UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උරුම වූ මරණය සුන්දර වීමට නම්....

උරුම වූ මරණය සුන්දර වීමට නම්....

“මරණසති භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හෝති මහානිසංසා අමතොගධා අමත්‍යරියොසානාති”.

ඉහත සඳහන් කරනු ලැබුවේ අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ සාරණීය වර්ගයට අයත් දුතිය මරණසති සූත්‍රයේ සඳහන් පළමු ධර්ම පරියායයි.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාදික ගමෙහි ගිඤ්ජකාවසථයෙහි වැඩ වාසය කරන සේක. එහිදී අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කළහ. එසේ අමතමින් ඉහත සඳහන් කළ ධර්ම කොට්ඨාසය වදාළහ. එහි සඳහන් කළ ආකාරයෙන් මරණ සතිය මනාකොට පුරුදු කරන ලද්දේ මහත්ඵල මහානිසංස ඇති නිවන් අවබෝධයට පත්, අමරණීය බව, කෙළවර කොට ඇත්තේ ද? භාග්‍යවතුන් වහන්සේ මහත් වූ කරුණාවෙන් දේශනා කරති.

මහණෙනි, මේ ශාසනයෙහි මහණ, දවල් කාලය නික්ම යත්ම, රාත්‍රිය එළඹෙත්ම මෙසේ නුවණින් මෙනෙහි කරයි. ‘මාගේ මරණයට හේතූන් බොහෝ වෙති. සර්පයෙක් මා දෂ්ඨ කරන්නේ ය. ගෝනුස්සෙක් මා දෂ්ඨ කරන්නේ ය. පත්තෑයෙක් මා දෂ්ඨ කරන්නේ ය. එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. එය මට අන්තරාවක් වෙයි. පය පැටලී වැටී හෝ මා අනුභව කළ බත් නොදිරා නම් මාගේ පිත හෝ කිපේ නම්, මාගේ සෙම හෝ කිපේ නම්, පිහියක් බඳු වාතයෝ කිපෙත් නම්, එයින්ම මාගේ කාලක්‍රියාව වන්නේ ය. එය මට අන්තරායක්වේ ය.

භාග්‍යවතුන් වහන්සේ, නැවතත් දේසනා කරති. ඒ මහණ විසින් මෙසේ නුවණින් මෙනෙහි කළ යුතු ය. රාත්‍රියෙහි කලුරිය කරන මාහට අන්තරාය කර වූ මාගේ ප්‍රහීණ නොවූ අකුශල ධර්මයෝ ඇත්ද? මහණෙනි, ඒ මහණ මෙසේ නුවණින් සිහිපත් කරනුයේ ‘රාත්‍රියෙහි කලුරිය කරන මාහට අන්තරාය පිණිස හේතුවන මාගේ අප්‍රහීණ අකුශල ධර්මයෝ ඇතැයි දැනගනී. මහණෙනි, ඒ මහණ විසින් එම ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස බලවත් වූ කැමැත්තක්, ව්‍යායාමයත් උත්සාහයත්, මහත් වූ උත්සාහයත්, නොහැකිලෙන වීර්යයත්, සතියත්, මනා වූ සිහිනුවණින් විමසා බැලීමත් (සම්පඡඤ්ඤය) කළ යුතු ය. මහණෙනි, ගිනි ඇවිලගත් වස්ත්‍රවේද ගිනි ඇවිලගත් හිස ඇතිවේද, එම වස්ත්‍ර හෝ හිස නිවීම සඳහා කැමැත්තත්, ව්‍යායාමයත්, උත්සාහයත්, මහත් වූ උත්සාහයත්, නොහැකිලෙන වීර්යයත්, සතියත්, සම්පජඤ්ඤයත් යම් පරිදි කෙරේ නම්, මහණෙනි, එපරිදිම මහණහු විසින් ඒ ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස බලවත් වූ කැමැත්ත, ව්‍යායාමය, උත්සාහය හා බලවත් වූ උත්සාහය, අප්‍රතිහත වීර්යය, සිහිය සහ නුවණින් පරීක්‍ෂා කිරීම කළ යුතු ය.

