UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කාමයෙහි රූපයෙහි වේදනාවෙහි සැබෑ තතු

2008 - 04 - 28 වැනිදා පත්‍රය හා සම්බන්ධයි

මෙයින් පැහැදිලි වන්නේ කාමය බොහෝ දෙනාගේ ප්‍රධාන අරමුණ නිසාම එමි ආදීනව නිරන්තරයෙන් විඳින්නට සිදුවන බවයි. අද වර්තමාන සමාජය දෙස අවධානය යොමු කිරීමේදී මිනීමැරුම් සත්වාඝාතන මං කොල්ලකෑම් , අපරාධ ආදි බොහෝ දුසිරිත් සිදුවන්නේ කාම ආස්වාදයට ඇති ආශාව නිසාය. තමන් ලබන සැප සම්පත්වලින් සෑහීමකට පත් නොවි අන්‍යයන්ට අයත් වස්තු සම්පත් ද තමන්ට අයත් කර ගැනීමට උත්සුක විම නිසා හටගන්නා දුක් කාමයන්ගේ ආදීනව ලෙස මෙලෙස දක්වා ඇත.

අනතුරුව බුදුරජාණන්වහන්සේ කාමයන්ගේ නිස්සරණය හෙවත් ප්‍රහාණය කවරක්ද යන්න පෙන්වාදී ඇත. යමෙක් කාමයන් කෙරෙහි ඇලීමකින් තොරව අනාත්ම වශයෙන් පඤ්චකාම ගුණ දකින්නේ වේද? එය කාමයන්ගේ ප්‍රහාණය හෙවත් නිස්සරණයයි. එමෙන්ම මෙහිදී බුදුරජාණන්වහන්සේ පෙන්වා දෙනු ලබන්නේ යම් කුල පුත්‍රයෙක් කාමයන්ගේ ආශ්වාදය ආශ්වාද වශයෙන් දකින්නේ වේද, කාමයන්ගේ ආදීනව ආදීනව වශයෙන් දකිනේනේ වේද එය ඔහුගේ කාමයන් කෙරෙහි ඇති ඇලීම , තෘෂ්ණාව දුරුවීමටය ප්‍රහාණයට හේතු වන බවයි. ඉන් අනතුරුව බුදුරජාණන්වහන්සේ රූපයන්ගේ ආස්වාදය ආදීනව නිස්සරණ කුමක්ද යන්න පිළිබඳ ඉතා සරළව දේශනා කර ඇත. මුලින්ම රූපයන්ගේ ආස්වාදය මෙසේ පෙන්වාදෙනු ලැබේ.

“ කොච භික්‍ඛවෙ රූපානං අස්සාදො? සෙය්‍යථාපි භික්‍ඛවෙ ඛත්තිය කඤඤාවා බ්‍රාහමණ කඤඤාව ගහපතික ඤඤාවා පණණරස වස්සුදෙදසිකාවා සොළස වස්සු දෙදසිකාවා නාතිදිඝා නාති රස්සා නාතිකියා නාති ථුලා ....යං ඛො භික්ඛවෙ සුභං වණ්නනිභං පටිච්ච උප්පජජති සුඛං සොමනසයං අයං රූපානං අස්සාදො”

මහණෙනි, රූපයන්ගේ ආස්වාදය කවරේද? මහණනි, පසළොස් හැවිරිදි වු හෝ සොළොස් හැවිරිදි වූ හෝ ඉතා උස් නොවූ ඉතා මිටි නොවූ ඉතා කෘංශ (කෙට්ටු) නොවු ඉතා මහත් නොවු ඉතා කළු නොවූ ඉතා සුදු නොවූ ක්‍ෂත්‍රිය කන්‍යාවක් හෝ බ්‍රාහ්මණ කන්‍යාවක් හෝ ගෘහපති කන්‍යාවක් හෝ වේ ද, මහණෙනි ඒ කාලයෙහි (ඇගේ) ඒ ශරීර වර්ණය යහපත් වේද? මහණනි, යහපත් පැහැය නිසා ලස්සන නිසා සැපයක් හෝ සොම්නසක් උපදීද මෙය සැපයන්ගේ ආස්වාදයයි.

