UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මානසික දුකින් නිදහස් වන්නේ කෙසේ ද ?

පසුගිය පත්‍රය හා සම්බන්ධයි

ඒ ස්ථානය එම උතුමන්ගේ නිරුපද්‍රිත යාවජීව පැවැත්ම සඳහාම සකස් වූවකි. මුල් ආර්ය ඥානයෙහි සිට අනුක්‍රමයෙන් වඩ වඩාත් ඉහළ ස්ථර කරා පිවිසෙත්ම ගිහි බවෙහි ඇතැම් පොදු පිළිගැනීම හා ප්‍රතිමාන සමග ආර්ය උතුමාගේ ප්‍රජානන. ආවේදන හා චර්යා යන අංශයන්හි ඇති පරතරය ක්‍රම ක්‍රමයෙන් විශාල වෙමින් ගොස් අවසාන පියවරෙහිදී එනම් අර්හත් මාර්ග ඵලය උපදවා ගත් පසු අනිවාර්යයෙන්ම පැවිදි භූමියට ප්‍රවේශ වීම හෝ එසේ නොමැති නම් එක්කෝ සත් දිනකින් පිරිනිවන් පෑම යන අවස්ථා දෙකෙන් එකක් තෝරා ගත යුතුම අවස්ථාවක් කරා මෙහි තත්ත්වය වර්ධනය වෙයි. අර්හත් ඵලයට පත් වූ ආර්යයන් වහන්සේ හට අස්මී මානය ද නොමැති හෙයින් සර්ව සම්පූර්ණ වශයෙන් මම මගේ යන ආකල්පවලින් තොරව ප්‍රජානන, ආව්දන හා චර්යා පැවැත්වීමට හැකියාව ලබන සේක. එම තත්ත්වයෙහි සිට උන්වහන්සේ ලබන නිරාමිස ආශ්වාදය, නිවීම සිසිලස හා සැනසිල්ල දැනට මේ තත්ත්වයෙහි සිට අපට අනුමානයෙන් පවා දැකිය නොහැකි තරම් සියුම් ය. කෙසේ හෝ ඒ තත්ත්වය දක්වා අපගේ සිතිවිලිදාමය සංවර්ධනය කිරීමට නම් අපගේ ප්‍රජානන, ආවේදන හා චර්යා යන අංශයන් පූර්ණ යථාර්ථවාදී පරිවර්තනයකට ලක් කිරීම අවශ්‍යය. දානය හා සීලය මඟින් චර්යාවේ පරිවර්තනයත්, චිත්ත සමාධිය මඟින් ආවේදන පරිවර්තනයත්, ප්‍රඡාව මඟින් ප්‍රජානන පරිවර්තනයත් ඇති කළ යුතුය.

වර්තමානයෙහි බොහෝ සෙයින් මිනිසා හට පෙළඹවීම් ඇති කරන්නේ මිනිස් චිත්ත සන්තානයෙහි මූලික වශයෙන් ඇති සාවද්‍ය පුද්ගලත්වාරෝපණය නිසා හටගන්නා ආත්මාර්ථකාමී චේතනාව වඩ වඩාත් තහවුරු කරලීමටය. නූතන තාක්‍ෂණික දියුණුව මඟින් මිනිසා භෞතිකවාදය කරපින්නාගනු ලැබූ අධි පරිභෝජනවාදියකු බවට පත් කර ඇත. ඒ තුළ මිනිසා ස්වකීය පැවැත්ම තහවුරු කර ගැනීමෙහි ලා වඩ වඩාත් භෞතිකවාදය වන්දනා කරන ඉතාමත්ම දැඩි ආත්මාර්ථකාමියකු බවට පත් වී තිබේ. ගෙවන සෑම සිතිවිල්ලක් සමඟම මිනිසා පෙළඹී ඇත්තේ පරිභෝජනයෙන් ආශ්වාදය ලැබීමට වන නිසාම සීමිත සම්පත් අසීමිත මිනිස් වුවමනාකම් අතරේ බෙදා හැරීමට ආර්ථික විද්‍යා න්‍යාය හා සංකල්ප අසමත්වීම නිසා වඩ වඩාත් අසහනයට හා කළකිරීමට පත් වෙමින් සිටියි. මේ කළකිරීම මිල මුදල් යහමින් ඇති ධනවත් අයට මෙන්ම අතමිට හිඟ දිළින්දන්ටත් පොදු කරුණකි. සතුට රඳා පවතිනුයේ භෞතික දේ මත නොව තම සිත ලොව සංජානනය කරගනු ලබන ආකාරය මතයි. තමන් විසින් තමන්ගේ සිත හික්මවා ගන්නා ආකාරය අනුව දිළින්දෙක් වුවත් ධනවතෙක් වුවත් එක සේ සුවයට පත්විය හැකිය. මිනිසා බුදුවරයකු බවට පත් කරන්නේද, තිරිසනකු බවට පත් කරන්නේ ද තමන්ගේ ම සිතයි. එකම මනුෂ්‍යයා තුළ අහිංසකත්, අංගුලිමාලත් සැඟව සිටී. මිනිසුන් නවසිය අනූනව දෙනකු මරා දමමින් ඉතාමත්ම සහාසික දරුණු මිනීමරුවකු බවට පරිවර්තනය වූයේත් දිසාපාමොක් තක්සලා විශ්වවිද්‍යාලයෙහි දහස් ගණන් ශිෂ්‍යයින් අතර දක්ෂතම ශිෂ්‍යයා වූ, දුටුවන් පහදන ශාන්ත සිත් ඇති ඉතා අවිහිංසක ගුරු දෙගුරුන්හට ඉතාමත්ම කීකරු අහිංසක නමැති ශිෂ්‍යායාමය. ඊර්ෂ්‍යා සහගත අන්‍ය ශිෂ්‍යයන්ගේ කුමන්ත්‍රණකාරී මිථ්‍යා හා කේලම් බස් අසා ඒවා සත්‍ය යැයි සලකා බිඳුණු සිතින් දිසාපාමොක් ඇඳුරිඳු විසින් දෙනු ලැබූ වැරැදි ගුරු උපදේශයක් සත්‍ය ලෙස සලකා ක්‍රියා කිරීම නිසාම සාහසික මිනීමරුවෙකු වූ ඉතාමත් අවිහිංසක පුද්ගලයකු නැවත වරක් අහිංසක සිත් ඇත්තෙකු බවට පරිවර්තන වීමට මේ දහමෙහි ගුණය හේතු විය.

සියලු දුක් ඇති වීමට හේතු වන්නේ තමන් කියා පුද්ගලයෙක් පිළිගනියි. මේ පිළිගැනීම නිසාම ඉන්‍ද්‍රියයන් මඟින් ලැබෙන අරමුණුවලට තමන් කේන්ද්‍ර කරගත් අයිතියක් සිතින් ඇති කරගෙන නිරතුරුවම ඒවා නිත්‍ය, සුව සහගත හා මගේ වශයෙන් ඒ කෙරෙහි බැඳීමකින් ප්‍රජානන, ආවේදන හා චර්යා පැවැත්වීම පුහුදුන් මිනිස් ස්වභාවයයි. පුහුදුන් ස්වභාවය ඉවත්වීම යනුවෙන් අදහස් වන්නේ මේ ආකාරයෙන් ඉන්ද්‍රියයන් මඟින් ගනු ලබන අරමුණු කෙරෙහි ලොබ බැඳ ඒවා තමන්ගේ කරගැනීම නවත්වා තමන් තමන් හා එම අරමුණු කෙරෙහිත් සෙසු මිනිසුන් හා ඔවුන් විසින් ගනු ලබන එවැනිම ආකාර වූ අරමුණු හා සමානවම මධ්‍යස්ථ ස්වභාවයකින් කටයුතු කිරීමට පුරුදු පුහුණු වීමයි. මෙය මුල දී තරමක් අමාරු කාර්යයකි. එය එසේම කළ හැකිදැයි මුල දී තරමක් විමතියකට පවා පත්විය හැකිය. නමුත් මඳක් වැර වෑයමෙන් මෙසේ නිරීක්‍ෂණය කර විචාර පූර්වකව අරමුණු දෙස බලන්නට ඔබ ඔබේ සිත පුරුදු පුහුණු කළහොත් නොවැරදීම එහි මෝක්‍ෂගාමී වූ ඉහතාත්ම ප්‍රතිඵලය ඔබට මේ ආත්මභාවය තුළම අත්විඳීමට ලැබෙනු ඇත. මාර්ගය වූ කලී වැරවෑයමෙන් අධිෂ්ඨානයෙන් පුරුදු පුහුණු කළ යුත්තක් විනා නිරුත්සාහකව සිට ප්‍රාර්ථනා කොට පමණක් ලබාගත හැකි දෙයක් නොවේ. මාර්ගය වූ කලී උත්සාහයෙන් දැඩි අධිෂ්ඨානයෙන් උපදවාගත යුත්තකි. මාර්ගය නිසියාකාරව වර්ධනය කොට සම්පූර්ණ කළ විට දී එයට අදාළ ප්‍රතිඵලය නිරුත්සාහයෙන්ම ලැබිය හැකිය. සෑම දෙනාම කාර්යය ආරම්භ කරන්නට පළමුවෙන්ම හා එසේ ක්‍රියාකිරීමටත් වඩා ප්‍රතිඵලය ගැනම පමණක් බලාපොරොත්තුවෙන් එයට මූලිකත්වය දී කළ යුතු කාර්යය නිසියාකාරය ඉටු නොකර සිටී නම් එය අනිවාර්යයෙන්ම ප්‍රතිඵලය ලැබීමට බාධාවක් වේ. කාර්යය අරඹන්නේත් කාර්යය කරගෙන යනු ලබන්නේත් මූලික වශයෙන් පුහුදුන් පුද්ගලයකු බව අමතක නොකළ යුතුය. පුහුදුන් පුද්ගලයාගේ ස්වභාවය නිතරම යමක් දීමට වඩා යමක් බලාපොරොත්තුවීමයි. නැතහොත් ටිකක් දී වැඩියෙන් යමක් බලාපොරොත්තුවීමයි.

