UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සුවපත් ජීවිතයක් සඳහා පාලනය කරගත යුතු ආවේග

සාමාන්‍ය මිනිසා ලාභයේදී උද්දාමයට පත්වෙයි. අලාභයේදී දොම්නසට පත්වෙයි. කීර්ති ප්‍රශංසා ලැබෙන විට අමන්දානන්දයට පත්වෙයි. නින්දා අපහාසවලදී කම්පිත වෙයි. මෙම ස්වභාවයට හේතුව මිනිස් සිතේ පහළ වන යහපත් හා අයහපත් ආවේග ය.

කලකිරීම, වේදනාව, කෝපය කම්පනය මිනිස් සිත තුළ ජනිත වන අයහපත් ආවේගය. සතුට, පී‍්‍රතිය , මෛත්‍රීය අනුකම්පාව, ඉවසීම යහපත් ආවේගය. අයහපත් ආවේග පාලනය කරගෙන, යහපත් ආවේග සංවර්ධනය කරගත යුතුය. අයහපත් ආවේග තුළින් ගන්නා වූ තීරණවල වලංගුතාවයක් නැත එවැනි තීරණවලට අනුව කරන ක්‍රියා ඉතා බිහිසුණුය. මිනිසා තිරිසන් සතෙකු සේ හැසිරෙයි. හැඟීම් පාලනය කරගත නොහැකිව මෝහයෙන් මුලා වී ද්වේෂයෙන් රත්වී ක්‍රියා කරයි. සාමය බිඳී යයි. සිය දිවි හානි කර ගැනීම, අසහනයෙන් ජීවත්වීම වැනි ඛේදනීය සිදුවීම් නන් දෙසින් අසන්නට දකින්නට ලැබේ. මෙම සිදුවීම් එකින් එක විමර්ශනය කරන විට ඒවාට මූලික හේතුව අටලෝ දහමින් කම්පිතව ගන්නා සදොස් තීරණ නිසා බව පෙනී යයි.

වර්තමාන සමාජයේ දක්නට හා අසන්නට ලැබෙන බොහෝ දේ මිනිස් සිත තුවාල කරන සිත තුළ රාගය වඩවන තරහව පළිගැනීම ඇතිකරවන සංසිද්ධීන්ය. මේ නිසා සිත් තුළ නරක සිතිවිලි වර්ධනය වේ.

අයහපත් චිත්තාවේග ඉස්මතු වේ. අසහනය, වේදනාව, කම්පනය වැනි ආවේග වලින් මිනිසා උමතු වී ඇත. මිනිසා මුදල් පසුපස වේගයෙන් හා තරගකාරිව දිව යයි. රාගයෙන් මුසපත්ව හැසිරෙයි. බාල, තරුණ, මහලු සෑම වයස්තලවල පසුවන්නෝ කාමාපරාධවලට හසු වී සිටිති. පවුල් ජීවිත අසාර්ථක කර ගෙන තිබේ. සමහර තරුණ - තරුණියෝ අකාලයේ සිය වටින ජීවිත විනාශ කර ගනිති. මෙසේ බොහෝ දෙනෙක් අමාරුවට වැටී ඇත්තේ සිත් තුල උපේක්ෂාව නැති නිසාය. මැදහත් බව බොහෝ ජීවන ගැටලු විසඳා ගැනීමට ගතයුතු හා ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග කොපමණවත් ඇත. සාධනීය තීරණ නොගෙන වේදනාකාරීව පවුල් ජීවිතයේ ආරාවුල් ඇතිකර ගැනීම හෝ ජීවිතයෙන් පලා යෑම බුදුදහම අනුමත නොකරයි.

මිනිසාගේ ඇතුළාන්තය අවුල් සහගත ය. (අන්තො ජටා) එසේම පිට පැත්ත ද අවුල් සහගතය. (බහි ජටා) ඇතුළත හා පිටත අවුල්වලින් මිනිසා පැටලී ජීවත් වෙයි. (ජටාය ජටිකා පජා) මිනිසත් බව ලැබු අප එලෙසින්ම ජීවත් වී මානසික හා කායික රෝගියකු බවට පත් වෙනවා ද? එසේ නැතිව රෝගී මිනිසුන් අතුරෙන් අනාතුරව සුවපත් ජීවිතයක් ගත කරනවාද? (ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා) යන තීරණයට එළඹිය යුත්තේ ද අප විසින්මය.

අට ලෝ දහමේ යහපත්- අයහපත් අවස්ථා දෙකටම මැදහත් සිතින් මුහුණ දිය හැකි නම් ජීවිතය සතුටින් ගත කළ හැකිය. යම් පුද්ගලයෙක් හදිසි ධන ලාභයක් ලැබීමෙන් සතුට වැඩිකම නිසාම හදිසියේම මියයයි.

