UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනට ආශිර්වාද පතා දඹදිව දී පැවැති විශේෂ පින්කම් මාලාවක්

ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනට ආශිර්වාද පතා දඹදිව දී පැවැති විශේෂ පින්කම් මාලාවක්

පුරා තිස් වසරක් තිස්සේ යුදමය අන්ධකාරයකින් මේ කුඩා රට වෙළාගෙන පැවැති යුගයක් තිබිණි. අභාග්‍ය සම්පන්න ඒ යුගය නිමාවට පත් කරමින් මානුෂීය මෙහෙයුමක් තුළින් සියලු රටවැසියාට සාමයෙන් හා සහජීවනයෙන් පිරි නිදහස්, නිවහල් දේශයක් උරුමකර දීමත් සමඟම අද වන විට දැවැන්ත සංවර්ධන සංග්‍රාමයක් මෙරට සිව් දෙස ක්‍රියාවට නංවා තිබේ. ශ්‍රී ලංකාව, සංවර්ධිත දේශයක් මෙන්ම ආසියාවේ ආශ්චර්යය බවට ද පත්කිරීම සඳහා යන මේ ගමනේ දී මහින්ද චින්තන ඉදිරි දැක්ම ඔස්සේ රජය විසින් දියත් කර ඇති දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලට ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය පතා විශේෂ පින්කම් මාලාවක් පසුගියදා දඹදිව දී පැවැත්විණි.


මහ සඟරුවන පූජාව පවත්වමින්

තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වරෙක වදාළ පරිද්දෙන් සැදැහැති බෞද්ධයෙකු විසින් දැකබලා වැඳපුදාගෙන සිත පහදා ගත යුතු පරම පූජනීය සිද්ධස්ථානයන් හතරකි. බුදුරජාණන් වහන්සේ නමකගේ උත්පත්තිය සිදු වූ ස්ථානයත්, බුදු බව ලබා ගත් ස්ථානයත්, පළමු ධර්ම දේශනාව පැවැත් වූ ස්ථානයත්, පිරිනිවන් පෑ වදාළ ස්ථානයත් යන මේ සිව් ස්ථානයන් බොහෝ අනුහස් ඇති සිද්ධස්ථානයන් වශයෙන් සැළකේ.

මේ සිව් මහා ස්ථානයන් සම්බන්ධ කර ගනිමින් ඉතාමත් වටිනා පුද පූජාවන් රැසක්ම රට වෙනුවෙන්, රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් රට පෙරට යන ගමනට ආශිර්වාද පතා පවත්වන්නට ජනාධිපති ආගමික කටයුතු අංශය හා මහරගම මෛත්‍රී සුබසාධක සංගමය එක්ව අවශ්‍ය කටයුතු යොදනු ලැබූහ.

ඒ අනුව එම ගමන ඇරඹුණේ නේපාලයේ, ලුම්බිණියෙනි. එදා සිදුහත් කුමාර උත්පත්තිය ලබමින් මෙලොව එළිය දුටුවේ මේ මනරම් ලුම්බිණි සල් උයනේදී ය. අප ලුම්බිණියට ළඟා වන විටත් ඒ පුදබිම වන්දනා මාන කරන්නට පැමිණ සිටි ලෝක වාසී බොදු බැතිමතුනගෙන් පිරී පැවතිණි.

පින්කම් මාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් වටිනාපහ සෝමානන්ද හිමියන්ගේ පූර්ණ අවවාද හා අනුශාසනා මධ්‍යයේ සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනයේ නියෝජ්‍ය කෘත්‍යාධිකාරී දෙමුවාවක චන්දානන්ද හිමියන් විසින් එහිදී පින්කමට සහසම්බන්ධ වූ පිරිස පන්සිල් සමාදන් කරවා විශේෂ ආශිර්වාදාත්මක පූජාවක් ලුම්බිණිය අභියස පැවැත්වූහ.

