UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැපතට අවශ්‍ය මනසිකාරය

සැපතට අවශ්‍ය මනසිකාරය

මේ ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යි. භව කතරේ අතරමංව සසර මංමුලා වී බොහෝ දුක් විඳින සත්ත්වයාට ඒ අග මුල නො පෙනෙන සසරින් එතෙර වන්නට හැකි ආශ්චර්යවත් ධර්මයක් මේ ලෝකයට හෙළිපෙහෙළි කළේ අපේ තථාගත අංගීරස බුදුරජාණන් වහන්සේ යි.

උන්වහන්සේ වදාළ ධර්මය ඉගෙන ගන්නා විට අපගේ සිත සුවපත් වෙනවා. අපේ සිතේ ඇතිවන සිතිවිලි නිවැරැදි වෙන්න පටන් ගන්නවා. සිතිවිලි සිත නිවැරැදි වනවිට මුළු මහත් ජීවිත ගමනම සුවපත් වෙනවා. ජීවිතයේ ඇති අඳුර නසාගෙන ආලෝකය වැටෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා සිහියෙන්, යෝනිසෝමනසිකාරයෙන් ශ්‍රවණය කිරීම අපේ ජීවිතවලට ඉතා වටිනවා.

අපේ ජීවිතයට ශාන්තියක් උරුමකර ගත හැක්කේ ජීවිතය නිවැරැදි කර ගත හැක්කේ ඒ ආශ්චර්යවත් ධර්මය ඔස්සේ අපේ ජීවිත හැඩ ගස්වා ගතහොත් නම් පමණයි. භෞතික සම්පත් යාන වාහන, ගෙවල් දොරවල්, මේ කිසිම දෙයකින් ලබන්න බැරි පුදුමාකාර සැහැල්ලුවක් මේ ආශ්චර්යවත් ධර්මය ඔස්සේ අපට ලබාගන්න පුළුවන්කම තිබෙනවා. අපේ ජීවිතයේ ඇඬු කඳුළු පසෙකලා ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා. අප අඬන්නේ පි‍්‍රතිය නැති නිසයි. ගේ දොර, දරුවෝ යානවාහන, පෙර කී සියලුම දේ තිබියදී ඇයි අප හඬන්නේ? එසේ වන්නේ ධර්මයේ ආලෝකය ජීවිතට නො ලැබුණ නිසයි. මේ නිසා ජීවිතය ධර්මයෙන් ලැබෙන ඖෂධයක් අවශ්‍යම යි. සිත පී‍්‍රතියට සොම්නසට පත්කර ගන්නට එවිට ධර්මය තුළින් භාග්‍යය ලැබෙනවා.

අප මේ ජීවිතයේදී භෞතිකව රැස්කර ගත් දෙයක් තිබෙනවා. ගේදොර, වතුපිටි, ඉඩකඩම්, ඥාාතීන් අල්ලගත්, බැඳෙන, රැඳෙන ලෝකයට අයත් . ඒ ලෝකය අත්හැර නික්මීමට දවසක් උදාවුණොත් වනගත වෙන්න වුණොත්? ඔබට මොනවා හිතෙයිද? මමත් මේවා පරිභෝගක කළාට කෙදිනක හෝ බැරි බර බිම තැබීමට සූදානම් විය යුතුයි කියන සංකල්පනාව වුවත් වටිනවා.

ඒ වගේම මේ ධර්ම මාර්ගය තුළින් බලවත් වෙන්න කැමැති පුද්ගලයාගේ සිත තුළ තිබෙනවානම් සිත හුදකලා කළයුතුයි කියා එයත් වටිනවා. සිතට අනවශ්‍ය වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා ආදිය ඇවිත් සිත තුළ පැළපැදියම් වෙනවිට ඒ සිතට විශාල බරක් දැනෙනවා. සිතට කිසිදු සැනසිල්ලක් නැහැ. ඒ නිසා අනවශ්‍ය අරමුණු ඉවත් කර සිත හුදකලා කළයුතු වෙනවා.

ඔබගේ නිවස ගැන හිතන්න. නිවසේ අලුත් වගේම පරණ බඩුමුට්ටු පුරවලා කිසිදු පිළිවෙලක් නැතිව තිබෙනවානම් එවිට සිත අවුල්සහගත යි. මේ වගේමයි අපේ සිතට දරන්නට බැරි අරමුණු විශාල ලෙස ඇවිත් සිත තුළ පදිංචි වුණොත්, අර නිවස සුද්දකරනවා වගේ සිතේ අනවශ්‍ය සිතිවිලි ඉවත් කරලා සිත හුදකලා භාවයට පත්කරන්න හිතනවානම් එයත් සුවදායක භූමියට, සිත තැන්පත් වන භූමියකට යන්න හොඳ මාර්ගයක් කියා බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. ඒ වගේම සිත කෙසේ හෝ ලෝභයෙන් මුදා ගන්න ඕන, සිත ද්වේෂයෙන්, මෝහයෙන් මුදා ගන්නවා කියා සිතනවිට ටිකෙන් ටික අර සුවදායක මාර්ගයට යන්නට මඟ පෑදෙනවා. ඒ සඳහා කැමැත්තක් ඇතිවෙනවා.

