UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් අමාවක පෝදා 2015.11.11

මඟ පෙන්වීම

ආමිස දාන අතර කඨින චීවර දානය ඉතා උසස් පින්කමක් වේ. එමෙන්ම කඨින මහා පින්කම අට මහා කුසලයට අයත් වන්නකි. වස් සාර මාසයෙහි අන්තිම මාසය කඨින චීවර පූජා කරනු ලබන මාසයයි. එම චීවර මාසය තුළ වස් විසූ සෑම විහාරස්ථානයකම කඨින පින්කම් පවත්වනු ලැබේ. එය පෙරවස් පවාරණය කළ ස්වාමීන් වහන්සේට වර්ෂයකට එක්වරක් පිදිය හැකි දානමය පුණ්‍ය ක්‍රියාවකි. විනය ප්‍රඥප්ති පිළිබඳව පස් මාසයක් තුළ ගරුතර මහා සංඝරත්නයට විශේෂ පහසුකම් ලැබෙන හෙයින් කඨින චීවරය භික්ෂූන් වහන්සේට විශේෂ ප්‍රයෝජනවත් චීවරයක් වශයෙන් සලකනු ලැබේ. එම කඨින චීවර දානය සිදු කරන දායක පිරිසට ද වෙනත් සිවුරු පූජා කරනවාට වඩා අනුසස් ලැබෙන ගරු කුසලයක් වශයෙන් ද සඳහන් වේ.

දුර්ලභව සිදු කැරෙන පින්කමකි කඨින පින්කම.තුන් සිවුරෙන් කවර චීවරයක් හෝ කඨිනය වශයෙන් පූජා කළ හැකිය. එම තුන් සිවුරෙන් එක් සිවුරකට අවශ්‍ය අලුත් වස්ත්‍රයක් හා සිවුරු කිරීමට අවශ්‍ය ඉදිකටු, නූල්, පඬු, ආදී සියලු උපකරණත්, එම සිවුරු කරන ස්වාමීන් වහන්සේට දානයත් ගෙන ගොස් ඉතා උදෑසන මහ සඟරුවන වෙත පූජා කළ යුතු ය. උදෑසනම එම පූජාව සිදු කළ යුත්තේ එම වස්ත්‍රයෙන් එදාම සිවුරක් සකස් කර වැඩ නිමා කර කඨිනාස්තරණය කළ යුතු හෙයිනි.

බෞද්ධ ජන සමාජය අට මහා කුසල් පිළිබඳව දැනුවත්ව සිටී. කඨින චීවර පූජාව, අටපිරිකර පූජාව, ආවාස කරවා පිදීම, උතුම් වූ බුදුපාමොක් මහ සඟරුවනට දන් පූජා කිරීම, දහම් පොත් ලිවීම, කෙත්වතු පූජාව, බුද්ධ ප්‍රතිමා කරවීම සහ වැසිකිළි කරවීම යන මේවා අට මහ කුසල් නම් වේ.

කඨින චීවරය මාසය තුළ දී බෞද්ධ ජනතාව ස්වකීය විහාරස්ථානයේ පැවැත්වෙන කඨින මහා පින්කමට දායකවීමට දක්වනුයේ ඉමහත් ශ්‍රද්ධාවකි. ඊට ප්‍රධාන එක් හේතුවක් වනුයේ එම මහා පින්කම වසරකට එක් වරක් පමණක් පැවැත්වෙන පින්කමක් හෙයිනි. ඊට අමතරව එම මහා පින්කම අතීත මුතුන් මිත්තන් විසින් සිදුකළ අයුරු ද සිහිපත්වීම තවත් එක් කරුණකි. මේ ආදී වශයෙන් බලන කල කඨින පින්කම සිදු කිරීම සඳහා බෞද්ධයන් සෑම දෙනාම පාහේ දක්වනුයේ සුවිශේෂී උනන්දුවකි. මහත් ශ්‍රද්ධා සම්පන්නව එම පින්කම සිදු කරන නිසාම සංස්කෘතික වශයෙන්ද ආගමික හා ශාසනික වශයෙන් ද එම පින්කම මඟින් අගනා නිහඬ මෙහෙවරක් ද සිදු වේ.

ගමත් පන්සලත් අතර අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කෙරෙන වස්සාන සමය ආදර්ශවත් පුණ්‍ය කාලයක් ලෙසද සැලකිය හැකි වේ. ඉතා සංයමෙන් හැසිරීම විහාරස්ථානය තුළ දැකිය හැකි සුලබ දර්ශනයකි. එම යහපත් සංවරය බෞද්ධයාට උරුම කර දෙනු ලබන්නේ විහාරස්ථානය ප්‍රමුඛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ය. සංවරය තුළින් කවර තරාතිරමක ජීවිතයකට වුවද මහත් ආලෝකයක් සලසනු ලැබේ. කය, වචනය, සිත යන තිදොරෙහි පාලනයත්, සංවරයත් නොමැති වූ විට කළ නොහැකි විපතක් නැත. ඇලීම් ගැටීම් වර්ධනයට මූලික හේතුව එම තුන් දොරෙහි හික්මීම බැහැරවීමය.

මනුෂ්‍යයාගේ මෙලොව ජීවිතය තුළ ඉතා කුඩා අවධියේ පටන් මෙසේ සිත, කය, වචන යන තුන් දොරෙහි හික්මීමක් නොවූ විට ඉන් සමාජයට සිදුවන හානිය වචනයෙන් කියා හෝ ලියා නිම කළ නොහැකිය. සංවරය, හික්මීම, සන්සුන් බව ජීවිතයට අත්‍යවශ්‍ය ගුණාංගයකි. එම ගුණාංගවලින් ඈත් වූ ජීවිතය කවර නම් අගාධයකට පත්වේ යයි සිතා ගැනීම පවා අපහසු වෙයි. විනීත බව, හික්මීම මඟින් මනුෂ්‍යයා තුළ ඉතා උසස් තැන්පත් බවක් උදා කරවයි. එසේ ඇති කරන තැන්පත් බව සමාජයට පෙනෙන්නට පමණක් ඇති කරන්නක් නොවේ. නිරන්තරයෙන්ම මනුෂ්‍යයාගේ ආධ්‍යාත්මික සංයමයට එය මඟ පෙන්වන්නක් ද වේ.

මේ අනුව බලන විට මනුෂ්‍යයා තුළ නිරතුරුව සිදුවන අඩු පාඩු මඟ හරවා ගැනීමට විශේෂයෙන් පන්සලට යොමුවිය යුතු ය. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පිළිපැදිය යුතු ය. උන්වහන්සේලාගේ ඇසුරට යොමු විය යුතු ය. වස්සාන සමය තුළ භික්ෂූන් වහන්සේ මෙන්ම විහාරස්ථානය මුල්කරගෙන ක්‍රියා කිරීමෙන් බෞද්ධයා සංවරයට, හික්මීමට යොමු කරවන යහපත් කාලයකි. එබැවින් හැකිතාක් එබඳු ආගමික පරිසරයක ඇසුරට යොමුවීමෙන් බෞද්ධයාගේ මෙලොව ජීවිතය පමණක් නොව පරලොව ජීවිතයද ආලෝකවත් කර ගැනීමට එය හේතුවනු ඇත. ආගමික පරිසරයෙන් ලැබෙන කායික මානසික ශික්ෂණය ජීවිතයේ සැනසීමට මඟය.

 

    වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 10 වැනිදා අඟහරුවාදා අපරභාග 09.23 ට ලබයි. 11 වැනිදා බදාදා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 11 වැනිදා බදාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]