UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලයෙන් ඇරැඹුණු ජාතික හා බෞද්ධ අනන්‍යතාව

මිහින්තලයෙන් ඇරැඹුණු ජාතික හා බෞද්ධ අනන්‍යතාව

මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම ලක්දිවට වැඩම කොට මිහින්තලාවේ අම්බස්තලයේ දී රජුට දහම් දෙසා තෙරුවන පිළිබඳ හැඟීමක් ඇති කිරීම ලක්දිව බෞද්ධ ශාසනයේ ආරම්භක පියවර සනිටුහන් කරයි. මිහිඳු හිමියන් විසින් බුද්ධාගම පමණක් නොව මහා සභ්‍යත්වයක්ම ගෙන එන ලද්දේය යන වල්පොළ රාහුල හිමියන්ගේ ප්‍රකාශය තුළ මහින්දාගමනයෙන් ඇති වූ සංස්කෘතික පුනරුදය කවරේද යන්න නිර්ණය කළ හැකි ය.

ශ්‍රී ලාංකේය බෞද්ධ ඉතිහාසයේ මෙන්ම සිංහල සංස්කෘතියේ ද වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් වන කාල පරිච්ඡේදයක් ලෙසින් ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවස සැලකීම නිවැරැදිය. ක්‍රිස්තු පූර්ව සවැනි සියවසේ සිට ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවස තෙක් ඉන්දියාවේ ප්‍රාදේශීය ආගමක් ලෙසින් වර්ධනය වූ බෞද්ධාගම, මෞර්ය පාලක වූ අශෝක රජුගේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ ජාත්‍යන්තර ආගමක් ලෙසින් ව්‍යාප්තිය ද මෙම අවධිය තුළ සිදුවීම බෞද්ධ ඉතිහාසයේ ද සුවිශේෂ කරුණකි. එවකට ලක්දිව අනුරාධපුර පාලක වූ දේවානම්පියතිස්ස රජු හා අශෝක අධිරාජයා අතර ගොඩනැඟෙන අදෘෂ්ඨ මිත්‍රත්වයේ එක් ප්‍රතිඵලයක් ලෙසින්, ප්‍රථමයෙන් මෙරට අරිට්ඨ ඇමැති ප්‍රමුඛ දූත කණ්ඩායමක් විසින් අශෝක අධිරජු වෙත පඬුරු ද ගෙන යනු ලැබේ.

ඊට දැක් වූ ප්‍රතිචාරයක් ලෙසින් මෞර්ය අභිෂේක ක්‍රමය මෙරටට හඳුන්වා දෙනු ලැබීය. ඉන් තෙමසක් ගිය තැන අදවන් පොසොන් පුරපසළොස්වක පොහෝ දිනක සිය පුත් වූ මිහිඳු හිමියන් ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර හා භණ්ඩුක උපාසකගෙන් සැදුම්ලත් ධර්මදූත කණ්ඩායමක් අශෝක අධිරාජයා විසින් ලක්දිව බුද්ධශාසනය පිහිටුවීම අරභයා පිටත් කොට එවනු ලැබීම සිදුවිය.

මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම ලක්දිවට වැඩම කොට මිහින්තලාවේ අම්බස්තලයේ දී රජුට දහම් දෙසා තෙරුවන පිළිබඳ හැඟීමක් හා දැනීමක් ඇති කිරීම ලක්දිව බෞද්ධ ශාසනයේ ආරම්භක පියවර සනිටුහන් කරයි. මිහින්තලයෙන් ආරම්භ වූ, මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූතයන් වහන්සේගේ ශාසනික මෙහෙය රජුගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා සැමට සමානාත්මතාවයෙන් පිරිපුන් ශාසනික හා සංස්කෘතික සබැඳියාවක් කරා අවතීර්ණ වීමට මං හෙළි කිරීමක් විය. එසේම ලක්දිව ඉතිහාසය එතෙක් ගමන් කළ මඟෙහි අතිශය යහපත් වෙනසක් ඇතිකිරීමට බලපෑ ප්‍රධාන සාධකයක් ද විය. මිහිඳු හිමියන් විසින් බුද්ධාගම පමණක් නොව මහා සභ්‍යත්වයක්ම ගෙන එන ලද්දේය යන වල්පොළ රාහුල හිමියන්ගේ ප්‍රකාශය තුළ මහින්දාගමනයෙන් ඇති වූ සංස්කෘතික පුනරුදය කවරේද යන්න නිර්ණය කළ හැකි ය.

