UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෙරභවය යි කර්ම විපාකය යි 13 තමන්ගේම පුතුන් කෑ පේ‍්‍රතිය

පෙරභවය යි කර්ම විපාකය යි 13

තමන්ගේම පුතුන් කෑ පේ‍්‍රතිය

ගියවර අපගේ අවධානය යොමු වූයේ මිනිස් ලොව ඉපිද විවිධ අකටයුතු කම් කළ පවුලක සියලු සාමාජිකයින් පේ‍්‍රත අත් බවක් ලැබු බව පවසන “භූත” නම් වූ පේ‍්‍රත වස්තුව විමසා බැලීමටයි. මෙවර අපගේ අවධානය යොමු වන්නේ පෙර එක් අත් භවයක ස්ත්‍රියකගේ කුස තුළ වැඩෙන දරු ගැබක් විනාශ කළ .තවත් ස්ත්‍රියක් පේ‍්‍රතියක්ව ඉපිද අනේකවිධ දුක්ඛයන්ට භාජනය වන අයුරු විමසා බැලීමටයි. එය පේතවත්ථූවේ සඳහන් වන්නේ “පඤ්චපුත්තඛාදක්පේතවත්ථු” යන නමිනි.

සැවැන්නුවරට නුදුරෙහි එක්තරා ගමක කෙළෙඹි පුත්‍රයෙක් එම ගම සමීපයෙන්ම එක් ස්ත්‍රියක් බිරිඳ ලෙස සරණපාවා ගත්තේය. කලක් ගතවුවත් දරුවන් නොලැබූ ඇය වඳ ස්ත්‍රියක් විය. ඔහුගේ දෙමාපියාදී ඤාතීන් පැමිණ වෙනත් ස්ත්‍රියක් සරණ පාවා ගන්නා ලෙස ඔහුට ඇවිටිලි කළහ.

එහෙත් ඔහු තමාගේ බිරිඳ කෙරෙහි වු දැඩි ස්නේහය නිසා එසේ නොකළාය. පසුව ඔහුගේ බිරිඳ ද ඔහුගේ කුල පරම්පරාව ආරක්ෂා කර ගැනීම සඳහා දරුවන් අවශ්‍ය බැවින් වෙනත් කාන්තාවක් සරණපාවා ගෙන එන ලෙස ඇවිටිලි කළ නිසා අකැමැත්තෙන් වුවද වෙනත් කාන්තාවක් රැගෙන ආවේය.

බිරින්ඳෑවරු දෙදෙනාම මුල් කාලයේ සමගියෙන් විසු අතර ටික කලක් යන විට පරණ බිරිඳට මෙසේ සිත් වූවාය.

එනම් මැය දරුවන් ලැබ ගෙදර ප්‍රධාන තැන ගත් විට මා හට අයත් වන්නේ ගෙදර දාසියක්ව වැඩ කිරීමටයි. එබැවින් මැය දරුවන් නැත්තියක් කරන්නෙමි”යි යනුවෙනි.

මෙසේ සිතූ ඇය දෙවන බිරිඳ ගැබ්ගත් බව දැන ආහාරයට විෂක් යොදා ගැබ හෙළීමට කටයුතු කළාය. ටික දිනකින් පසු අතිශය දුකට පත් දෙවන බිරිඳ ලේ සහිතව ගැබ් හෙළීය. මෙය පරණ බිරිඳගේ ක්‍රියාවක්යැයි දැන ඇය තම දෙමාපියන්ට දැන්වීය.

පසුව දෙමාපියන් පැමිණ මේ කළ අපරාධය පිළිබඳ ඇගෙන් විමසීය. එහෙත් ඇය එය නොපිළිගත් බැවින් දිවුරන්න යැයි පැවසූහ. එවිට ඇය දිවුරා කියා සිටියේ තමා එබඳු කටයුත්තක් නොකළ බවත්ය.

එසේ කළේනම්, මතු උපදින ආත්මයන්හි දුගතිගාමීව ආහාරපානාදිය නොලැබ දිනකට පුතුන් දහදෙනෙක් බිහිකොට එයින් පස්දෙනෙක් උදේටත් තවත් පස්දෙනෙක් සවසටත් වශයෙන් අනුභව කරමින් දුර්ගන්ධය වහනය වන ශරීරයෙන් යුක්තව නිතර නිල මැස්සන් වසන ලද ශරීරයක් ලැබෙන්නේය යනුවෙන් දිවුරා තමන්ටම ශාප කරගත්තාය.

