UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රහතන් වහන්සේගේ සංඛාර නිරෝධය

අර්හත්වය පත් වූ උතුමන් හට අතීත කර්මයන් පලදේද? යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.

‘සංඛාර යන පදය පිටකත්‍රයෙහි විවිධ අරුත්හි යෙදී ඇති බැව් පෙනෙයි. නමුත් අප මෙහිදී සඳහන් කරනුයේ සාකච්ඡාවට භාජනය කරනුයේ ‘පටිච්ච සමුප්පාද’ ගත කුසලාකුසල සම්බන්ධ වූ ‘සංඛාර’ යන්න පිළිබඳවයි. මෙම සංඛාර නිරෝධයෙන් හෙවත් කර්මක්ෂයෙන් ලබන නිර්වාණය, ලැබූ උතුමන්ගේ ජීවිත කෙරෙහි සංඛාර හෙවත් කුසලාකුසලයන්ගේ බලපෑම කෙසේදැයි යන කරුණ, ධර්මය පටලවා ගැනීමේ වරදින් විවිධ දෘෂ්ටීන්හි එල්බගනු ලැබූවන් ගේ පසුගිය බුදුසරණ කලාපයන්හි පළවිය . ඔවුන් කෙරෙහි මෛත්‍රී සහගත අනුකම්පාවෙන්ම මෙම ගාම්භීර කාරණය අපගේ අවබෝධයේ තරමට විග්‍රහ කිරීමට සිත්විය. මෙම කාරණය පැහැදීමට පෙරාතුව ‘සංඛාර’ යන්නෙහි අරුත විමසිය යුතුය.

සූත්‍ර පිටකගත පඤ්චස්කන්ධ විභාගය අභිධර්ම ක්‍රමයෙන් විග්‍රහ කරන කල්හි ‘සංචාර’ යන්නට සඤ්ඤා , වේදනා යන චෛතසිකයන් දෙක හැර ඉතිරි චෛතසිකයන් පනසම අයත් ය. මෙම චෛතසිකයන් පනස අතුරෙනුත් චේතනාව ප්‍රධාන වෙයි. චෛතසිකයන් හා චිත්තයන් වැඩෙහි යොදවමින්ම කර්ම කිරීමේ ශක්තිය සපයන්නේ චේතනා චෛතසිකය මගිනි. ඉතා පැහැදිලිවම කිවහොත් සංචාර යනු ප්‍රධාන වශයෙන්ම චේතනාවම යයි කිව යුතුය. තවදුරටත් පැහැදිලි කරගෙන යන විට, ‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා - කම්මං කරෝති කායෙන වාචාය මනසා’ යනුවෙන් දෙසූ ලෙස චේතනාවම කර්මය වන බව පැහැදිලිය. ‘සංඛාර’ යනු ප්‍රධාන වශයෙන්ම චේතනාවයි. එම චේතනාවට ලෝභය නමැති චෛතසිකය එක් වූ විට එයට ලෝභ චේතනාවද කියති. ද්වේෂය නමැති චෛතසිකය එක් වූ විට ද්වේෂ චේතනාවයිද කියති.

වේතනාවනම් ප්‍රධාන වශයෙන් දෙකොටසකි. එනම් කුසල චේතනා හා අකුසල චේතනා වශයෙනි. මෙම කුසල හා අකුසල චේතනා පදනම කොටගෙන කුසල හා අකුසල කර්ම රැස් කෙරේ. මෙම කර්ම රැස්කිරීමේ ප්‍රධාන හේතුව ලෙස පටිච්චසමුප්පාදයේදී දක්වනුයේ අවිද්‍යාවයි.

