UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශාසනික–ජාතික මෙහෙවර රැසක් ඉටු කළ සත් කෝරළය

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ සත් කෝරළය ආගමික, ඓතිහාසික, ආර්ථික හා සමාජයීය වශයෙන් සුවිශේෂ ප්‍රදේශයකි. දඹදෙණිය, පඬුවස්නුවර, යාපහුව, කුරුණෑගල යන රාජධානි සතර සත් කෝරළයේ වෙසෙන මිනිසුන්ගේ ප්‍රෞඪත්වය පිළිබඳ පැහැදිලි කැඩපත් බඳු ය. බුදු දහමත්, සංස්කෘතියත්, කෘෂිකර්මයත් දිවි හිමියෙන් රැක ගනිමින් එදා සිටම ඔවුහු කල් ගෙවූහ. බෞද්ධයාගේ මුදුන් මල්කඩ වැනි ජාතක පොත් වහන්සේ, පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය, විශුද්ධිමාර්ගය සන්නය, ආදී වටිනා බෞද්ධ ග්‍රන්ථ මෙන්ම සාහිත්‍යමය වශයෙන් ඉතා ඉහළ තත්ත්වයේ වටිනාකම් ඇති ග්‍රන්ථ රැසක් බිහි වූයේ, සත් කෝරළයෙනි. එවන් මහා වටිනාකම් ගැන තොරතුරු බිඳකි මේ.

දඹදෙණිය

අතීතයේ, පොළොන්නරු යුගය කාලිංග මාඝ ආක්‍රමණ නිසා බිඳ වැටීමත් සමඟ 1215 ආසන්න වකවානුව වන විට රටේ වෙහෙර විහාර විනාශ වෙමින් ද, සංඝයා වහන්සේ වනගත වෙමින්ද රාජ පරම්පරාව රටේ අනාගතය උදෙසා සේනා සංවිධානය කරමින්ද පැවිතිණි. ඒ නිසාම වඩාත් ආරක්‍ෂාකාරී වටපිටාවක් ඇති ගල් පර්වත ආශ්‍රයේ බලකොටු මැද තම රාජධානි පිහිටුවා ගැනීමට ඔවුහු පෙළඹුණහ. කෙතරම් දුෂ්කර යුගවලදී වූවද ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ආරක්‍ෂා කර ගැනීම සඳහා ඔවුහු ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ බව අමතක නොකළ යුතු ය.

කෙසේ වෙතත් 1220 වසරේ දී දඹදෙණිය මාළිගාපව්ව කේන්ද්‍රකොට රාජධානියක් බිහි විය. තාවකාලිකව එම රාජධානිය දැව ආශ්‍රයෙන් ගොඩනැඟුනි. එය ගොඩනැඟිලි දහස් ගණනකින් යුක්ත විය. සියලු පහසුකම් සහිත රාජධානියක් බව ඉතා ඉක්මනින් එය පත්විය. මුලින්ම තුන්වන විජයබාහු රජුට එවකට යාපහුව කේන්ද්‍ර කොට ප්‍රාදේශීය පාලනයක් කළ සුභ සෙනෙවිතුමාගෙන් පුර්ණ සහාය ලැබිණ. මේ කාලය තුළ දී (වසර 16 ක්) පළමු කතිකාවත දඹදෙණියේ කරවීම (1226), කොත්මලේ සඟවා තිබූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ බෙලිගලට වැඩමවීම, භික්‍ෂු අධ්‍යාපන ආයතනයක් ලෙස විජයසුන්දරාරාමය ආරම්භ කිරීම, භාරතයෙන් භික්‍ෂූන් වහන්සේ ගෙන්වා, ධර්මය භාෂාව හා සාහිත්‍යය ඉගැන්වීම ධර්ම ග්‍රන්ථ පුස්කොළවල ලියවීම ආදී මෙහෙවර රැසක් සිදු කැරිණි.

