයටද ගංඟාරාම විහාරස්ථානය මඟින් ඉමහත් මෙහෙවරක් සිදුකර ඇත.

පෞරාණික දේ විකිණෙන කාලවකවානුවලදී මුදල් තිබූ නිසා නොව එසේ විකිණෙන දේ කෙසේ හෝ ආරක්ෂා කර ගැනීමට ඒකරාශී කරන ලදී. අද ගංගාරාමය නරඹන ඕනෑම අයෙකුට පෙනී යන්නේ මහා කෞතුකාගාරයක් වැනිය. දිනකට ගංගාරාමය නැරැඹීමට දහස් ගණනක් පැමිණේ. ඒ අතර පාසල් සිසුන් මෙන්ම විදේශිකයන්ද වේ.

ජාතික, ආගමික සංස්කෘතික හා සාමාජික වශයෙන් බලනකල ගංගාරාම විහාරස්ථානය ජාති ආගම් කුල ආදී භේද නොසලකන විහාරස්ථානයකි. රාජ්‍ය නායකයන් එදා සිට විහාරස්ථානයට සම්බන්ධ විය.

එමෙන්ම පෙරහරට සම්බන්ධ වීමටත් කරඬුව හස්තියා මත තැන්පත් කිරීමටත් රාජ්‍ය නායකයන් සහභාගි වූහ. මෙවරත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් පෙරහර කරඬුවතැන්පත් කිරීමට නියමිතව තිබේ. නවම් මහා පෙරහර මෙම මස 21 සහ 22 දිනවල රාත්‍රී වීදි සංචාරය කෙරේ.

 

 

 නවම් පුර පසළොස්වක පෝය

   නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 21 වන දා ඉරිදා අපරභාග 10.34 ට ලබයි. 22 වනදා සඳුදා අපරභාග 11.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 22 වනදා සඳුදාය.

මීළඟ පෝය මාර්තු 01 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]