UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මෙවර අපේ ප්‍රවීණ ගීත නිබන්ධකයන් කිහිප දෙනකුන් ගේ ගී පැබැඳුම් කිහිපයක් කාව්‍ය නිර්මාණ යටතේ පළ වේ.

අනුබුදු අසිරිය

කිණිහිරි පාටින් මිස්සක පව්වේ
ඇයි මේ රන් වන් කැන් කිඳු දිව්වේ
හිරු එළියට සඳ රැස් බිඳු පෙව්වේ
කවුරු ද අද මහ අසිරිය මැව්වේ

මහින්ද මාහිමි අනුබුදු මාහිමි
දම් සෝ රජ පුතු මහින්ද මාහිමි

බඹ සුර සඟ දෙව්ලිය වන වාසී
මිස්සක පියෙසට වූවෝ රාසී
නව ලොව්තුරු සුව පහසට පෑසී
මඳ නල ගෙන එයි සුබ ගී ආසී

ඉට්ඨිය උත්තිය සම්බල ආදී
අරහත් හිමිවරු වෙති පෙළ සෑදී

අඹතල මුදුනේ අඹ මල් පිපුණේ
අඹ පැන නැඟුණේ අඹ රුක් හෙවණේ
බුදු බුදු හඬ කොළ අතුවල හැපුණේ
අනුහස කියමිනි තෙරුවන් සරණේ

මේ පැදි පෙළ මුද්‍රණයෙහි පවතිද්දී විමල් අභයසුන්දර සූරීහු අභාවයට පත්වූහ. ඒ පිළිබඳව අපගේ බලවත් සොව මේ සමඟ පළ කරමු.


ඔබේ පා මුල බැගෑපත් සේ


කසාවතින් අඹතලා මුදුන් ගිර

කසාවතින් අඹතලා මුදුන් ගිර
ප්‍රභාව නැංවූ ප්‍රවාහේ
පිපාසිත වූ සන්තාප අවිදු මඟ
නිමල ප්‍රදීපාලෝකේ

නෙත් අඳ සත් වග භවයෙන් භවයට
වල්මත් වී ගිය ගමනේ
ඉඳුරන් දමන අමා පිළිසරණින්
කෙලෙස් ගිමන් සංසිඳුණේ

ධර්ම කදම්බ සුවාසූ දහසෙක
අවිංහිසා ගුණ වරුණේ
මිස්සක පව්වේ පියගැට අතරින්
ලංකා දෙරණත උපනේ


අභිධාන යශෝ කඳ


අභිධාන යශෝ කඳ ගුවන් ගැබට නැඟි
අව්කන මහ පිළිමේ
නිවන් සුවය දෙන පවන් පොදින් නැඟි
කලාවැවේ රැළි මාලා පරදන
පෙළින් පෙළට නැඟි සිවුරේ රළ පෙළ
වන පොත් කරනෙමි පියාණනේ

කෙලෙස් මලින් පිරි මහ වන ගැබ මැද
නොසැලී සිටිනා ඔබෙ මහ බුදු බඳ
අධිෂ්ඨාන මහ පාරමි පිරුමට
වන පොත් කරනෙමු පියාණනේ

මෙත් කඳුළැල්ලෙන් තෙමී නිවුණු නෙත
සමාධි ගුණපිරි කරුණා උල්පත
අමා ගඟුල් තල ගලා හැලුණු මුව
වනපොත් කරනෙමු පියාණනේ


අනුබුදු දිනිඳු උදා වී

අනුබුදු දිනිඳු උදාවී
සඳ බඳු සමිඳු ළඟා වී
උණුසුම සිසිල බෙදා දී
ජීවය අපට ලබා දී
ගුවනෙ රන් කොත - වඩවා බැති සිත
පාදා දෙයි සත - නිවනේ මං පෙත
ගල් කුළු මත්තෙන් - පිළිරූ සිත්තම්
මතු වී පවසයි - හෙළයන් විස්කම්
කවිකම කැන්දූ – දන මන බැන්දූ
අහසින් පොළොවට - වට වැහි බිඳුවට
ගමනට සයුරට - නො දී බැඳුණි වැට
සීතල දියවර - කෙත් වතු සරිකර
දුකඳුර දුරුකර - ගෙන එයි සිරසර


ගුවන් තලේ පොසොන් හ‍ෙඳ්

ගුවන් තලේ පොසොන් හඳේ කැලුම් ගලන්නේ
මිහින්තලේ පවන් හදේ ගිමන් නිවන්නේ
ගිමන් නිවන්නේ - නිවන් දෙවන්නේ
පොසොන් හඳේ පවන් හදේ ගිමන් නිවන්නේ

‘දම්රජු සව් ‘ මිහිඳු හිමිඳු අඹ පවු වට දා
සව් හෙළ දිවි උතුරුවමින් දම් වැසි වට දා
දහම් වැස්සේ - තෙමෙමින් රිස්සේ
පොසොන් මසේ උදන් ඇනූ දා

දම්සෝ රජු නුදුටු මිතුරු වෙතැසිත පහදා
එවූ දම් පඬුරු මේලක පිරිසුදු කළ දා
කෙලෙස් වැවිල්ලේ - මුල් ඉදිරිල්ලේ
පුතුන් හෙළේ නිවන් ලැබූ දා

අවිදු අඳුරු මැඬැ තෙරුවන් පහන් නැඟූ දා
මුනිදු සසුන මෙහි පදනම් මුලින් දැමූ දා
බුදු හැදැහිල්ලේ - ලද සැනැසිල්ලේ
දහම් දොළේ ලෙවන් නැටූ දා

ගියනුගියාවේ කුණු මල සේදී ගිය දා
හෙළ සැබියාවේ පියවර අමුතු වැලූ දා
හෙළේ මුළුල්ලේ - අලුත් හැදිල්ලේ
තුමුල් බලේ මුලින් පිරූ දා


චක්ඛුං උදපාදි

චක්ඛුං උදපාදි - උදපාදී
චක්ඛුං උදපාදි
ආලෝකය පහළ වුණා
ආලෝකය පහළ වූණා
අසිරිමත් වූ ලොව දකිනා
ඇසට ඇසක් මට ලැබුණා
හිරු දකිනා සඳු දකිනා
කිරි මුහුදේ තරු දිලෙනා
සක්වළ අරුමය දකිනා
ඇසට ඇසක් මට ලැබුණා
කඳු රැලලේ වන තීරේ
තරු වදුලේ මල් යහනේ
මිහි මඬලේ සඳු උකුළේ
දිය සේලේ රැළි අතරේ
තුරුළු ව නිසල ව නිදනා
මේ ලොව අසිරිය සොබනා
නෙත් හැර සිතු ලෙස දකිනා
ඇසට ඇසක් මට ලැබුණා

 

පොසොන් පුර පසළොස්වක

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 17 වනදා අඟහරුවාදා පූර්ව භාග 8.43 ට ලබයි.
18 වනදා බදාදා අපර භාග 11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 18 වනදා බදාදාය

 

මීළඟ පෝය ජුනි 26 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]