UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආශාවන්ට වහල් නොවී ගුණ දම් සපුරමු

ආශාවන්ට වහල් නොවී ගුණ දම් සපුරමු

චත්තාරි ඨානානි නරො පමත්තො
ආපජ්ජති පරදාරූපසෙවී
අපුඤ්ඤලාභං න නිකාමසෙය්‍යං
නින්දං තතීයං නිරයං චතුත්ථං

ධම්මපදයෙහි දැක්වෙන නිරය වග්ගයට අයත් වූ මෙම ගාථාවේ සරල අර්ථය මෙසේය.

සිහි නුවණින් තොරව වෙසෙමින් පරඹුවන් කරා යන නො සැලකිලිමත් මිනිසා පළමුව අකුසල් සිදු කර ගැනීමත් හිතේ හැටියට නින්දක් නො ලැබීමත් යන සිව් කරුණුවලට පැමිණෙන්නේය යන්නය.

මේ දහම සනාථ කළ හැකි සිත් පිත් නැති මිනිසෙකුගේ ම්ලේච්ඡ ක්‍රියාවක් සම්බන්ධ පුවතක් අපට පසුගියදා රත්මලාන පෙදෙසින් දැනගන්නට ලැබුණි.

රස තෘෂ්ණාවට වහල් වූ අයෙකු සිදු කළ මහා අපරාධය මහ පොළොව නුහුලනාසේය. මෙම සිදුවීම ඇසු ඇසූවන්ගේ හද කම්පිත විය.

කෙනෙකු පසඳුරන් පිනවීමට ඇති කැමැත්ත බුදු දහමට අනුව කාමරාගය යැයි හඳුන්වනු ලැබේ. මෙම දහම තේරුම් නොගන්නා බහුතරයක් පුද්ගලයන් තමාට මෙන්ම සමාජයටද සිදු කර ගන්නේ මහත් වූ විපතක්ම ය.

අසල් වැසියාගේ මුහුණවත් නොබලන සමාජයේ ඇතැම් පිරිස ෆේස් බුක් (ජ්චජඥ ඕධධඬ) හරහා නොහඳුනන පිරිසක් මිතුරු මිතුරියන් කර ගනිමින් උපක්‍රමශීලීව සමීප වී පංචේන්ද්‍රියන් පිනවමින් රස තෘෂ්ණාවට මුළා වී සිදු කරගන්නේ මහා විනාශයකි.

වත්මන පුවතෙහි දැක්වෙන මෙම පුද්ගලයාද ෆේස් බුක් හරහා හඳුනාගත් තම පෙම්වතිය සමඟ දුරකථන සංවාදයේ පැය ගණන් නියැලෙමින් පෙම්බස් දෙඩුවේ කාමරාගයෙහි ඇලුණූ සිත නිසාය.

දෙදරු පියෙකු වූ හේ තාම අවිවාහකයකු බව පවසමින් අනියම් පෙම්වතියද මුළා කළේය.

ඇය සමඟ තවත් විවාහයක් සිදු කර ගැනීමේ නොපනත් සිහිනය සැබෑ කර ගැනීමේ අදිටනින් මොහු සිදු කළ මහා අපරාධයට වන්දි ගෙවන්නට සිදු වූයේ ආදරය කළ බිරිඳ සහ අහිංසක දරු දෙදෙනාටය.

කාම රාගයෙන් වියරු වැටී පාපකාරී සිතිවිල්ලෙන් මෙහෙයවනු ලැබූ මොහු තම බිරිඳගේ ගෙල සිර කර මරා දැමුවේ ඇය සුව නින්දේ පසුවෙද්දී ය. ඒ හඬට අවදි වූ තුන් හැවිරිදි දරුවාද බියෙන් තැති ගෙන අසරණව තම මිත්තනිය සොයා දිව යද්දී ඒ සිඟිත්තා ගේද ගෙල සිර කර මරා දැමීමට මෙම පාපකාරී දෑත කුරිරු විය. එයින්ද නොසෑහුණු ඔහු මව් උණුසුමේ පහස විඳිමින් සුව නින්දේ පසු වූ දෙමසැති මොළකැටි දරුවා ද සීතල දේහයට තුරුළු කරවා ගිනි තැබුවේ ඇවිලෙන රාග ගින්නට පිදුරු දමන්නාක් මෙනි.

