UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

උඳුවප් මහිම

නිර්වාණ සුවය අත්දැකිය හැකිවන්නේ ‘සබ්බේ ධම්මා අනත්තා’ යනුවෙන් කියැවෙන පරිදි සියලු ධර්ම අනාත්මය යන සත්‍යය අවබෝධ වූ පසුව යි. සියලු ධර්මවල මූලික ලක්‍ෂණය අනාත්ම භාවය බවයි. “යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛ්‍ය තදනත්තා” යන බුද්ධ පාඨයේ අදහස.

අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ ජීවමාන, බුද්ධ ශක්තියේ ධර්මාධිපත්‍යය පතුරමින් ජීවමානවම වැඩ සිටින අසහාය වෘක්‍ෂරාජයා වන සිරිමා බෝසමිඳුන් ලක්දිවට වැඩම කරන ලද්දේ උඳුවප් මාසයකදී ය. ගෞතම බුදු හිමියන් සිය බුද්ධත්වයෙන් පුරා සත් සතියක්ම බෝධි මණ්ඩලයට නුදුරින් ඒ අවටම ගතකරද්දි ශ්‍රී මහාබෝධීන් වහන්සේ විසින් උරාගන්නා ලද නිකළෙස් කුළුඳුල් බුද්ධ ශක්තියේ නොහොත් ශ්‍රී සද්ධර්මාධිපත්‍යයේ බලය ඍජු විකිරණ කිරණ මගින් විසුරුවා සිරිලක්දිව පුරා ශ්‍රී සද්ධර්මයෙහි බලය වැපිරීමේ කාර්යය ආරම්භ වූ උඳුවප් මාසය ඒ නමින් හැඳින්වීම ඓතිහාසික වාග් විද්‍යාවේ න්‍යායන්ට අනුව අර්ථාන්විත ය. එයට හේතුව උඳුවප් යන්නෙහි නිරුක්ති අර්ථය නොහොත් ඓතිහාසික අර්ථය අධිපති බව නොහොත් ඍජුබව වැපිරීම යන්න හෙයිනි. මේ ඍජු බව නම් ශ්‍රී සම්බුද්ධ ධර්මයේ ඍජුබව නොහොත් නොනැමෙන නොවෙනස් වන බව යි. ඒ නිසා එහි ඇති අධිපති ලක්‍ෂණ ය යි.

උඳුවප් යන්නෙහි සරල තේරුම උඳු වපුරන මාසය යන්න වුවත්, භාෂා පරිණාම න්‍යාය අනුව රික් යන්න රුක්‍ෂ වන්නාසේ, රිජු යන්න රුපු වන්නාසේ , ඉන්ද්‍රාගොජක යන්නෙන් නිපන් ඉඳුගොවු යන්න උඳුගොවු වන්නාසේ අධිපති බව කියන ඉඳු යන්න උඳු වී ඉන්ද්‍රභාවය නමැති ඉඳු බව ආධිපත්‍ය වපුරන මාසය යන අරුතින් උඳුවප් මහ නොහොත් උදුවප් මාසය යන ව්‍යවහාරය ඇති විය හැකි ය.

සංස්කෘත ඉන්ද්‍ර යන්න පාලියේදි ඉන්ද බවටත් සිංහලයේදී ඉද බවටත් පසු උඳුවටත් පත්වේ. ඉන්ද්‍ර යන්නෙන් ශක්‍රයා යන්නත් චන්ද්‍රයා යන්නත් අධිපති යන්නත් ගම්‍ය වේ. ඉන්ද්‍ර යන්නෙන් නිපන් ඉඳු යන්න සිංහලයේදි බොහෝ කොට යෙදෙන්නේ අධිපති යන අර්ථයෙන් බව දිනිඳු, තරිඳු , සුරනිඳු නරනිඳු, මිහිඳු, දුමිඳු යනාදි වචනවලින් පැහැදිලි වේ. ඉඳු යන්නෙහි අගට එන ආකාරයේ බලපෑමෙන් ඓතිහාසික වාග් විද්‍යාව අනුව ඉඳු යන්න උඳු බවට පත්විය හැක. මේ අතර සංස්කෘතයේ ඍජු යන්න පාලියේදී උජු බවටත් සිංහලයේදී උඳු බවටත් පත්විය හැකි බව පෙනේ. දම්පියා අටුවා ගැටපදය වැනි පැරණි සිංහල ග්‍රන්ථවල එන උජුල් යන්න නූතන සිංහලයේදි ඉඳුල් බවට පත්වී ඇති හෙයිනි. ඒ අනුව උඳු යන්නෙන් ආධිපත්‍යයක ඍජුභාවයක් යන දෙකම ගම්‍ය වේ. ඍජුභාවය ආධිපත්‍යයේද ලක්‍ෂණයකි.

