UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරදුන් දිවමන් කල ම මතු වූ නිකාය භේදයේ මූලබීජ

ශාසන ඉතිහාසයෙහි දැක්වෙන කරුණු අනුව බුදුරදුන්ගේ ශ්‍රාවක භික්ෂු පිරිස පඨමාභිසම්බෝධි යුගයෙහි සමගි සම්පන්නව හා විනයගරුකව විසු බව පෙනී යයි. බුදුරදුන් බැහැ දැකීමට ගිය කොසොල් මහ රජු භික්ෂූන් වහන්සේගේ සමගිය පිළිබඳ කළ ප්‍රශංසා සහගත ප්‍රකාශයෙන් (ධම්මචේතිය සූත්‍රය ම.නි.) ඒ බව මනාව පැහැදිලි වෙයි. විවිධ ජනපදවලින් විවිධ කුලවලට අයත්, විවිධ ඇදහීම් ඇති පිරිස් පැවිදි බිමට පත්ව එකම භික්ෂු පිරිසක් බවට පත් වූයේ, නොයෙක් ගංගාවන් හි ජලය මුහුදට ගැලූ පසු එකම සමුද්‍රයේ ජලය බවට පත්වන අයුරෙනි.

මෙසේ භික්ෂූන් සමගි බවෙන් යුක්ත වූවද, බුදුරදුන් ජීවමාන සමයෙහි ම භික්ෂූන් අතර යම් යම් මතභේද ඇති වූ බව පැහැදිලිවම දැකිය හැකි ලක්ෂණයකි. භික්ෂූන් අතර පැහැදිලි නිකාය භේදයක් පිළිබඳ තොරතුරු හමුවන්නේ දෙවැනි ධර්ම සංගායනාවෙන් පසුව වුව ද නිකාය භේදයෙහි මූලබීජ බුදුරදුන් ධරමාන කාලයේ දී ම දක්නට ලැබිණි. එකී මුලබීජ අනුක්‍රමයෙන් සංවර්ධනය වී විකාශයට පත්වීමට ශත වර්ෂ ගණනක් ගත විය. ඒ අනුව පශ්චාත් කාලීනව නිකාය භේදය බිහිවීමට බල පෑ මූලික සිද්ධාන්ත බුදුරදුන් ධරමාන අවධියේ දී ම රෝපණය වන්නට වු බව සිතීම සාධාරණ ය.

පඨමාභිසම්බෝධි යුගයෙහි භික්ෂු ශික්ෂණයෙහිලා බුදුරදුන්ට එතරම් දුෂ්කරතාවනට මුහුණපෑමට සිදු නොවු බව පෙනෙයි. එම යුගයෙහි භික්ෂු සංස්ථාව තුළ වුයේ ආචාර ධර්ම පිළිබඳ අනුශාසනාවක් ලැබීමට තරම් දුර්වල පිරිසක් නොවීම, එයට හේතුව යි. භික්ෂූන් අතින් නොදැන සුළු සුළු වැරැදි සිදු වුණහොත් එහිලා බුදුරදුන් වරද ප්‍රමාණකොට නීතියක් නොපැන වූහ. එම වරද සිහිගන්නා ධර්මය යටතේම සංග්‍රහ වන අනුශාසනාවක් පමණක් ඉදිරිපත් කිරීම, බුදුරදුන්ගේ සිරිත විය . “ මෙම වරද අත්හළ යුතුය. මේ මේ ශික්ෂාවන් හි පිහිටිය යුතුයැ” යි ශික්ෂා පද යටතේ භික්ෂූන් වහන්සේගේ පිළිවෙත සීමා කිරීමට තරම් පඨමාභිසම්බෝධි යුගයෙහි බුදුන් වහන්සේ උත්සුක නොවුහ. තම ආචාර ශික්ෂණයෙහිලා බුද්ධ දේශිත ධර්මයම ප්‍රමාණ කොටගත් භික්ෂූහු, සීලය යටතේ ඉතා සරල වූත්, ලිහිල් වූත් ජීවන පැවැත්මක් ඇතිව දිවි ගෙවූහ. මේ අනුව පඨමාභිසම්බෝධි යුගයෙහි භික්ෂු ශික්ෂණයේ සකස් වුයේ ධර්මය යටතේ සංග්‍රහ වු සීලය ඇසුරෙන් බවත් “ විනය” යන ශීර්ෂය යටතේ පැවැති ශික්ෂණයක් ප්‍රථම සම්බෝධි යුගයෙහි භික්ෂූන් තුළ නොතිබුණූ බවත් පැහැදිලි ලෙසම ප්‍රකාශ කළ හැකිය.

