UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය
ධර්ම දේශනාව

රැස් කළ යුතු දේ

නමෝ තස්ස භග වතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
 

‍්‍රකිංසු යාව ජරා සාධූ - කිංසු සාධු පතිට්ඨිතං

කිංසු නරානං රතනං - කිංසු චොරෙහි දූහරන්ති


සීලං යාව ජරා සාධූ - සද්ධා සාධූ පතිට්ඨිතා

පඤ්ඤා නරානං රතනං - පුඤ්ඤං චොරෙහිදූහරන්ති
 

සැදැහැබර පින්වත,

අද ධර්ම දේශනාව සඳහා මම තෝරා ගත්තේ සංයුක්ත නිකායට අයත් ජරා වර්ගයේ ජරා සූත්‍රයයි. මෙම සූත්‍රයට අනුව දෙවියෙකු විසින් අසන ලද ප්‍රශ්නාවලියකට පිළිතුරු වශයෙන් මේ දහම් කරුණු ඉදිරිපත් කොට ඇත. දිනක් බුදුරදුන් හමුවීමට පැමිණෙන දෙවියෙක් ප්‍රශ්න කීපයක් මෙහි පළමු ගාථාව අනුව අසයි. මෙහි දෙවන ගාථාවෙන් එම ප්‍රශ්නවලට පිළිතුරු සැපයූ අයුරු පෙන්වා දෙයි.

මිනිසා ජරාවට වයසට යෑම දක්වාම කළ යුත්තේ කුමක්ද? මෙයට පිළිතුරු ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ‘සීලං යාව ජරා සාධු’ යනුවෙන්. මිනිසා වයසට යෑම දක්වාම සිල් රැකීම යහපත් බව පැහැදිලි කරයි. මිනිසා උපතේ සිට මරණය දක්වාම විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙයි. එහිදී වැඩිපුර යොමු වන්නේ තම භෞතික වස්තූන් එක්රැස් කර ගැනීමටයි. අද මිනිසා යන්ත්‍ර සූත්‍ර ලෙස ක්‍රියා කරන්නේ මේ අරමුණ මුල්කර ගෙනයි.

එහෙත් මෙලොව උපන් මිනිසාගේ ඊට වඩා ප්‍රබල අරමුණු තිබේ. මිනිසා යනු උසස් මනසක් ඇති කරගත යුතු සත්ත්වයෙකි. මේ දියුණු මනසක් නොමැතිව කොපමණ භවභෝග සම්පත් ඇතිව ජීවත් වුණත් මිනිසා මිනිස් සිරුරෙන් පමණක් සමන්විත තිරිසන් ගත සත්ත්වයකු හා සමාන වෙයි. එසේනම් පිරිපුන් මිනිසෙකු වීමට මිනිසා කළ යුතු එකම දෙය වන්නේ ශීලයක නිරත වීමයි. ශීලය යනු කය වදන දෙක පාලනය කර ගැනීමයි. මිනිසෙකුගේ වටිනාකම ඇතිවන්නේ තම කය තම වදන මනා පාලනයක් හික්මීමක් ඇතිකර ගතහොත් පමණි. උසස් මනසකට අයිතිවාසිකම් කිව හැක්කේත් එවිටයි.

