බුදුරදුන් ගේ පුනර්භවය
බුදු රදුන් හා බුද්ධත්වය පිළිබඳ ව ඓතිහාසික දෘෂ්ටි කෝණයකින්
සලකා බැලීම පිණිස අද අප ගේ කතු වැකිය වෙන් කැරේ. එහි අරමුණ
පැහැදිලි කිරීමට පෙර, බුදු රදුන් හා බුද්ධත්වය ඓතිහාසික
දෘෂ්ටිකෝණයකින් විග්‍රහ කළ අවස්ථාවක් උපුටා දැක්වීමට
කැමැත්තෙමු. වල්පොළ රාහුල හිමියන් විසින් ලියන ලද බුදුන් වදාළ
ධර්මය නමැති කෘතියෙහි මෙ සේ දැක් වේ.
“ක්‍රි.පූ. 6 වන ශතවර්ෂයේ උතුරු දඹදිව ජීවමාන වූ බුදුන් වහන්සේ
ගෝත්‍රයෙන් ගෞතම ද, නමින් සිද්ධාර්ථ ද වූ හ. උන්වහන්සේ ගේ පියා
( මෙ කල නේපාලයට අයත්) ශාක්‍ය ජනපදයේ සුද්ධෝදන රජතුමා ය. මව
මහාමායා බිසව ය. එ කල පැවැති සිරිත අනුව සොළොස් වියේ දී යසෝධරා
නමැති රූමත් ගුණවත් කුමරිය සමඟ විවාහිත වූ සිද්ධාර්ථ කුමාරයාණෝ
අපමණ යස ඉසුරු මැද තම ප්‍රාසාදයෙහි වාසය කළ හ. එහෙත් ජීවිතයේ
තත්ත්වය ද, මිනිසා විඳි දුක ද දුටු එතුමෝ දුකින් මිදීමේ මඟක්
සොයා යන්නට සිතා ගත් හ. විසි නව හැවිරිදි බෝසතාණන් තම පුත්
රාහුල කුමරුන් උපන් දා රැයෙහි රජ සැප හැර දමා, අබිනික්මන් කොට
‘කිං කුසල ගවේසි’ තාපසයකු වූයේ එහෙයිනි.”
“ඉක්බිති එතුමෝ සුප්‍රකට ආචාර්යවරුන් හමු වී ඔවුන් ගේ ධර්ම
මාර්ගයන් පිළිපදිමින්, දුෂ්කර ව්‍රතවල යෙදෙමින්, සාවුරුද්දක්
මුළුල්ලේ ගංගා නිම්නයෙහි සැරිසැරූහ. එහෙත් එයින් තෘප්තියට නො
පැමිණි එතු මෝ ඒ සියලු සම්ප්‍රදායන් හැර දමා නිදහස් මඟක
පිළිපන්හ. මෙ පරිද්දෙන් (මෙ කල බිහාරයේ ගයා නගරය අසල) නේරංජරා
නදී තීරයෙහි පිහිටි බුද්ධගයාවේ බෝරුක මුල දී තිස් පස් හැවිරිදි
සිද්ධාර්ථ කුමාරයාණෝ සත්‍යාවබෝධය ලබා ‘බුද්ධ’ යන නමින් ප්‍රකට
වූ හ.”
මේ ඓතිහාසික තොරතුරු මෙන් ම බුදුන් වහන්සේ පරිනිර්වාණයට පත්
වීම පිළිබඳ ව ද මෙහි දී පාඨකයන් ගේ අවධානය යොමු කැරේ. එය ද අප
ගේ මාතෘකාවට අදාළ ය. මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් එය මෙ සේ
පැහැදිලි කැර තිබේ.