සිතක් පපුවක් ඇති මිහිපිට කිසිම මිනිසෙකුට හීනෙකින්වත් කරන්නට සිත් නොදෙන අහස පොළොව නුහුලන මේ මහා අපරාධයට මෙම පාපතර නො මිනිසා පෙළඹුනේ කාම රාගයෙන් දැඩිසේ ඇලීම නිසාය.

කුරුලු කැදැල්ලක් වන් සුන්දර පවුලක් අඳුරු රාත්‍රිය පහන් වන විට මෙසේ විනාශ විය.

පසිඳුරන් පිනවීමට ලොල් වන පුද්ගලයන් නොදැනුවත්ව ම විනාශ මුඛයේ අගාධයටම ඇද වැටෙන බව පන්සිය පනස් ජාතක පොතෙහි දැක්වෙන ‘වාතමිග ජාතකයෙන්’ කදිම උපදේශයක් ලබා දෙයි.

බුදුපියාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙද්දී ‘චුල්ලපිණ්ඩපාතික’ නම් තෙරුන් වහන්සේ නමක් මූලික කර ගනිමින් මෙම ජාතක කතාව වදාළ සේක.

බුදුරදුන් එකල රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වෙසෙද්දී ධනයෙන් ආඪ්‍ය වූ සිටු ගෙදරක ‘තිස්ස’ නමින් පුතෙක් විය.

ඔහු පැවිදි වීමට කැමැත්තෙන් සිටියත් ඒ සඳහා තම මවුපියන්ගෙන් අවසර නොලැබුණේය.තම බැගෑපත් වූ ඉල්ලීම ඉෂ්ඨ කර ගැනීමට සිතූ තිස්ස කුමරු සත් දිනක් නිරාහාරව සිටිමින් පැවිදි වීමට තම මවුපින්යගෙන් නැවත අවසර ඉල්ලුවේය. තම බලවත් කැමැත්තෙන් ම ‘තිස්ස’ කුමරු සසුන්ගත විය. ධූතාංගධාරි තිස්ස තෙරුන් වහන්සේ ගෙපිළිවෙළින් පිඩු සිඟා වැඩීම නිසා ‘චුල්ලපිණ්ඩපාතික තිස්ස’ නම් වූහ.

සාමාන්‍ය පුද්ගලයෙකුට කිසිවිටෙකත් කිරීමට අසීරු වූ ඇතැම් වීර්යවන්ත භික්ෂූන් වහන්සේලා ම පමණක් අනුගමනය කරන තෙළෙස් ධූතාංගයන්ගෙන් එකක් වූ ‘සපදාන චාරිකංගය’ නොහොත් ‘ගෙපිළිවෙළින් පිඬු සිඟා වැඩීමේ’ පුරුද්ද ඇති තිස්ස තෙරණුවන් ද ඉතා වීර්යවන්ත යැයි අපට සිතිය හැකි ය.

එකල රජගහනුවර අසිරිමත් වූ මහ සැණකෙලි උළෙලකදී ‘චුල්ලපිණ්ඩපාතික තිස්ස’ තෙරණුවන්ගේ මවුපියෝද තම පුතු ගිහිකල මෙම උළෙලට එක්වූ අයුරු මෙසේ යැයි සිහිපත් කරමින් ඔහු එකල පැළැදි අභරණ කරඬුවක දමා ගෙන හඩා වැළපුණහ.

තම පණ මෙන් සිටි එකම පුතු පැවිදි කළ බුදුරදුන් දැන් සැවැත්නුවර වැඩ වෙසෙන බවත් තම පුතු දැන් කොහෝ ඇද්දැ’යි කියමින් ඔවුහු දුක් වූහ.

මෙහිදී අපට මතකයට නැංවෙන්නේ සුද්ධෝදන රජතුමා පවසා ඇති වදන මහා වග්ග පාලියේ සඳහන්ව ඇති අයුරුයි. ‘මවුපියන් දරුවන්ට දක්වන අසීමිත ආදරය සිවියත්, මසත්, නහරත්, ඇටත් විනිවිද ගොස් එයින්ද නොනැවතී ඇට මිදුළුවල කා වැදී පවතින බවය.