‘තත්‍ථ කතමා අවිජ්ජා දුකේඛි අඤ්ඤාණං - දුක්ඛ සමුදයේ අඤ්ඤාණං, දුක්‍ඛ නිරෝධෙ අඤ්ඤාණං- දුක්‍ඛ නිරෝධ ගාමිණී පටිපදාය අඤ්ඤාණං’ යනුවෙන් දැක් වූ ලෙස චතුරාර්ය සත්‍යය අනවබෝධය සංස්කාරයනට (කර්මයනට) හේතුවෙයි. අවිද්‍යාවෙන් යුතුව කයින් වචනයෙන් මනසින් කර්මයන් රැස් කරන්නේය. තව ලෙසකින් කිවහොත් පුඤ්ඤාභිසංඛාර හෙවත් පින්කමුත්, අපුඤ්ඤාභි සංඛාර හෙවත් පව්කමුත්, ආනේඤ්ඡාභිසංඛාර හෙවත් සතර අරූප ධ්‍යානයනුත් සම්පාදනය කෙරෙති. මෙසේ සංසාර ප්‍රවෘත්තිය ක්‍රියාත්මක වෙයි.

මෙම පැවැත්මේ නැවැත්ම හෙවත් සංසාර ප්‍රවෘත්තියේ නැවැත්ම අර්හත්වය (නිර්වාණය) නම් වෙයි. එනම් අවිද්‍යාව නැති කිරීමෙන් සංඛාර නැති කිරීමත්, එමගින් විඤ්ඤාණයේ ජනිත වීමත් යන කරුණ වලක්වාලීම සිදුවෙයි.

මෙම ගාම්භීර කාරණය විමසීමේදී එනම් ‘අවිද්‍යාව ඉතිරි නැතිව දුරු කිරීමෙන් සංචාර නැතිකිරීමත්, එමගින් විඤ්ඤාණයක් ජනිත වීම නැවතීමත් (අවිජ්ජා අසේසවිරාග නිරෝධෝ, සංචාර නිරෝධො, සංචාර නිරෝධා, විඤ්ඤාණ නිරෝධෝ...) යන තැන නිරුද්ධ වනුයේ කුමන ආකාරයේ, කවරකාලයට අයත් සංචාරදැයි’ යන්න වටහා ගැනීමේ ආකාරයේ වරද රහතුනට කර්මඵල පල නොදෙතැයි යන මිථ්‍යාවනට හේතුව ඇති බැව් පෙනේ.

පටිච්චසමුප්පාදයෙන් ප්‍රකාශ කෙරෙනුයේ සංසාර පැවැත්මයි. අවිද්‍යාව නැතිකිරීම හෙවත් නිර්වාණවබෝධයෙන් සිදුවනුයේ සංචාරවල සකස්වීම නැවතීම කාර්යයි. එම කරුණු හරියට ගිණි ගොඩක දර ඉවත් කිරීමෙන් ගින්න නවතිනවා මෙන්ද, පහනක තෙල් නැතිවීමෙන් පහන දැල්වීම නැතිවනවා මෙන්ද දතයුතු වේ. මෙහිදී කිසිවිටෙක අතීත කර්ම ශක්තිය හෝ අතීත කර්ම සමුහය නිරුද්ධ කිරීමක් නොකෙරෙයි. නමුත් නවකර්ම සකස් වීමෙන් මතු උපත ලබාදෙන කර්ම ශක්තිය, නිරුද්ධ වීයයි. දැන් එම කරුණ පැහැදිලි වන්නට ඇත. ඊළඟට විමසිය යුත්තේ රහතුනට කර්මඵල දුන්නාද, නැතිද යන කාරණයයි.

පහනක දැල්වීම නැවතීමට වෙර දරන්නෙකු පහනෙහි තෙල් ඉවත් කරයි. නමුත් දැල්වීම එක්වරම නතර නොවේ.

වැටියද, වැටියේ තෙල් සාරයද තවදුරටත් දැල්වීමට හේතු ශක්තිය දෙති. එසේම සංසාර පැවැත්මේ තෙල් නම් වූ අවිද්‍යා, සංඛාරදිය නිරෝධ වීම වුවත්, වැටිය හා වැටියේ සාරය බඳු වූ අතීත කර්ම සාරය හා පඤ්චස්කන්ධය පරිනිර්වාණය දක්වා පැවැත්මට හේතු ශක්තිය දෙති. මෙසේ මුගලන් රහතන් වහන්සේට අතීත අකුසලයේ විපාකයෙන් පහර කා පිරිණිවෙන්ට විය. අංගුලිමාල රහතන් වහන්සේට බොහෝ කලක් යනතුරුම ගල්මුල් පහරද, සමාධිය සඳහා බාධාවන්ද විඳින්නට විය. ලෝසක රහතන් වහන්සේට අවසන් මොහොත දක්වාම කුස පිරීමට දන් නොලැබිණි.

