UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් කැකුළු

 

මහනුවර මහයාය ශ්‍රී විද්‍යායතන පිරිවෙන් විහාරස්ථ සිරි මිහිඳු දහම් පාසල


අපවත්වී වදාළ කුළුගම්මන දේවමිත්ත නා හිමි

දුෂ්කරතා මධ්‍යයේ දහම් දැනුම දරුවන්ට ලබා දෙමින් යහපත් පුරවැසියන් පිරිසක් බිහිකිරීමේ මහා පුණ්‍යකර්මයකට සම්බන්ධව කාලය ශාසනයත් දහම් පාසලේ අධ්‍යාපනයටත් කැප කළ මහා සංඝරත්නයට දායක වූ දෙගුරුන් මේ රටේ බාල පරපුර වෙනුවෙන් ඉටුකරනුයේ නිහඬ දහම් සේවාවකි. එවැනි දහම්සේවයක් සෑම අංශයකින්ම සංකීර්ණ වූ කුඩා බිම්කැබැල්ලක පිහිටි විහාරස්ථානයක් මගින් ඉටුකෙරෙන අයුරු මහනුවර සිට කටුගස්තොට මාර්ගයේ ගමන්කරන විට මහයාය ශ්‍රී විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේදි දිස්වේ.

1938 දී ස්ථාපිත වූ සිරි මිහිඳු දහම් පාසල කාලයක් අක්‍රියව තිබිණි. 1987 දී එවකට විහාරාධිපතිව වැඩ සිට මෑතදී අපවත් වී වදාළ කුළුගම්මන දේවමිත්ත නා හිමිගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිසංවිධානය කර කෙටිකලකදී සමස්ත ලංකා මට්ටමෙන් දහම් තරගවලින් දක්‍ෂ දරුවන් බිහිකිරිමට දහම් පාසලට හැකි විය. ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති වල්දෙණියේ සීලරතන හිමියෝ සහ ධර්මාචාර්යවරුන් දහදෙනෙකුගෙන් සහභාගිත්වයෙන් පවත්වාගෙන යන මිහිඳු දහම් පාසලේ අද දරුවෝ 110 ක් පමණ දැනුම ලබති. ප්‍රාදේශීය දහම් තරගවලින් ගඟවට කෝරළයේ ප්‍රථිපල දක්වා සහතික ලබාගත් සිරි මිහිඳු පාසලට ප්‍රජාපති කුලගන සමිතියේ අනුග්‍රහයද ලැබී ඇත. පෝය වැඩසටහන් සෑම පුර පෝය දිනකම විහාරස්ථානයේ ආගමික සේවාවන්ට දායකත්වය සපයන මිහිඳු දහම් පාසල රටට යහපත් පුරවැසියන් අනාගතයේදී බිහිකරනු ඇතැයි කාගේත් ප්‍රාර්ථනාවයි.

 

 

 

 

 

 

 

 

 

 

 


බණ්ඩාරගම රේරුකාන ශ්‍රී බෝධි දහම් පාසල


ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති කඹුරුපිටියේ පුඤ්ඤරතන නා හිමියන් සමඟ ආචාර්ය මණ්ඩලය

දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්

කළුතර දිසාව නියෝජනය කරන බණ්ඩාරගම මැතිවරණ බල ප්‍රදේශය හා බැඳුණු රේරුකාන ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය කේන්ද්‍රිය කැර ශ්‍රී බෝධී දහම් පාසල මීට වසර හතළිහකට (40) පමණ ඉහත දී ආරම්භ කරන ලදී.

එවකට විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ කඹුරුපිටියේ රේවත හිමියන් ගේ අවවාද අනුශාසනා පරිදි අභාවප්‍රාප්ත විශ්‍රාමලත් විදුහල්පති පාඨශාලාචාර්ය පීයෝරිස් කළුආරච්චි මහතාගේ ප්‍රධානාචාර්යත්වයෙන් සිසුන් විස්සකින් පමණ ආරම්භ කළ මෙම දහම් පාසල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දෙසීය හැත්තෑ පහ දක්වා ඉක්ම ගොස් සිටිති.

