UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 23 වන උපසම්පදා පූජෝත්සවය


ශ්‍රී රෝහණ සංඝ සභාවේ නිර්මාතෘ පුරා විද්‍යා චක්‍රවර්ති , රාජකීය පණ්ඩිත අපවත්වී වදාළ කඹුරුපිටියේ වනරතන මහ නා හිමි

ස්‍යමෝපාලි මහා නිකායේ රෝහණ පාර්ශ්වය ආකස්මික ව ඇති වූ සංවිධානයක් නොව අවුරුදු හයක් තිස්සේ සාකච්ඡා කොට ආරම්භ කරන ලද සංවිධානයකි.

1981 ජනවාරි මාසයේ රජය නිකුත් කළ සංඝාධිකරණ ධවල පත්‍රිකාවත් අනතුරුව ප්‍රකාශයට පත්කළ පාර්ලිමේන්තු අනුකාරක සහා වාර්තාවත් දැනට සකස් වී ඇති පනතත් ස්‍යාම නිකායක භික්ෂූන් වහන්සේට බලපාන අන්දම ගැන සාකච්ඡා කිරීමට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ කථිකාචාර්ය දර්ශන විශාරද රාජකීය පණ්ඩිත කඹුරුපිටියේ වනරතනාභිධාන දක්ෂණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මාතර, ගාල්ල හා හම්බන්තොට යන දිස්ත්‍රික්වල උගත් සම්භාවනීය භික්ෂූන්වහන්සේලා තිහගොඩ ඌරාපොල සිරි රතනජෝති පරිවෙණස්ථානයට කැඳවූ හ. පූර්වෝක්ත කාරණා ගැනත් රුහුණේ භික්ෂූන් වහන්සේට බලපාන වෙනත් ප්‍රශ්න ගැනත් සාකච්ඡා කිරීමට සංවිධානාත්මක සංගමයක අවශ්‍යතාව හැම දෙනා වහන්සේගේ ම අපේක්ෂාව විය. එබැවින් 1981 අපේ‍්‍රල් මස 2 වන දින ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ දක්ෂිණ ලංකා සංඝ සභාව ආරම්භ කරන ලදී.

එම සංඝ සභාවේ සභාපති ධූරයට ආචාර්ය කඹුරුපිටියේ වනරතන නාහිමියෝ ද ලේකම් ධූරයට මහාචාර්ය ගතාරේ සුගතපාල හිමියෝද පත්කර ගනු ලැබූ හ.

මෙම සංඝ සභාවේ ප්‍රධාන පරමාර්ථ තුනකි.

1. මූලස්ථානය සමග සම්බන්ධය තරකර ගැනීම

2. ප්‍රාදේශීය සංඝ සභා නියෝජිතයන් මල්වතු කාරක සංඝ සභාවට පත්කිරීම සඳහා බලකිරීම

3. ප්‍රාදේශීය සංඝ සභා මල්වතු විහාරයේ ලියාපදිංචි කිරීම

මූලස්ථානය සමඟ රෝහණ සංඝ සභාවේ පරමාර්ථ ගැන සාකච්ඡා කර ගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙස මූලස්ථානයෙන් දෙවරක්ම ඉල්ලීමක් කළ නමුත් එයට කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි.

බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාට මේ කාරණය දැන්වීමෙන් පසුව එතුමාගේ මැදිහත්වීමෙන් සාකච්ඡාව සඳහා දිනයක් ලැබිණි.

එම සාකච්ඡාවට සභාපති ලේකම් සංවිධායක හිමි ඇතුළු පහළොස් නමක් මල්වතු මහා විහාරයට ගොස් අතිගරු මහ නාහිමියන් බැහැ දැක සාකච්ඡාවට සහභාගි වූහ. මල්වතු පාර්ශ්වය වෙනුවෙන් මහානාහිමියන් ප්‍රමුඛ දහඅට නමක් සහභාගි වූහ.

මල්වතු පාර්ශවයේ මහනාහිමියන් ඇතුළු කාරක සංඝ සභාවට ඉදිරිපත් කළ ඉල්ලීම් පස මෙසේය.

1. ප්‍රාදේශීය සංඝ සභාවලින් නියෝජිතයන් මල්වතු කාරක සංඝ සභාවට පත්කරගත යුතු ය.

2. ප්‍රාදේශීය උගත් සංඝයාගෙන් යුක්ත උපදේශක සභාවක් පත්කළ යුතු ය.

3. ශ්‍රී රෝහණ සංඝ සභාව ප්‍රාදේශීය සංඝ සභාවක් ලෙස පිළිගත යුතුය.

4. කතිකාවතේ අවශ්‍ය සංශෝධන සිදුකර සංඝාධිකරණ පනත ක්‍රියාත්මක කළ යුතුය.

5. මල්වතු මහා විහාරයේ මූලිකත්වයෙන් දකුණේ සුදුසු සීමාවක දී ප්‍රාදේශීය උපසම්පදාව සිදුකළ යුතුය. සාකච්ඡාව අවසානයේ මල්වතු මහ නාහිමියන් ප්‍රකාශ කළේ ඉදිරිපත් කළ කරුණුවලින් බොහොමයක් ඉටුකළ හැකි බවත් සිය කාරක සභාව සමඟ තවදුරටත් සාකච්ඡා කොට පිළිතුරක් එවන බවත් ය. 1984 දෙසැම්බර් 10 දාතමින් මහා නාහිමියන් පිළිතුරක් එවා තිබුණි. එහි කියා තිබුණේ රෝහණ පාර්ශවයේ සියලු ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් ය.



ශ්‍රී රෝහණ සංඝ සභාවේ වත්මන් මහා නායක රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති, මහෝපාධ්‍යාය , අත්තුඩාවේ ශ්‍රී රාහුල මහ නා හිමි

එවකට බෞද්ධ කොමසාරිස්වරයාව සිටි අභය වීරකෝන් මහතාගේ අනුග්‍රහය යටතේ කොළඹ චාරිකාරාමයේ දී අතිපූජ්‍ය පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්ද මහ නාහිමිපාණන් සමඟ යළිදු සාකච්ඡාවකට අවස්ථාව ලැබිණි. මේ සාකච්ඡාවට සාහිත්‍යසූරී රාජකීය පණ්ඩිත කඹුරුපිටියේ වනරතන නාහිමිපාණන් වහන්සේ හා ලේඛකාධිකාරී මහාචාර්ය ගතාරේ ධම්මපාල හිමි සමඟ අභය වීරකෝන් මහතා ද සහභාගි වූහ. මූලස්ථානයෙන් ප්‍රාදේශීය උපසම්පදාව ඇතුළු ඉල්ලීම් නොලැබෙතොත් වෙනම උපසම්පදාවක් පිහිටුවීම හැර වෙන ම විකල්පයක් නැතැයි රෝහණ සංඝ සභාවේ සභාපති හිමියන් හා ලේඛකාධිකාරී හිමියෝ අවධාරණයෙන් ම පැවසූහ. එසේනම් උපසම්පදාව පිහිටු වීම ගැන තමන් ගේ විරෝධයක් නොමැතිබව එයට පිළිතුරු වශයෙන් මහනාහිමියෝ පැවසූහ. කොමසාරිස්තුමා එය සටහන් කර ගත්තේය. සාකච්ඡාව ