UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලක්දිව භික්ෂුණී සමාජ‍ය

මේ අතර සංඝමිත්තා මෙහෙණින් වහන්සේ පැමිණෙනතුරු අනුලා බිසව ඇතුළු කාන්තාවෝ දස සිල් සමාදන් වී නගරයේ පැත්තක ඉදිකළ ආරාමයකට වී සිටියහ. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ එම කාන්තාවන් පැවිදි කරති. ඒ සමඟම ‘ලාංකික භික්ෂුණි සමාජය’ ආරම්භ වෙයි. රජමැති ඇමැති ආදී විවිධ සමාජවලට අයත් කාන්තාවෝද පැවිදි වූහ.

උඳුවප් පොහොය උදාවන විට ලාංකික බෞද්ධ කාන්තාවන්ගේ මතකයට නැගෙන ශ්‍රේෂ්ඨ භික්ෂුණියක් වශයෙන් සංඝමිත්තා මෙහෙණින් වහන්සේ හැඳින්විය හැකිය. සිය පැවිදි සහෝදරයා වූ මිහිඳු හිමිගේ ඉල්ලීම පිළිගෙන තරුණ අවධියේදීම ලංකාවට වැඩම කොට ලාංකික බෞද්ධ කාන්තාවන් වෙනුවෙන් ලංකා භික්ෂුණී සමාජය ඇතිකොට එම කාන්තාවන් වෙනුවෙන් කරන ලද උදාර සේවය කිසිදා අමතක කළ නොහැකිය. මේ නිසා අපේ බොහෝ බෞද්ධයෝ විශේෂයෙන් බෞද්ධ කාන්තාවෝ මෙම මෙහෙණින් වහන්සේගේ ගුණ සිහිකරමින් සංඝමිත්තා පෙරහර පැවැත්වීමටත් එම නමින් පාසල් පිහිටුවීමටත් කුළඟන සමිති පිහිටුවීමටත් අමතක කර නැත.

දඹදිව ධර්මාශෝක අධිරාජ්‍යයා විදිසා නුවරින් දේවී නැමැති කුමාරිකාව විවාහ කර ගත්තේය. ඇයට මිහිඳු හා සංඝමිත්තා යනුවෙන් පුතෙක් හා දුවක් ලැබුණි. මෙම කුමාරිකාව තරුණ අවධියේදීම අග්ගිබ්‍රහ්ම කුමරු සමඟ විවාහවීම නිසා ‘සුමන’ යනුවෙන් පුතෙක් ලැබුණ. මෙම කුමාරයා පසු කාලයක පැවිදි විය. මිහිඳු හිමියන් සමඟ ලංකාවට වැඩම කළ ධර්මදූත පිරිසේ සුමන සාමණේරයන් යනුවෙන් සඳහන් වන්නේ් මේ හිමියන් ය. සංඝමිත්තා කුමාරිකාවද විවාහ ජීවිතය ගැන කළකිරී පැවිදි විය. පැවිදි වනවිට ඇයගේ වයස අවුරුදු 18 ක් බව නිකාය සංග්‍රහයේ සඳහන් වේ.

අනුලා බිසව මිහිඳු හිමිගෙන් බණ අසා සෝවාන් විය. ඇය පැවිදි වීමට කැමැත්ත පළ කරයි. කාන්තාවන් පැවිදි කිරීම භික්ෂුන්ට නුසුදුසු බවත් එම කටයුත්ත කර ගැනීමට අවශ්‍ය නම් දඹදිව සිිටින තම පැවිදි සහෝදරිය වන සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවට ගෙන්වා ගන්නා ලෙසටත් උන්වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට පැවසීය. ඒ අනුව රජතුමා දූත පිරිසක් දඹදිවට යවා මිහිඳු හිමිගේ අදහස සංඝමිත්තා මෙහෙණින් වහන්සේට ඉදිරිපත් කරවීය. මිහිඳු හිමියෝ එම අදහසට එකඟ වුවත් අශෝක රජතුමා තරමක් අසතුටු විය. පුතාත් දුවත් දෙදෙනාම ලංකාවට ගියොත් තමාත් බිසවත් තනි වීමට ඉඩ තිබේ යැයි රජතුමා කල්පනා කළේය. පසුව මෙම මෙහෙණින් වහන්සේ රජුට කරුණු පැහැදිලි කරදීමෙන් පසුව ඔහු තම කැමැත්ත පළ කළේය. තම පැවිදි දියණිය සමඟ වටිනා පූජනීය වස්තුවක් ලංකාවට එවීමට කල්පනා කළ රජතුමා බුද්ධගයාවේ පිහිටි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු අංකුරයද දූත පිරිස සමඟ ලංකාවට එවීය. සමහර ග්‍රන්ථවල දක්ෂිණ බෝධි ශාඛාව යනුවෙන් සඳහන් වේ. ශාඛාව යන වචනයෙන් අත්ත යන අදහස ලැබේ. එසේ නම් බෝ ගහේ අතු පැළවෙනවාද, බෝධි අංකුරය යන වචනයෙන් බෝ පැළය යන අදහස ලැබේ. අත්ත පැළ නොවුණත් අංකුරය පැළ වේ. මේ නිසා දක්ෂිණ බෝධි අංකුරය යනුවෙන් සඳහන් කිරීම වඩාත් සුදුසු බව පෙනේ. ලංකාව ඉන්දියාවට දකුණෙන් පිහිටා තිබීම නිසා දකුණු අංකුරය ලංකාවට එවීම වඩාත් සුදුසු යැයි මහාවංශ කතුවරයා පවසයි.

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ තවත් භික්ෂුණීන් දහ නමක් (10) සමඟ ලංකාව බලා පිටත් වෙයි. මෙම දූත පිරිසේ නම් දීප වංසයේ සඳහන් වෙයි. උත්තරා, හේමා, මසාරගල්ලා, අග්ගි මිත්තා, දුසිකා, පෙග්ගු, පබ්බතා, මත්තා මල්ලා, ධම්මදාසි යනු එම දූත පිරිසයි. දූත පිරිස රැගත් නැව ලංකාව බලා යාත්‍රා කරයි. මුහුද මැද දී මෙම දූත පිරිසට නාගයන් කරදර කළ බවත් ඒ අවස්ථාවේ දී සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ගුරුලු වේශයක් මවාගෙන එම නාගයන් දමනය කළ බවත් සිංහල බෝධි වංසයේ සඳහන් වේ. මෙම කරදර හැර වෙනත් කිසිම කරදරයකින් තොරව උඳුවප් පොහොය දිනයේදී මෙම දූත පිරිස ලංකාවේ උතුරු වෙරළේ පිහිටි ජම්බුකෝල පට්ඨන හෙවත් දඹකොළ පටුනට ළඟා වේ.

මේ අතර නිමිති ශාස්ත්‍රය දන්නා එක්තරා බමුණෙක් මෙම දූත පිරිස ලංකාවට පැමිණෙන දිනය , ස්ථානය, වේලාව ආදි සියලුම විස්තර දේවානම්පියතිස්ස රජතුමාට දැනුම් දෙයි. ඒ අනුව රජතුමා නියමිත දිනයේදී නියමිත වේලාවේ නියමිත ස්ථානයට ළඟාවෙයි. රජතුමා මුහුදේ කරවටක් පමණ බැස බෝධිය සහිත පාත්‍රය පිළිගනියි. රජතුමා ඇතුළු රාජකීය පිරිස විසින් මෙම දූත පිරිස ගෞරවයෙන් පිළිගෙන අනුරාධපුරය බලා පිටත් වෙයි. එදින රාත්‍රිය තිවක්ක නැමති බමුණු ගමේ නතර වූ බවත් සඳහන් වේ. වර්තමානයේ තන්තිරිමලය යනුවෙන් සඳහන් වන්නේ මෙම තිවක්ක බමුණු ගම යැයි සමහරු විශ්වාස කරති. පසුදින අනුරාධපුරය බලා පිටත් වූ දූත පිරිස එම නගරයට ළඟා වෙයි. බෝධි අංකුරය මහමෙවුනා උයනේ් රෝපණය කරයි.