එහෙත් ධර්මය යටතේ සංග්‍රහ වු සීලය ඇසුරෙන් සකස් වු භික්ෂු ජීවිතය පඨමාභිසම්බෝධි යුගය දක්වා පමණක් පැවැති බව අටුවා මතය යි. එසේ වසර විස්සක් පමණ වු කෙටි කාලයකට පසුව භික්ෂු ශික්ෂණය සඳහා සීලය පමණක් ප්‍රමාණවත් නොවීමත්, ඒ සඳහා ශික්ෂාපද ප්‍රඥප්තියක් අවශ්‍යවීමත් ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේ දී දැඩි අවධානයක් යොමු විය යුතු කරුණකි. සංඝ සංස්ථාවෙහි ශික්ෂාපද බහුලව පැවැති යුගයක් ගැන භද්දාලි සූත්‍රයේ කරුණූ සඳහන් වෙයි. සත්ත්වයන් ගේ පිරිහීමත්, ඔවුන් කෙරෙන් සද්ධර්මය අතුරුදහන්වීමත්, ශික්ෂාපද බාහුල්‍යයට හේතු වශයෙන් එහි දැක්වෙයි. (මෙහි සත්ත්වයන් වශයෙන් විශේෂයෙන් ගෙන ඇත්තේ භික්ෂු පිරිස ය) තව ද සංඝ සංස්ථාව තුළ ආසවට්ඨානීය ධර්මයන් පහළවීමම ශික්ෂාපද ප්‍රඥප්තියට හේතු වූ බව පාරාජිකා පාලියෙහි දැක්වෙයි. ඒ අනුව

1. සසුන ආරම්භ වී දිගු කලක් ගතවීම
2.සසුන පිරිස අතින් විශාල වීම
3. සසුනට බෙහෙවින්ම ලාභ සත්කාර ලැබීම
4.සසුනෙහි බහු ශ්‍රැතයන් වැඩිවීම , යන කරුණූ සතර ශික්ෂා පද ප්‍රඥප්තියෙහිලා මුල් විය.

භික්ෂු පිරිසේ විපුලත්වය අනුව සසුන් බඹසර හැසිරීමෙන් පිටස්තර ක්‍රියාවන්ට නැඹුරු වූ භික්ෂූහු ඇති වූහ. මෙම නිසා සමාජ අවශ්‍යතා මත පිහිටා විනය නීති පැනවිණ. කවර සමාජ සංවිධානයක වුව ද, මෙම ලක්ෂණය දැකිය හැකි ය.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ඒ ඒ සංස්ථා අතර මතභේද උද්ගතවීමට පෙර බුද්ධ කාලීනවම භික්ෂූන් අතර විවිධ මතභේද ඇති වූ බව ත්‍රිපිටක සාහිත්‍යය විමසීමේ දී පැහැදිලිවම දත හැකිය. දේවදත්ත, සාතිය, ජබ්බග්ගීය ආදි භික්ෂූන්ගේ ක්‍රියා කලාප පිළිබ¼ඳ අවධානය යොමු කිරීමේදී මෙය වටහාගැන්ම පහසු ය. මුල් වකවානුවෙහි අගාරික ජීවිතය කෙරෙහි කලකිරී අනගාරික ජීවිතයට ඇතුළත් වූ ප්‍රඥාවෙන් මුහුකුරා ගිය පුද්ගලයන් විමුක්ති සාධනයෙහි උත්සුක වු අතර පසුකළ පැවිදි වූ ජබ්බග්ගිය වැන්නෝ විමුක්ති සාධනයෙහි උත්සුක නො වූ හ. ඔවුන් පිළිබඳ පැහැදිලි විස්තරයක් චුල්ලවග්ග පාලියෙහි දැක්වෙයි. “ චුල්,වග්ග “ හා “ මහාවග්ග“ යන විනය ග්‍රන්ථ දෙකෙහිත්, පාරාජිකා පාලියෙහිත්, පැනෙන තොරතුරු අනුව ද සෙසු සූත්‍රාන්තවල දක්නට ලැබෙන සිද්ධීන් අනුව ද බුදුරදුන් ජීවමාන සමයේ දී ම භික්ෂූන් අතර ෂෂමාචාර ඇත්තවුන් වාසය කළ බව පිළිගත හැකි ය. පශ්චාත් කාලීනව නිකාය භේදය බිහිවීමට හේතු වු මූලබීජ ඒ අනුව සැකසුණු බව නිගමනය කිරීම සහේතුක ය.