ඒ වගේම මේ සසර බොහෝම භයානකයි. අග මුල පෙනෙන්නේ නැහැ. මේ භයානක ඝොරභීර සසරින් මිනිසත් භාවය ප්‍රයෝජනයට ගෙන මිදෙන්න ඕන කියා ඒ සඳහා ප්‍රමාද නොවිය යුතුයි කියා සිතිවිල්ලක් ඇතිකර ගත්තොත් ඒ ධර්ම මාර්ගයෙන් අපට හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.

බෝධිරාජ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළා බෝධිරාජ කුමාරය, හොඳ දේවල් කුසල පැත්ත දියුණු වන දේ ලෙහෙසියෙන් කරන්න බැහැ. වටිනා දේ ලෙහෙසියෙන් කරන්න බැහැ. ඒ වගේම සැපසේ හොඳ දේ ලබන්න බොහෝ දෙනාට අමාරුයි. ඒ සඳහා කටුක ගමනක් යන්න වෙනවා. හුඟක් මහන්සිවෙන්න සිතන්න සිදුවෙනවා.

මේ භයානක සසරින් එතෙර වන එකත් ලෙහෙසියෙන් කරන්න පුළුවන් දෙයක් නොවේ. බොහෝම සැපයටම මුල්තැන දීලා මේ කාම ලෝකයේ බුර බුරා හිත තුළට පැන නඟින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ වලට ඉඩ දීලා මේ ගමන යන්න බැහැ. ඒවා යම් තරමට හරි මැඬ පවත්වන්නට අපට අදහසක් තිබෙන්න ඕන.

එයට උපමාවක් කියනවා. වතුර යට තිබෙන දණ්ඩකට කවදාවත් ගිණි තබන්න බැහැ. ඒ දණ්ඩ දියෙන් ගොඩ ගත්තත් වතුර බේරෙමින් තිබෙද්දී ලීයට ගිනි අවුලවන්න බැහැ. ඒ දණ්ඩ හොඳට අව්වට දාලා වේලලා ගත්විට ගිනි තබන්න පුළුවන්. ඒ වගේම මේ කාම මිශ්‍රිත අරමුණු කවදාවත් හොඳ මාර්ගයට යොමු කරන්න අමාරුයි. ඒක හරියට දිය යට තිබෙන දණ්ඩක් වගේ. ඒ වගේම කාමය වඩන අරමුණු වලින් භෞතිකව ඉවත්වීමත් සාර්ථක නැහැ. කයින් අයින් වෙලා සිතින් ඒ ගැන සිතමින් ඉන්නවානම් මේ ගමන බලවත් කරන්න බැහැ. ඒක හරියට වතුරෙන් ගොඩ දැම්මාට තවම වතුර බේරෙන දණ්ඩක් වගේ ගිනි තබන්න බැහැ. හැබැයි සිතින් කයින් දෙකෙන්ම මේ කාම අරමුණු ඈත් කර ගත් පුද්ගලයා හරියට දණ්ඩ ගොඩටගෙන හොඳට වේලලා පත්තු කරනවා වගේ මේ සිත ධර්මයට හොඳින් මුහු කරගෙන ධර්මයෙන් අපට ආශ්චර්යවත් භාවයට නිවන සැනහෙන බවට ගමන් කරවන්න පුළුවන් කියා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා.

එසේම මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න කැමැති කෙනෙක් සිටිනවානම් ඔහු ශ්‍රද්ධාවන්ත, ගුරුවරයාට හික්මෙන, සිත කය ලෙඩ නැති නිරෝගි, කපටි නැති, වීර්ය, ආරද්ධ වීර්ය ඇති, කම්මැලි නැති ප්‍රඥාවන්ත වියයුතු වෙනවා. ඒ අයට මේ කියන ක්ෂේම මාර්ගයට එන්න සුවපවත් භාවයට එන්න පී‍්‍රතිමත් භාවයෙන් සැනහෙන්න අරහත් මාර්ගය උපදවා ගන්නට ලෙහෙසියි.

