UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුද්ධ සංදේශය රැගෙන වැඩි අනුබුදු මිහිඳු මා හිමි

සම්බුද්ධ සංදේශය රැගෙන වැඩි අනුබුදු මිහිඳු මා හිමි

ඇත් පිය සටහන් දෙසුමෙන් තිසරණ ගන්වා දහම් දෙසද් දී රජු ඇතුළු පිරිසට දහම් මඟ විවර විය. අනුලා බිසවුන් ප්‍රමුඛ රාජ මහේෂිකාවන්ට පේත වත්ථු - විමාන වත්ථු දෙසුමින් පවෙහි ආදීනව ද, පිනෙහි අනුසස් ද පහදා දුන් සේක. සංයුත්ත සගියේ සච්ච සංයුත්තයෙන් දහම් දෙමින් චතුරාර්ය සත්‍යය පහදද් දී දහස් ගණනින් දෙවි මිනිසුන් මගඵල පසක් කළහ

සත් හැවිරිදි නිග්‍රෝධ රහත් හිමියන්ගේ් සිඟිති මුව මඬලින් අසිරිමත් සදහම් පද ළයාන්විතව ගලා ගියේ ය. චිත්ත සන්තාපයන් පහව ගොස් සැනසුම් සුසුමන් හෙලූ අශෝක නිරිඳුන් අපමණ සැදැහැයෙන් තෙරුවන් සරණ ගියේ ය. දඹදව් තලයට බිය ශෝකය කැන්දු චණ්ඩාශෝකයන් යහපත සෙත සැලසූ ධර්මාශෝකයන් බවට පත්විය. අපමණ දනන් දුකට, පීඩාවට පත්කළ දිග්විජය වෙනුවට සැප සැනසුම උදාකළ දහම් විජය ක්‍රියාවට නැංවිණ. මොග්ගලිපුත්ත තිස්ස මා හිමියන් සමඟින් ධර්මාශෝකයන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පුදද්දී බුද්ධාලම්බන පී‍්‍රතියෙන් පිනා ගියේය. ඇඳීලි බැඳ වන්දනා කරමින් අරහත් මුනිවරුන් ඇමතූ® අශෝක නිරිඳුන් මෙසේ පැවසීය.

“තථාගත මුනිරජුන්ගේ සුවාසු දහසක් දහම් කඳට උපහාර පිණිස වෙහෙර විහාර අසූහාර දහසක් කරවන්නෙමි’.

සය වසක් තුළ දඹදිව් තලය පුරා ගව්වෙන් ගව්ව ධාතුන් වහන්සේ තැන්පත් වෙහෙර විහාර ඉදිවිය. වෙසක් පුන්පොහෝ දින ඒ සියලු විහාරාරාම ගොයුම් බුදු සසුනට පිදුම් වෙද්දී අරහත් සෘර්ධිියේ අනුහසින් දම් සෝ නිරිඳුන් ඒ සියල්ල දැක ගත්තේ ය. අහස්කුස සිපගත් ශ්වේත වර්ණ ථූපයන් ද, රන්වන් පැහැයෙන් දළුලන බෝධි වෘක්ෂයන් ද සම්බුදු ගුණ කඳ සිහිගැන් විය. තුන්ලොව එකලු කළ සම්බුද්ධ ප්‍රඥා ලෝකයට උපහාර පිණිස දහස් ගණනින් පහන් දල්වා තිබිණ.

දසත පැතිරුණු තථාගත මුනිරජුන්ගේ් සිල්ගුණ සුවඳ සිහිකළ සුගන්ධ පූජාවන් මඳනල හා මුසු විය. නිමල පිවිතුරු සම්බුද්ධ දිවිය සුගන්ධ පුෂ්පයන්ගෙන් පුද දී තිබිණ. ෂඩ් වර්ණ රෂ්මි මාලා සිහිගන්වන ධජ පථාකයන් මද සුළෙ‍ෙග් ලෙළදුණි.

කසාවත් දැරූ බුදු පුුතුන්ගෙන් ද, සුදුවත් හැඳි උවසු උවැසියන්ගෙන් ද සියලු ආරාම පිරී තිබිණි. සොම්නසින් ඉපිලී ගිය ධර්මාශෝකයන් මොග්ගලීපුත්ත තිස්ස රජුන් අමතා මෙසේ පැවසීය.

‘පින්වත් හිමිපාණෙනි, ගොයුම් බුදු සසුනට මා දැන් ඤාතියෙකු, උරුමක්කරුවෙකු නොවේද?

‘පින්වත් නිරිඳුුනි, ඔබගේ ලෙයින් උපන් දරුවෙකු සසුනට පිදීමෙන් ම ඒ උත්තම ඤාතීත්වය ලද හැකිය.’

තෙරුවන් සරණ කෙරෙහි පහන් සිත් ඇති නිිරිඳුන් සිය අතිජාත පුත්‍ර මහින්ද කුමරුන් අමතා,

’පි‍්‍රයාදර පුතණුවනි, අරහත් ධජය වූ කසාවත දරා ශ්‍රමණ ගුණ පුරා අම සුව ලබන්නට ඔබ කැමැත්තේ ද?

