UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලොව්තුරා සුවයෙන් සැනසීමට මඟ කියා දුන් මානව දයාවේ අපරිමිත ස්වභාවය

ලොව්තුරා සුවයෙන් සැනසීමට මඟ කියා දුන් මානව දයාවේ අපරිමිත ස්වභාවය

“තම ශාස්තෘවරයාට ගෞරවයෙන් ඔබ යමක් මගෙන් නොවිමසනවා විය හැකිය. එසේ නම් තව යහළුවන් මගින් විමසන්න. එවිට මම පිළිතුරු දෙන්නෙමි. පුහුදුන්කම නිසාම ඇතැමෙකු බුදුරදුන්ගේ ගුරු මුෂ්ටියක් ඇතැයි සිතන්නට පෙළඹිය හැකිය. ඒ පිළිබඳව බලාපොරෙත්තුවක්ද තිබිය හැකිය. එබඳු පුහු බලාපොරොත්තු නිසා සිය ශ්‍රාවකයන් ගේ සිත් විපිළිසර නොවේවා යන පැතුමෙන් බුදුපියාණන් වහන්සේ “මාගේ ගුරු මුෂ්ටියක් නැත. සියල්ල නොසඟවා ප්‍රකාශ කොට ඇතැයි" විවෘතව දේශනා කළහ.

දර්ශනීයත්වයෙන් හා ස්වභාව සෞන්දර්යයෙන් අනූන ලොව ප්‍රකට උත්තර භාරතයේ පිහිටි කෝසල රාජ්‍යයට අයත් ජනපදයක ධනසම්පත්තියෙන් ආඩ්‍යය වූ කුල ගෙයක පින්වත් වූ කුමරෙකු උපත ලැබූහ. ක්ෂත්‍රිය ජාතියට අයත්වූ එතුමාණෝ ගෞතම ගෝත්‍රයට අයත් වූහ. ඉතාම සුවපහසු ජීවිතයක් ගත කළ මේ කුමාරයාණන්ට හේමන්ත, ගිම්හාන, වස්සාන යන ඍතු තුනට ගැලපෙන ආකාරයට රම්‍ය, සුරම්‍ය, සුභ නමින් ප්‍රාසාද තුනක් විය. සෞන්දර්ය රසාස්වාදනය සඳහා උපුල්, නෙළුම්, කුසුමින් ගැවසීගත් දර්ශනීය පොකුණු නිර්මාණය කර තිබූ අතර පරිහරණය පිණිස කසී සළු ම පිළියෙල වී තිබුණි.

යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය, ප්‍රබලව පැවතුණත් ඉතාමත්ම බුද්ධිමත් ලෙස සිතීමේ හැකියාව තිබු එතුමාණන්ට සෙසු බොහෝ දෙනා ජරාවට, රෝගාතුර භාවයට, මරණයට, පත්වනු දැක තමාද ඒ ස්වභාවයන් නොඉක්ම වූ තැනැත්තෙක් යැයි සිතුණි, එම කරණුූ කාරණා හේතු කොටගෙන එතුමන් තුළ පැවැති යෞවන මදය, ආරෝග්‍ය මදය, හා ජීවිත මදය පහව ගියහ. ලෝකයේ යථා ස්වභාවය,ජීවිතයේ හරය සොයා තවුස් ජීවිත ගත කළ නිගණ්ඨ, ආජීවක පරිබ්‍රාජක ආදී බොහෝ පිරිස්ද එතුමාට දක්නට ලැබුණු අතර ඔවුන්ගේ ඉගැන්වීම් හා විමුක්ති මාර්ග පිළිබඳව ද ප්‍රමාණවත් අවබෝධයක් ලැබීමට අවස්ථාව තිබුණි. පසුබිමෙහි පැවති සාමකාමී ධාර්මික සුඛෝපභෝගී ස්වරූපයත්, බුද්ධිමය චින්තනයට නැඹුරු වීමත් සමකාලීන ආගමික ප්‍රබෝධයක් යන කරුණු නිසා එතුමාට ගිහි ජීවිතය බාධක සහිත ස්ථානයක් ලෙස අවබෝධ වන්නට විය. ගිහි ජීවිතයෙන් ඉවත්ව ගත කරනු ලැබූ තාපස ජීවිතය ආධ්‍යාත්මික වශයෙන් අභ්‍යවකාශය සේ නිදහස් සුවපහසු සරල ජීවිතයක් ලෙස අවබෝධ විය. මෙම ජීවන දර්ශනයෙන් මෙහෙයවනු ලද එතුමාණන් තුළ කම් සුව විඳීමෙහි ආදීනවයන් එතුළින් නිදහස් වීමේ වැදගත් කමක් පැහැදිලිව වටහා ගෙන ඉතා ඝනව කළු කෙස් වැඩි ඇති නව යෞවනයෙන් ඔද වැඩී ගිය ජීවිතයේ ප්‍රථම වයසේදීම ගිහිගෙයින් නික්ම පැවිදි වූහ. ජීවිතයේ අර්ථය, ලෝකයේ යථාව, සොයා තවුසකු වශයෙන් සංචාරය කළ එතුමාණෝ ආළාර කාලාම, උද්දකාරාමපුත්ත, පස්වග මහණුන් ආදි වෙනත් තවුසන් සමඟ ද එක්ව ආධ්‍යාත්මික විමුක්ති ගවේෂණයෙහි යෙදුණාහ. නොයෙකුත් දුෂ්කර ව්‍රත අනුගමනය කළ එතුමාණෝ අවසානයේ අත්තකිලමථානුයෝගයේත්, කාමසුඛල්ලිකානුයෝගයේත්, අන්තර්ගත ස්වරූපයත් හොඳින් අවබෝධ කොට ගෙන මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කොට චතුරාර්ය සත්‍යාවබෝධය කොට උතුම් බුද්ධත්වයට පත් වූහ. බුද්ධත්වයට පත් වුවද උත්තරීතර මනුෂ්‍යයෙකු ම වූ බුදුරජාණන් වහන්සේගේ චරිතයෙහි මිනිස් ජීවිතයක සංවර්ධනය කළ හැකි සියලුම ගුණයෝ මූර්තිමත් වූහ.

අනුගාමිකයන් බුදුරදුන් දුටු අයුරු

සකල ලෝක සත්වයාට විමුක්ති මාර්ගයක් සොයා දීමෙහි ලා මෙහෙයැවුණු බුදුපියාණන් වහන්සේගේ අප්‍රතිහත ධෛය්‍ය¡¡ය , ජීවිතය පරදුවට තබා අවබෝධ කොට ගත්තා වූ උතුම් බුද්ධත්වය සඳහාම කරන ලද වෑයම අප්‍රමාණ කැපකිරීමකි. මාගේ සිරුරෙහි ලේ වියැළී යන විට පිත හා සෙමද වියැළී යයි. එයින් මස් ක්ෂය වී යන විට වැඩි වැඩියෙන් සිත පහදී. වැඩි වැඩියෙන්, සිහිය, ප්‍රඥාව, සමාධිය ස්ථිරභාවයට පත්වේ. ඒ එතුමාණෝ තුළ පැවති අධිෂ්ඨානයයි. පරාජය වී ජීවත් වනවාට වඩා යුද්ධයේදී මිය යෑම වැදගත් වන බව එතුමෝ අදහස් කළහ.

