UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මවු පසට නිසි මඟ කියූ අගනා බුදු වදන්

සූත්‍ර පිටකයට අයත් සංයුත්ත නිකායේ එන මාතුගාම සංයුත්තය ස්ත්‍රීන්ට දෙසූ සදහම් කරුණු වලින් පිරී ඇත. ‘මාතුගාමො’ යනු ස්ත්‍රියයි. පුරුෂයාගේ සිත ස්ත්‍රීන්ගේ රූපය, ශබ්දය, ගන්ධය, පහස ලැබීමට පි‍්‍රය බවත්, ඊට ඇදී යන බවත් අංගුත්තර නිකායේදී බුදුපියාණන්වහන්සේ දේශනා කර ඇත.

සංයුත්ත නිකායේදී අපට මුලින්ම පුරුෂයාට අපි‍්‍රයවන කාන්තා ලක්ෂණ පහක් දැක්වේ. ඒවානම්,

න ච රූපවා හෝති - රූමත් නොවන්නීය
අලසො ච හෝති - අලස තැනැත්තිය
ත ච භෝගවා හෝති - ධන සම්පත් නැත්තිය
න ච සීලවා හොති - සිල්වත් නොවන්නීය
පජඤ්චස්ස න ලභති - දරු සම්පත් නො ලබන්නීය

ස්ත්‍රියකගෙන් පුරුෂයා බලාපොරොත්තු වනුයේ මෙම අවශ්‍යතාවයන්ය. එම අවශ්‍යතා නොසැපිරු ස්ත්‍රිය පුරුෂයාට ඒකාන්තයෙන්ම එපා වේ. (ඒකන්ත අමනාපො හොති පුරිසස්ස) මෙම අංග සම්පූර්ණ වේ නම් හෙවත් රූමත් කඩිසර ක්‍රියාශීලී ධන සම්පත් ඇති, සිල්වත් හා දරු සම්පත් ඇති කාන්තාව පුරුෂයාගේ සිත්දිනා ගනියි. ඉහත දැක්වූ කරුණු පහෙන් තොර වූ පුරුෂයා ද කාන්තාව විසින් අත්හරිනු ලබන්නේය. (ඒකන්ත අමනාපොහොති මාතුගාමස්ස)

ආවේණික දුක්ඛ සූත්‍රයේ දී කාන්තාවට ම උරුම වූ දුක් පහක් ඇති බව බුදුපියාණන්වහන්සේ පෙන්වා දෙන සේක. ස්ත්‍රීභාව රූපය පහළවීමෙන්ම ලැබෙන එම ආවේණික දුක් පස නම්

දහරොව සමානො පතිකුලං ගච්ඡති - ළාබාල තරුණ වියේදීම නෑයන්ගෙන් මිදී සැමියා වෙත යා යුතු වන්නීය

උතුනී හොති - ඔසප් වන්නී වේ. මාසිකව උතුවන්නී වේ
ගබ්භිනී හොති - ගැබ් ගන්නී වේ. දරු ගැබක් දැරීමට සිදුවන්නීය
විජායති - දරු ප්‍රසූතිය ස්ත්‍රියට විඳීමට සිදුවන දරුණුම වේදනාවයි
පුරිසස්ස පාරිචරියං උපෙති - පුරුෂයාගේ පාදපරිචාරිකා බවට පත්විය යුතු වන්නීය.

මෙම දුක් ස්ත්‍රීත්වය නිසාම ලැබෙන දුක් වේ. බහුල වශයෙන් මනුෂ්‍ය ලෝකයේ උපන් ස්ත්‍රී පුරුෂයෝ මරණින් පසු සැපයෙන් දුරු වූ නපුරු ගති ඇති නිරයේ උපදින බව බුදුහු පෙන්වා දුන්හ. (කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති) අපායේ දුගතියේ ඉපදීමට හේතුවන කාරණා තුන නම්

පෙරවරු කාලයේ මසුරු මළ සහිත සිතින් ගෙයි වාසය කිරීම

මද්දහනේ තරහින් කිපී සිතින් ඊර්ෂ්‍යා පරවශව ගෙයි වාසය කිරීම

සවස කාමරාගයෙන් පීඩිතව වූ සිතින් ගෙයි වාසය කිරීම

මෙසේ දවස පුරාම මසුරු මළයෙන් යුතුව (මච්ඡෙර මලපරියුට්ඨිතෙන චෙතසා) ඊර්ෂ්‍යා සහගත සිතින් යුතුව (ඉස්සා පරියුට්ඨිතෙන චෙතසා) සහ කාමරාගී සිතින් පීඩිතව (කාමරාග පරියුට්ඨිතෙන චෙතසා) සිටින ස්ත්‍රිය අනිවාර්යයෙන් ම තම මෙලොව ජීවිතය ද වනසා ගත්තී, දුගති නම් වූ නිරයේ උපදින්නීය.

