UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලේක්හවුස් ආදි කර්‍තෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණෝ

ලේක්හවුස් ආදි කර්‍තෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණෝ

ලේක්හවුස් ආයතනයේ ආදි කර්තෘ දිවංගත ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්

ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ මහගෙදර ලෙස විරුදාවලී ලබා ඇති ලේක්හවුස් ආයතනයේ ආදි කර්තෘ දිවංගත ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ජාතික නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙසත් උසස් බෞද්ධ ජන නායකයෙකු සහ දානපති පරිත්‍යාගශීලියෙකු ලෙසත් හැඳින්විය හැකිය.

ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ මහගෙදර ලෙස විරුදාවලී ලබන ලේක්හවුස් ආයතනයේ ආදි කර්තෘ දිවංගත ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ජාතික නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙසත් උසස් බෞද්ධ ජන නායකයෙකු සහ දානපති පරිත්‍යාගශීලියෙකු ලෙස හැඳින්විය හැකිය.

කැලණිය ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරයේ වත්මන් ශ්‍රී විභූතිය ඇති කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක නිරතවූ සේදවත්ත වලව්වේ හෙලේනා විජයවර්ධන සහ ඩී.පී විජයවර්ධන මුහන්දිරම් දම්පතීන්ගේ දයාබර තෙවැනි පුත්රුවන ලෙස 1886 පෙබරවාරි 23 වැනිදා ඩී.ආර්. විජයවර්ධන කුමරුවා මෙලොව උපත ලැබුවේ ය.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඩී.ආර්. විජයවර්ධන කුමරුවා අනතුරුව උසස් අධ්‍යාපනය ලැබීම සඳහා බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහිදී නීතිය සහ දේශපාලනය පිළිබඳ උපාධිය හැදෑරුවේ අධිනීතිඥවරයෙකු වීමේ අටියෙනි. ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ එම අපේක්ෂාව මල්ඵල ගැන්විණි. නීති උපාධිය ලබා 1912 දී මෙරටට නැවත පැමිණි එතුමා තම පුවත්පත් සිහිනය සැබෑ කරගත්තේ ය.

1909 .12.17 වන දා ඇරැඹුණු ‘දිනමිණ’ පත්‍රය එහි අයිතිකරුගෙන් ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් 1914 දී මිලයට ගත්තේ ය. අනතුරුව එය තමන්ගේ අධීක්ෂණයෙන් පළ කරන්නට විය. වසර කිහිපයක් ඇතුළත එය මෙරට නොයෙක් දිසාවල දහස් සංඛ්‍යාත ජනකායක් දිනපතා කියවන පුවත්පතක් බවට පත් කළේ ය. 1918 දී ඒ මහතා ‘සිලනිස්’ නම් ඉංගී‍්‍රසි පුවත්පත මිලට ගෙන එය ‘ඩේලිනිව්ස්’ නමින් පළ කරන්නට විය.

“ඔබ්සර්වර්” පුවත්පතද ඔහු මිලට ගත්තේ ය. ‘සිළුමිණ’ නමින් 1930 දී ඉරිදා පුවත්පත ආරම්භ කළේ ය. සිංහල භාෂාවෙන් කියවන පාඨක පිරිසකට සහ ඉංගී‍්‍රසි භාෂාවෙන් කියවන පාඨකයනට පුවත්පත් තිබුණත් දමිළ පාඨකයින් සඳහා පුවත්පතක් නොමැති අඩුව අවබෝධ කර ගත් ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ‘තිනකරන්’ පුවත්පත 1932 දී ආරම්භ කළේ ය. ‘වාරමංජරී’ නමින් දමිළ ඉරිදා පුවත්පතක්ද ඒ මහතා විසින් අරඹන ලදී.

