ළමා ලොවයි සදහම් සුවයයි
ජීවිතයට දහම් බිඳක්
පුත්තාමත්ථි ධනම්මත්ථි
ඉති බාලො විහඤ්ඤති
අත්තාහි අත්තනො නත්ථි
කුතො පුත්තා කුතො ධනං
මෙය ධම්මපදයෙහි බාල වග්ගයෙහි එන තෙවැනි ගාථා ධර්මයයි. බුදුරජාණන්
වහන්සේ විසින් සැවැත්නුවර ආනන්ද සිටාණන් අරභයා මෙය දේශනා කරන ලදී. මෙහි
සරල තේරුම මෙසේ ය.
අනුවණයා මට පුත්‍රයන් ඇත. මට ධනය ඇතැයි පුත්රතෘෂ්ණාවෙන් ද ධන
තෘෂ්ණාවෙන්ද දුකට පත් වන්නේ ය. තමාට තමාත් නැති කළ පුත්‍රයෝ කොයින්ද
ධනය කොයින්ද?
මෙහි නිධාන කතාව මෙසේ දැක්වේ. සැවැත් නුවර අසූ කෙළක් පමණ වස්තුව ඇති
ආනන්ද සෙට්ඨි නම් වූ ඉතා කෑදර මසුරෙක් සිටියේ ය. ඔහු තම පුතුට පවා
අවවාද කරනුයේ මේ වස්තුව වියදම් නොකරව කියාය. එම නිසා හෙතෙමේ තම
පුතුටවත් තමන්ගේ ධනය ගැන නොකියා නොබෝ කලකින් කළුරිය කළේ ය. ඉන් පසු එම
නුවරම සැඩොල් කුලයක ඉපිද සිඟා කමින් ජීවත් විය. එසේ පසු වෙද්දී පෙර භව
පිළිබඳ නුවණ ලැබ තමන් පෙර වාසය කළ සිටු මැදුරට ගියේ ය. මුලසිරි
සිටාණන්ගේ දරුවෝ ඉතා විරූපීව සිටි ඔහු දැක හඬන්නට වන්හ. සිටාණන්ගේ
මිනිස්සු ඔහුට තලා පෙළා හිරිහැර කොට කසළ ගොඩට දැමූහ. එම අවස්ථාවේ
බුදුරදුන් හා අනඳ තෙරුන් පිඬු පිණිස වඩින කළ මෙය දැක මුලසිරි සිටාණන්
කැඳවා මේ තොපගේ පියාණන් බැව් වදාළහ. මුලසිරි සිටු පුතු එය විශ්වාස
නොකරන කල්හි ආනන්ද සිටාණෙනි, තොපගේ පුතුට නිධානය පෙන්වවයි කී කල්හි ඒ
තැන පෙන්වීය. එයින් සිටු පුත් සරණ සීලයෙහි පිහිටියේ ය. බණ වදාරන කල්හි
බුදුරදුන් මේ ගාථාව දේශා කළ සේක.
ජාති, ජරා, ව්‍යාධි, මරණ පැමිණි කළ තමාට කෙසේවත් එය වළකා ගත නොහැකිය.
එම නිසා දිවා රෑ දෙකෙහි කුසල් කළ යුතු යි. එවිට අතිඝෝර දුක් සහිත සසර
දුකින් නිදහස් වීමට හැකියාව ලැබේ.
තෙරුවන් සරණයි
හඟුරන්කෙත විමලරතන හිමි,
04 වසර
ශ්‍රී ගංගාතිලක පිරිවෙන, කෙසෙල්වත්ත, පානදුර
මගේ දෙගුරු සහ තිලෝගුරු
අම්මා පරිද්දෙන් දුක සැප දරුවන්නේ
විමසන කෙනෙක් තව මේලොව නොඉන්නේ
දෙවනුව තාත්තා ගැන මෙහි කියවෙන්නේ
ඔහුටත් හැම විටම සැලකිය යුතු වන්නේ
තම පියාණන් හට
ගරු සත්කාර නොව කොට
කරදර වන ලෙසට
සුදුසු නැත හැසිරීම දරුවට
එවැනි දරුවෙකු තම
පියාණන් හට නොතැකුම
වරදක්ය බැලූවම
එයින් පිරිහෙනු ලබයි දෙලොවම
මව් පියො හැරුනු විට ඊළඟ තැනට එන
උතුමාණන් කවුද පවතින උතුරු ගුණ
ඒ දෙව් බඹුන්ගෙන් පුදලද සියලු දින
ලොව්තුරු බුදුපියාණන් බව සිතනු මැන.
බදුල්ලේ සුඛිත පොඩිහාමුදුරුවෝ,
ශ්‍රී බෝධිරාජ විහාරය, කතරගම
බොදු දරුවෝ
උදයට මෙත් වඩා සැමට නිදි යහනින් නැගිටින්නේ
සඳ වට තරු කැළ මෙන් හිනැහී මව්පියො නමදින්නේ
පැද යන දිවි ඔරුවෙ සවිය පුංචි හිතට වැටහෙන්නේ
හද තුළ ගිනි නැගුණත් පුපුරක් වත් නැහැ පිටවෙන්නේ
ගුණ යහපත් මව්පියො මැද හැදුණු දරුවො පුංචි කාලෙ
යන විට මග ගෙල පළඳයි ගුණමිණකැට පබලුමාලෙ
වන පෙත වාගේම හඳුනයි බෝපත් දලු සැලෙනතාලෙ
බණ පොත් ගෙන පොහොදිනයට බණමඩුවෙහි රකියි සීලෙ
සුදට සුදේ ජාතික ඇඳුමින් සැරසී පිරිමි ළමයි
මද සිනහව පාමින් හැඳ ළමා සාරි ගැහැනු ළමයි
හොඳ ගති ගුණ බෙදාදෙන්න ලක්මව හට හැදුණු ළමයි
පුද බිම දම්පාසල තුළ ඉරු දින බුදු සුවඳ බෙදයි
බොදු දරුවන් තම පණමෙන් සිතමින් හැමගෙම පණ
පොදු දනහට සලකනවා මුදිතාවෙන් දුටු තැන
විදු නැණ සමඟින් හදතුළ පිහිටන මිනිසත් ගුණ
සිදු රළ වුව නවතයි එය අප අදහන බුදු බණ
එස්.එම්. කවිෂ ප්රභාසර බණ්ඩාර
8 ශ්‍රේණිය,
සිරි සෝනුත්තර දහම් පාසල, නුගවෙල, අලව්ව.