“මහණෙනි, ඒ මහණ මෙනෙහි කරනුයේ රාත්‍රියෙහි කලුරිය කරන මට අන්තරාය පිණිස පවත්නා ප්‍රහීණ නොවූ ලාමක අකුසල ධර්මයෝ නැතැයි, මෙසේ දන්නේ නම්, මහණෙනි, ඒ මහණ විසින් කුසල ධර්මයන්හි රාත්‍රියෙහි සහ දවල්හි හික්මෙන්නේ පී‍්‍රති ප්‍රමෝදයෙන් විසිය යුතු ය.”

මහණෙනි, මේ ශාසනයෙහි මහණ රාත්‍රිය ඉක්ම යත්ම දවල් එළඹෙත්ම මෙසේ මෙනෙහි කරන්නේ ය. ‘මාගේ මරණයට හේතූන් බොහෝ ය. සර්පයෙක් වේවයි මා දෂ්ඨ කරන්නේ ය. ගෝනුස්සෙක් වේවයි මා දෂ්ඨ කරන්නේ ය. පත්තෑයෙක් වේවයි මා දෂ්ඨ කරන්නේ ය. එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. එය මට අන්තරාය වෙයි. මම පා ගැටී වැටේ නම්, මා විසින් අනුභව කළ බත නොපැසුනේ නම්, මාගේ පිත කිපේ නම්, මාගේ සෙම කිපේ නම්, මාගේ පිහියාවක් බදු වාතයෝ කිපේ නම්, එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. එය මට අන්තරාය වෙයි.’

මහණෙනි, ඒ මහණ විසින් මෙසේ මෙනෙහි කළ යුතු ය. යම් හෝ අකුසල ධර්මයක්, දාවල් කලුරිය කරන මට අන්තරාය පිණිස වෙත්නම්, මම අප්‍රහීණ වූ එබඳු ලාමක අකුසල ධර්මයෝ ඇත්ද?

මහණෙනි, ඒ මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘දාවල් කලුරිය කරන මට යම් අකුසල් කෙනෙක් අන්තරාය පිණිස වෙත්නම් එබඳු අප්‍රහීණ ලාමක අකුසල ධර්මයෝ මට ඇතැයි මෙසේ දන්නේ නම්, මහණෙනි, ඒ භික්‍ෂුව විසින් එම ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස බලවත් වූ ඡන්දය සහ ව්‍යායාමය, උත්සාහය, මහත් වූ උත්සාහය, අප්‍රතිහත ධෛර්ය, සතිය, හා සම්පජඤ්ඤය කළ යුතු ය. මහණෙනි, ගිනි ඇවිල ගත් වස්ත්‍ර ඇති අයෙක් වේවයි, ගිනි ඇවිලගත් හිස ඇති අයෙක් වේවයි ඒ වස්ත්‍ර හෝ හිස නිවන්නට බලවත් වූ කැමැත්ත, ව්‍යායාමය, උත්සාහය, මහත් වූ උත්සාහය, අප්‍රතිහත ධෛර්ය, සිහිය සහ සම්පජඤ්ඤය කරන්නේ ය. මහණෙනි, එපරිද්දෙන්ම, ඒ මහණ විසින් එම ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස, බලවත් වූ කැමත්තක්, ව්‍යායාමයත්, උත්සාහයත්, මහත් වූ උත්සාහයත්, අප්‍රතිහත ධෛර්යත්, සතියත් සිහි නුවණින් පරීක්‍ෂාකාරීව කටයුතු කිරීමත් කළ යුතු ය.

“මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ, යම් අකුසල කෙනෙක් දාවල් කලුරිය කරන මට අන්තරාය සඳහා වැටෙත් නම් එබඳු අප්‍රහීණ වූ ලාමක අකුසල ධර්මයෝ මට නැතැයි මෙසේ දන්නේ නම්, මහණෙනි, ඒ මහණ විසින් රැකවල්හි කුසල ධර්මයන්හි හික්මෙන්නේ, එම පී‍්‍රති ප්‍රමෝදයෙන් වාසය කළ යුතු ය.” මහණෙනි, මෙසේ වඩන ලද මැනවින් පුරුදු කරන ලද මරණානුස්සතිය මහත්ඵල හා මහානිසංස වෙයි. නිවන් මඟට පැමිණියේ වෙයි. අමරණීය බව කෙළවර කොට ඇත්තේ වෙයි.භාග්‍යවතුන් වහන්සේ දේශනාව අවසන් කරති.