අනෙක් අතට සීවලි මහරහතුනට වුවමානවටත් වඩා සිවුපසය ලැබිණි.

මෙපමණක් නොව ලොව්තුරා බුදුරදුනටද අතීත කර්ම විපාකයේ බලයෙන් පිටකොන්දේ රුදාවක්ද, ලේ අතීසාර රෝගයද, වැළඳීමට පැන් ගේන්නට ගිය කළ දිය බොරවීමද ගිජකුළු පව්පාමුල ලේ ධාතුව සෙලවීමද, සුන්දරි, චිංචා ආදීන්ගේ නින්දා ඇතුළු කර්ම විපකයන්ට මුහුණ දීමට සිදුවිය.

නමුත් මේ සියල්ල සිදුවූයේ බුදුපියාණන් වහන්සේගේ ධර්මකායට නොව ශරීරයට බව සත්‍යයකි. නමුත් කෙසේ හෝ කර්ම විපාක පලදුන් බවද සත්‍යයකි.

යම් විදියකින් අතීත කර්ම ශක්තියත් ක්ෂය වේනම් එහි ජනක, උපස්ථම්භක, උපපීලක, උපඝාතකාදි කාර්ය සතරද නිරුද්ධ විය යුතුය. එසේනම් නිවන්දුට කෙනහිම උප්පත්ති භවයද අතුරුදන් විය යුතුය.

නමුත් එවන්නක් නො වෙයි.

සමහරෙක් තම අමූලිකා ශ්‍රද්ධාව මුල්කොට ගෙන බුදුන් වහන්සේටත් කර්මඵල දෙන්නේද? එසේනම් බුද්ධත්වයේ පලය කිම? රහතුන්ටත් කර්මපල දේද, එසේනම් අරහත්වයේ පලය කිම? යනාදී වැරැදි වැටහීම් ඇතිකර ගනිති.

වැරැදි වැටහීම් ඇත්තහුට කෙතරම් පැහැදුවත් තම වැරැදි වැටහීම සත්‍යයක් සේම පෙනෙයි. නමුත් බුද්ධිමතා වැරදි පෙන්වා දුන් කළ අවබෝධයට පත්වේ.

සමහරෙක් මෙම කර්මඵල විස්තර වන්නේ ත්‍රිපිටකයේ බැවින් ත්‍රිපිටකය පසුකාලීන යයි එයද ප්‍රතික්ෂේප කරති.

සූත්‍ර පිටක ආදිය ප්‍රතික්ෂේප කළහොත් ධර්මය අවලංගු වෙයි. ධර්මය අවලංගු වූ කළ බුදුදහමක් ද නැත. එසේනම් බුදුහිමිගෙන් හෝ රහතුනගෙන් ඇති පලය කිම.

එසේ හෙයින් සරණ, ධර්ම විනයටම. ඒ මත පිහිටා බුද්ධියෙන් විමසීමෙන් නිවන් දුටු බුදු, පසේ බුදු, මහරහතුනට ද කර්ම විපාක යම් පමණකට පලදෙන බව දැන කර්ම ක්‍ෂයකොට සසර දුකින් මිදීමට බුද්ධිමත්හු වෙහෙසෙත්වා.

බක් අමාවක
පෝය

මැයි මස 4 වනදා ඉරිදා
අපරභාග 08.32 ට ලබයි.
5 වනදා සඳුදා අපර භාග 05.48 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මැයි මස 05 වනදා සඳුදාය

මීළඟ පෝය මැයි 12 වනදා සඳුදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]