“සවෙ මයා ගබ්භො ජාතිතො, දුග්ගතිපරායණා බුප්පියාසාහිභූතා සායං පාතං පඤ්ච පඤ්ච පුත්තෙ විජයිත්වා ඛාදිත්වා තිත්තිං න ගච්ඡෙය්‍යං , නිච්චං දුග්ගන්ධා මක්ඛිකාපරික්ණ්ණාච භවෙය්‍ය “න්ති මුසා වත්වා සපථං අකාසි

මෙසේ ටික දිනක් ගත වීමෙන් තමා කළ අකුශල කර්මය නිතර සිහිවීමෙන් ඉවසාගත නොහැකිව ලෙඩ වී මරණයට පත්ව ඇය අන් අයට මුසා බස් දොඩා තමාම රවටා තමාටම දිවුරා ශාප කරගත් පරිදි ඒ අසලම නිල මැස්සන් වසාගත්, දුර්ගන්ධය හමන, ශරීරයෙන් යුක්තව ලෙයින් වැකුනු ශරීර ඇතිව සා පිපාසාදියෙන් පීඩිතව පුතුන් කමින් ජීවත්වන පේ‍්‍රතියක්ව උපන්නාය.

එකල්හි ජනපද වාසි වූ භික්ෂූන් වහන්සේලා අටනමක් වස්කාලය ගත කොට එය නිමවා බුදුරජාණන් වහන්සේ දැකීමට වන මැදින් වැඩම කරනුයේ ගමන් මහන්සිය නිවා ගැනීම සඳහා මහත් සෙවන ඇති ගසක් මුල වැඩ හුන්හ. එම අවස්ථාවේ එතනට පැමිණි නග්න වු අප්‍රසන්න දැකීම් ඇති, දුර්ගන්ධය වහනය වන තමා වැදූ පුතුන් කන මේ පේ‍්‍රතිය දුටහ. මෙසේ අප්‍රසන්න ගති ඇයි? මේ පේ‍්‍රතියගෙන් එක් තෙරනමක් මෙසේ විචාළහ.

නග්ගා දුබ්බණ්ණරූපාසි, දුග්ගන්ධා පූති වායසි
මක්ඛිනාහි පරිකිණ්ණං කා නු ත්වං ඉධ තිට්ඨයිති

නග්න වූ දුර්වර්ණ ශරීර ඇති ඔබේ ශරීරයෙන් දුර්ගන්ධය වහනය වෙයි. නිල මැස්සන් පිරිවරා ඇත.

මෙසේ අප්‍රසන්න වූ ඔබ මෙහි සිටින්නේ කා උදෙසාද?

එවිට ඇය පවසනුයේ “ස්වාමීනි මම පේ‍්‍රතියක්මි, මා විසින් කළ පව්කම් නිසා දුගතියෙහි ඉපිද දුක්විඳ කර්මය ක්ෂය නොවු බැවින් පේ‍්‍රතියක්ව ඉපිද එම කර්ම විපාක ගෙවමි.” යනුවෙනි.

අහං හදනතෙ පෙතීම්හි, දුග්ගතා යම ලොකිකා
යාපනකම්මං කරිත්වාන, පෙතලොකං ඉතො ගතා

මම උදේට පුත්‍රයන් පස් දෙනෙක්ද, සවසට පුත්‍රයන් පස්දෙනෙක්ද බිහිකරමි. උදේ බිහිකරන පස්දෙනා උදේ ආහාරයට ගනිමි. සවස බිහිකරන පස්දෙනා සවස ආහාරයට ගනිමි. එහෙත් මාගේ සා පිපාසාව නොසන්සිඳේ.

කාලෙන පඤ්ච පුත්තානි, සායං පඤ්ච පුනාපරෙ
විජායිත්වාන ඛාදාමි, තෙපි නං හොන්ති මේ අලං

මාගේ ශරීරය අභ්‍යන්තරයෙන් නිතර දැවෙයි. දුම් දමයි. කෑමට බීමට කිසිවක් නොලැබෙයි. ඒ මා විසින් කළ අකුශල කර්මයේ බලවත්කම නිසාය.

පරිඩය්හති ධූමයතී, ඛුදාය හදයං මම
පානීයං න ලභෙ පාතුං පස්සමං ඛ්‍යසනං ගතන්ති

එය ඇසූ භික්ෂූන් වහන්සේ ඇය මෙවැනි දුක්ඛිත තත්ත්වයකට පත්වීමට හේතුව අකුශල කර්මය විමසයි. “මෙසේ තමන් විසින්ම බිහි කරන පුතුන් කෑමට තරම් සාහසික වීමට ඔබ කයෙන් කළ අකුශල කර්මය කුමක්ද? වචනයෙන් කළ අකුශල කර්මය කුමක්ද?

