UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව:

සසර සයුරෙන් එතෙර වන්න

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස


අප්පකාතෙ මනු සෙසසු -

යෙ ජනා පාරගාමිනො

අථායං ඉතරාපජා -

තීර මෙවානු ධාවතී (ධම්ම පදය –ප. 10)

 

පින්වත්නි,

සසර සයුරකි. එහි පර තෙර නිවනයි. නිවනට පැමිණෙන අය ටික දෙනෙකි. වැඩි පිරිස මෙතෙර වූ මේ භවයෙහිම මැරෙමින් උපදිමින් රැඳී සිටිති. බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ සිටියදී සංවිධානාත්මක බණ පින්කමක් (ගණ්න බන්ධනෙන සබ්බරක්තිකං ධම්ම සවණං කාරෙසුං) (ධම්ම පදට්ඨ කථා 290 පිට) නොයෙක් සමිති සංවිධාන මගින් මෙවැනි ධර්ම දේශනා පිරිත් පින්කම් මේ කාලයේදී ද සිදුවන ආකාරය අපි දනිමු. එදා දෙව්රම් වෙහෙරේ දී දිවමන් බුදුරදුන් වැඩ සිටි කාලයේ දී මේ බණ පලේ බණ අසමින් සිටි මිනිසුන් අතර වරින් වර එක්කෙනා දෙන්නා නැගිට ගියහ. පින්කමේ අවසන් මොහොත වන විට රැඳී සිටියේ ටික දෙනෙකි.පසුදින ධම්සභා මණ්ඩපයට රැස් වූ භික්‍ෂූන් අතර මේ සිද්ධිය පිළිබඳ සාකච්ඡාවක් ඇතිවිය. මේ අවස්ථාවේ දී එම ස්ථානයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ කවර නම් කරුණක් පිළිබඳව සාකච්ඡා කරන්නේ දැයි විමසූ සේක. එය බුදුරජාණන් වහන්සේගේ සම්ප්‍රදායික චාරිත්‍රයයි. කොටසක් හිත් අමනාපවද කොටසක් කම්මැලිකම නිසාද විවිධ අවශ්‍යතා නිසා ද ගියා විය හැකි යි. මෙම සිදුවීම ධම්ම පදට්ඨකථාවේ දැක්වෙන්නේ (එකචෙච දොසනිසසිතා ථීන මිධ සමධගිතො) යන වචන වලිනි. ධර්ම රසය නොහඳුනන ශ්‍රද්ධාව අඩු ධර්මකාමී නොවූ විශාල පිරිසක් එදා ක්‍රියා කළ ආකාරය මේ සිද්ධිය ඇසුරින් අපට හඳුනා ගත හැකි යි.

එදා දෙව්රම් වෙහෙරේ දී සිදු වූ මෙම සිද්ධිය අදද ඒ ආකාරයටම සිදුවන අවස්ථා ඔබද දැක ඇති පිනට දහමට ලැදි අය මෙන්ම ආවට ගියාට පින්කරන අය අද පමණක් නොව බුද්ධ කාලයේ ද සිටි බව මේ සිදුවීම් තුළින් දැක ගත හැකියි. නිවනට හිමිකම් ලබන්නේ අතලොස්සක් බවත් වැඩි දෙනා මේ සසරම රැඳී සිටින බව ප්‍රකාශ කරමින් කළ මෙම වටිනා ධර්ම දේශනාත්මක මෙම ගාථාරත්නය නිතර සිහි කළයුත්තකි. එදා බුදුරජාණන් වහන්සේ එම භික්‍ෂු පිරිස අමතා දේශනා කළේ,

භික්‍ඛවෙ ඉමෙ සත්තා යෙභුය්‍යෙන භව සන්නි සිතා භවෙසු එව ලග්ගාවීහරන්ති, පාරගාමිනො නාම අප්පකා, (ධම්මපදට්ඨ කථා 291 පිට) මහණෙනි මේ මිනිස්සු වැඩිදෙනා සසරෙහිම රැඳී සිටිනවා. (පාරගාමිනො) නිවන අවබෝධ කරගත්තේ ඉතා ස්වල්ප දෙනෙකි. එදා කළ මෙම දේශනාව අදට ද ගැළපෙනවා නොවේද?.

