UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

"ප්‍රබුද්ධ" කාව්‍යයේ බෞද්ධ මුහුණුවර

කුරුණෑගල විසුද්ධායන මහ පිරිවෙනේ ආචාර්ය, ශාස්ත්‍රපති
වික්‍රමසිංහ අතපත්තු

ප්‍රබුද්ධ රචනා කිරීමේදී මහගම සේකරයන් විසින් භාවිතා කරන ලද සාහිත්‍ය සම්ප්‍රදායන් හා භාෂාමය උපක්‍රමයන් නිසා ව්‍යංගාර්ථ හා ධ්වනිතාර්ථ මගින් උප විඥානයක පසු තලයක් නිර්මාණය වී ඇතැයි පෙනේ. ප්‍රබුද්ධ, කාව්‍ය නිර්මාණය පුරාම ගලායන ප්‍රේම වෘත්තාන්තයක් හා අතෘප්තිය, අසහනය, පශ්චාත් තාපය ආදී ආවර්ජනීය සංකල්ප සමුච්ඡයකට මැදි වූ ප්‍රබුද්ධගේ ආත්මය තුළ ඌණ පුරණයක් ප්‍රාර්ථනා කරමින් සිටී. ඔහුගේ අත් දැකීම් බොහෝමයක් උද්‍යෝගය හා අවබෝධය පිණිස හේතුවන ප්‍රවණතාවයක් නොදක්නා ලැබේ. පියවි සිතට හසුවන සියලු සංකල්පයන් ප්‍රාර්ථනීය ප්‍රබුද්ධත්වයක් වෙනුවෙන් පාරමිතා ස්වරූපයෙන් පෙළ ගැසෙන අයුරු පෙනේ. ඔහු ලබන සෞන්දර්යාත්මක හෝ ශෘංගාරාත්මක වින්දනයන් සියල්ල අවසාන වන්නේ බුදු දහමේ ඉගැන්වෙන ත්‍රිලක්‍ෂණයන්ගෙන් යමක් සනාථ කරමිනි.

“ ප්‍රබුද්ධ හිස්ස මේ ජීවිතය බොල්ය මේ ජීවිතය බලව! රන් දුහුල්යට සුවඳ විලෙවුන් අතර අතට අත දෙන ඇඟිලි කරු අතර නිර්වස්ත්‍ර වී පෙනෙන කුහක කම”

පි‍්‍රය සම්භාෂණයකට සහභාගී වූ මොහොතක්, තම පෙම්වතිය හමු වූ අවස්ථාවක්, ජන සම්මානයට පාත්‍ර වූ මොහොතක් වැනි කවර සිදු වීමකදී වූවද, ක්‍ෂණයකින් ඔහුගේ ආත්මය යථාර්ථය හෙවත් ප්‍රතික්‍ෂේපිත සංකල්පයක් වෙත යොමු වෙයි.

මෙලොව විඳිය හැකි පංචකාම සම්පත් කවර ස්වරූපයකින් පැමිණියද ප්‍රතිඵලය වන්නේ ත්‍රිලක්‍ෂණයන් සනාථ වීමයි. ප්‍රබුද්ධ සෑම අත්දැකීමක් අවසන අනිත්‍ය, දුක්ඛ හෝ අනාත්ම ධර්මතාවයක පහස විඳියි.

“ලැබූවද කොතෙක් දන නැගුනද ඉහළ තලයට දිළිඳු විය ඔහු සිත ආත්මය ඇද වැටී පහළට රත් දෙතොල් අතරෙහි පිරී තිබුණේ අමන රාගය අඳුන් ගෑ නෙත් කොන්වල රැඳී තිබුණේ ඊර්ෂ්‍යාවය”

කාව්‍යමය සංකල්ප, ලයාන්විත බස්වහර, සුජානනීය ආශ්වාද ප්‍රබුද්ධගේ ස්මරණ ඥානයට උරුම නැත. එහෙත් ඔහු සොයා යන යථාර්ථය පසක් කර ගැනීමට සුදුසුම තෝතැන්න අභිනිෂ්ක්‍රමණයෙන් තොර මේ කාම භෝගී ලෝකයයි. ලෞකිකත්වයේ රස විඳිමින් ලෝකෝත්තර සැප සොයන දෙබිඩි මානසිකත්වයක් උරුමකරගත් ප්‍රබුද්ධ බුදුන්වහන්සේ දුටු සංසාර විමුක්තිය පිළිබඳ විමර්ශනයක යෙදෙයි.