කිං නු කායෙන වාචායව, මනසා දුක්කටං කතං
කිස්ස කම්මවිපාකෙන, පුත්තමංසානි ඛාදසිති

“පෙර අත් භවයේ මාගේ ස්වාමියා විසින් රැගෙන එන ලද අනෙක් බිරිඳ දරු ගැබක් ගත් කල්හි ද්වේෂයෙන් මඩනා ලද සිත් ඇත්තේ ඊර්ෂියාවෙන් යුක්තව ඇගේ දරු ගැබ හෙලීමට ආහාර සමඟ විෂ යෙදුවාය. දෙමසක් වු ඇගේ දරු ගැබ ලේ සහිතය.

ඇයට අතිශය දුක් පමුණුවමින් හෙළීය. ඇගේ දෙමාපියන් පැමිණ මා විමසන කළ ඔවුන් බොරුවෙන් වංචා කොට රැවටුවෙමි. ඔවුන් මා හට දිවුරන්න යැයි කියූ කල එසේ මා ඔවුන් වංචාකොට එසේ මා කළේ නම් මෙසේ වන්නේයැයි දිවුරුවෙමි. එහි ප්‍රතිඵල මා මෙසේ විඳිමි. යනුවෙන් පේ‍්‍රතිය දුක් මුසුව පැවසුවාය.

පපනීමේ ගබ්හිනි ආසි, තස්සා පාපං අවෙනයිං

මෙසේ තමාගේ කර්ම විපාක පවසා දුක් මුසු වු ඇය එම භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කළාය. “ස්වාමීනි එම අපරාධය කළේ මේ ගමෙහිම අසවල් ගෙදර ස්වාමියාගේ බිරිඳටය. එබැවින් ඔබ වහන්සෙලා ඒ නිවසට වැඩම කොට එහිදී දන් පිළිගෙන කරුණු පහදා දී මා හට පින් අනුමෝදන් කළහොත් මා මේ දුක්ඛිත පේ‍්‍රත අත් බවෙන් මිදෙන්නේය” යනුවෙන් පැවසුවාය.

ඒ ඇසු තෙරුන් වහන්සේලා තමන් වහන්සේලාගේ ගමන ප්‍රමාද කොට ඇය කෙරෙහි අනුකම්පාවෙන් ඇය කී නිවෙස වෙත වැඩම කළහ. ගේ හිමියා පැමිණ භික්ෂූන් වහන්සේලා දැක පැහැදී උන්වහන්සේලාගේ පාත්‍ර රැගෙන දන් පිළිගැන්වූහ.තෙරුන් වහන්සේලා පේ‍්‍රතිය පිළිබඳ සියලු පුවත් ගෙ හිමියා ඇතුළු පිරිසට දේශනා කළහ. එයින් කම්පාවට පත් සියලු දෙනා භික්ෂූන් වහන්සේලාට දන් පිළිගන්වා ඇයට පින් අනුමෝදන් කළහ. පින් අනුමෝදන් වු ඇය පේ‍්‍රත අත් බවින් මිදී මහත් සම්පත් ලැබ රාත්‍රියෙහි ගෙහිමියා වෙත පැමිණ ඔහු ඇතුළු පිරිසට ප්‍රශංසාකොට ගොස් ඇත.

ථෙරා තං පවත්තිං කුටුම්බිකස්ස ආරොවෙත්වා තං දානං තස්සා පෙතියා උද්දීසාපෙසුං කඩ්බණඤ්ඤෙවච
සා පෙතී තතො දුක්ඛිතො අපෙතා උළාරසම්පත්තිං පටිලභිත්වා රත්තියාං කුටුම්භිකස්ස අත්තානං දස්සෙසි.

තෙරුන් වහන්සේලා ද ක්‍රමයෙන් සැවැත්නුවරට පැමිණ සිදුවු සියලු පුවත් බුදුරජාණන් වහන්සේට සැළ කළහ.

බුදුරජාණන් වනහන්සේ එය අරමුණු කොටගෙන රැස් වූ පිරිසට දහම් දෙසූහ. බොහෝ දෙනාට ධර්මාභිසමය විය.


පෙරභවය යි කර්ම විපාකය යි 12 අකුසලයෙන් පේ‍්‍රත බව ලත් පවුලක්

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් මස 21 වැනි දා සිකුරාදා අපරභාග 06.39 ට ලබයි. 22 වැනිදා සෙනසුරාදා අපරභාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06

Second Quarterඅව අටවක

දෙසැම්බර් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]