ධර්ම දේශනාවකදී ප්‍රකාශ වන්නේ දන්දීමේ අගය දානකථං, සිල් රැකීමේ වටිනාකම සීලකථං විපාක වශයෙන් සුගති ගාමීව සග්ගකථං කාමයන්ගේ ආදීනව කාමානං ආදීනවො අත්හැරීමේ අගය නෙක්ඛ මෙව ආනිසංසං යනාදියයි. සමහරු මේවා අසා සිටිනවාට වඩා ගුණවර්ණනා අසා සිටීමද පි‍්‍රය කරති. තුණුරුවනේ ගුණ රහතන් වහන්සේලාගේ ගුණ වටහා ගෙන අප අපගේ ජීවිතවලට ද එම උතුම් ගතිගුණ හුරු පුරුදු කර ගැනීමට උත්සාහවත් වීමයි වඩාත් යහපත් ක්‍රියාව වන්නේ.

මොනතරම් සැප සම්පත් තිබුණත් පින්පව් හඳුනා නොගෙන ජීවත් වුණොත් මුළු සසර ගමනම අඳුරු වන බව නුවණින් සිතුවොත් වැටහෙනු ඇති. සබ්බං පහාය ගමනීයං යන බණ පදයට අනුව සියල්ල අතහැර මියයන්න සිදුවන බව වටහාගෙන පවින් වැළකී සිටීමට වගබලා ගත යුතු යි. මෙය නොතකන්නෝ විවිධ විෂමාචාර පව් කරමින් පින්කරන අයට ඇතැම් විට නිගා කරන අවස්ථා ද ඔබ දැක ඇති බුදුරදුන් දවස උප්පලවණ්ණා රහත් මෙහෙණින් වහන්සේට ශාරීරික වේදනා සිදු කළ තරුණයෙක් පණපිටින් අපායට ගිය ආකාරය ධම්මපදට්ඨ කථාවේ සඳහන් වේ. එතුමිය සමඟ ගිහි කළ දැන හැඳුනුම් ඇති කරගෙන සිටි මෙ තරුණයා (පටිබදධචිතෙතා) කරගත් පාපය නිසා නිවනට අහිමියෙක් විය. පව් කරමින් ලබන ආස්වාද නිසා සසරින් ගොඩ වීමට ලෙහෙසි නැත. නූතන සමාජයේ ද සිදුකරන පව්කම් කරන්නන්ට කරවන්නන්ට සැනසීමක් නොලැබෙන බවයි. මෙයින් කියන්නේ මේ ජීවිතයේ දීම පව් කළ අය විඳවනහැටි ඔබද දැක ඇති.එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ

“භික්‍ඛවෙ යොකොචිබාලො පාපං කම්මං

කරොනෙතා මධුසකඛරාදී සු කිඤ්චිදෙව මධුරං

රසං ඛාදමානො පුරිසොවිය හළුපහටෙඨා

උදගගුදගෙගාවිය කරොති යනුවෙනි.”

බුදුරජාණන් වහන්සේගේ මෙම ධර්මදේශනාව ලෝවැඩ සඟරාවේ විදාගම මෛත්‍රී මාහිමි සරල බසින් පවසන්නේ මෙසේ ය.

කරන කලට පව් මීරිය මී සේ

විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ

ඇඳින එපව් දුරලන උපදේ සේ

නුදුන මැනවි තුන් දොර අවකා සේ (37 පද්‍යය)

එදා මෙන්ම අදද බිහිසුනු පිළිකුල් පව්කම් කරන කරවන අය මේ බව නොදැනීම සමාජය අගාධයට වැටීම එක් හේතුවකි. බුදු බණ දැන ඉගෙන පිළිපැදීමට ක්‍රියාකළොත් නිවනට යන පිරිස හා සමග එක්වීමට පිළිවන. නිවන් මඟ පහදා දෙන එකම කල්‍යාණමිත්‍රයා බුදුදහම මඟින් හඳුනාගෙන සසර දුක් දුරු කිරීමට උත්සාහ කරන්න.

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි 31 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 6.22 ට ලබයි.
අගෝස්තු 1 වන දා සිකුªරාදා අපර භාග 3.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 31 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අගෝස්තු 8 වන සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]