සුවඳදුම් සමඟින් හෝරා කිහිපයක් මුළුල්ලේ පැවැති මෙම පූජාවත් සමඟම ලුම්බිණිය අවට පරිසරය බෙහෙවින් සුවඳවත් විණි. ගෞරවනීය මහා සංඝරත්නය විසින් ලුම්බිණි පුදබිම අභියස රට වෙනුවෙන් සෙත් පැතූහ. පිරිත් සූත්‍ර ද සජ්ඣායනා කරන්නට වූහ.

පසුදා අලුයම් කාලයේ දී නේපාලයේ සිට ඉන්දියාවට ගමන් ආරම්භ කළේ බුද්ධගයාව බලාය. ගොඩබිම් මාර්ගයෙන්ම සුනෝලි හරහා දෙරටේ දේශ සීමා පසු කරමින් ගමන් ගත් අපි, සැතපුම් 500 ක් පමණ දුර ගෙවා එදින සවස් යාමයේ දී බුද්ධගයාවට ළඟා වූවෙමු.

ලෝකවාසී බොදු බැතිමතුන් සිය පරම පූජනීයතම ස්ථානය වශයෙන් සළකනු ලබන්නේ අප තථාගතයාණන් වහන්සේ සාරා සංඛ කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ පෙරුම් දම් පුරමින් පැමිණ සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත් වූ ඉන්දියාවේ දඹදිව මේ බුද්ධගයාවයි. පසුදා හිමිදිරියේම බුද්ධගයාවට අවතීරණ වූ නිසා සීත මීදුම් සහිත තත්ත්වයත් සමඟින් බුද්ධගයා විහාරය අවට පරිසරය බෙහෙවින් සුන්දරව පැවැතිණි. ලොව නන් දෙසින් වැඩම කර සිටි ස්වාමීන් වහන්සේලා හා ගිහි බොදු බැතිමතුන් සිය නමස්කාරයන් බුද්ධගයාවේ දී සිදු කරන අතරවාරයේ අපත් අපගේ පූජාවන් පවත්වන්නට වූහ.

සුදෝ සුදුවතින් සැරසී බුද්ධගයා විහාරයට පැමිණ සිටි ශ්‍රී ලාංකීය බොදු ජනතාව තෙල්, මල්, පහන් ගෙන බුදු සමිඳු පුදන්නට එක්ව සිටියේ මහත් වූ බුද්ධාලම්භන පී‍්‍රතියකිනි. බුද්ධගයාවේ උතුම් වූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසට රැස් වූ අප සැවොම, සුවිශේෂී කිරිපිඬු පූජාවක් පිළියෙල කර ප්‍රථමයෙන්ම බුදුරජාණන් වහන්සේ වෙත එය පූජා කර ඒ පින් බෙලෙන් අප රටේ ඉදිරි ගමනට ආශිර්වාද ලබා ගත්තේ ය. ශ්‍රී ලංකාවේ වත්මන් ඒකායන ඉලක්කය වනුයේ නාවුක, ගුවන්, වාණිජ, වෙළෙඳ හා දැනුම අතින් සවිමත් වූ පංච බල කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමය. ඒ යන ගමනේ දී මුහුණ පාන්නට සිදුවන්නා වූ සියලු දුෂ්කරතාවයන් මෙන්ම බාධාවන් ද තුරන් කරවා ඉලක්ක ගත අරමුණ කරා ගමන් කරන්නට මෙහිදී ගෞරවනීය මහා සංඝරත්නය විසින් ප්‍රාර්ථනා කර සිටියහ.


ලුම්බිණිය අභියස පැවැති පූජාවට එක්වෙමින්

සත් සතියක් ගත කළ බුද්ධගයාව අවට පිහිටි පූජනීය ස්ථානයන් වෙත ගිය අප, එම ස්ථානයන්හිදී ද ආගමික වතාවත් පවත්වන්නට කටයුතු කළහ. ඉන් අනතුරුව බුද්ධගයාවේ දී දවල් බුද්ධ පූජාමය පින්කම ද පවත්වා විසි නමක් විෂයෙහි සපිරිකර සහිත මහා සංඝගත දක්‍ෂිණාවක් ද පිරිනමමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ඒ භාග්‍යවන්ත භූමියේ සිට මහා පුණ්‍ය කර්මයක් සිදු කර ගන්නට තරම් අවකාශ සැළසිණි.