බුද්ධ ධර්මයේ ආධිපත්‍යය විශ්වාන්තරව පිහිටවනු ලද්දේ ඇසළ පුන්පෝ දිනක ධර්මචක්‍රප්‍රවර්තන සූත්‍රය දේශනාවීමත් දිනක ධර්මචක්‍රප්‍රවර්තන සූත්‍රය දේශනා වීමත් සමගය. ධර්ම චක්‍රය යනු ධර්ම යේ ආධිපත්‍යය. ආඥාචක්‍රය යන්නෙන් ආඥාවේ ආධිපත්‍ය ගම්‍ය වන්නාසේය. ධර්ම චක්‍ර ප්‍රවර්ථනය යනු ධර්මයේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම ය. එසේ ස්ථාපිත වු ධර්මාධිපත්‍යයේ ධර්ම බීජ වින්‍යෙ ජනයන අතර වපුරන ධර්ම දූත ව්‍යාප්තිය ඉල් මාසයක ආරම්භ විය. එහි ක්‍රියාත්මක භාවය වර්ධනය වූයේ ඉල් මසින් පසු එළඹෙන උඳුවප් මාසයේදී ය. ඒ අනුවද උඳුවප් මාසය ධර්මාධිපත්‍ය වපුරන මාසයක් විය . අප ජීවත්වන විශ්වයට අයත් සියලු දේ ත්‍රිමූර්තිය යෙහොවා, දෙවියන් වහන්සේ හෝ අල්ලා යනුවෙන් ජීවමාන ආත්මයන් ලෙස ආගම් වලදී මූර්තිමත්ව ඇති ස්වභාව ධර්මයේ ආධිපත්‍යයට යටත්වේ. බුදු , පසේබුදු, මහරහතන් වහන්සේ පවා ස්වභාව ධර්මයට යටත් ය. උන් වහන්සේද වියපත්ව ජරාජීර්ණව ලෙඩ රෝග වලට ගොදුරු වී අවසන් සුසුම හෙළන්නේ ස්වභාව ධර්මයේ ආධිපත්‍යයට යටත්වයි. මේ අනුව විශ්වයේ අධිපතියා ස්වභාව ධර්මය යි. ඒ ධර්මයට අනුරූප වීම සද්ධර්මය යි. පටහැනි වීම අසද් ධර්මයයි.

සිරිමා බෝ සමිඳු දුමිඳු යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී සද්ධර්මයේ ධර්මාධිපත්‍යය පතුරමින් ද්‍රැම නොහොත් වෘක්‍ෂ අතර අධිපති වෘක්‍ෂය බවට පත් වී තිබෙන හෙයිනි. එසේ සිරිමා බෝ සමිඳු වෘක්‍ෂයන් අතර අධිපති බවට පත් වූයේ බුදු සමිඳුන් බුද්ධත්වයෙන් සත් සතියක නොහොත් දින හතළිස් නමයක් ඒ බෝ සමිඳුන් ඇසුරේම වැඩ ඉඳිමින් උන් වහන්සේගේ බුද්ධ ශක්තිය ඒ බෝ සමිඳුන්ට කැවූ හෙයිනි. අද ඒ මුල් බෝ සමිඳුන් නැතත් තවම අනුරාපුර මහ මෙවුනා උයනෙහි ජීවමානව වැඩ සිටින්නේ ඒ බෝ සමිඳුන්ගේම දක්‍ෂිණ ශාඛාවයි.