’පියාණෙනි, දඹදිව්තල රාජාභිෂේකයට වඩා සම්බුදු රජුන්ගේ ළයෙහි උපන් සව්වෙකු වීමට මම ඉතා කැමැත්තෙමි’ කියා සිටියේය.

ධර්මාශෝකයන් සිය නෙත් සඟලවන් මිහිඳු කුමරුන් ද, සඟමිත් කුමරිය ද මහත් හරසරින් යුතුව බුදු සසුනට පිදීය. මොග්ගලීපුත්ත තෙරිඳුන්ගේ සුරතින් කෙස් වැටිය කපද්දීම මහා පින් ඇති මිහිඳු හිමියන් “තච පංචක” කමටහන් වඩා නිකෙලෙස් වූ සේක. තථාගත සම්බුදු වදන් සියල්ලම තෙ වසරක දී සිය නිකෙලෙස් හද මඬලේ තැන්පත් කර ගත් සේක. තෙවන දහම් සංගීතිය පවත්වා ධර්ම දූතයින් වැඩම වද්දී, සම්බුද්ධ සංදේශය රැගත් මිහිඳු මා හිමියන් මිස්සක පව්වට වැඩි සේක. දඩ කෙළියේ ගොස් සිටි තිස්ස රජු වෙත මුවෙකුගේ වෙස් ගත් දෙව් පුතෙකු යවා තමන් වෙත කැඳවා මෙසේ පැවසූ සේක. ’ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රමණයන් වූ අප ඔබ හා ඔබේ රටවැසියන් කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි පැමිණියෙමු,

“ඇත් පිය සටහන්” දෙසුමෙන් තිසරණ ගන්වා දහම් දෙසද් දී රජු ඇතුළු පිරිසට දහම් මඟ විවර විය. අනුලා බිසවුන් ප්‍රමුඛ රාජ මහේෂිකාවන්ට ‘පේ‍්‍රථ වත්ථු - විමාන වත්ථු’ දෙසුමින් පවෙහි ආදීනව ද, පිනෙහි අනුසස් ද පහදා දුන් සේක. සංයුත්ත ස¼ගියේ සච්ච සංයුත්තයෙන් දහම් දෙමින් චතුරාර්ය සත්‍යය පහදද් දී දහස් ගණනින් දෙවි මිනිසුන් මගඵල පසක් කළහ.

‘හාස්පස සක්වල සිටින දහම් අසන රිසි වූ පින් කැමැති දෙවියන් අප මුනිරජුන් වදහළ උතුම් සදහම් ඇසුමට පැමිණෙත්වායි’ සුමණ සාමණේරයන් ලවා දේවතාරාධනය කරවා ‘සමචිත්ත පරියාය’ සුත්‍රය දෙසූ සේක. නිරයේ ඇති තතු ‘දේවදූත සුත්‍රයෙන් ද, කුසල් අකුසල් ඔස්සේ සුගති දුගති කරා යනායුරු ‘බාලපණ්ඩිත’ සූත්‍රයෙන් ද පෙන්වා දුන් සේක. දහම් පහස ලත් යොවුන් අරිට්ඨයන් ප්‍රමුඛ රජ කුමරුවන් හැට දෙදෙනෙකු කසාවත් දරා මිහිඳු හිමි සෙවණේ පිලිවෙත් පිරූ හ. සීලයේ ගුණ තේජස ඉස්මතු කොට ‘අග්ගික්ඛන්ධෝපම සූත්‍රයත්’, ජීවිතයේ සැබෑ තතු පහදන ‘ආසිවිසෝපම සූත්‍රයත්’ මිහිඳු සරින් ඔවුනගේ් සවනට වැටුණි. දුක්ඛිත සසරේ බිහිසුණු බව ‘අනමතග්ග සංයුත්තයෙන්’ පෙන්වා දී ‘දම්සක් පැවතුම් සූත්‍රයද’, ‘අප්පමාද සූත්‍රය ද’ දෙසද්දී නිකෙලෙස් මුනිවරුන් හැට නමක් ලක්දිව් තලයෙන් බිහි විය. මසක් ඇතුළත නිවන් මඟ එසේ විවර කොට වස් වැසීමට පෙර වස්සූපනායිකක්ඛන්ධය ද’ දේශනා කොට වීතරාගි මුනිවරුන් මිහින්තලා ලෙන්හි වස් විසූහ.