එදින සන්ධ්‍යා භාගයේ දී අප යළිත් වරක් බුද්ධගයාවට පිවිසියේ එහි සූදානම් කර තිබූ විශේෂ බෝධි පූජාමය පින්කමකට සහභාගී වන්නට ය. බුද්ධගයා, වජ්‍රාසනය අවට සුවඳැති මල් වට්ටි සිය ගණනක් තබා, පැන් කෝප්ප සියයකටත් අධික සංඛ්‍යාවකින් ද සැඳුම් වලත් පිළියෙල කර තිබූ මෙම බෝධි පූජාවට සියලු ඖෂධයන්ගෙන් සමන්විත වූ පූජාවක් ද එක් කර තිබීම විශේෂත්වයක් විණි.පුරා පැය තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවැති මෙම විශේෂ බෝධි පූජාව අවසානයේ දී ශ්‍රී ලංකාව සෞභාග්‍යයෙන් පිරි, අසිරිමත් දේශයක් බවට යළිත් ඉක්මණින්ම පත් වේවා.....! යි මහා සංඝරත්නය සමඟින් ගිහි පින්වතුන් ද එහිදී සාදු කාර දී ප්‍රාර්ථනා කර සිටියහ.

බුද්ධගයාවේ පැවැති පූජාවන්ගෙන් අනතුරුව අපගේ ඊළඟ සිද්ධස්ථානය වූ බරණැස ඉසිපතනාරාම මිගදාය බලා අපි ගමන් ඇරඹුවෙමු. සැතපුම් 280 ක දුරක් ගෙවා බරණැසට ළඟා වන විට තරමක ගමන් මහන්සියකට සැවොම මුහුණපා සිටියෙමු. සියලු ලෝ වැසියනට සසර කතරෙන් මිදෙන්නට මඟ පාදා දුන් අසිරිමත් බුදුදහම ලොව පුරා පැතිර යන්නට මං පෙත් විවර වූයේ මේ පුද භූමියෙනි. සම්මා සම්බුද්ධත්වයට පත් තථාගතයාණන් වහන්සේ තමන් මහත් වෙහෙසක් දරා අවබෝධ කර ගත්තා වූ ඒ උතුම් ශ්‍රී ධර්මස්කන්ධය ප්‍රථමයෙන්ම පස්වග මහණුන්ට දේශනා කරන ලද්දේ මෙම සිද්ධස්ථානයේ සිටය. වර්තමානයේ දී මෙම ස්ථානය හඳුන්වනු ලබන්නේ වාරානාසී යනුවෙනි.

අප උපන් උදාර මාතෘභූමිය දිනෙන් දින ආලෝකමත් වේවා! යි යන සාදු ප්‍රාර්ථනාවෙන් යුක්තව මහා සංඝරත්නය විසින් ධම්මචක්කපවත්තන සූත්‍රය මෙහිදී සජ්ඣායනා කළ අතර, මිගදාය වටා පහන් දහසක විශේෂ ආලෝක පූජාවක් ද එදින සවස් කාලයේ දී අපි පැවැත්වීමු. බුදු දහමින් ලොව බැබලුණාක් මෙන් අපගේ කුඩා දිවයිනේ සංවර්ධන සංග්‍රාමයට මේ ආශිර්වාදය නිති අත්වෙනු ඇති බව අපගේ බලාපොරොත්තුවයි.

