UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සර්වඥ ධාතු ප්‍රදර්ශනය

සර්වඥ ධාතු ප්‍රදර්ශනය

සර්වඥ ධාතූන් වහන්සේලා මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කොට තැබීමේ පින්කමක් ජනවාරි 25, 26 හා 27 දිනවලදී පස්වරු 2.00 සිට පස්වරු 11.00 (රාත්‍රි 11 ) දක්වා කළුතර, වස්කඩුව, රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අමරපුර සද්ධම්ම ශාසනෝදය මහා නිකායේ මහා නායක හා සුභූති විහාරයේ විහාරාධිපති වස්කඩුවේ මහින්ද වංස හිමියෝ ප්‍රකාශ කළහ.

කළුතර වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ පැවැත්වීමට සැලසුම් කොට ඇති සර්වඥ ධාතු ප්‍රදර්ශනය පිළිබඳව මාධ්‍යය දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවකදී් (11) උන්වහන්සේ එසේ ප්‍රකාශ කළහ.

කපිල වස්තු සර්වඥ ධාතූන් වහන්සේලා කිහිප නමක්ම කළුතර වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ ඉතා ආරක්‍ෂාකාරීව තැන්පත් කොට ඇති බව බොහෝ දෙනෙක් නොදැන සිටිනා බවත් ඓතිහාසික කළුතර බෝධීන් වහන්සේගේ කොත් කැරැල්ලෙහි ද චෛත්‍යය තුළද සර්වඥධාතූන් වහන්සේලා තැන්පත් කොට ඇති බවත් මහින්දවංශ මහානායක හිමියෝ මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසූහ.

ඉන්දියාවේ කපිලවස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳව කැනීම් කටයුතුවලදී ඒ සඳහා මූලික උපදෙස් ලබාදුන් කළුතර වස්කඩුවේ ශ්‍රී සුභූති නායක ස්වාමීන් වහන්සේ, කළුතර වස්කඩුව නමැති කුඩා ‘ගම’ මුළු ලෝකයටම රැගෙන ගිය මහා පාණ්ඩිත්‍ය තෙරුන් වහන්සේ කෙනෙක් බවත් උන්වහන්සේ එකල බෞද්ධ ශාසනයට සුවිශේෂී මෙහෙයක් ඉටුකළ ඉතා විශිෂ්ට ගණයේ භික්‍ෂූන් වහන්සේ නමක් බවත්, උන්වහන්සේ පරිහරණය කරන ලද බොහෝ භාණ්ඩ හා පූජා භාණ්ඩ, කළුතර වස්කඩුවේ සුභූති මහා විහාරයේ විශේෂයෙන් ස්ථාපනය කොට ඇති ‘වස්කඩුව ශ්‍රී සුභූති මහා විහාරස්ථ කෞතුකාගාරයේ’ දී තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවයකදී, ධාතු ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන බැවි, මහා නා හිමියෝ ප්‍රකාශ කළහ.

සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන මෙම ඓතිහාසික දිනයේ දී මුල්ම දින එනම් ජනවාරි 25 දින දහවල් බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව දායක සභාව හා සර්වඥ ධාතු වන්දනා ආරක්‍ෂක සභාවද ඒකාබද්ධ වී රාජ්‍ය නිලධාරීන්ගේ ද සහභාගීත්වය ඇතිව ගිලන්පස පූජාව පැවැත්වෙන අතර මේ ඓතිහාසික අවස්ථාවට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද සහභාගිවීමට ආරාධනා කර ඇතැයි විහාරාධිපති මහින්දවංශ හිමියෝ පැවසූහ. සර්වඥ ධාතු වන්දනා පැවැත්වෙන දින 3 තුළ විශේෂ රථවාහන ආරක්‍ෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ.

සර්වඥ ධාතු ප්‍රදර්ශන කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනුයේ වරාය හා මහාමාර්ග නි.ඇමැති රෝහිත අබේගුණවර්ධන මැතිතුමාය. කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා විසින් සංවිධානය කර තිබූ මෙම මාධ්‍ය සාකච්ඡාවට කළුතර වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ විහාරාධිපති හා සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහා නායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්ද වංස නා හිමියන් ඇතුළු කළුතර දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් ද සහභාගි වූහ.

 

දුරුතු මස පසළොස්වක පෝය

දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි මස 26 වැනිදා සෙනසුරාදා පූර්වභාග 08. 47 ට ලබයි.
27 වැනිදා ඉරිදා පූර්ව භාග 10. 07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 26 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 03 වැනිදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]