රාජරාජ මහාමාත්‍යයන්ගේ මෙන්ම වෙනත් ආගමික නායකයන්ගේද නොමඳ ගෞරවයට ප්‍රසාදයට පත් වූයේ නොබෝ කලකින්මය. බිම්බිසාර රජතුමාගේ පවා විශේෂ ගෞරවාදරයට පාත්‍රව සිටි කූට දත්ත බ්‍රාහ්මණයා සෙසු බමුණන් අමතා බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනාවක් ඉදිරිපත් කළේ බුදුරදුන් තමන් වෙත නොව තමා එතුමන් වෙත යා යුතුය. යන අදහස තහවුරු කරගනු පිණිසය. ඔහුට අනුව බුදුන් වහන්සේ සත්මුතු කුලපරම්පරාව දක්වා මව්පිය දෙපාර්ශ්වයෙන්ම පිරිසුදුය. විශාල ඥාතීන් සමූහයක් හැරදමා පැවිදි වූහ. ජීවිතයේ ප්‍රථම වයසේදී හිරිමල් වියේදීම පැවිදි වූහ. මව්පියන් අකැමැත්තෙන් හැඬූ කඳුළෙන් පසුවෙද්දී කෙස් රැවුළු බා කසට වස්ත්‍ර හැද ගිහිගෙයින් නික්ම පැවිදි වූහ. මනා රූප සෝබාවකින් හෙබි එතුමන් මුණ ගැසීම අපහසු නැත. මනා චරිතයෙකින් හෙබි එතුමන් සීලසම්පන්නය. පැහැදිලි අර්ථවත් මනෝඥ ශිෂ්ටසම්පන්න වචන කථා කරන සේක. සුපේශල , ශික්ෂාකාමී, ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවක උදාර වූ ආචාර්යවරයෙකි. කාම රාගයෙන් චපල බවින් මිදුණ සේක. ජනතාවගේ යහපත ඉත සිතින් කැමැති උන්වහන්සේ යහපත අයහපත පැහැදිලිව කියා දෙන සේක. උසස් කුල පරම්පරාවකින් පැවිදි වූ සේක. මහා සම්පත් ආඩ්‍යව ඇති කුලයකින් පැවිදි වූ කෙනෙකි. විදේශීය රටවලින් පවා ජනතාව ඇදී ආවේ උන්වහන්සේගෙන් ප්‍රශ්න විචාරණු පිණිසය. දෙවිවරු දහස් ගණනින් එතුමන් දිවිහිමියෙන් සරණ ගියහ. නව අරහාදී ගුණයන්ගෙන් උන්වහන්සේගේ කීර්ති රාවය තුන්ලොවම පැතිරී ගොස් ඇත්තේය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ සේක. බැහැදැකීමට පැමිණෙන්නවුන් සාදරයෙන් කරුණාවෙන් පිළිගත්සේක. ඔවුන්හා සතුටු සාමීචියෙහි යෙදෙන සේක. අමනාප බව අඟවමින් බැම නොහකුළුවන සේක. විවෘත මුහුණකින් කථා කරන සේක. අනිත් අය කථා කරන තෙක් නොසිට ප්‍රථමයෙන්ම කථා කරන සේක. සිවුවනක් පිරිසෙහිම ගෞරවාදරයට පාත්‍රවූ සේක. බොහෝ දෙවි මිනිසුන් උන්වහන්සේ කෙරෙහි පැහැදී සිටිති. බුදුපියාණන් වහන්සේ යම් ගමක වාසය කරන්නෙහිද එම ගමෙහි වැසියනට අමනුෂ්‍යයන්ගේ කරදර නොපැමිණේ. විශාල පරිවාර සම්පත්තියක් ඇති උන්වහන්සේ ආගමික නායකයන් අතර ද ශ්‍රේෂ්ඨ වු සේක.

ඇතැම් මහණ බමුණන්ගේ කීර්තිය එහෙන් මෙහෙන් කෙසේ හෝ පැතිරී ඇතත් උන්වහන්සේ ගේ කීර්තිරාව පැතිරී ඇත්තේ උන්වහන්සේගේ උත්තරීතර අවබෝධයත් එයටම සරිලන චර්යා රටාවත් නිසාය.

පසේ නදී කෝසල, බිම්බිසාර පොක්ඛරසාති බ්‍රාහ්මණ යනාදී උසස් පුද්ගලයන්ගේ ගෞරවාදරයට සත්කාර සම්මානයට උන්වහන්සේ පාත්‍රවී ඇති අතර ඔවුහු බුදුරජාණන් වහන්සේ දිවි හිමියෙන් සරණ ගොස් සිටියහ. බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙපමණක්ම නොවේ. එම ගුණ මෙතෙකැයි ප්‍රමාණ කළ නොහැකියි.