මෙය හරියට වාණිජ ව්‍යාපාරයක ස්වරූපය ගනියි. නමුත් ලෝකෝත්තර මාර්ගය හා ක්‍රමය මෙයට සර්ව සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දෙයකි. එහි ඇත්තේ දීම හා අත්හැරීමයි. එහි කිසිදු ප්‍රතිලාභ බලාපොරොත්තුවක් ඇත්තේම නැත. ඔබ මුලින්ම පුරුදු පුහුණු විය යුත්තේ ද දීමට හා අත්හැරීමටයි. ඒ මාර්ගයෙහි යන්නාට අනිවාර්යයෙන්ම ඉතාම ඉක්මනින් නිවන අවබෝධ කරගත හැකිය. දීමෙහි හා අත්හැරීමෙහි කෙළවර නිවීමයි. හෙවත් චිත්ත සංහිඳියාවයි.

බෞද්ධ භාවනාව ලෙස සැලකෙන විදර්ශනා භාවනාව සකස් වී ඇත්තේ පුද්ගලයා හට මධ්‍යස්ථව හෙවත් කිසිදු අපේක්ෂාවක් රහිතව තමන් දෙස හා අන්‍ය පුද්ගලයන් දෙක එකම ඇසකින් බලන්නට පුරුදු පුහුණු කිරීම පිණිසය. එය මූලික න්‍යායයි. ස්කන්ධ පංචකය ත්‍රිලක්ෂණ අනුව විශ්ලේෂණය කර නිරීක්ෂණය කරන්නේත්, පටිච්ච සමුත්පාද න්‍යාය අනුව සංස්ලේෂණය කර නිරීක්ෂණය කරන්නෙත්, සෙසු සත්ත්වයන් හා තමන් පුද්ගලත්වයෙන් බැහැර කර මධ්‍යස්ථ ලෙස සලකා කටයුතු කිරිමටයි. දුක නැති කළ හැක්කෙත්, දුක නැති කරන මාර්ග ප්‍රතිපදාව වැටී ඇත්තේත් දුක ඇතිවීමට හේතුව වූ මෙම මමත්ව කේන්ද්‍රීය පුද්ගලත්වාරෝපණය මත බැවින් එය දුරු කර හැකිතාක් තමන් ද සෙසු ජීවී සමස්තයෙහිම කොටසක් ලෙස හා ඒ දෙස මධ්‍යස්ථ ආකල්පයකින් සැලකිය යුතු බව අවබෝධ කර ගන්නේ නම් හැකිතාක් සිතේ දුක නිවා සැනසීමෙන් කටයුතු කිරීමේ භාග්‍යය ලබාගත හැකිය.

සත්‍ය වශයෙන්ම අපගේ එදිනෙදා ජීවිතය තුළ ම මාර්ගයත් නිවීමත් ඇත. එකී සත්තාව පිළිබඳව ඓතිහාසික භාෂාවකින් ත්‍රිපිටකයෙහි ලියැවී වර්තමානය වන විට වචනවල අර්ථය කාලයත් සමඟ වෙනස් වන නිසා එක්වරම අවබෝධ කරගැනීම තරමක් අපහසු වන්නට පිළිවන. එසේ වූ පමණින් එම අදහස් අදට අවලංගු නොවේ. ඉදින් තමන් කැමැති නම්, ඒ සඳහා සුදුසු කුසලතාවන් තමා තුළ තිබේ නම්, ස්වභාව ධර්මයේ න්‍යායන් විශ්ව ධර්මතාවන් නැවත වරක් ගවේෂණය කර සියලු මානසික දුකින් නිදහස් වීමේ ක්‍රියා පිළිවෙළ තමන්හටම ස්වාධීනව අවබෝධ කරගත හැකිය. එහෙත් ඒ සඳහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අවබෝධ කරගෙන ක්‍රමානුකූලව ඉදිරිපත් කර ඇති ධර්මය උත්සහයෙන් ඉගෙන අවබෝධ කරගන්නවාට වඩා ඉතාමත්ම අධිකතර දුකක් වෙහෙසක් කැපවීමක් දැරිය යුතු වේ.

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි 31 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 6.22 ට ලබයි.
අගෝස්තු 1 වන දා සිකුªරාදා අපර භාග 3.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 31 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අගෝස්තු 8 වන සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]