බොහෝ දෙනා තරුණ කාලයේදී තමන්ගේ රූප සම්පත්තිය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන අතර ශරීරය අලංකාරවත්ව තබාගැනීමට අපමණ වෙහෙස විඳිති. එමෙන්ම ඇතැම් දෙනා රූප සම්පත්තිය කෙරෙහි මානයක් ඇතිව ජීවත්වෙති. බුදුරජාණන් වහන්සේ රූපයන්ගේ ආශ්වාදය ලෙස පෙන්වාදි ඇත්තේ මෙයයි. එමෙන්ම රූපයන්ගේ ආදීනව පිළිබඳ බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළහ .

“ මහණෙනි, පසළොස් හැවිරිදි වු සොළොස් හැවිරිදි වූ ක්ෂත්‍රිය කන්‍යාවක් හෝ බ්‍රාහ්මණ කන්‍යාවක් හෝ ගෘහපති කන්‍යාවක් අසූ හැවිරිදි වූ විට දක්නේ වේද? හැරමිටිය පිහිටකොට ඇති වෙවුලමින් ගමන් කරන්නේ වේ. පැහැපත්ව තිබුණු ශරීර වර්ණය හා කේශ වර්ණය ජරාවට හෙවත් දිරායාමට ලක්ව ඇත. එමෙන්ම පැහැපත් දත්ද දිරායාමට පත්ව ඇත. පෙර තිබූ පැහැපත් වර්ණය අතුරුදන් වී ඇත. මහණනි, මෙය රූපයන්ගේ ආදීනවයයි.

එමෙන්ම කොතරම් රූප සම්පත්තියක් තිබුණද ලෙඩවීමටද පත්වේ’ සෙම් සොටු හා මල මුත්‍ර මත ජීවත්වීමට සිදුවේ. මරණයට පත්වුවද ඉන්පසු දවසක් දෙකක් පමණ ගත වන විට ශරීරය ඉදිමුණු නිල්වුණු පැහැය ගනී. ශරීරයේ නව දොරටුවලින් ඕජස් පිටකරනු ලැබේ. පිළිකුල් ස්වභාවයට පැමිණේ. එමෙන්ම සතුන් විසින් ආහාරයට ගනු ලබයි. අවසාන ශරීරය ඇටසැකිලි බවට පත්වේ. මෙය රූපයන්ගේ ආදීනව බව බුදුරජාණන්වහන්සේ මැනවින් දේශනා කළහ. මෙසේ ආදීනව දේශනා කළ බුදුරජාණන් වහන්සේ රූපයන්ගේ නිස්සරණය ද දේශනා කළහ.