ශ්‍රී ලංකාවේ සෑගිරි වෙහෙර හෙවත් චේතියගිරිය යනු මිහින්තලයයි. මිහිඳු හිමියන් සහ දේවානම්පියතිස්සයන් හමුවූයේ මිස්සක පව්වේදීය. මිස්සක යන්න මිශ්‍රක පර්වතය යනුවෙන් නම් ලැබුවා විය හැකිය. එහි අරුත ද උයන යන්නයි. වෛදික සාහිත්‍යයේ සඳහන් වන ඉන්ද්‍ර දෙවියන්ගේ නන්දන නම් උයනට ව්‍යවහාර වූ තවත් නාමයක් ද වේ. පාණිනිගේ ග්‍රන්ථයෙන් මේ බව තවදුරටත් තහවුරු වේ. මුලදී අඹරුකින් ගැවසීගත් හෙයින් අම්බස්තලය වූවාක් මෙන්ම පසුව මිහිඳු හිමියන්ගේ වැඩමවීමෙන් පසු මිහින්තලයේ වෙහෙර විහාර ඇතිවීමත් සමඟ වේතිය පබ්බත හෙවත් වේතියගිරිය නම් විය. සිංහලෙන් සෑගිරිය නම් විය.

බුදුරදුන්ගේ අකු ධාතුන් වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේ විසින් අශෝක රජු වෙතින් ලබාගනු ලදුව පළමුව වැඩම කර වන ලද්දේ මිහින්තලයටය. පසුව එහි දී මිහිඳු හිමියන් වෙත භාර දී තිබේ. උන්වහන්සේ එම ධාතුන් වහන්සේ එහි තැන්පත් කළහ. ඒ හෙයින්, මිස්සක පර්වතය චේතික පබ්බත නම් විය. පාත්‍රා ධාතූන් වහන්සේ සෑගිරියේම තැන්පත් කළ අතර පසුව අකුධාතුන් වහන්සේ මහා නාග වනයට ගෙන ගොස් එහි නිධන් කොට ථූපාරාමය කරවන ලදී. මිහිඳු හිමියන්ගේ ඇසුර නිසා මෙම කලාපය මිහින්තලය ලෙසින් ව්‍යවහාරයට පත් වන්නට ඇතැයි අනුරාධ සෙනෙවිරත්න මහතා අදහස් කරයි. එදා මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූතයන් වහන්සේ ලක්දිවට වැඩම කළ දින මිස්සක පර්වතය මුදුනේ පැවැතියේ ඉන්ද්‍ර දෙවියන් වෙනුවෙන් පැවැති උත්සවයකි. අවුරුද්දේ වැසි පතා ඉන්ද්‍ර දෙවියන් වෙනුවෙන් පැවැති උත්සවයකි. එදින නැකත් කෙළි දිනයකි. වැස්ස වළාහක දෙවියන් වෙනුවෙන් පැවැති උත්සවයක්ය යන්න ගත් විට ජෙට්ඨ මූලක නැකත් කෙළිය වූ කලි දිය කෙළියෙන් හා දේව පූජාවන් ගෙන් සමන්විත වූ සශ්‍රීකත්වය බලාපොරොත්තුවෙන් සිදු කළ උත්සවයකි. ඒ අනුව ප්‍රාග් මහින්ද යුගයේ සිටම මිහින්තලය ආගමික වශයෙන් වැදගත් වූව ද මහින්දාගමනයත් සමඟ පුණ්‍ය භූමියක් ලෙසින් එහි වැදගත්කම තවදුරටත් වර්ධනය විය.

මැනැවින් සකස් වූ සංවිධානයක් ලෙසින් සමාජගත වූ භික්‍ෂු සංස්ථාවේ ආරම්භය ක්‍රිස්තු පූර්ව සවැනි සියවස දක්වා ඈත අවධියකට සම්බන්ධ බව ත්‍රිපිටක සාහිත්‍යයෙන් සනාථවන මුත් ඉන් සියවස් තුනකට පසු ඉන්දු ශ්‍රී ලංකා සංස්කෘතික සම්බන්ධතාවයේ සෘජු ප්‍රතිඵලයක් ලෙසින් භික්‍ෂූන් වහන්සේගේ ලංකාගමනය සිදුවිය. සංවිධානාත්මක බවින් තොර වූ ආගම් රැසකින් හෙබි සමාජයකට, දෙලොවට වැඩ සැලසෙන සංවිධානාත්මක දහමක් ලෙසින් බුදුදහම හඳුන්වා දෙනු ලැබුවේ මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම මිහින්තලයට වැඩම කරවීමෙන් පසුවයි. එදා මිහින්තලයේ දී පාලකයා ප්‍රමුඛ සැවොම තමන් ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වන්නෙමු යනුවෙන් කරන ලද ප්‍රකාශයත් සමඟ භික්‍ෂුව පිළිබඳ පළමුවැනි දැක්ම හා ආකල්පය මෙරට වැසියන් තුළ ඇති විය. ඒ අනුව බුදුරදුන්ගේ ශ්‍රාවකයන් වූ කාසාවතින් බබළන භික්‍ෂු පරපුර පළමුවෙන් ලක්වැසියන් විසින් හඳුනාගනු ලබන්නේ අම්බස්තලයේදීය. එබැවින් ශ්‍රී ලාංකේය භික්‍ෂු ශාසනයේ ආරම්භය සනිටුහන් වූ භූමිය ලෙසින් ද මිහින්තලයට විශේෂ වැදගත්කමක් හිමි වේ.