ඒනිසා තථාගතයන් වහන්සේ වදාළා ශික්ෂාපද හොඳින් රකින්න ඕන. ඒ සමහර ශික්ෂාපද කැඩුවොත් පවු සිදුවෙනවා. සමහර ඒවා කැඩුවොත් විශාල පවු සිදුනොවුණත් අරහත්භාවයට යම් යම් බාධා සිදුවෙන්න පුළුවන්. පාපයක් නම් ගිහි වුවත් පැවිදි වුවත් සමානයි. සිත තුළ ශ්‍රද්ධා, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥා කියන බලධර්ම නැති කෙනෙකුට සුළු දෙයක් වුවත් විශාල දෙයක් වෙනවා. කැටකිරිල්ලි ගැන හිතන්න. ඒ කැටකිරිල්ලි පුංචි රසකිඳ වැලක පැටලුනත් පැටලෙනවා. ඒක කඩාගෙන යන්න ශක්තියක් නැහැ. එතැනම මැරෙනවා. ඒ වගේම ශ්‍රද්ධා, වීර්ය, සතිය, සමාධිය ප්‍රඥාව නැති අය කැටකිරිල්ලී වගේ මාරයාගේ තොණ්ඩුවට හසුවෙලා පොඩි දෙයිනුත් විශාල පවක රැස්වෙනවා.

දුගී මනුස්සයෙක් ඉන්නවා. ඔහුගේ නිවස බොහෝ සේ දිරා වැටිලා. වහලෙන් වතුර වැටෙනවා. බිරියට දරුවන්ට කන්න බොන්න නැහැ. ගෙදර බොහොම දුර්වර්ණ වෙලා. බැලූ බැලු අත තිබෙන්නේ දුප්පත්කම. දිනක් ස්වාමින්වහන්සේ නමක් නිවස අසලින් වඩිනවා. උන්වහන්සේ දුටුවම මේ ගේ හිමියාට හිතෙනවා අනේ මටත් මේ වගේ සැනසිල්ලේ ඉන්න තිබුණානම් කොතරම් හොඳද කියා. ඒ සමඟම නිවැසියන්ට මතක් වුණා. දරුවෝ දාලා කොහොමද යන්නේ? යන්න බැහැ කියා නැවත බැඳෙනවා. එහෙම බැඳෙන්නේ සිත තුළ ශ්‍රද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව නැති නිසයි. තව කෙනෙකුට විශාල ධනයක් තිබෙනවා. හොඳට හදාගත් නිවසක්, හොඳ දරුවන්, පි‍්‍රයමනාප බිරියක් ඉන්නවා. ධනය බලය තිබෙනවා. නමුත් සිත තුළ ආර්ය බලය වන ශ්‍රද්ධාව, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන අංග බලවත් වී අර සියල්ලම අතහැර අභිනිෂ්ක්‍රමනය කරනවා.

ඉතින් මේ ගමන යන්න එක පාරටම බැරිබව ඇත්ත. නමුත් එවැනි අපහසුවකින් වුවත් විර්ය කරනවානම් සිත හුදකලා කරනවා. වීර්ය කරනවානම් මෝහයෙන් මුදාගෙන සසර ගමන කෙටිකර ගන්න පුළුවන්. මේ මනුස්ස ජීවිතයේ වටිනාකම සිතුවොත් අපට සුවපත් මාර්ගයේ ගමන් කරන්න අවස්ථාව ලැබෙනවා. මේ හිත ධර්මයට හුරු කිරීම ලෙහෙසි නැහැ. පහසු නැහැ. අමාරු වුවත් වීර්යෙන්, සතියෙන්, ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන් යුක්තව මේ ගමන යා යුතුයි කියා බුදුරජාණන් වහන්සේ අපට කරුණාවෙන් අනුශාසනා කළා.

එනිසා ඔබ හිතන්න බකමූණා දවල් කාලයේ අන්ධයි. කපුටා රත්‍රියේ අන්ධයි. ධර්මය , සසර ගමන , දුක නසන මාර්ගය දන්නේ නැති කෙනා බකමූණටත්, කපුටාටත් වඩා අසරණයි. රෑ දවාල දෙකම නො පෙනෙන අන්ධයෙක් බවට පත්වෙනවා එනිසා, අන්ධභාවයෙන්, අඳුරෙන් මිදි ආලෝකය කරා ගමන් කිරීමට මේ කරුණු ඔබට බලයක් ,ශක්තියක් වේවා.

නයනා නිල්මිණි

 

    වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 10 වැනිදා අඟහරුවාදා අපරභාග 09.23 ට ලබයි. 11 වැනිදා බදාදා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 11 වැනිදා බදාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]