මානව දයාව

උන්වහන්සේ ඉතිරී ගිය මානව දයාවකින් යුක්ත වූ සේක. මිනිස් චර්යාව, මිනිස් ස්වභාවය, මිනිස් ප්‍රාර්ථනා, මිනිස් චින්තනය, පිළිබඳව එතුමාණෝ තරම් අවධියෙන් සිටි වෙනත් මනුෂ්‍යයෙකු මේ මිහිපිට ජීවත් වූයේ දැයි සැක සහිතය. තෘණ වර්ග, වෘක්ෂලතා අතර පැහැදිලිව දැකගත හැකි වෙනස්කම් ඇතිවා සේම කෘමි පැළෑටි ආදීන් අතරද, සිව්පාවුන් අතරද මත්ස්‍ය පක්ෂීන් අතරද පැහැදිලි වෙනස්කම් දැකිය හැකි අතර විධිවිධානද දක්නට ලැබේ.

නමුත් කෙස්, හිස්, කන්, ඇස්, මුව, නාසා, දෙතොල්, බැම. ගි‍්‍රවා , උදර, සිට යෝනී අත්පා ආදී කුමන අවයව දෙස බැලුවත් මිනිසුන් අතර එසේ පැහැදිලි ජාති වශයෙන් පෙනෙන වෙනස්කමක් නැති බව පහදා දීමෙන් මානව වර්ගයාගේ, සාමූහික සහජීවනය, සමානාත්මතාව සාමකාමී බව ප්‍රාර්ථනා කළහ. යටත් පිරිසෙන් කැටකිරිල්ලියකට පවා ඇයගේ කැදැල්ලෙහි ඇයට කැමැති දෙයක් කථා කිරීමෙහි නිදහස ඇති බව ප්‍රකාශ කිරීමෙන් උන්වහන්සේ මානව නිදහස අගය කළහ. දීර්ඝ කාලයක් මුළුල්ලෙහි තම හිතසුව පිණිස අනුශාසනා කළ ගුරුතුමාගෙන් සඳහටම වෙන්වීමේදී එම ශිෂ්‍ය පිරිසට “දැන් අපට කවුරුත් නැත” යන අදහස ඇතිවීම ස්වාභාවිකය. එම මිනිස් හැඟීමට මොහොතකටවත් සිය සිසු පිරිසට අඩුවක් නොකරනු පිණිස උන්වහන්සේ තමන් වහන්සේ විසින් දේශිත ධර්මයත් පණවන ලද විනයත් තමාගෙන් පසු ශාස්තෘත්වයට පත් වන බව දේශනා කළහ.

මෙතෙක් කල් තමන්වහන්සේ අනුගමනය කරමින් සෙවණැලි සේ කටයුතු කළ තමන්ට ගෞරවයෙන් උවටැන් කළ භික්ෂු සංඝයා අමතා වචනයක් කතා නොකොට පිරිනිවන් පෑම ඒ අයගේ සැනසීම පිණිස හේතු නොවේ යැයි අදහස් කළ බුදුපියාණන් වහන්සේ ඒ වන විට උත්සන්නව තිබු දරුණුූ රෝගය වීය¸යෙන් යටපත් කොට තවත් සුළු කලක් ජීවත්වීමට අදිටන් කරගත්හ. බොහෝ කාලයක් අවංක හැඟීමෙන් ම තමන් වහන්සේට හැගීමෙන්ම ඇප උපස්ථාන කළ ආනන්ද හිමියන්ගේ ගුණවත් බව ඥානවන්ත බව සෙසු භික්ෂූන් වහන්සේලා හමුවේ පැහැදිලිව ප්‍රකාශ කොට උන්වහන්සේට තම සේවය පිළිබඳව සත්තුෂ්ටියක් ලබා දීමට අමතක නොකළ සේක.