අපේ බුදු දහමෙහි මේ පිළිබඳ දිගු විස්තර නිතර අසන්න දකින්නට ලැබේ. මේ සීලය නිසා මිනිසා ආකල්පමය වශයෙන් පොහොසතෙක් වෙයි. ප්‍රාණඝාත, අදත්තාදාන කාමමිත්‍යාචාර යන කායික අකුසල කර්මවලින් වෙන් වී තම කය පාලනය කරගත හැකි නම් එය ශීලයකි. එසේම මුසාවාද පිසුනාවාච, ඵරුසාවාච සම්පප්‍රලාප, නමින් හඳුන්වා ඇති වාචසික දුසිරිතෙන් වෙන් විය හැක නම් එය වාචසික සුචරිතයකි. එසේම සිය මුඛය හෙවත් කට පාලනය කර ගැනීමකි. මේ කය වචන දෙකින් සිදු කරමින් හැම ක්‍රියාකාරකමකදීම සම්මා සතිය මනා සිහි කල්පනාවෙන් යුක්ත වන්නේ නම් කායවාග් සංවරයක් ඇති කරගත හැකිය. මෙය මිනිස් සිත පාලනය කර ගැනීම සඳහා ද උපකාරි වෙයි. සමහර විට මිනිස් සිත නිසාම මිනිසා යහපතට හෝ අයහපතකට පත්විය හැකිය. මේ සිත පාලනය භාවනාව තුළින් කරගත හැකිය. මිනිසාගේ මෙම අංශ තුනම එනම් සිත, කය, වදන යන තුනම මිනිසා පාලනය කරගතහොත් ඔහු උසස් මිනිසෙකි. යහපත් ආකල්පවලින් පිරිපුන් මනුෂ්‍ය ගනයේ මිනිසෙකි. සෑම මිනිසෙක් තුලම එකම ස්වරූපයේ ශරීරාංග දැකිය හැකි වුවත් ඒ අය ආකල්පමය අතින් වර්ග කළ හැකි ය. ඉන් ඉහළතලයේ කොටසයි මනුෂ්‍ය යනුවෙන් හඳුන්වා ඇත්තේ. මීට අමතරව, මනුෂ්‍ය පේ‍්‍රත, මනුෂ්‍ය තිරශ්චීන , මනුෂ්‍ය නේරයික, වශයෙන් අධම මිනිසුන් ද හඳුන්වා ඇත.

මිනිසත් බවක් ලද අපි මනා ආකල්පවලින් පිරි කුසල කර්මවලින් පිරි මනුෂ්‍ය ගණයේ අය විය යුතුයි. ඒ ගුණවලටත් වඩා දේවගති ගුණවලින් හෙබි මිනිසුන්ද අප සමාජයෙහි නැත්තේ නොවෙයි. ඔවුහු මනුෂ්‍ය දේව ගනයේ උසස් අයයි. මේ සඳහා මූල බීජය ඉහතින් සඳහන් කළ පරිදි ශීලයයි. මේ ශීලය කුඩා කළසිට මහළු වයස් දක්වාම අත්‍යවශ්‍ය වෙයි.

මෙහි දෙවන ප්‍රශ්නය වන්නේ මිනිසා කවරක පිහිටිය හොත් යහපත් වේද? යන්නයි. එයට පිළිතුරු දෙන බුදුරදුන් ‘සද්ධා සාධු පතිට්ඨිතා’ යනුවෙන් ශ්‍රද්ධාවෙහි පිහිටීම ඉතා යහපත් බව දේශනා කළහ. ශ්‍රද්ධාව යනු තෙරුවන් කෙරෙහි ඇති පැහැදීමයි. බුදුන්, දහම්, සඟුන් පිළිබඳ විශ්වාසය මුල් කරගත් පැහැදීම ශ්‍රද්ධාවයි. බුදුරදුන්ගේ බුද්ධත්වය පිළිබඳ පැහැදීම අදහස් කරයි. කෙසේ වෙතත් මෙම ශ්‍රද්ධා චෛතසිකයට බුදුදහමෙහි ප්‍රමුඛතැනක් හිමි වේ. ඕනෑම පුණ්‍යක්‍රියාවක් සිදුවන්නේ මේ ශ්‍රද්ධාව මුල්කර ගෙනයි. මෙය මිනිස් සිත තුළ ජනිත වූ වීට ම මිනිස් සන්තානගත සියලු පාප චේතනා යටපත් වෙයි. ශෝභන සිතිවිලි ජනිත වෙයි.