රූපය පෙණ පිඩක් වැනිය
මගධ රටේ සාගල පුර
රජ කුලයෙහි උපත ලැබූ
දුටුවන් මන නුවණ පිනන
කුල කුමරිය විය ඛේමා
රජ කුමරියො පන්සියයක්
අතරින් අභිෂේක ලබා
ඛේමා දේවිය බිම්සර
රජු සමගින් විසුවා
රූපය ගැන දොස් දක්වා
දහම් වදාරති බුදු හිමි
අසලා ඇය වේළුවනට
යන්නට මැළි වූවා
ඛේමාවන්ගේ පිවිසුම
දැනගෙන බුදු සමිඳාණන්
ඇයට පෙනෙන සේ සැලැසී,
ඉතාම රූමත් අඟනක්
ලලනා රුව මහලු බවට
සහ සැකිල්ල වී වැහැරෙන
සම පමණක් ශේෂය වී
යන අයුරු ද පෙන්වූවා
අලංකාර රුව ගැන හුදු
මං මුළාව සිටියකු විය
මගේ රුවත් මේ ලෙසටම
තිර නැති බව පසක් වෙනව.
බුදු හිමි දැක්මට මැළිමුත්
විහාරයේ සිරි බැලුමට
රිසි වූ ඇය සිය පිරිවර
කැටිව වේළුවනට ගියා
දහම් අමා බිඳු වැස්සෙන්
ඇයගේ සිත පහන් වුණා
සියලු කෙලෙස් බැමි බිඳහැර
රහත් තෙරණියක් වූවා.
ගාල්ල, වඳුරඹ පහළ ලේල්වල,
ශ්‍රී සුධර්මාකර
දහම් පාසලේ ආචාරිනී,
ඩී.එල්.ඩබ්ලිව්. ජෝති පබසරා
ගෙදර බුදුන්
දස මාසය කුසේ දරා මා හැදු වැඩු අම්මා
අස් දෙක වගේ මාව බලා ගත් ආදර අම්මා
හොඳ නරක ද කියා දෙමින් යහ මඟ යැව් අම්මා
ගෙදර ඉන්න එකම බුදුන් ඔබ පමණයි අම්මා
වරදක් කළ විට දඬුවම් කර ආදර පියා
හොඳක් දැකලා සතුටු වුණා මගේ පෙම්බර පියා
දරුවන් හොඳ මග යවන්න කටයුතු කළ පියා
බුදු හිමියන් ගෙදර බුදුන් ලෙස සැලකූ පියා
සිව් බඹ විහරණයන් සතු වූ අම්මා
ඔබට අපට කරුණාවක් දක්වන බුදු අම්මා
නුග සෙවණක් සේ අපහට සෙවණ දුන්න අම්මා
පියා සමඟ මතු බවයක නිවන් දකිමි අම්මා
වැලිපන සාසනාලංකාර හිමි
5 වසර
ශ්‍රී ශාන්ති දේව මූලික පිරිවෙන.
|
පූජාපිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් සිසු නිපුණතා
තරගාවලියේ ජයග්රහණයන් ලැබූ සියලුම සිසු සිසුවියනට ත්‍යාග ප්රදානය කරන
ලද්දේ ' සම්පත් බැංකුවේ" අනුග්රහයෙනි. සියලුම ශ්‍රේණිවල පළවන ස්ථානයේ
සිට පස්වන ස්ථානය දක්වා ජයග්‍රහණය ලැබූ සිසු දරු දැරියන්ට ත්‍යාග
ප්රදානය කරන ලදී . පසුගිය26වන දින අඹතැන්න සුධර්මෝදය විහාරස්ථානයේ
ධර්ම ශාලාවේදී පවත්වන්නට යෙදුණ එම උත්සව අවස්ථාවේ දී පූජාපිටිය
ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී 'රඹුක්පිටියේ පියදස්සී'
හිමියන් අනුශාසනාවක් පැවැත් වූ අයුරු 'සම්පත්' බැංකුවේ ප්‍රධාන
කළමණාකාර 'අශෝක මැණික්ගොඩ" මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි විය.
|
ළමා පිටුවට නිර්මාණ
පාසල් සහ දහම් පාසල් සිසු දරුවන්ගේ ගැදි, පැදි නව නිර්මාණ, සිතුවම්
ආදිය මෙන්ම දරුවන්ගේ විශේෂ දක්ෂතා ඡායාරූප සහිතවද මෙම පිටුවෙහි පළ
කැරේ. පාසල් හෝ දහම් පාසල් බෞද්ධ සංගම් මඟින් එකම පාසලක හෝ දහම් පාසලක
සිසු දරුවන්ගේ ළමා නිර්මාණ එක් දිනකදී වුවද එම ළමා නිර්මාණ පිටුවෙහි පළ
කර ගත හැකි වේ. ළමා ඔබේ නිර්මාණ ළමා පිටුව, බුදුසරණ, ලේක්හවුස්, කොළඹ
ලිපිනයට යොමු කරන්න. |