තමන් වහන්සේගේ ජීවිත කාලය මුළුල්ලේම ආර්ය මාර්ගයට අවතීර්ණ වීමට තරම් කීකරු නොවූ ඡන්න භික්ෂුවගේ හිතසුව පිණිස තමන් වහන්සේගේ ඇවෑමෙන් ඔහුට බ්‍රහ්ම දණ්ඩය පනවන ලෙස භික්ෂූන් වහන්සේලාට නියම කොට වදාළේ මානව දයාව පිරිපුන් ගැඹුරු අවස්ථාවකි. පුරා පන්සාලිස් වසරක් පුරා තමන් වහන්සේ දෙසූ ධර්මය විනය පිළිබඳව ශ්‍රාවකයන් තුළ යම්කිසි කුකුසක් ඇත්තේ නම් එය විමසා සිටින්නැයි පිරිනිවන් පෑමට ආසන්න මොහොතේ විමසන ලද්දේ මරණ මොහොතේ පවා අනුන්ගේ මානසික සන්තුෂ්ටිය උදාකරලීම එකම පරමාර්ථය වු බැවිනි. ඒ සඳහා පෙර අවස්ථාවක් නොලද අයට පසුකාලීන පශ්චාත්තාප වීමට ඉඩක් නොතබන අදහසිනි. මෙහිලා මානව දයාව ඉතාම මූර්තිමත්ව පෙනෙන්නේ කිසිම භික්ෂූන් වහන්සේ නමක් කිසිවක් නොවිමසන විට බුදුපියාණෝ කළ ප්‍රකාශයකි.

“තම ශාස්තෘවරයාට ගෞරවයෙන් ඔබ යමක් මගෙන් නොවිමසනවා විය හැකිය. එසේ නම් තව යහළුවන් මගින් විමසන්න. එවිට මම පිළිතුරු දෙන්නෙමි. පුහුදුන්කම නිසාම ඇතැමෙකු බුදුරදුන්ගේ ගුරු මුෂ්ටියක් ඇතැයි සිතන්නට පෙළඹිය හැකිය. ඒ පිළිබඳව බලාපොරෙත්තුවක්ද තිබිය හැකිය. එබඳු පුහු බලාපොරොත්තු නිසා සිය ශ්‍රාවකයන් ගේ සිත් විපිළිසර නොවේවා යන පැතුමෙන් බුදුපියාණන් වහන්සේ “මාගේ ගුරු මුෂ්ටියක් නැත. සියල්ල නොසඟවා ප්‍රකාශ කොට ඇතැයි" විවෘතව දේශනා කළහ. චුන්ද කර්මාර පුත්‍රයාගේ බත වැළඳීමෙන් උන්වහන්සේට ලෝහිතපක්ඛන්දිකා නම් මාරාන්තික වේදනාවක් ගෙන දෙන දරුණු රෝගයක් වැළැඳිණි. එය උන්වහන්සේ වැළදූ අවසාන ආහාරය විය. එම කරුණ හේතු කොටගෙන චුන්දගේ සිතෙහි මහත් කම්පාවක් ඇතිවීමට ඉඩ තිබුණි. අසරණ සිත් සුවපත් කිරීම තම ජීවිතය කොටගත් බුදුපියාණන් වහන්සේ පිළිබදව නිහඬව නොසිට පිරිනිවන් පෑමට පෙර ආනන්ද හිමියන් අමතා මෙසේ වදාළ සේක.

”ආනන්ද බුදුවීමට පෙරදා සුජාතාව දුන් පිණ්ඩපාත දානයත්, පිරිනිවීමට පෙර චුන්දකර්මාර පුත්‍රයා ලබාදුන් දානයත් සම ඵල සමවිපාක ලබාදෙන බව දේශනා කොට චුන්දගේ සැකය දුරුකරන්නාහ. පිරිනිවන් මඤ්චකයෙහි වැඩසිටින අවස්ථාවේ පැමිණි සුභද්‍ර ආනන්ද හිමියන් වළක්වද්දීත් එසේ නොකර තමන් වහන්සේ වෙතම ගෙන්වා ලොව්තුරා සුවයෙන් සැනසීමට මග කියා දුන්නේ ජීවිතයේ අවසන් හුස්ම වැටෙද්දීත් උතුරා යන මානව දයාවේ අපරිමිත ස්වභාවය ලෝකයාගේ සදානුස්මරණීය මතක සටහන් අතරට එක්කරමිනි.

 

     ‍ බිනර අමාවක පෝය  

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 12 වැනිදා සඳුදා පූර්වභාග 2.58 ට ලබයි. 13 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 12 වැනිදා සඳුදාය.

මීළග පෝය
ඔක්තෝබර් 20 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]