ශ්‍රී සම්බුද්ධ ධර්මය ථෙරවාදය නමින් හැඳින්වෙන්නේ එය කිසි දිනක වෙනස් කළ නොහැකි ස්ථිර වාදයක් නොහොත් ස්ථිර ප්‍රකාශකයකු වන

හෙයිනි. එම බුද්ධ ප්‍රකාශය පළමුවන වරට විශ්වාන්තර ප්‍රකාශකයකු බවට පත් වුයේ මීට අවුරුදු තුන් දහසකට පමණ පෙර දඹදිව බරණැස මිගදායේදී ය. විද්‍යාඥයන්ගේ ප්‍රකාශ හා සිද්ධාන්ත වරින් වර වෙනස් වුවත් එම බුද්ධ ප්‍රකාශය මේ වන තුරු අබමල් රේණුවකින් වෙනස් වී නැත. දිවංගත ආතර් සී. ක්ලාක් මහතාගේ නිගමනයක් අනුව මීට අවුරුදු තිහ හතලිහකින් පමණ විවිධ ආගම්වාද ලෝකයෙන් අතු ගෑවී ගියත් විද්‍යානුකූ®ල ධර්මයක් වන බුද්ධ ධර්මය එසේ අතු ගෑවී නොගොස් සියලු ආගම් අභිබවා ලොව පුරා ස්ථිරව තහවුරු වනු ඇත.

බුද්ධ ධර්මයේ ඇති අධිපති බවත් ඍජු බවත් ස්ථිර බවත් මෙයයි.ශ්‍රී දළදා වහන්සේ ඇතුළු සර්වඥ ධාතූන් වහන්සේගේත් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේත් අතර ඇති ප්‍රධානතම වෙනස්කම වන්නේ බුදුන් වහන්සේගේ මෘත ශරීරයේ අස්ථි පඤ්චරයෙන් සැදුණු සර්වඥ ධාතුන් වහන්සේ ස්වභාව ධර්මයට අනුව දිරාපත්වෙමින් පවතින අතර ශ්‍රී මහාබෝධීන් වහන්සේ නිරන්තරවම පණ පෙවෙමින් ජීවමානව සප්‍රාණික ලෙස වැඩ සිටීම යි. එම නිසා අදත් මුළු විශ්වය පුරාම පැතිරී පවතින ශ්‍රී සද්ධර්මාධිපත්‍යයේ ජීවමාන මූලාශ්‍රය ශ්‍රී මහා බෝධීන් වහන්සේයි.

බුදුවීමෙන් පසු දෙවන සතියේදී දින හතක් බුදු හිමියන් ඇස් පිය නොහෙළා බලා සිටි අනිමිස ලෝචන පූජාවෙන් කළේ සිය කුළුඳුල් බුද්ධ ශක්තිය ශ්‍රී මහා බෝධියට කැවීම යි.

මාරයා අසද්ධර්මයේ ආධිපත්‍යය පතුරාගෙන ජීවමානව වැජඹුණත්, ශ්‍රී සද්ධර්මයේ ආධිපත්‍ය දරමින් හා පතුරමින් අදත් ජීවමානව වැඩ සිටින්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේයි. උන්වහන්සේ වැඩ සිටින්නේ විශ්ව සාධාරණ අනිත්‍ය දුක්ඛ අනාත්මතාව දෘශ්‍යගෝචර වන සේ අවුරුදු පතා ප්‍රදර්ශනය කරමිනි.

මාරයා අනිත්‍ය, දුක්ඛ අනාත්ම වූ විශ්ව ශක්තිය නිරූපණය කරන අතර ශ්‍රී මහා බෝධියෙන් නිරූපණය වන්නේ අජරාමර වූ නිර්වාණ ධර්මයේ ආධ්‍යාත්මික සුවයයි. භෞතික වූ බුද්ධ ශරීරය මෙන්ම භෞතික වූ ශ්‍රී මහා බෝධි ශරීරය ද අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයන්ට යටත් වුවත් බුද්ධ ශරීරයෙන් මෙන්ම ශ්‍රී මහා බෝධි ශරීරයෙන්ද ආධ්‍යාත්මිකව දරනු ලබන්නේ බුද්ධත්වයේදී බුදුන් අත් දුටු නිර්වාණ ධර්මයේ ලෝකෝත්තර බලයයි. ශ්‍රී මහා බෝධි සෙවණේදී අප අත් දකින්නේ එම නිර්වාණ ධර්මයේ සුබදායකත්වයයි. අනි

මිසලෝචනයෙන් ශ්‍රී මහා බෝධියට කැවුනේ එම අධ්‍යාත්මික සුවය යි.