මෙම මරණානුස්සතිය, පුරුදු පුහුණු කිරීම මරණය ඉක්මන්වීම හෝ මරණයට ආරාධනා කිරීමක් නොවේ. ගෘහස්ථ ජීවිතයක් ගත කරන අයෙකුට හෝ වේවා පැවිද්දෙකුට හෝ වේවා සීලයෙහි හික්මීමෙන්, කුසල සිත මුල්කරගත් සමාධිය වැඩීමෙන් විදර්ශනාවට මාර්ගය සකසා ගැනීමකි. ‘අමතොගධා’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනු ලැබුවේ එම කරුණයි. එනම් නිවනට මාර්ගය සකසා ගැනීමක් හා බැස ගැනීමක් ලෙසය. අංගුත්තර නිකායේ ඇතුළත් ඨාන සූත්‍ර දේශනාවෙහි, නිතර සිහි කළ යුතු දහම් කොටස් පහක් අතර, තුන්වෙනුවට දැක්වූයේ නිතර මරණය මෙනෙහි කළ යුතු බවය. එනම් ඒ පිළිබඳ අවදියෙන් සිටිය යුතු බවය. ‘

මම මරණ ධර්මය උරුම කොට ඇත්තෙක් වෙමි. මරණය නොඉක්මවා සිටින්නේ ය. යනුවෙන්නිතර සිහිපත් කළ යුතු වන්නේ ය.’ එහිදී භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන් මෙසේ දේශනා කරති. ‘ඉත්ථියා වා පුරිසේන වා ගහට්ඨේන වා පබ්බජිතේන වා’ ස්ත්‍රී හෝ වේවා, පුරුෂ හෝ වේවා, ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා’ යනුවෙන් එනම් මේ සියලු දෙනාම විසින්ම මරණ ධර්මය නිතර සිහිපත් කළ යුතු බවය. මරණය සිතින් බැහැර වූ විට අශ්‍රැතවත් පෘථග්ජන සිතෙහි රාග (ඇලීම, ආශාව, කාමය) ද්වේෂය (තරහව, ක්‍රෝධය) මෝහය (මුළාව) පහළ වෙයි. ඒ ඒ චරිත ලක්‍ෂණ අනුව මෙම රාගාදී ක්ලේශ ධර්මවල අඩුවැඩිවීම් සිදුවිය හැකි ය. මෙම රාගාදී ක්ලේෂ ධර්ම නිසා ප්‍රාණඝාතාදී පස්පව් දස අකුසල්වලට යොමු වේ. නිතර මරණානුස්සතිය වඩන හෝ මරණය අමතක නොකරන සත්පුරුෂ හා සිල්වත් මනුෂ්‍යයන් නිසා උතුම් ගුණ ධර්ම තවමත් යම් පමණින් ආරක්‍ෂා වී පවතී. මෙම දේශනාවෙන් බලාපොරොත්තු වන්නේ ද එම ප්‍රමාණය අභිවෘද්ධියට පත්කිරීමට ය. මරණය සමඟම සියලුම මෙලොව සම්මුති සබඳතා ඉවත්ව යයි. අඩුම තරමේ, සියල්ලටම වඩා ප්‍රමුඛබව ලබා දී පෝෂණය කරගත් තම සිරුර ද අහිමි වී යයි. එසේ නම් කුමක් නම් මුල් කරගෙන රාගාදී කෙලෙස් උපදවා පඤ්චවිධ දුෂ්චරිතයන්ට යොමුවන්නේ ද? මෙහි භයානක ප්‍රතිඵලය නම් මරණය අමතක කොට කටයුතු කරන පාපී පුද්ගලයෝ මෙලොවත් පිරිහී සසරේ දී අපමණ දුකට පත්වීමය. එනමුත් මරණය දන්නා සහ නිතර සිහිපත් කරන උතුමෝ මෙලොව, දියුණුව ද සකසාගෙන දහමින්, ද පෝෂණය වී පරලොව ද සැප ලබති. මාර්ග බ්‍රහ්ම චරියාවට යොමු වන්නේ නම් අරමණීය බවට ද පත්විය හැකි ය. එනම් ඒ අමා නිවනමය.

 

දුරුතු මස පසළොස්වක පෝය

දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි මස 26 වැනිදා සෙනසුරාදා පූර්වභාග 08. 47 ට ලබයි.
27 වැනිදා ඉරිදා පූර්ව භාග 10. 07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 26 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 03 වැනිදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]