විදර්ශනා නුවණට ගෝචර වන ත්‍රිලක්‍ෂණ ධර්මතාවය ප්‍රබුද්ධ විසින් විඳිනු ලබන්නේ කාමාශ්වාදයන් කේන්ද්‍රකොටගත් අත්දැකීම් මගිනි. ඔහු යශෝධා පිළිබඳ ස්මරණය කරන අවස්ථාවන් වල සිතේ රජයත හීන මානය, ආත්ම පරාජය වැනි මානසිකත්වයන් කමටහන් ලෙස යොදාගෙන භාවනා වඩයි. ඒ සඳහා ආරාමයක් ඔහුට අවශ්‍ය නොවේ. දුම්රියේ, බස්රියේ වැඩබිමේ එය කළ හැකි ය.

“බුදු සමිඳුනි! කුමක් නිසා ඔබ කලාව අත් හළෝද කලාව සත්‍ය හා මිථ්‍යාවය සත්‍ය ප්‍රකෘතියය ප්‍රකෘතිය තරම් සුන්දර වූ කිසිවක් කිසි දවසක මිනිසාට මැවිය නොහැක “

කවියා පවසන්නේ කලාව යනු ප්‍රකෘතිය හා මිථ්‍යාව අතර ගැටුමකින් ඇතිවන සුන්දර වූ ප්‍රතික්‍රියවක් ලෙසටයි. එසේම ප්‍රකෘතිය, සුන්දර බව පිළිගන්නා ඔහු එයම යථාර්ථය බවත් එය දක්නට නොහැකි ආධුනිකයන්ට කලාව උරුම බව ප්‍රකාශ වෙයි.

ඒ සුන්දර බව හරිහැටි දක්නට බැරි දුහුනන්ටය කලාව, ඒ සුන්දර බව රුකුලක් වේ බලගතු භාවනානු යෝගියාට

එයින් නිර්මාණ කරුවාගේ මතවාදය පිළිබඳ ගැටලුවක් පැන නගී. නමුත් භාවනානුයෝගියාට සුන්දර බව බලවත් රුකුලක් වන්නේ යැයි ප්‍රකාශ වීමෙන් අදහස් වන්නේ ප්‍රතික්කූල සඥාවට ගෝචර විය යුතු දෙය පවා ප්‍රබුද්ධ සුන්දර ලෙස දකින බවයි. ප්‍රබුද්ධ බොහෝ තැන්වල ප්‍රකාශ කරන දාර්ශනික අදහස් බුදුදහම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් පසු එළැඹෙන නිගමනයන් වලට සමීප වෙයි.

ශරීරය බෝ රුකකි.
සිත නිර්මල කැඩපතක් ය.

මේ නිසරු සමාජය දෙස නිසරු දෙය නිසරු ලෙසත් සරු දෙය සරු ලෙසත් දකින්නට හැකි බව ප්‍රබුද්ධගේ විශ්වාසයයි. ඔහුගේ ජීවිතය ප්‍රේමණීය වී ඇත්තේ මෙම නිසරු සමාජය කෙරෙහි පවතින යම් බැඳීමක් නිසා දැයි විටෙක මෙනෙහි කරයි. හදවත පුරා මග බලා ඇත්තේ පාරමීබල සම්පන්න විමුක්තිමය අපේක්‍ෂාවකි.

උඳුවප් පුර පසළොස්වක

 
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 12 වනදා සිකුරාදා පූර්ව භාග 1.58 ට ලබයි.
එදිනම අපරභාග 10.07 දක්වා පෝය පවතී.
 

සිල් සමාදන්වීම දෙසැම්බර් 12 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]