වරක් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මෙසේ වදාළහ. ‘ස්වාමිනි! මම මරණයෙන් පසු නපුරු ගති ඇති නිරයේ උපදින ස්ත්‍රියක් මනුෂ්‍යභාවය ඉක්මවා ගිය දිවැසින් (දිබ්බෙන චක්ඛුනා අතික්කන්ත මානුසකෙන) දුටුවෙමි. ස්වාමීනි! කවර ධර්මවලින් යුතු ස්ත්‍රිය මරණින් පසු දුගතියේ උපදින්නී ද?’

මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙන බුදුපියාණන් වහන්සේ ‘අනුරුද්ධය, ධර්ම පසකින් යුතු ස්ත්‍රිය මරණින් පසු දුගතිගාමී වන්නීය ‘යි වදාළ සේක. එම ධර්ම පස නම්

අස්සද්ධෝ ච හෝති - සැදැහැ රහිත වේ.
විශ්වා සයක් නැත
අහිරිකෝ ච හෝති - පව් කිරීමට
ලැජ්ජා නොවීම
අනොත්තාපී ච හෝති - පව් කිරීමට
බිය නොවීම
කොධනො ච හෝති - වහා කිපෙන සුළුවීම
තරහින් නිතර විසීම
දුප්පඤ්ඤෝ ච හෝති - නුවණ රහිතව විසීම

මිසදිටු අදහස් දැරීම

තවත් සූත්‍ර කිහිපයක දී අපායගාමි වන කරුණු කිහිපයක් (ඉහත පහට අමතරව දක්වා ඇත. ඒවා නම්

උපනාහී ච හෝති - බද්ධ වෛර ඇතිව වෙසේ. අසල්වාසීන් නෑ හිත මිතුරන් සමඟ බැඳගත් වෛර ඇතිව විසීම

ඉස්සුකී ච හෝති - අසල්වැසියන් සෙසු කාන්තාවන් පිළිබඳව ඊර්ෂ්‍යා සහගතව විසීම, අනුන්ගේ දියුණුව නො ඉවසීම,

මච්ඡරීච හෝති - මසුරු මළ ඇතිව වෙසේ. තම සම්පත් අනුන් දකිනවාටත් අකමැතිව සඟවමින් මසුරු සිතින් වෙසේ,

අතිචාරි ච හෝති - තම විවාහක පුරුෂයා ඉක්මවා පරපුරුෂයන් ඇසුරු කරන්නී වේ. පර පුරුෂ ඇසුර නිසා විවාහ ජීවිතය විනාශ වී යයි. පරපුරුෂ ඇසුරට පත් වූ මව දරුවන්ගේ් සැතිරියකි. ඒ බව ‘මාතා ච ව්‍යභිචාරිණි’ යන උපදේශ පාඨයේ සඳහන් වේ. පරපුරුෂ ඇසුරට පත් මවක් ඇති නිවසේ දියණිවරුන් ද අනාරක්ෂිත බවට පත් වේ. මෙසේ පරපුරුෂ ඇසුරට ලොල්වීම නිසා ස්ත්‍රිය තම පවුල ද තම දරුවන් ද විනාශ කරගෙන මෙලොව ජීවිතය වනසා ගන්නා අතරම ඊළඟ භවයේ අනිවාර්යෙන් ම නිරයේ උපදින්නී වේ.

කුසීතෝ ච හෝති - කම්මැලිවීම, අලස බවින්, කම්මැලිකමින් යුතු ස්ත්‍රිය සහිත පවුල පේ‍්‍රතයන්ගේ බැල්මට වහා ලක්වේ. ගෙදර දොර අපවිත්‍රව තබා ගැනීම නිසා නිතර ලෙඩ රෝග සෑදේ. ධන විනාශ වේ. තවද මුලා සිහි ඇතිබව, පරපණ නැසීම, නුදුන්දේ ගැනීම, බොරුකීම, කාමයේ වරදවා හැසිරීම හා සුරාපානයට ලොල්වීම ද ස්ත්‍රිය අපායගාමී වීමට හේතුවන කරුණු ලෙස මාතුගාම වර්ගයේ දී සාකච්ඡා කෙරේ.

ඉන් අනතුරුව එන අනුරුද්ධ වර්ගයේ දී සුගතිගාමී වීමට බලපාන කරුණු සාකච්ඡා වේ. අනුරුද්ධ හිමියෝ වරක් සුගතිගාමී ස්වර්ගයේ උපදින කාන්තාවක් දකිති. එසේ කාන්තාව සුගතිගාමී වීමට බලපාන හේතු කවරේද? යි විමසූ විට බුදුහු කරුණු රාශියක් පෙන්වා දුන්හ.