‘බුදුන් වහන්සේ මරණයෙන් පසු නිවන් පුර වැඩියහ’, යනාදී සදොස්
යෙදුම් ද නිර්වාණය පිළිබඳ වැරැදි හැඟීම් ඇති වීමට හේතු වී
තිබේ. ‘බුදුන් වහන්සේ නිර්වාණයට හෙවත් පරිනිර්වාණයට වැඩම
කළහ’යි අසන අප තුළ නිර්වාණය වනාහි යම් කිසි පැවැත්මක් ඇති
ස්ථානයක් හෝ පදයක් හෝ ගතියක් යන හැඟීමක් ඇති වෙයි. පැවැත්ම,
ජීවිතය යන මේ වචන අප තේරුම් ගෙන සිටින පිළිවෙළ අනුව ඒ ගැන
අදහස් පහළ වෙයි. ‘නිවන් වැඩියහ’ යන්න වැනි අදහස් ඇති යෙදුම්
ආදිම පාලි ග්‍රන්ථවල නැත්තේ ය. බුදු කෙනකු ගේ හෝ රහත් කෙනකු ගේ
අපවත් වීම දක්වන ‘පරිනිබ්බුත’ නම් වචනයක් වෙයි. ‘නිවනට වැඩම
කළ’ යන තේරුමක් එහි නැත. බුදුන් වහන්සේ හෝ රහත් කෙනකු අපවත්
වීමෙන් පසු නැවත ඉපදීමක් නැති හෙයින් එහි තේරුම විය යුත්තේ
‘පුරා නිවී ගිය’ යනු ය.”
මේ කරුණු උපුටා දැක්වීමට අප පොළඹවන ලද හේතුව දෙසට අපි දැන්
හැරෙමු. ගෞතම බුදුරදුන් ගේ පුනර්භවය
(reincarnation of the Buddha ) යැයි ඇතැම් මාධ්‍ය මඟින් ලොව පුරා ප්‍රචාරය වී ඇති
රාම් බහදුර් බම්ජාන් නමැති නේපාල ජාතික ගැටවරයා ගැන කතා කිරීම
අද අප ගේ අරමුණ ය.
මේ වන විට දාහත් වන වියෙහි පසුවන මොහු ‘’බුද්ධ දරුවා’ ලෙස පළමු
වරට පෙනී සිටියේ 2005 වසරේ දී ය. පසුගිය දා යළි ප්‍රසිද්ධියේ
පෙනී සිටි ඔහු ගේ දිගු කෙස් වැටිය හා සුදු ඇඳුම නිසා වඩාත්
කැපී පෙනිණ. එරමිනිය ගොතාගෙන විශාල ගසක් යට ඔහු සිටින ඡායාරූප
අන්තර්ජාලය ඔස්සේ පවා ප්‍රචාරය විය.
මාස දහයක කාලයක් ආහාර හෝ ජලය පවා නොමැති ව ඔහු සිටින බව
ප්‍රකාශ වී තිබූ අවධියේ දී ඔහු පලතුරු අනුභව කළ අයුරු ප්‍රංශ
මාධ්‍යකරුවකු රූ ගත කැර තිබිණ. පසුගිය වසරේ දී ඔහු ගේ
ආධාරකරුවන් ප්‍රකාශ කැර තිබුණේ, වසර තුනක් භූගත බංකරයක දී
භාවනා කිරීමට ඔහු සැලැසුම් කැර ඇති බව ය.
ඔහුට සුවිශේෂී බලයක් ඇතැයි ඔහු ගේ අනුගාමිකයෝ පවසති. කතා බහෙන්
තොර ඔහු සිය සහෝදරයන් සතර දෙනාට වඩා වෙනස් බව පවුලේ සාමාජිකයන්
ගේ අදහස ය. බුදු රදුන් උපන් ස්ථානය වන ලුම්බිණියට ගිය
වන්දනා ගමනකින් පසු ඔහු භාවනා කිරීමට පටත් ගෙන ඇත.
කෙ සේ වූව ද රාම් බහදුර්, බුදුරදුන් ගේ පුනර්භවය ලෙස හැඳින්වීම
කළ නො හැකි බව සෑම බෞද්ධයකු ම දන්නා කරුණකි. අප මෙහි මුලින්
උපුටා දැක් වූ කරුණු වලින් ද එය පැහැදිලි විය යුතු ය. එහෙත්
නේපාල බෞද්ධයන් මෙන් ම සෙසු බෞද්ධයෝ ද බුදු දහමට හානි ගෙන දෙන
මේ ගැන නිහඬ ව සිටිති. |