UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් අමාවක 2014.11.22

සඳහිරු සෑයේ ධාතු නිධාන මහ පින්කම

මෙරට ඓතිහාසික චෛත්‍යය නාමාවලියට අභිනවයෙන් එකතුවන චෛත්‍යය නම් අනුරාධපුර සඳහිරු සෑය වේ. “සඳ” සෞම්‍ය ගුණයෙන් යුක්තය. හිරු තේජස් ගුණය හෙවත් රශ්මියෙන් යුක්තය. අතීතයේ “සඳ හිරු” ලොව, ඇතැම් ජනයා වන්දනාවට පවා යොදා ගත් ප්‍රසිද්ධ ස්වභාවික වස්තු දෙකක් වේ. “ඉර හඳ පවතින තුරු” යන කියමනක් ද වහරේ එයි.

අපේ රට අඳුරට ඇද දැමූ තිස් වසරක ත්‍රස්තවාදයක් පැවැති බව අමතක කළ හැකි නොවේ. ඒ බියකරු කුරිරු ත්‍රස්තවාදය උතුරු නැගෙනහිරට පමණක් සීමා නොවූවකි. ත්‍රස්තවාදය නිසා රට පුරා විවිධ නගරවල විවිධ පූජනීය සිද්ධස්ථානවල, පොදු ස්ථානවල, දුම්රිය, බස්රියවල පවා ගමන් ගත නොහැකි අවිනිශ්චිත තත්ත්වයක් එදා පැවැතිණි. බිය සැක හේතුවෙන් ජීවිත පැවැත්ම අවදානම් තත්ත්වයෙන් පැවැතිණි. ඒ කුරිරු ත්‍රස්තවාදය නිසා ජීවිත අහිමි වූ රණවිරුවන් හා පොදු ජනයාද දහස් ගණනකි.

ඒ කුරිරු මිලේච්ඡ ත්‍රස්තවාදය මුලිනුපුටා දමා බිය සැක නැති නිදහස් සාමකාමී සමාජයක් හැම දෙනාගේම පැතුම වූහ.

අවිගත් නොමග ගිය කණ්ඩායමක් රට තුළ ඇති කළ ඒ ත්‍රස්තවාදය පරාජය කිරීමට මානුෂික මෙහෙයුම ඇරැඹිණි. එය ජන වර්ගයකට එරෙහි වූවක් ද නොවන අතර අවිගත් ත්‍රස්තවාදීන් කළ මිලේච්ඡ ක්‍රියා තුරන් කර රටට, ජනතාවට සාමය උදා කිරීමට කළ යහපත් ක්‍රියාදාමයකි. මානුෂික මෙහෙයුම ඇරැඹීමෙන් පසු රටත්, සමස්ත ජනතාවත් අපේක්ෂා කළ බිය සැක දුරුවිය. රටට සාමය උදා විය.

අපේ ඈත අතීතය දෙස සිතන විට දුටුගැමුණු මහරජතුමා එදා ආක්‍රමණිකයන්ගෙන් රට මුදාගෙන ආධ්‍යාත්මික හෙවත් පූජනීය ඓතිහාසික ආගමික සංකේතයක් ඉදි කරවන ලදී. පරම පූජනීය ඓතිහාසික වස්තුවක් ලෙස එය අදටත් වන්දනා කිරීමට අපට හැකි වී ඇත්තේ එබැවිනි.

එම ඓතිහාසික උරුමය අප සියලු දෙනාගේ උරුමයකි. ජාතික උරුමයේ සංකේතයක් ලෙස ගොඩනැඟෙන සඳහිරු සෑය ද ගැඹුරු අර්ථයකින් සමන්විතය.

වාස්තු විද්‍යානුකූලව දාගැබ් තැනීම අතින් ලොව ජය කෙහෙළි නංවන ලද රටකි අපේ රට. ජේතවන දාගැබ, අභය ගිරි දාගැබ, රුවන්වැලි මහා සෑය ආදී ඓතිහාසික පූජනීය උරුමයන් අපේ ආගමික උරුමයන් අතර ප්‍රමුඛස්ථානයක් ගනී.

නූතන ලොවෙහි ඉදිවන ඓතිහාසික මහා සෑය සඳහිරු මහා සෑය වේ. එය ගොඩනැංවීම සඳහා ගඩොල් ලක්ෂ එකසිය හැත්තෑවක් පමණ වැය වනු ඇත. හතර වන සියවසින් පසු අපේ රටේ ඉදිවන විශාලම දාගැබ සඳහිරු සෑයයි. ඓතිහාසික ප්‍රමිතීන්ට අනුව ගඩොල් නිපදවා අඟල් දෙකක් ඝනකමින් හා අඟල් අටක් පළලින් යුත් අඟල් දොළහක් දිග ගඩොල් සඳහිරුසෑය තැනීමට යොදා ගැනේ.

ප්‍රමිතියකට අදාළ ගඩොල් පළමුව මහියංගනය, පොළොන්නරුව ආදී ප්‍රදේශයන්හි තැනූ අතර පසුව ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ භටපිරිස්හි ශ්‍රමයෙන් කොච්චිකඩේ, දංකොටුව, ඇලයාපත්තුව, තන්තිරිමලේ, ගල්කඩවල, අම්පාර, මහියංගනය යන ප්‍රදේශවල ගඩොල් නිපදවා ඒ ස්ථානවලින් සපයනු ලබන ගඩොල් ප්‍රවාහනය කරනු ලැබේ.

ක්‍රි.ව. 2 වන සියවසේ දී වළගම්බා රජු දවස මාතලේ අළු විහාරයේ දී එතෙක් වන පොත් කිරීමෙන් රහතන් වහන්සේලා විසින් රැකගෙන ආ ත්‍රිපිටක දහම ග්‍රන්ථාරූඪ කිරීමේ ප්‍රතිඵලය නම් ලෝකවාසීන් සම්බුදු දහමට යොමු වීමය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උදාර අරමුණකට අනුව සඳහිරු සෑය ඉදිකිරීම් 2010 වසරේ නොවැම්බර් මස 22 වැනිදා ආරම්භ කැරිණි. රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීමෙන් ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ ද ශ්‍රම දායකත්වයෙන් ඉදිවන සඳහිරු සෑයේ ශ්‍රී සර්වඥධාතු නිධානය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පින්බර සුරතින් මෙම 23 වන දා මහ සඟරුවන හය දහස් නමකගේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ පැවැත්වේ.

මෙරට ඓතිහාසික වෙහෙර විහාරස්ථානවලින් පිරිනමන ලද නිසැක ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා එහි නිධන් කෙරේ. එම මහඟු අවස්ථාව දැක බලා වැඳ පුදා ගැනීමට සහභාගිවන්නේ නම් එය ජීවිතයේ සදා අනුස්මරණීය මහා පින්කමක් වනු නොඅනුමානය.

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් මස 21 වැනි දා සිකුරාදා අපරභාග 06.39 ට ලබයි. 22 වැනිදා සෙනසුරාදා අපරභාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06

Second Quarterඅව අටවක

දෙසැම්බර් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]