UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී පාද වන්දනා වාරය ඇරැඹේ

2008 – 2009 වර්ෂ සඳහා වන ශ්‍රී පාද වන්දනා වාරය මෙවරත් උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භව එළඹෙන වසරේ වෙසක් පුන් පොහොය නිමාව දක්වා පවත්වාගෙන යාමට අවශ්‍ය විධි විධාන යොදා ඇතැයි ශ්‍රී පාදස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නා හිමියෝ පවසති. ශ්‍රී පාද වන්දනා වාරයේ ආරම්භය සංකේතවත් කරන පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ අවාරය තුළ තැන්පත් කර තිබුණු සධාතුක කරඬුව ඇතුළු ඓතිහාසික සමන් දේව ප්‍රතිමාව දොරට වැඩම කිරීම නිමිති කොට ගෙන පැවැත්වෙන සමාරම්භක පින්කම් මාලාව සහ පූජා භාණ්ඩ ශ්‍රී පාදස්ථානය වෙත වැඩම කරවීමේ මහා රිය පෙරහර දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා අලුයම ආරම්භ විය.

එම සමාරම්භක පින්කම් මාලාවට පූර්වගාමීව පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ දී දෙසැම්බර් 10 වන දා රාත්‍රී පරිත්‍රාන ධර්ම දේශනාවක්ද පැවැත්විණි. ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීම නිමිත්තෙන් ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ දී සමාරම්භක උත්සවය හා පූජාවන් දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා අලුයම 2.30 ට ආරම්භව අලුයම 5.30 දක්වා පැවැත්විණි. පූජා භාණ්ඩ රැගත් මහා රිය පෙරහර එදින උදෑසන 6.30 ට විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කැරිණි. ගන්කන්ද හන්දියෙන් පැල්මඩුල්ල නගරය වෙත ගමන් ගන්නා රිය පෙරහර ආපසු රත්නපුර දෙසට හැරී ලෙල්ලෝපිටිය, තිරිවානකැටිය, රත්නපුර නගරය, බණ්ඩාරනායක මාවත, මොරගහයට හන්දිය,ඔස්සේ සබරගමු මහ සමන් දේවාලයට සැපත් විය. සබරගමු මහ සමන් දේවාලයේ පැවැත්වෙන විශේෂ පූජාවකින් අනතුරුව නැවත ගමන් ආරම්භ කළ රිය පෙරහර මොරගහයට හන්දිය, රත්නපුර නව නගරය, හිදැල්ලන, මලංගම කුරුවිට, පරකඩුව, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, පසුකර මධ්‍යහ්නය වන විට තල්දූව, ඉසිපතනාරාමය වෙත සැපත් විණි. රිය පෙරහරේ ගමන් ගන්නා ගරුතර මහා සංඝරත්නය වෙත දානමාන පිළිගැන්වීමත්, අවශේෂ පිරිස් සඳහා දිවා ආහාරය සැපයීමත් එහිදී සිදු කැරිණි. මෙම කටයුතු ඉසිපතනාරාම විහාරාධිපති එල්ලාවල නන්ද හිමිපාණන්ගේ අනුශාසනයෙන් යුතුව විහාරස්ථ දායක සභාවේ අනුග්‍රහයෙන් හා ලංකා බැංකුව සබරගමුව පළාත් කාර්යාලය බෞද්ධ සංගමයේ දායකත්වයෙන් සිදු කැරිණි. අනතුරුව ගමන් ආරම්භ කරන රිය පෙරහර දෙහිඕවිට, කරවනැල්ල, යටියන්තොට, කිතුල්ගල දක්වා ගමන් කර කිතුල්ගල සබරගමු, මධ්‍යම පළාත් සීමාව වෙත පැමිණෙන පෙරහර පිළිගැනීමට මධ්‍යම පළාත් ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් යුක්තව විශේෂ උත්සවයක්ද විය. රිය පෙරහර කළුගල, ගිනිගත්හේන, හැටන්, දික්ඔය, නෝවුඩි හන්දිය, මස්කෙළිය, මාඋස්සාකැලේ පසුකොට එදිනම මධ්‍යම රාත්‍රිය ආසන්න වන විට නල්ලතන්නිය ශ්‍රී පාද බෞද්ධ මධ්‍යස්ථානය වෙත ළඟා විය.

එතැන් සිට විශේෂ පෙරහරකින් ශ්‍රීපාදස්ථානය වෙත ගමන් ආරම්භ කළ මහ පෙරහර 12 වන දා අලුයම ශ්‍රී පාද මළුවේ පැවැත්වෙන විශේෂ ශ්‍රී පාද පද්ම පූජාවකින් අනතුරුව 2008 – 2009 වර්ෂයේ ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කරනු ඇතැයි විමල නාහිමියෝ පවසති. වන්දනා වාරය පිළිබඳව සිදුකෙරෙන මූලික කටයුතු සම්පාදන රත්නපුර සහ නුවරඑළිය දිසාපතිතුමන්ලාගේ මෙහෙයවීමෙන් සිදු කැරේ.

උඳුවප් පුර පසළොස්වක

 
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 12 වනදා සිකුරාදා පූර්ව භාග 1.58 ට ලබයි.
එදිනම අපරභාග 10.07 දක්වා පෝය පවතී.
 

සිල් සමාදන්වීම දෙසැම්බර් 12 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]