ශි‍්‍රවර්ධනාරාමාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ කඹුරුපිටියේ රේවත හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කළුතර දිසාවේ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන අධිකරණ සංඝනායක කඹුරුපිටියේ පුඤ්ඤරතන නාහිමියෝ වත්මන් ප්‍රධානාචාර්ය තනතුර හොබවති. බණ්ඩාරගම ශාසනාරක්‍ෂක බල මණ්ඩලයට අයත් සෙසු දහම් පාසල් අතර වාර්ෂිකව පැවැත්වෙන දහම් දැනුම, කථික, ගායනා, භක්ති ගී, නාට්‍ය, රචනා තරගවලින් වරින් වර දිනා ගත් ජයග්‍රහණ සංඛ්‍යාව අපමණය.

ඊට අමතරව ශ්‍රේණිගත දහම් පාසල් දරු දැරියන්ගේ සහජ කුසලතාවයන් පෝෂණය කැරලීම වස් ආචාර්ය මණ්ඩලයේ මඟ පෙන්වීම ඔස්සේ බිත්ති පුවත්පත් නිර්මාණකරණය ශිෂ්‍ය සංගමය යටතේ කථික ගායනා නාට්‍ය දහම් දැනුම හා රචනා තරග සඳහා ද යොමු කැරේ.

ළමා මනස ආධ්‍යාත්මික ගුණ ධර්මයන් සඳහා යොමු කැරලීමට ශීල භාවනා දාන මානාදි පුණ්‍ය කටයුතු සඳහා ද පෙළ ගැසේ. තවද වෙසක් පොසොන් විශේෂ පොහෝ දිනයන්හි වෙසක් කූඩු තරග පැවැත්වීම විශේෂිත ය. පොත පත කියවා දැනුමෙන් සන්නද්ධ වූ දරු පරපුරක් රටට දැයට දායාද කිරීමේ අරමුණ පෙරටුකැර පුස්තකාල සේවයක් ද ආරම්භ කැර තිබේ. දෙමාපියන්ගේ හා සෙසු දායක කාරකාදින්ගේ පූර්ණ දායකත්වය ඇතිව දහම් පාසල් සිසු දරු දැරියන් උදෙසා දිවා ආහාරවේලක් සැපයීම නොමිලේ නිල ඇදුම් ප්‍රදානය මීට පෙර වරින් වර සිදු කරන ලදී. අධ්‍යාපන චාරිකා සඳහා ද ඒ අතර යොමු කැරේ.

වාර්ෂික දහම්පාසල් ත්‍යාග හා සහතික පත්‍ර හා නිල ඇදුම් ප්‍රදානෝත්සවය මේ මස 10 වැනි දා පස්වරු 2 ට ගිහි පැවිදි සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිත ය.

 

 

 


 

තෙරුවන් වැඳුම

ඒ බගවත් රහත් - සම්මා සම්බුදුන් හට
කයින් වදනින් සිතිනුත් – මාගේ වැඳුම වේවා!

මඟ ඵල නිවන් හා - තෙවළා දමින් පිරිපුන්
නියෙන දස විද දහමට – මාගේ වැඳුම වේවා!

අටරිය පුඟුල් වූ - ලෙවන් අනුතුරු පින්කෙත්
බුදුසවු අරි සඟනට – මාගේ වැඳුම වේවා!

බුදුන් දහම් සඟුන් - සසර කතරින් තරනට
අමා මොක් සුව ලබනට – එක ම පිහිටැ යි සිතමින්
සදහමි සරණ යෙමි - දෙවනු තෙවනු ද අදහමි

පැළෑණේ සිරි වජිරඤාණ මහ නා හිමියන්ගේ ළමා පැදි පබඳිනි ඇසුරෙනි



සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ උත්තරීතර ලේඛකාධිකාරි වාද්දුව, කොරොස්දූව, පුරාණ වජ්‍රකොන් විහාරස්ථානයේ විහාරාධිපති ගෝනදූව ගුණානන්ද නාහිමියන් අතින්,වාද්දුව,දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ ශ්‍රී පේමරතන දහම් පාසලේ ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේදී දහම් පාසලේ දැරියක් ත්‍යාගයක් ලබා ගත් අවස්ථාව.

- එච්.එල්. සුනිල් ශාන්ත, කළුතර ඩේලිනිවුස් වාර්තාකරු

 

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 09 වැනි දා සෙනසුරාදා අපරභාග 03.23 ට ලබයි.
10 වැනි දා ඉරිදා අපරභාග 12.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි මස 09 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 17 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25

Second Quarterඅව අටවක

මාර්තු 04


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]