ශ්‍රද්ධාවන්තයා සිල්වත් ගුණවත් අය දැකීමට කැමැතියි. සද්ධර්මය ඇසීමට සාකච්ඡා කිරීමට කැමැතියි. මසුරු මල දුරලා පරිත්‍යාගයට කැමැතියි. මෙවන් ලක්ෂණවලින් හෙබි ශ්‍රද්ධාවන්තයාගේ ද ප්‍රභේද දෙකක් ඇත. එම දෙක නම් ආකාරවතී ශ්‍රද්ධා අමූලික ශ්‍රද්ධා යනුයි.

තුන්වන ප්‍රශ්නය වන්නේ මිනිසාගේ වටිනාම රත්නය යන්නේ කුමක්ද? යන්නයි. මේ සඳහා බුදුරදුන් දෙනු ලබන පිළිතුර වන්නේ ‘පඤ්ඤා නරානං රතනං’ යන්නයි. මිනිසාට ඇති වටිනාම වස්තුව වන්නේ ප්‍රඥාවයි.

මේ ප්‍රඥා යනු ලොව ඇතිවන දේ යථාපරිදි අවබෝධ කර ගැනීමට උසස්ම දැනුමයි. එය ඇතිකර ගත හැක්කේ බුදුවරුන්ට පමණි. පෘතග්ජන අප පසුවන්නේ සංඥා විඤ්ඤාණ අවස්ථා දෙක තුළයි.

අවසාන ප්‍රශ්නය දෙවියා විසින් අසන්නේ සොර සතුරන්ට ගත නොහැකි දේ කුමක්ද? යන්නයි. මේ සඳහා බුදුරදුන්ගේ පිළිතුර වන්නේ ‘පුඤ්ඤං චොරේහි දූහරං’ යන්නයි. මින් අදහස් කරන්නේ මිනිසා කරනු ලබන පින කිසිදා සොර සතුරෙකුට ගත නොහැකි බවයි. සිත කය වචන තුළින් සත්ත්වයා හැමවිටම කර්ම රැස්කරයි. මේ කර්ම පින්කම් පව්කම් යනුවෙන් වර්ග කළ හැකිය. මෙහිදී සසර සැරි සරන සත්ත්වයාට ඉතා වැදත් වන්නේ පින්කම් මිස පව්කම් නොවෙයි.

සසර උපත ලබන සත්ත්වයා විවිධ විෂම පරතෙර ඇතිවන්නේත් උස් පහත් දුප්පත් පොහොසත් ආදී පරතර ඇති වන්නේත් මේ කර්ම නිසාය. මෙහිදී පින්කම්කළ විට සැප විපාක ලැබිය හැකිය.

යම් යහපත් ක්‍රියාවකින් සිත ප්‍රබෝධමත් වේ නම් පිනායයි සොම්නස් සහගත ස්වභාවයක් ඇති වේ නම් එය පිනයි. යම් ක්‍රියාවක් සිදු කොට ඒ පිළිබඳ ආපසු හැරී බලා සිතා සතුටුවිය හැකි නම් එය පිනයි. මේ පින් අනන්‍යතාවය තමා සතු වෙයි. අන් අයට ගත නොහැකිය. තම පසුපස පමණක් ගමන් කරයි. ඉන් මෙලොව පරලොව සැනසුම ගෙන දෙයි.

එමනිසා පින්වත මෙම දහම් කරුණ ඔබ ජීවිතයට එකතු කරගන්න. ඒ අනුව සිය දිවිය ගතකොට දෙලොව සැප ලබා අවසානයේ උතුම් නිවන්සුව ලබා ගන්න.

බක් අමාවක
පෝය

මැයි මස 4 වනදා ඉරිදා
අපරභාග 08.32 ට ලබයි.
5 වනදා සඳුදා අපර භාග 05.48 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මැයි මස 05 වනදා සඳුදාය

මීළඟ පෝය මැයි 12 වනදා සඳුදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]