එමෙන්ම මිගදායේ පිහිටි නව මූලගන්ධ කුටි විහාරයේ පැවැති සර්වඥ ධාතූන් වහන්සේලා ද වන්දනා මාන කළ අප, එහිදී ද අපේ රටේ අභිවෘද්ධිය සම්බන්ධයෙන් මෙනෙහි කරන්නට අමතක කළේ නැත. බරණැසින් අනතුරුව අපගේ ඊළඟ ගමනාන්තය වූයේ සැවැත්නුවර ජේතවනාරාමයයි. බුදුරජාණන් වහන්සේ වසර 19 ක් තිස්සේ, එනම් සිය බුද්ධ ජීවිතයේ වැඩිම වස් කාලයක් වස් සමාදන්ව වැඩ සිටි ගන්ධ කුටිය අභියස රෝස මල් සහ දාස්පෙතියා මල් දස දහසක මල් පූජාවක් අපි විසින් එහිදී පැවැත්වීමු. රෝස මල් හා දහස්පෙතියා මල් යනු ඉන්දියාවේ සියලුම පූජාවන් උදෙසා බෙහෙවින් යොදා ගන්නා මල් වර්ගයන් දෙකකි. ගන්ධ කුටිය මෙන්ම ආනන්ද බෝධිය වටා ද මල් අතුරා අප සිදු කළ එම මල් පූජාව ඉතාමත් සුවිශේෂී වූවකි. උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය, මඟ නැඟුම, ගම නැඟුම, හා දිවි නැඟුම තුළින් දිවයිනේ සිව් දෙසම සිදුවන භෞතික හා මානව සංවර්ධනය ද සිහිපත් කරමින් මහා සංඝරත්නය විසින් මෙහිදී ඊට සෙත් පැතූහ.

සැවැත්නුවර පින්කම් මාලාව අවසානයේ දී අපි කුසිනාරාව හෙවත් කුෂිනගර් වෙත පැමිණියෙමු. කුසිනාරාව යනු, තිලෝගුරු අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ ස්ථානයයි. අසූ වසරක් දිවි ගෙවූ අප මහා තථාගතයාණෝ සිය දිවියේ වැඩිම කාල වකවානුවක් අසරණතාවයට පත් ලෝකවාසීන් වෙනුවෙන් කැප කර අවසානයේ පිරිනිවන් පෑ වදාළේ මල්ලව රජදරුවන්ගේ උපවත්තන නම් වූ මෙම සල් උයනේ දී ය. කුසිනාරාවේ දී අප සැවොම එක්ව සුවඳ හඳුන්කූරු දහසක සුවඳ පූජාවක් පවත්වන්නට කටයුතු කළ අතර, ස්වාභාවික ව්‍යසනයන්ගෙන් ශ්‍රී ලංකාද්වීපය ආරක්‍ෂා කර ගැනීමටත්, උදා වූ 2013 නව වසර වෙනුවෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් ප්‍රධාන රජයටත්, ශ්‍රී ලංකාවාසී සැමටත්, උදාර රණවිරුවන්ටත් සෙත් පතා පිරිත් සජ්ඣායනාවක් ද මෙහිදී මහා සංඝරත්නය විසින් පැවැත්වූහ.

බොහෝ අනුහස් ඇති දඹදිව මෙම සිද්ධස්ථාන පහේ සිට එකම අරමුණක් වෙනුවෙන් මෙවැනි පින්කම් මාලාවක් පැවැත්වූ ඉතිහාසයේ පළමුවතාව මෙය වීමද විශේෂත්වයකි. මහා සංඝරත්නය සමඟින් දඹදිව වන්දනා මාන කරන්නට පැමිණි බැතිමතුන් හා ඉන්දියාවේ අධ්‍යාපන කටයුතු හදාරනු ලබන ශ්‍රී ලාංකීය සිසු සිසුවියන්ගේ ද සහභාගීත්වයෙන් තුණුරුවන් උදෙසා අප විසින් මෙලෙස පුද පූජාවන් පැවැත්වූයේ මේ අභිමානවත් කුඩා දිවයිනේ ඉසුරින් පිරි සුභවාදී අනාගතය වෙනුවෙනි. උදාරතර ලක් මෑණිය සංවර්ධනයෙන් පිරිපුන්ව ආසියාවේ ආශ්චර්යය බවට පත් වන දා, එහි වෙසෙනා පුරවැසියන් වශයෙන් සියලු ලක්වාසී ජනී ජනයාට ශ්‍රේෂ්ඨ පෞඪත්වයක කොටස්කරුවන් වීමට ස්වර්ණමය අවස්ථාවක් උදා වනු ඇත.

 

දුරුතු මස පසළොස්වක පෝය

දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි මස 26 වැනිදා සෙනසුරාදා පූර්වභාග 08. 47 ට ලබයි.
27 වැනිදා ඉරිදා පූර්ව භාග 10. 07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 26 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 03 වැනිදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]