මේ අතර සංඝමිත්තා මෙහෙණින් වහන්සේ පැමිණෙනතුරු අනුලා බිසව ඇතුළු කාන්තාවෝ දස සිල් සමාදන් වී නගරයේ පැත්තක ඉදිකළ ආරාමයකට වී සිටියහ. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ එම කාන්තාවන් පැවිදි කරති. ඒ සමඟම ‘ලාංකික භික්ෂුණි සමාජය’ ආරම්භ වෙයි. රජමැති ඇමැති ආදී විවිධ සමාජවලට අයත් කාන්තාවෝද පැවිදි වූහ. මේ නිසා භික්ෂුණීන් වහන්සේලාගේ සංඛ්‍යාව දිනෙන් දිනම වර්ධනය විය. එම පිරිසට අවශ්‍ය සියලුම පහසුකම් සපයාදීමට රජතුමාට සිදු විය. ඒ අනුව රජුගේ මඟුල් ඇතා සිටි ස්ථානයේ හත්ථාල්හක යනුවෙන් මෙහෙණවරක් ඉදිකොට එය භික්ෂුණින් වහන්සේලාට පූජා කරයි. මෙහෙණවර යනුවෙන් හඳුන්වා ඇත්තේ මෙහෙණින් වහන්සේලා සඳහා ඉදිකළ ආරාමයන්ය. මහා වංශය හත්ථාල්හක මෙහෙණවර හඳුන්වා ඇත්තේ භික්ඛුණුපස්සය යනුවෙනි. මුල ගණාගාර, මහා ගණගාර, සිරිවඩ්ඪණගාර යනුවෙන් තවත් ආරාම තුනක් සාදවා ඒවාද මෙහෙණින් වහන්සේලාට පූජා කළ බව මහාවංස ටීකාවේ සඳහන් වේ. රජතුමා මෙම දූත පිරිස පැමිණි නැවේ උපකරණ තුනක් නිධන් කොට තවත් ආරාම තුනක් සාදවා පූජා කළ බව සඳහන් වේ. මෙම විදේශීය දූත පිරිසටත් ලාංකික භික්ෂුණින් වහන්සේලාටත් අවශ්‍ය සියලුම පහසුකම් රජතුමා විසින් සපයා දෙන ලදී. රජතුමාගේ සහයෝගය ලබාගත් සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලංකා භික්ෂුණි සමාජය වෙනුවෙන්ද ලාංකික කාන්තා පරපුර වෙනුවෙන් ද විශාල සේවයක් කොට උත්තිය රජුගේ කාලයේදී පිරිනිවන් පෑවාය. මේ වනවිට මිහිඳුහිමි පිරිණිවන් පා වසරක් ගත වී තිබුණි.

වැඩිකල් යෑමට පෙර අගනුවර පමණක් නොව අගනුවරින් පිට පළාත්වලද මෙහෙණි සමාජය ව්‍යාප්ත වන්නට විය. රුහුණු ප්‍රදේශය පාලනය කළ කාවන්තිස්ස රජතුමාගේ දියණියන් දෙදෙනෙක් වන මහිලා හා සාමාන්තා පැවිදි වූහ. මෙම සිද්ධිය දැනගත් රජුගේ මහ ඇමැතිගේ දියණියන් දෙදෙනෙක් වූ ‘ගිරිකාලි’ හා ‘දුසී’ යන දෙදෙනාද පැවිදි වූහ. දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් කෙනෙක් වූ පුස්සදේව නමැත්තාගේ දුවෙක් වූ නාගාද පැවිදි වූ බව වැල්ඵලලූගොඩකන්ද සෙල් ලිපියේ සඳහන් වේ. ජෙට්ඨතිස්ස රජුගේ ඉල්ලීම පිට ඔහුගේ් බිසව පැවිදි වී අභිධර්මය ඉගෙන ගෙන භික්ෂුණීන්ට ඉගැන්වූ බව මහා වංසයේ සඳහන් වේ. කුටකණ්ණතිස්ස රජුගේ මව පැවිදි වූ අතර ඇය වාසය කළ ආරාමය දත්තගෙහ මෙහෙණවර යනුවෙන් ප්‍රසිද්ධ විය. මිරිසවැටිය පූජා උත්සවයට භික්ෂුණින් වහන්සේලා අනූදාහක් (90,000) සහභාගි වූ බව මහ වංසය කියයි.