බුදුරදුන් ජීවමාන සමයෙහි ම සංඝ සමාජයේ සමගිය දෙදරා ගිය සුප්‍රකට අවස්ථා දෙකක් දැක්විය හැකිය. කොසඔෑ නුවර ඝෝෂිතාරාමවාසි භික්ෂූන් අතර විනය ආපත්තියක් මුල් කරගෙන ඇති වූ මතභේදයේ දි “ ධර්ම ධර” හා “ විනය ධර” වශයෙන් බෙදීගිය භික්ෂූන් අන්‍යෝන්‍ය වශයෙන් විරුද්ධවාදීව කලහ කරගත් බව මජ්ඣිම නිකායේ කෝසම්බිය සූත්‍රයෙහි සඳහන් වෙයි. බුදුරදුන් අවවාද කළ ද එයට අවනත නොවු බැවින් උන් වහන්සේ වන ගත කිරීමට තරම් මෙම භේදය උග්‍ර වූ බව සැලකිය යුතු ය. භික්ෂූන් බුදුරදුන්ගේ අවවාදය තුන්වැනි වරට ද ප්‍රතික්ෂේප කිරීම සංඝ සමාජයේ සුවිශේෂී සිද්ධියකි. ගෘහස්ථ දායකයන් පිණ්ඩපාතය වළක් වන තුරුම කලහය පැවතිණි. මෙය ස්වකීය ශාස්තෘවරයාට සංඝ සමාජය අවනත නොවූ අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකි ය.

දෙව්දත් තෙරුන් සංඝ භේදය සිදු කිරීමට උත්සාහ කිරීම සංඝයාගේ සමගිය බිඳී ගිය දෙවැනි අවස්ථාව ලෙස පෙන්වා දිය හැකි ය. සංඝයා ගේ පරිපාලනය සියතට ගැනීමට කළ උත්සාහය ව්‍යර්ථ වූ කල දෙව්දත් තෙර කෝකාලික, සමුද්ද හා දත්ත යන භික්ෂූන් ද කැටිව ගොස් බුදුරදුන් ගෙන් පංචවරයක් ඉල් වීය. ඒ බව පාරාජිකා පාලියෙහි විස්තර වෙයි. එම පංච වරය නම්,

1.භික්ෂූන් දිවි හිමියෙන් අරණ්‍යගතව විසිය යුතු ය
2.පිණ්ඩපාතික විය යුතු ය
3.පාංශු කූලික විය යුතු ය
4. රුක්ෂ මූලික විය යුතු ය
5. මත්ස්‍ය මාංශ අනුභව නො කළ යුතු ය

මෙම කරුණු පසට බුදුන් වහන්සේ එකඟ නොවන බව දැන දැනත් දේවදත්ත එය බුදුරදුන් ලවා අනුමත කරවා ගැනීමට අදහස් කළේ ය. ඒ සංඝ භේදයට මග පාදා ගැනීමක් වශයෙනි. ස්වකීය ශ්‍රාවකයනට මැදුම් පිළිවෙතෙහි ශ්‍රේෂ්ඨත්වය අවධාරණය කළ බුදුහු මෙබඳු දරදඬු නීති කිසිසේත්ම අනුමත නො කරති. එහෙත් කැමැති අයට එම නියමයන් පිළිපැදිය හැකි නමුත් සෑම දෙනෙකු ගෙන් ම එවැන්නක් අපේක්ෂා නොකරන බව බුදුහු පෙන්වා දුන්හ. මෙය අවියක් කොටගත් දේවදත්ත රූක්ෂ පිළිවෙත් කැමැති භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් ද තමාට අවනත කරගෙන ශාසනයෙහි ප්‍රථම සංඝභේදය සිදු කෙළේ ය.

සැරියුත්, මුගලන් දෙනමට අගසවු තනතුරු පිරිනැමීමේදි පවා බුදුරදුන් මුහුණ බලා තනතුරු දෙති යි, යනුවෙන් ඇතැම් භික්ෂූහු ප්‍රකාශ කළහ. අස්සජි, පුනබ්බසුක’ යන දෙනම විසින් සැරියුත් - මුගලන් දෙනම පාපී පුද්ගලයන් යැයි, ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන ලදී. ඒ ආරාම ආරවුලක් හේතුකොට ගෙන ය. දෙව්දත් තෙර පමණක් නොව සුනක්ඛත්ත, අරිට්ඨ හා සාති යන භික්ෂූන් වහන්සේද බුද්ධ කාලයේ දී ම ධර්ම විනය තම තමන්ගේ රුචි අරුචිකම් අනුව විග්‍රහ කිරීමට හා සංශෝධනය කිරීමට පෙළඹුණ හ. එම නිසා බුදුරදුන් ඒ පිළිබඳ තොරතුරු විමසා එම ධර්මය නැවත දේශනා ‍ෙකාට යථා තත්ත්වය පැහැදිලි කළ බව සූත්‍රාන්තවල සඳහන් වී ඇත.