රාජකීය දිවිය අත්හළ අනුලාවන් ඇතුළු මහේෂිකාවන් පන්සියක් බඹසර සිල් සුරකමින් උපාසිකාරාමයක දැහැමින් කල් ගෙවූහ. ඔවුනට ශාසනිත දායාද දීම පිණිස සංඝමිත්තා රහත් තෙරණිය ද, ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ද වැඩම කරවන්නැයි මිහිඳු මා හිමි පියරජුට හසුන්පත් යැවීය. අරහත් මුනිවරුන් පිරිවැරූ දම්සෝ නිරිඳුන් ජය ශ්‍රී මහා බෝධි ශාඛාව දඹදිව් තලයෙන් තෙවරක් පුදා සඟමිත් තෙරණිය අත තුන් ලොව අග්‍ර පූජාවන් මැද ලක්දිවි තලයට වැඩම වීය.

සඟමිත් තෙරණිය සෙවනේ් වූ අනුලාවන් සහ පිරිස සුළු කලෙකින් නිකෙලෙස් මුනිවරයන් වී අමා සුව සළසා ගත්හ. සක් දෙවිඳුන් පිදූ අකු ධාතුන් වහන්සේ යමාහ පෙළහර පා නිදන්ගත වූ ථූපාරාම සෑ මළුවට රැස් වූ අරිට්ඨ මුනිඳුන් ඇතුළු සිංහල රහතුන් විනය පිටකය සංගායනා කළහ. ගෞතම බුදුසසුන එසේ ලක්දිව ස්ථාපිත වෙද්දී සොම්නසින් ඉපිල ගිය ලෝක ධාතුව තදින්ම කම්පා විය. දෙවන පෑතිස් නිරිඳුන් පිදූ මහාමේඝ උයනේ මිහිඳු මා හිමියන් දෙවි මිනිසුන්ගේ මහත් පුද මැද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කර වූ සේක. ද්‍රෝණයක් මුනි ධාතු රඳා අනාගතයේ ඉදිවන ස්වර්ණමාලි සෑ රඳුනට බිම සළකුණු කළ සේක. සිරි සදහම් පැතිර යද්දී ලක්දිව දම්දිවයිනක් වී රහතුන්ගෙන් ශෝභමාන වී කසාවතින් බැබලී ගියේ ය. තිසරණ පන්සිල් සුරකින සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරි ගියේ ය. ධර්මාශෝක නිිරිඳුන් සේ දේවානම්පියතිස්ස රජුද, ලක්දිව සිසාරා ගව්වෙන් ගව්ව වෙහෙර විහාර ඉදිකර විය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට ලංකා තලය පූජා කළ දෙවන පෑතිස් නිරිඳුන් සියලු රාජාභරණයෙන් ශ්‍රී මහා බෝධිය අභිෂේක කරවා පිදීය. සඟමිත් තෙරණිය සමඟින් පැමිණි දහඅට කුලයක ශිල්පීහු මිහිඳු මා හිමිගේ මඟ පෙන්වීමෙන් ලක්දිව සුඛිත මුදිත කළහ. දසබලයන් වහන්සේ නැමැති ශෙලමය පර්වතයෙන් පැන නැගී සදහම් නදී දිය දහරින් ලක්දිව වැසියන්ගේ දුක් සෝ සුසුම් නිවී සැනසී මගඵලලාභී රහත් මුනිවරුන්ගේ් පරපුරක් බිහිවිය.

දිවි පරදුවට තබා බුදුදහම රැකගත් සම්බුදු වදන් පුස්තක කළ, ලොව දසත සම්බුදු දහම පැතිර වූ ශ්‍රේෂ්ඨ පරපුරක් බවට පත්වූහ. මේ සියලු ශාසනික දායාදයන් ලක්දිවට තිළිණ කොට අනුපාදිශේෂ පිරිනිවනින් සැනසුණ අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ශ්‍රී අරහත්ත ධාතූ®න් ලක්දිව තලයේම නිදන් ගත වූ සේත.

සැබෑ කාන්තා විමුක්තිය උදාකළ ශාසනික දායාදයන් තිළිණ කළ සඟමිත් තෙරණියගේ ශ්‍රී ධාතුන්ද වැඩ සිටින්නේ මේ පින්බිමේ ම ය.

ගෞතම බුදුරදුන්ගේ අමා දම්කඳ රැගෙන වැඩි, පන්දහසක කල් සසුනට ආයු වැඩූ අනුබුදු මිහිඳු මහ රහතන් වහනසේට අපගේ නමස්කාරය වේවා! අරහත් මුනිවරියන් බිහි කළ ලක්දිව මුදුන් මල්කඩ වන් සිරිමහ බෝ සමිඳු වැඩම වූ සඟමිත් තෙරණියට අපගේ නමක්සාරය වේවා! බුදු සසුන බැබල වූ අරිට්ඨ මහරතන් වහන්සේට ද අපගේ නමස්කාරය වේවා!.

සටහන: නයනා නිල්මිණි

 

 පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 22 වෙනිදා සෙනසුරාදා අපරභාග 08. 53 ට ලබයි.
23 වෙනිදා ඉරිදා අපරභාග 05. 03 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජුනි 23 වෙනිදා ඉරිදා ය.

මීළඟ පෝය
ජුනි 30 වෙනිදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]