ලාංකික මෙහෙණින් වහන්සේලාගේ සේවය ලංකාවට පමණක් සීමා නොවී ය. ක්‍රි.ව. පස්වනි සියවස පමණ වනවිට භික්ෂුණී සමාජය ඉතා දියුණු තත්ත්වයක තිබිණි. මෙහෙණින් වහන්සේ එකොළොස් නමක් චීනයට වැඩම කර එරට කාන්තාවන් පැවිදි කළහ. ඉන් වසර කීපයකට පසුව දේවසාරා භික්ෂුණිය තවත් භික්ෂුණින් පිරිසක් සමග චීනයට ගොස් චීන භික්ෂුණින් වහන්සේ සමාජය තවත් දියුණු කළහ. එරට පාලකයෝ මෙම දූත පිරිසට අවශ්‍ය පහසුකම් සකසා දුන්හ.

ලංකා භික්ෂුණින්ට නොයෙක් අවස්ථාවලදී තර්ජන හා දුෂ්කරතා ඇතිවිය. වලගම්බා රාජ්‍ය සමයේ ඇති වූ බැමිණිතියා සාය වැනි දුර්භික්ෂ අවස්ථාවලදී නොයෙක් දුෂ්කරතා ඇතිවිය. කාමාතුර පුද්ගලයන්ගෙන් තරුණ භික්ෂුණින්ට කරදර සිදුවිය. සමහර පාලකයන් මෙම පිරිස ගැන සැලකිල්ල නොදැක්වීය. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් යටතේ ක්‍රි.ව. 1017 දී සොලින් අනුරාධපුර නගරය අල්ලා ගනියි. භික්ෂුන් වහන්සේලාට පමණක් නොව භික්ෂුනීන් වහන්සේලාටත් නොයෙක් කරදර හිරිහැර සිදුවිය. අවසානයේදී අනුරාධපුර යුගයෙන් පසුව ලාංකික භික්ෂුණී සමාජය දක්නට නොලැබුණි. මෙහෙණින් වහන්සේලා පිළිබඳව විස්තර රාශියක් දීපවංසයේ සඳහන් වේ. දීප වංසයෙන් භික්ෂුණී සමාජය පිළිබඳවත් මහා වංසයෙන් භික්ෂු සමාජය පිළිබඳවත් තොරතුරු පැවසෙන බව ‍ෙබාහෝ උගතුන්ගේ අදහසයි. වර්තමානයේ ලක්දිව භික්ෂුණි සමාජයක් නැත. දසසිල් සමාදන් වී සහ සිවුරු පොරවා ගත් පිරිසක් සිටිති. නැවතත් අපේ රටේ භික්ෂුණී සමාජය පිහිටුවීමට ගිහි පැවිදි වගකිවයුත්තන්ගේ අවධානය යොමු වන්නේ නම් එය ලාංකික බෞද්ධ කාන්තාවන්ගේ වාසනාවකි.

උඳුවප් පුර පසළොස්වක

 
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 12 වනදා සිකුරාදා පූර්ව භාග 1.58 ට ලබයි.
එදිනම අපරභාග 10.07 දක්වා පෝය පවතී.
 

සිල් සමාදන්වීම දෙසැම්බර් 12 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]