අලගද්දූපම සූත්‍රයෙන් පෙනෙන පරිදි අරිට්ඨ භික්ෂුව බුද්ධ වචනය පිළිබඳ මිථ්‍යා දෘෂ්ඨියක් ඇති කරගෙන සිටියේය. “භාග්‍යවතුන් වහන්සේ යම් අන්තරායික ධර්මයක් අන්තරායික යැයි, වදාරණ ලද්දාහු නම් ඒ ධර්මයන් සේවනය කරන්නහුට අන්තරායක් නොවේ” යනු එම මිත්‍යා දෘෂ්ටිය යි. ධර්මය වැරදි ලෙස ග්‍රහණය කරගැනීම නිසා එමගින් ඇතිවන ආදීනව අලගද්දූපම සූත්‍රයේ දී බුදුන් වහන්සේ පැහැදිලි කළ හ.

තවත් එබඳුම මිත්‍යා දෘෂ්ටියක් ඇති කරගත් භික්ෂුවක් ලෙස “ සාති” භික්ෂුව නම් කළ හැකි ය. “ එකම වූ විඥානයක් අනන්‍යව සසර දුවයි, සැරිසරයි” යනු සාති භික්ෂුව ඇති කරගත් දෘෂ්ටිය යි. (මහාතණ්හා සංඛය සූත්‍රය, ම.නි) මෙම මතය පටිච්චසමුප්පාද මූල ධර්මය හා එකඟ නොවන ශාස්වතවාදි දෘෂ්ටියක් ලෙස හඳුන්වාදිය හැකි ය. රහතන් වහන්සේ මරණයෙන් උච්ඡේදයට පත් වේ යයි, භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන බව දකිමි යි, යනුවෙන් “ යමක” නමැති භික්ෂුවක් ද උච්ඡේද දෘෂ්ටියක් ප්‍රකාශ කර තිබේ . (යමක සූත්‍රය, සං .නි.) ජබ්බග්ගිය , කීටාගිරි වැනි භික්ෂූන් ගැන සිතන විට බුදුරදුන් ජීවමාන සමයෙහි ම ධර්ම විනය යටපත් වී අධර්මය - අවිනය ඉස්මතු වූ අවස්ථා උදා වු බව පෙන්වා දිය හැකි ය.

භික්ෂූන් වහන්සේට සෙනසුන් පැවරීමේ වගකීම භාරව සිටි දබ්බමල්ලපුත්ත හිමියෝ සූත්‍රාන්තික භික්ෂූන්ට වෙනමත්, විනයධර භික්ෂූන්ට වෙනමත්, ධර්මකථික භික්ෂූන්ට වෙනමත් ධ්‍යානවඩන භික්ෂූන්ට වෙනමත් ආදී වශයෙන් ඒ ඒ භික්ෂූන් වහන්සේගේ නියුක්තවීම අනුව සෙනසුන් පැනවූහ. මේ අතර හැඩි දැඩි සිරුර තර කිරීමෙහි නියුතු තිරිසන් කථාවෙහි යෙදී සිටින භික්ෂූන් වහන්සේට වෙනම සෙනසුන් සකස් කිරීමට සිදු වු බව චුල්ලවග්ගිය පාලියෙහි විස්තර වෙයි. මෙම කරුණු පිළිබඳ සලකා බලන කල ශාසනික වගකීමෙන් තොරවූවන් ද සිටි බැව් පෙනේ. එවැන්නක් වෙතින් ධර්මය - විනය ආරක්‍ෂාවීමක් කිසිසේත් අපේක්ෂා කළ නො හැකි ය.

බුදුරදුන් ජීවමාන සමයෙහි පැවැති මෙම පසුබිම පිළිබඳ ව විචාරාත්මකව බලන කල්හි මේවා බුදුරදුන් ගේ ශාස්තෘත්වය හමුවෙහි යටපත් වුව ද බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නැවත ඉස්මතු වීමට පැහැදිලි වම අවකාශ ඇති බව කිව හැකි ය. එබැවින් පශ්චාත් කාලීනව නිකාය භේදය බිහිවීමට බලපෑ මූලික සිද්ධාන්ත බුද්ධ කාලයේ දී ම දැකිය හැකි වූ බව සඳහන් කළ හැකි ය.

උඳුවප් පුර පසළොස්වක

 
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 12 වනදා සිකුරාදා පූර්ව භාග 1.58 ට ලබයි.
එදිනම අපරභාග 10.07 දක්වා පෝය පවතී.
 

සිල් සමාදන්වීම දෙසැම්බර් 12 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]