තව පුද්ගලයෙන් ඇති වූ විශාල පාඩුව විඳ දරා ගත නොහැකිව සිය දිවි හානි කර ගනියි. තවත් පුද්ගලයෙක් අන් අයගේ ජීවන අයිතිය ද උදුරාගෙන භෞතික වස්තු සම්පත් සාහසික ලෙස කොල්ල කයි. මෙවැනි ශෝචනීය සංසිද්ධී අද දිවයිනේ නන් දෙසින් වාර්තා වෙයි. මෙම ජීවන ගැටලුවලට විසඳුම් බුදුදහම ඇසුරින් සොයා බැලීමට අවධානය යොමුකිරීම, කාලීන අවශ්‍යතාවකි.

සියලු මිනිස් ක්‍රියාකාරකම්වලට පෙරටු වන්නේ මිනිසාගේ සිතිවිලිය. (මනො පුබ්බංගමා ධම්මා) යහපත් සිතිවිලි වලින් කරන කියන දෙයින් යහපත් ප්‍රතිඵලත්, අයහපත් සිතිවිලි වලින් කරන කියන දෙයින් අයහපත් ප්‍රතිඵලත් අත්වන බව බුදුදහමේ ඉතා පැහැදිලිව විස්තර කර තිබේ.

එසේ නම් අප විසින් පළමුවෙන් ම කළ යුත්තේ අපේ සිතිවිලි අප විසින්ම හඳුනා ගැනීමයි. මේ සඳහා දහමෙහි සඳහන් වන ප්‍රායෝගික ක්‍රමවේදය, භාවනාවය.

වැරැදි විතර්ක පහළ වීමෙන් සිත කැළඹෙයි. මිනිසා දරුණු සාහසික ක්‍රියාවලට පෙළඹෙන්නේ ද සිත තුළ ජනිත වන සදොස් සිතිවිලි නිසාය. එම සාවද්‍ය සංකල්පනා ඉවත් කර දැමීමටත්, තමා ගැන තමාටම ආවර්ජනය කර ගැනීමටත්, සන්සුන් මනසක් ඇතිකර ගැනීමටත් බෞද්ධ චිත්ත භාවනාව මහෝපකාරී වෙයි. දමනය කර ගත් සිතිවිලි වලින් කිසි දිනක වැරැදි තීරණ නොගනියි. යහපත් සිතිවිලි වලින් විශාල මානසික සුවයක් ලැබේ. (චිත්තං දන්තං සුඛාවහං)

කල්‍යණ මිත්‍රයන්ගේ ආශ්‍රය පුද්ගල චර්යා යහපත් කරලීමට ඉවහල් වේ. අට ලෝ දහමින් කමපිතව වැරැදි තීරණවලට එළඹී කරන්නට යන භයානක ක්‍රියාකාරකම්වලින් වළක්වා ගැනීමේ එක් ක්‍රමවේදයක් වන්නේ යහපත් පුද්ගලයෙන්ගේ ඇසුරයි. නිතර කල්‍යාණ මිත්‍රයන්, සත්පුරුෂයන්, ඇසුරු කරන්නා ඔවුන්ගේ යහපත් මඟ පෙන්වීම නිසා වැරැදී තීරණවලට නො පෙළඹෙයි.

සතර බඹ විහරණවල උපේක්ඛා ගුණය වර්ධනය කර ගැනීම ජීවන ගැටලු සාර්ථකව විසඳා ගැනීමට ඉවහල් වන සාධනීය ගුණාංගයකි. අපට දුක - සැප - කීර්ති ප්‍රශංසා ජය - පරාජය වැනි ධර්මතාවලට චක්‍රාකාරව මුහුණදීමට සිදුවේ. ඕනෑම දෙයක් විඳ දරා ගැනීමට හැකිවන්නේ උපේක්ඛා ගුණය වර්ධනය කර ගැනීම තුළිනි.

චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ ඇතිකර ගන්නා වූ ගැඹුරු අවබෝධය පුද්ගලගත දුක සමාජගත දුක මැනවින් හඳුනා ගැනීමට ඉවහල් වන්නා සේම ප්‍රායෝගික ජීවිතයේදී අපට මුහුණදීමට සිදුවන ජීවන ගැටලු යථාර්ථවාදීව හඳුනා ගැනීමටද ඉවහල් වෙයි.

අටලෝ දහමේ යහපත් අයහපත් අවස්ථා දෙකම දාර්ශනිකව හඳුනා ගැනීමට චතුරාර්ය සත්‍ය ධර්ම පිළිබඳ දැනීමෙන් ලැබෙන ශික්ෂණය පාදක කරගත හැකිය. මේ ආකාරයෙන් අටලෝ දහමින් කම්පිතව ගන්නා වූ සාවද්‍ය තීරණවලින් වැළකී අයහපත් ආවේග පාලනය කරගෙන යහපත් සිතිවිලි සංවර්ධනය කරගෙන සුවපත් ජීවිතයක් ගතකිරීමට බුදුදහම යහපත් මඟ පෙන්වීමක් කරන බව සඳහන් කළ යුතු ය.

බක් අමාවක
පෝය

මැයි මස 4 වනදා ඉරිදා
අපරභාග 08.32 ට ලබයි.
5 වනදා සඳුදා අපර භාග 05.48 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මැයි මස 05 වනදා සඳුදාය

මීළඟ පෝය මැයි 12 වනදා සඳුදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]