භණ්ඩුක උපාසක මහණ කිරීම ඔස්සේ ලක්දිව පළමුවැනි පැවිද්දේ උරුමය ද මිහින්තලය හිමිකර ගනියි. එමෙන්ම ප්‍රථම භික්‍ෂු වාසස්ථානය ලෙසින් ඉතිහාසගත වන්නේ ද මිහින්තලයයි. මිහිඳු හිමියන් ප්‍රමුඛ පළමු වැනි ධර්මදූත පිරිස ලක්දිවට වැඩම කළ දිනයේ උන්වහන්සේ රාත්‍රිය ගත කරනුයේ මිහින්තලයෙහිය. එමෙන්ම පළමුවැනි වස් සමයේ දී වස්කාලය ද ගත කිරීමට තෝරාගනු ලබන්නේ මිහින්තලයයි. ප්‍රථමයෙන් පැවිද්ද ලද ශ්‍රී ලාංකේය භික්‍ෂු පිරිස ද ඇතුළත්වන ලෙසින් භික්‍ෂු පිරිසගේ වාසය සඳහා අටසැට ලෙනක් දේවානම් පියතිස්ස රජු විසින් මෙහි සකසන ලද්දේ ය. භික්‍ෂුවගේ ප්‍රමුඛතම වාසස්ථානය ලෙසින් ලෙන පත්වීමත් සමඟ, පසු කල්හි ලක්දිව බොහෝ තැන්හි භික්‍ෂු වාසය සඳහා ගල්ලෙන් පිළියෙළ කළ බව දැනට හඳුනා ගනු ලැබ ඇති බොහෝ ගල්ලෙන් හා ශිලා ලේඛන වලින් සනාථ වේ. සිවුදෙසින් වැඩම කරනු ලැබූ භික්‍ෂූන් විෂයෙහි මෙම ලෙන් පූජා කොට තිබේ. ඒ අනුව, දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකරන ලද පළමුවැනි අටසැට ලෙන ලක්දිව ලෙන් සම්ප්‍රදායේ ආරම්භය සනිටුහන් කරයි. ගල්ලෙනක වෙසෙමින්, පිණ්ඩපාතයෙන් ලත් ආහාරයෙන් සිය ජීවිතය ගෙන යමින් පරාර්ථය සිය අරමුණ කොට සරල ජීවන මාර්ගයක ගමන් කළ භික්‍ෂුව ශ්‍රී ලාංකේය සමාජයට ඇතුළත්වීම දේශීය සංස්කෘතියේ පරිවර්තනයේ මූලාරම්භය විය. එමෙන්ම ශ්‍රී ලාංකේය ආරාම පරිණාමයේ මූලය ද චේතියගිරිය බව පැහැදිලිය.

වසර දෙදහස් තුන්සිය ගණනක් මුළුල්ලේ මෙරට දේශනා කරනු ලබන බුදුරදුන්ගේ ධර්ම දේශනාවන්හි මූලාරම්භය ද මිහින්තලයෙහි දී සනිටුහන් විය. එදා රජු ඇතුළු හතළිස් දහසක් වූ පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීමත් සමඟ ධර්මදේශනා කිරීමේ ක්‍රමවේදය මෙරට ස්ථාපිත විය. ඒ අනුව තෙරුවන හඳුනාගනිමින් තෙරුවන් සරණ ගිය පළමුවැනි ශ්‍රී ලාංකේය කණ්ඩායම බිහිවන්නේ ද මිහින්තලයෙනි. එතැන් සිට තෙරුවන සරණ යමින් බුදුසමයේ ආශිර්වාදයට පාත්‍ර වූ ලක් වැසියන්ට මෙතෙක් තමා විශ්වාස කළ දේව, නාග, යක්ෂ හා මළවුන් පිදීම වැනි විශ්වාසයන්ගෙන් ඔබ්බට යන්නට හැකි විය. එමෙන්ම ගස්, ගල්, පර්වත සරණ ගොස් සිටි පිරිසට නව අර්ථකථනයක් යටතේ තමාගේ ස්වාමීත්වය තමා සතුවේය යන යහපත් දැක්ම ඇති කර ගැනීමට මිහිඳු හිමියන් විසින් දේශනා කරන ලද මුල් ධර්ම කොට්ඨාස මෙන්ම සෙසු භික්‍ෂූන් වහන්සේ දෙසූ දහම් ද උපකාරී විය .

මේ ලිපියේ ඉතිරි කොටස ජූනි 30 වැනිදා පත්‍රයේ පළ වේ.

 

 පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 22 වෙනිදා සෙනසුරාදා අපරභාග 08. 53 ට ලබයි.
23 වෙනිදා ඉරිදා අපරභාග 05. 03 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජුනි 23 වෙනිදා ඉරිදා ය.

මීළඟ පෝය
ජුනි 30 වෙනිදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]