තිස්ස තෙරණුවන් වෙනුවෙන් හඬා වැළපෙන මවුපියන්ගේ දුක් අඳෙීනාව ඇසූ එක්තරා වෛශ්‍යාවක් ‘ඔබලාගේ සියලු සැප සම්පත් මට ලබාදෙන්නේ නම් පුත්‍රයා නැවත ලබා දෙන්නෙමියි පොරොන්දු වූවාය. පුතු ආහාරයට ගැනීමට කැමැති දෑ මවුපියන්ගෙන් විමසා දැනගත් ඇය තිස්ස තෙරුන් වහන්සේ ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩින වීදිය අසළ නිවෙසක නවාතැන් ගත්තාය.

මෙහිදී පිඬුසිඟා වඩින තෙරුන් වහන්සේට බත් හැන්දක් පිළිගැන් වූ ඇය ක්‍රමයෙන් භික්ෂූන් වහන්සේ රසයෙහි බඳවා ගනිමින් තම නිවෙසේ සිටම දන් වළඳන්නට සැලැස්සුවාය. භික්ෂූන් වහන්සේ තමා වසඟයට පත් බව හඳුනාගත් වෛශ්‍යාව දිනක් ඇතුළු කාමරයෙහි නිදා සිටිමින් ගිලන් බව ඇඟවූවා ය.

පිණ්ඩපාත වේලාවෙහි එහි වැඩම කළ තෙරණුවන් වහන්සේ උපාසිකාව කොහේ දැ ‘ යි විමසූ සේක. එහිදී ‘ගිලන්ව සිටි උපාසිකාව ඔබ වහන්සේ දකිනු කැමැති දැයි’ ඇසූ විට ඊට එකඟ, වූ භික්ෂූන් වහන්සේ ව්‍රත සමාදානය කඩ කරමින් ඇතුළු කාමරයට පිවිසුන සේක.

එහිදී වෛශ්‍යාව තමන් පැමිණි කාරණාව භික්ෂූන් වහන්සේට පවසා තමා වසගයට පත් කරවා උපැවිදි කර රජගහනුවර මවුපියන් වෙත රැගෙන ගියාය.

උතුම් චීවරය දරාගෙන සසර මඟ දුක් කෙළවර කර ගැනීමට අදිටන් කළ තිස්ස තෙරණුවන් වහන්සේ උපැවිදි වී සසර මඟ දුක් ගොඩකට නැවතත් ඇඳ වැටුණේ රස තෘෂ්ණාවෙහි ගැලුණූ බැවිනි.

බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ මෙම සුවිශේෂී පුවත දම් සභා මණ්ඩපයේ රැස් වූ භික්ෂූන් වහන්සේලාටද දැනගන්නට ලැබුණි. එහිදී එතැනට වැඩම කළ බුදුපියාණන් වහන්සේ ‘චුල්ලපිණ්ඩපාතික තිස්ස’ තෙරණුවන් පෙර සසර ගමන් මඟෙහිදිත් විනාශයට පත් වූයේ මෙසේ යැයි වදාළහ.

පෙර බරණැස් නුවර බඹදත් රජතුමාට සඤ්ජය නම් උයන්පල්ලෙක් විය. ඔහු පාලනය කරන උයනට නිබඳවම මුවෙක් පැමිණියේය. උයන්පල්ලා දකින මුවා බියෙන් තැතිගෙන වහා වනයට පැන ගියත් නැවතත් උයනටම පැමිණෙන්නේය.

දිනක් මල් පල නෙළාගත් උයන්පල්ලා රජතුමා බැහැ දැකීමට ගොස් උයනෙහි සියලු තොරතුරු මෙන්ම මුවා පිළිබඳවද පැවසුවේය.

මුවා අල්ලා ගැනීමට නොහැකිදැ’යි ඇසූ රජතුමාට කදිම උපදෙසක් දුන් උයන්පල්ලා මී පැණි ටිකක් රජ මාළිගාවෙන් ලබා ගෙන උයනෙහි වූ තණ අග මී පැණි තැවරු වේය. ඒ වෙත ඇදුණූ මුවා අන්තැනකට නොගොස්ම මී පැණි රසැති තණකොළ කෑමට ලොල් වූවේය.