“ මහණනි, යම් මහණ බමුණෙක් හෝ මෙසේ රූපයන්ගේ ආස්වාද ආස්වාද වශයෙන්ද , රූපයන්ගේ ආදීනව ආදීනව වශයෙන් නුවණින් දක්නේවේද එය රූපයන්ගේ නිස්සරණය හෙවත් ප්‍රහාණය කිරීමට හේතුවන බව බුදුරජාණන්වහන්සේ දේශනා කළහ . ඉන්පසු වේදනාවන්ගේ ආස්වාද, ආදීනව නිස්සරණ මෙසේ පෙන්වා දේ. “මහණෙනි , වේදනාවන්ගේ ආස්වාදය කවරේද? යම් මහණ බමුණෙක් හෝ කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් පී‍්‍රතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. මෙසේ ද්විතීය , තෘතිය හා චතුර්ථධ්‍යානයන්ට පැමිණ වාසය කෙරේද මහණෙනි, මම වේදනාවන්ගේ ආස්වාදය නිදුක් බවම පරමකොට ඇතැයි කියමි” මෙයින් බුදුරජාණන් වහන්සේ වේදනාව හෙවත් වින්දනය කිරීම යන්නෙන් පෙන්වාදෙනු ලබන්නේ අකුසලයන්ගෙන් වෙන්ව කාමයන්ගෙන් වෙන්ව ක්ලේශයන් යටපත් කරගනිමින් ඇති කරගන්නා වු රූපාවචර සිත්ය. එය වේදනාවන්ගේ ආස්වාදය ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. යම් දිනක වේදනාව අනිත්‍යවේද පෙරලෙන සුළුවේද දුකක් බවට පත්වේද? තාවකාලිතව යහපත් කළ කෙළෙස් යම් මොහොතකදී ඉස්මතුවේද එය වේදනාවන්ගේ ආදීනව බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. වේදනාවන්ගේ නිස්සරණය ලෙස පෙන්වාදෙනු ලබන්නේ වේදනාවන්ගේ ආස්වාදය ආස්වාද ලෙසත් වේදනාවන්ගේ ආදීනව ආදීනව ලෙසත් දකින්නේ වේද එය වේදනාවන්ගේ නිස්සරණය හෙවත් ප්‍රහාණයයි. එහෙයින් බුදුරජාණන් වහන්සේ මෙතුළින් පෙන්වාදෙනු ලබන්නේ වින්දනය කිරීම නම් සංඤා වේදනාවන්ගෙන් සම්පූර්ණයෙන්ම තොරවූවන් සම්පත්තිය ලැබීමයි.

මෙම සූත්‍ර දේශනාව තුළින් සත්වයා අනන්ත අප්‍රමාණ දුක් සමුදායකට මුහුණපාන අයුරුත් ඉන් මිදීමට ඇති මාර්ගයක් පෙන්වාදී ඇත. ඒ අනුව මෙවැනි උතුම් දහමින් බුදුරජාණන්වහන්සේට හා බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට පමණක්ම විසය වන අතර බුදු සසුනෙන් බැහැරව මෙවැනි ගැඹුරු වූ දහමක් අසන්නටවත් දකින්නටවත් ලැබෙන්නේ නැත. එහෙයින් බුදුරජාණන් වහන්සේ ගිහි පිරිස අරමුණූ කර දේශනා කරනු ලබන්නේ ඔවුන්ට විසය වන දේශනාවකි.

සියළු කාරණා සැලකිල්ලට ගැනීමේදී සත්වයා දුකට පත්වන්නේ කාම, රූප, වේදනාවන්ගේ ආස්වාසය හේතු කොටගෙන බව පැහැදිලිවේ. එහෙත් සත්වයා සොයන්නේ වෙහෙසෙන්නේ ජරාවට , ව්‍යාධියට මරණයට පත්වන දේවල්ම මිසක් සදාකාලික නිවීමට හේතුවන කුසල් ධර්මයන් නොවේ. එම නිසා දුර්ලභව ලැබුවා වූ මේ මනුෂ්‍ය ජීවිතයෙන් දශ අකුසලාදී අයහපත් ක්‍රියාවන්ගෙන් මිදී ආර්ය අෂ්ඨාංගික මාර්ග ප්‍රතිපදාවේ ගමන් කරමින් සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්‍ෂා කුසලයන්හි නියැලී සංසාරය නැමැති සැඩපහරින් එතෙරවීමට නිරතුරුවම උත්සාහ කරමු.

තෙරුවන් සරණයි

මජ්ඣිම නිකාය මූලපණ්ණාසකයේ මහා දුක්ඛක්‍ධන්ධ සූත්‍රය ඇසුරෙනි

බක් අමාවක
පෝය

මැයි මස 4 වනදා ඉරිදා
අපරභාග 08.32 ට ලබයි.
5 වනදා සඳුදා අපර භාග 05.48 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මැයි මස 05 වනදා සඳුදාය

මීළඟ පෝය මැයි 12 වනදා සඳුදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]