එම කරුණු නම් , ශ්‍රද්ධාව ඇති බව පවට ලැජ්ජා වීම, පව් කිරීමට බිය වීම, මෙත් සහගතවීම, ප්‍රඥාවන්ත වීම, බද්ධ වෛර නැතිවීම, මුදිතා ගුණයෙන් යුතුවීම, මසුරු මළ බැහැරලා දාන පරිත්‍යාගී සිත් ඇති බව, සැමියා ඉක්මවා අනාචාරයේ නො හැසිරීම, සිල්වත් වීම, පන්සිල් සුරැකීම, බොහෝ ඇසූ පිරු තැන් ඇති බව, ඇරැඹු කෙලෙස් තවන වීර්ය ඇති බව, එළඹ සිටි සිහි කල්පනා ඇති බව යන කරුණු රාශිය අනුගමනය කරන්නී නම් ඒ උතුම් ස්ත්‍රිය සුගතිගාමී වන බව බුද්ධ දේශනාවයි.

අනතුරුව මාතුගාම සංයුත්තයේ තුන්වන බල වර්ගය වෙන් වී ඇත්තේ ස්ත්‍රියට ඇති ‘බල’ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. එහි සඳහන් වන ආකාරයට ස්ත්‍රියට බල පහක් (පඤ්ච බලානි) ඇත. ඒවානම්,

රූප බලය - රූප සම්පත්තිය
භෝග බලය - භව භෝග සම්පත්තිය
ඤාති බලය - ධනවත්, බලවත් ඥාතීන් සිටීම
පුත්ත බලය - යහපත් දූදරුවන් ලැබීම
සීල බලය - පංචසීල හා ප්‍රතිවෘතා ධර්මයෙන්
යුතු බව

මෙම බල පහෙන් සමන්විත පින්වත් උතුම් ස්ත්‍රිය විශාරදව මහේශාක්‍ය භාවයෙන් ගෘහයේ වෙසෙන්නීය. (විසාරදො අගාරං අජ්ඣාවසති) එමෙන්ම ඇය තම සැමියා මැඩගෙන ගෙදර වෙසෙන්නීය. සැමියා යටත් කරගෙන තම අණ පවුලෙහි පැතිරවීමට දක්ෂ වන්නීය. මේ පංච බලයන්ගෙන් ප්‍රධාන වන්නේ අවසානයට දැක් වූ ශීල බලයයි.

සීල බලය නොමැතිව හුදෙක් ස්ත්‍රිය රූපාදි සෙසු බලයන් නිසා සුගතිගාමී නොවන්නීය. ඇය සුගතිගාමී වනුයේ සීල බලය තිබුණොත් පමණි. ස්ත්‍රිය සීලවන්ත වේනම්, ඇය වෙසෙන පවුල සැමදා සතුටින් පිරී ඇත. ඇය මෙලොව ද පරලොව ද යහපත් කර ගනියි.

පන්සිල් සුරකින, ශ්‍රද්ධා, ත්‍යාග, සුත, සීල, ප්‍රඥා යන අංග පසින් යුතු ස්ත්‍රිය දිනෙන් දින පුරපස සඳ මෙන් අභිවෘද්ධියට පත් වන්නීය.

එසේ සංසාරයේ අපමණ පින්දහම් රැස්කරගත්, පෙර පින් ඇති ස්ත්‍රියට (කතපුඤ්ඤෙන මාතුගාමෙන) සුලබ වූ කාරණා පහක් ද ආනිසංස වශයෙන් ලැබේ. ධාන සූත්‍රයේ සඳහන් වන පරිදි එම ආනිසංස පහ නම්

පෙර පින් ඇති ස්ත්‍රිය සුදුසු කුලයක උපදින්නීය.

ඇය සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට විවාහ වන්නීය. සුදුසු කුලයක ඉපිද වාසනාවන්ත කුලයකට සරණ යන ඇය සමාන භාර්යාවන් නැතිව තනිවම තම සැමියා සතුටු කරන්නීය.

සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට සරණගිය සපත්නීන් නැතිව ඇය යහපත් දරුවන් ලබන්නීය.

සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට සරණ ගොස් සපත්නීන් නැතිව වාසනාවන්ත දරුවන් ලබන ඇය සැමියා මැඬ විශාරදව වෙසෙන්නීය.

මෙම අපේක්ෂා ස්ත්‍රීන්ගේ සදාතනික ප්‍රාර්ථනාවන් ය. මෙහි ඉහත සඳහන් කළ පරිදි සුගතිගාමී වන ධර්ම ආරක්ෂා කරන, දුගතිගාමී වන ධර්ම නැති කරගත් වාසනාවන්ත, ඥානවන්ත, සීලවන්ත ස්ත්‍රියම මෙම අපේක්ෂා සාර්ථක කර ගැනීමට සමත් වන්නීය.

 

උඳුවප් පුර පසළොස්වක

 
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 12 වනදා සිකුරාදා පූර්ව භාග 1.58 ට ලබයි.
එදිනම අපරභාග 10.07 දක්වා පෝය පවතී.
 

සිල් සමාදන්වීම දෙසැම්බර් 12 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]