එතුමාගේ අභාවයෙන් ජ්‍යෙෂ්ඨ පුතු පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා 1236 පමණ රාජ්‍යත්වයට පත් විය. ඒ වනවිටත් එතුමා මහ පඬිවරයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබිණි. එමෙන්ම ත්‍රිපිටක ධර්මයෙහිද භාෂා සාහිත්‍යයෙහි ද ප්‍රතිභා පූර්ණ කවිත්වයෙහි ද කෙළ පැමිණ සිටි රජතුමා, කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත යන ගෞරව නාමවලින් පිදුම් ලදහ. එමෙන්ම දෙවන කතිකාවත කරවීම, වෙහෙර විහාර කරවීම සාහිත්‍ය, ධර්ම, ග්‍රන්ථ කරවීම, තෙමහල් ප්‍රාසාදයක් විජය සුන්දරාරාමයේ කරවා, මාළිගා පව්ව මත වැඩ විසූ දන්ත ධාතූන් වහන්සේ වැඩම කරවීම, එතුමා විසින් සිදුකරන ලද විශේෂ මෙහෙවර අතර වෙයි.

එතුමාගේ අභාවයෙන් 1270 කාල වකවානුවේදී පරාක්‍රමබාහු රජුගේ වැඩිමහලු පුත් ‘බෝසත් විජයබාහු’ නමින් රජ බවට පත්විය. ආගමට දහමට ලැදි නිරහංකාර රජතුමා කුමන්ත්‍රණයකින් කෙටි කලකදී අභාවප්‍රාප්ත විය.

ඉන් පසුව රාජ්‍යත්වයට පළමුවන බුවනෙකබාහු රජු පත්විය. නමුත් ඒ වන විට දඹදෙණියෙහි තිබූ ව්‍යාකූලත්වය නිසාම හෙතෙම යාපහුව වෙත තම රාජධානිය සංක්‍රමණය කරවීය. එතුමන් ඉතා දැහැමි පාලනයක් ගෙනගිය බව පොත්වල කියැවේ.

දඹදෙණිය රාජ්‍ය පාලන කාලය තුළ සිදු වී සුවිශේෂ සිද්ධි අතර “දළදා වහන්සේ රජතුමාගේ සත්‍යක්‍රියාව හේතුවෙන් සිංහල පැය හමාරක් පමණ රන් ඒදණ්ඩක් මවාගෙන ප්‍රාතිහාර්ය පෑ බව ඉතිහාස තොරතුරුවල ඇතුළත් වෙයි. එමෙන්ම දඹදෙණියේ සිට පොළොන්නරුව දක්වා පෙරහරක් කරවූ බවට ද සාක්‍ෂි ඇත. විශේෂයෙන් මෙම වකවානුවේ දී සාහිත්‍යයට හා ආගමට සිදු වූ සේවය, ඉතා විශාල ය.

යාපහුව

වර්තමාන වන්නි හත්පත්තුවේ පහළ විසි දෙක කෝරළයේ යාපහුව පිහිටා ඇත. අද මේ වන විටත්, දිය අගල, පිට ප්‍රාකාර බැම්ම, ලෙන් විහාරය, රාජ සභා ගොඩනැගිල්ල, දළදා මාලිගා නටබුන්, දාගැබෙහි නටබුන් , බෝධිඝරය ආදිය එහි දක්නට හැකි ය.

1272 සිට 1293 දක්වා ශ්‍රී ලංකාව අගනුවර වූයේ ද යාපහුවයි.

ඉතා ආකර්ශනීය වටපිටාවක් සහ ස්වභාවික සුරක්‍ෂිත භාවයත් ඇති එකම රාජධානිය යාපහුවයි.

1272 ට පෙර ප්‍රදේශීය පාලකයකු වූ සුභ සෙනෙවියා පාලනය කළ යාපහුව, පසුව දඹදෙණිය පළමුවන බුවනෙකබාහු රජු විසින් රාජධානිය කර ගත්තේ ය. ‘සුභ + පබ්බත’ හෙවත් ‘යහපත් පව්ව‘, ‘යහ පව්ව‘ පසුව ‘යාපහුව‘ වූ බවට, ජනප්‍රවාද වෙයි. යාපහුවද සතුරු ආක්‍රමණ වලට ගොදුරු විය.

යාපහුවේ දී චන්ද්‍රභාහු පැරදුණේ විජයබාහු කුමරු හා වීරබාහු කුමරු විසින් දක්‍ෂ ලෙස සටන මෙහෙයවූ නිසා බව, ඉතිහාසය කියයි.

පොසොන් පුර පසළොස්වක

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 17 වනදා අඟහරුවාදා පූර්ව භාග 8.43 ට ලබයි.
18 වනදා බදාදා අපර භාග 11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 18 වනදා බදාදාය

 

මීළඟ පෝය ජුනි 26 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]