නිර්වාණ සුවය අත්දැකිය හැක්කේ ‘සබ්බේ ධම්මා අනත්තා’ යනුවෙන් කියවෙන පරිදි සියලු ධර්ම අනාත්මය යන සත්‍යය අවබෝධ වූ පසුව යි. අනාත්මය අනිත්‍ය වු දුක්ඛ වු සියලු ධර්මයයන් මූලික ලක්‍ෂණය අනාත්ම භාවය බවයි. “යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛ්‍ය තදනත්තා” යන බුද්ධ පාඨයේ අදහසයි. ශ්‍රී මහා බෝධියෙන් අවුරුදු පතා ප්‍රදර්ශනය වන්නේ ශ්‍රී මහා බෝධි ශරීරයට පවා බලපාන මෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්‍ෂණයි.

විශ්වාස්තර වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්‍ෂණ ප්‍රදර්ශනය කරමින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ උන් වහන්සේගේ හැම බීජාංකුරයකින්ම මිහිමත වපුරන්නේ ශ්‍රී සද්ධර්මයේ ආධිපත්‍යයයි. ඉඳු බව යනු අධිපති බවයි. ඉඳු යන්නේ අගට එන සඤ්ඤක ඳු යන්නේ ඇති උ කාරයේ බලපෑමෙන් එම වචනයේ මුලට එන ඉ කාරය උ කාරය බවට පත් වූ විට ලැබෙන්නේ උඳු යන්නයි. ඒ අනුව උඳුවප් යනු ඉඳි සහ අධිපති බව වැපිරීමයි. මේ නිසා ධර්මාධිපත්‍යය වපුරන මාසය උඳුවප් මහ නොහොත් උඳුවප් මාසය වන්නේ. මේ මාසයේදි ලක්දිව පුරා පන්සල් වල පැවැත්වෙන සංඝමිත්තා පෙරහැරවල් බෝධි ධර්මාධිපත්‍ය පැතිරවීමට රුකුලක් වේ.

බුදුන් වහන්සේ ශ්‍රී මහා බෝධි මුලයේදි බුද්ධත්වයට පත් වුයේ ශ්‍රී මහා බෝධි ශක්තිය හා ඒකාත්මික වීමෙනි. හැම වෘක්‍ෂයකම මෙන්ම ශ්‍රී මහාබෝධි වෘක්‍ෂයේදී මූලික ලක්‍ෂණය ආත්මීය භාවයෙන් තොර බවයි.

ආත්මීය හැඟීමෙන් තොරව ස්වභාවික ලෙස ක්‍රියාත්මක වන බවයි. ස්වභාව ධර්මයට අනුව ක්‍රියාත්මක වෙන බව යි. බුදු හිමියන්ද ජරාජීර්ණව රෝගාතුරව පිරිනිවන් පෑවේ ස්වභාවධර්මයට අනුව යි.

ඇලීමෙන් ගැටීමෙන් තොරව ස්වභාව ධර්මයට ඉඩ දිය හැකි වන්නේ ආත්මීය හැඟීමෙන් තොර වු විටයි. වීතරාගී වීතදෝසී වීතමෝහි වූ විට යි.ශ්‍රී මහාබෝධියෙන් වැපිරෙන්නේ මෙම වීතරාගී වීතදෝසි වීත මෝහි ගුණය යි.

උඳුවප් පුර පසළොස්වක

 
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 12 වනදා සිකුරාදා පූර්ව භාග 1.58 ට ලබයි.
එදිනම අපරභාග 10.07 දක්වා පෝය පවතී.
 

සිල් සමාදන්වීම දෙසැම්බර් 12 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]