වනයටම හුරුව සිටි මුවා අවසානයේ දී මී පැණි ගැල්වූ තණකොළ උයන්පල්ලාගෙ අතින්ම කෑමට තරම් සමීප විය. මෙසේ මී පැණි ගැල්වූ තණකොළ ආහාරයට ගත් මුවා ක්‍රමයෙන් රස තෘෂ්ණාවෙහි වැදී නොදැනීම රජ මාළිගාව තුළටම ගියේය.එහිදී අවට සිටි මිනිසුන් දැක බියට පත් වූ මුවා ඔබ මොබ දුවමින් තැති ගත්තේය.

මේ දසුන දුටු බෝසත් රජතුමා වනය පමණක් ඇසුරු කර ගත් මුවා රස තෘෂ්ණාවෙහි බැඳී මෙතැනට පැමිණි බවත් මීටත් වඩා ලාමක දෙයක් මෙලොව නොමැති බවත් පැවසුවේය.

නිතර ආවාසයෙහි විසූවද ඡන්ද රාගය ලාමක වන අතර රස තෘෂ්ණාව සියල්ලන්ටම වඩා ලාමක යැයි කියා මුවා වනයටම පිටත් කළේය.

රස තෘෂ්ණාවෙහි බැදුණූ මුවා අන් අයගේ ගොදුරක් වී විනාශයට පත් නොවූයේ එහි සිටි බෝසත් බඹදත් රජතුමා නිසාය.

මී පැණිපොදකට ලොල් වී වනයේ පල වැල අමතක කළ මුවාට තමාට සුවය නිදහස තිබූ වනය අහිමි වීමත් සමූහයක් වශයෙන් සිටිමින් කල් ගෙවූ තම ඥාති වර්ගයාගෙන් වෙන්වී විපතට පත්වන්නට ගියේත් තමා රස තෘෂ්ණාවෙහි ඇලුණූ නිසාය.

එකල සඤ්ජය උයන්පල්ලා මෙකළ වෛශ්‍යාව බවත් මුවා ‘චුල්ලපිණ්ඩපාතික තිස්ස’ තෙරුන් වහන්සේ බවත් බඹදත් රජතුමා සර්වඥයන් වහන්සේ බවත් වදාළහ.

එදා බලවත් පෙරැත්තයෙන් පැවිදි වීමට අවසර ලබා ගත් ‘චුල්ලපිණ්ඩපාතික තිස්ස’ තෙරුන් වහන්සේ රස තෘෂ්ණාවෙහි වෙලී උපැවිදි වී නැවතත් සසර මඟ ගිනිගොඩකට ඇද වැටුණේත් එම තෙරණූවෝ ම පෙර භවයෙහි මුවකු වී රස තෘෂ්ණාවෙන් ඇලී රජඋගුලෙහි අසුවීමට ගියේත්.රස තෘෂ්ණාව නිසාය. ඉහත ජාතක කතාවෙන් රස තෘෂ්ණාවේ ආදීනව හඳුනාගත හැකිවේ. අනියම් පේ‍්‍රමයක වෙලී රස තෘෂ්ණාවට වහල් වූ ම්ලේච්ඡ පියකු තම අඹුදරුවන් මරාදැමීමට තරම් සැහැසි වීමෙන් පෙනීයන්නේ මුළු පවුලක් ම විනාශවී එහි විපාකයන් සමාජයටද ඉතා අයහපත් ලෙස බලපාන බවයි. බුදු දහමට අනුව අපට වැටහෙන්නේ රස තෘෂ්ණාවට අසීමිතව මුළාවන සැවොම නියත වශයෙන්ම විනාශයට පත්වන බවය. මෙවැනි කතා ප්‍රවෘතීන්ගෙන් සත්‍ය වටහා ගනිමින් තෘෂ්ණාවේ බැදීම්වලින් ජීවිත විනාශ වීමට ඉඩ නොතබා අසීමිත ආශාවන්ට වහල්නොවී ගුණදම් සපිරුණු දිවි මඟෙහි සිසිලස විඳ ගනිමින් දිවි මඟ මෙන්ම භව මඟ ද සුවපත් කර ගැනීමට අප සැමගේම එකම අභිලාෂය විය යුතුය.

 

දුරුතු මස පසළොස්වක පෝය

දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි මස 26 වැනිදා සෙනසුරාදා පූර්වභාග 08. 47 ට ලබයි.
27 වැනිදා ඉරිදා පූර්ව භාග 10. 07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 26 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 03 වැනිදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]