මුහන්දිරම් ඩී.පී විජයවර්ධන මැතිතුමා

හෙලේනා විජයවර්ධන මැතිණිය

එම පුවත්පත්වල කර්තෘ මණ්ඩල හා අනෙකුත් අංශවල මෙන්ම යන්ත්‍රෝපකරණ ආදියද එක් ගොඩනැගිල්ලක් තුළට ගෙන ඒම සඳහා විජයවර්ධන ශ්‍රීමතාණන් විසින් කොළඹ කොටුවේ සුවිශාල හා අලංකාර මන්දිරයක් තැනවීය. කොළඹ කොටුවේ ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටා තිබෙන ලේක්හවුස් මන්දිරය ගොඩනැඟුණේ ඒ ආකාරයටය. විජයවර්ධන ශ්‍රීමතාණන් තම පුවත්පත් මඟින් ජනතාවට තොරතුරු දැනුම, අවබෝධය ලබාදෙමින් නැණපවස නිවන්නට පුවත්පත් ආයතනය දැනුම් තක්සලාවක් බවට පත් කළේ ය.

ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් ලේක්හවුස් ආයතනය ගොඩනඟමින් සිටි අවධිය මෙරට නිදහස පිළිබඳ තීරණාත්මක අවදියක් විය. රටේ නිදහස පතා ජාති ආගම් භේදාදියෙන් තොරව සියලු දෙනා එකමුතුව නිදහස් සටන ඇරැඹූහ. ඊට අනගි සහායක් ඩී.ආර්. විජයවර්ධන ශ්‍රී මතාණන් ලබාදීමට කටයුතු කළේ ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඝාරාමය ඇති කිරීමට ලක්ෂ ගණනින් ධනය වැය කළ එතුමා බම්බලපිටියේ වජිරාරාමය, ගංගාරාම විහාරස්ථානය සහ සේදවත්තේ වෙහෙර ගොඩැල්ල විහාරස්ථානයද දියුණු කිරීමට ද මහත් දායකත්වයක් දැරුවේ ය.

ඩී.ආර්. විජයවර්ධන මහතා ජේ.එච්. මීදෙනිය අදිකාරම්තුමාගේ දියණියක වූ ඇලිස් ගර්ට්රූඩ්රූබි මෙනෙවිය සමඟ විවාහ විය. ඩී.ආර් විජයවර්ධන දම්පතීන්ට පුතුන් දෙදෙනෙක් හා දියණියන් තිදෙනෙක් වූහ. එතුමාගේ එක් දියණියක් වූ නාලිනි විජයවර්ධන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සමඟ විවාහ වූ අතර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා එම දෙපළගේ පුත්‍රරත්නයක් වෙති.

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 130 වන ජන්ම සමරුව නිමිත්තෙන් මෙම 23 වන දා සිට පින්කම් හා උත්සව මාලාවක් පැවැත්වේ. 23 වනදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා 24 වනදා අර්ධ ශතාධික සපිරිකර සංඝගත දක්ෂිණාවක් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේදී පැවැත්වේ. වත්මන් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙහෙයවීමෙන් හා අනුග්‍රහයෙන් සහ සියලු සේවක සේවිකාවන්ගේද දායකත්වයෙන් මෙවර දින ගණනක් පුරා විශේෂ පින්කම් හා උත්සව පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම 24 වනදා වැඩිහිටි නිවාසයක නේවාසික මව්වරුන් සඳහා දිවා ආහාර පිරිනැමීමද 25 වනදා ගංගාරාම විහාරස්ථානයේදී බෝධි පූජාවක් පැවැත්වීමද ඇතුළු වැඩසටහන් රැසක් සිදු කෙරේ.

ලේක්හවුස් ආයතනය

 

 නවම් පුර පසළොස්වක පෝය

   නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 21 වන දා ඉරිදා අපරභාග 10.34 ට ලබයි. 22 වනදා සඳුදා අපරභාග 11.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 22 වනදා සඳුදාය.

මීළඟ පෝය මාර්තු 01 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]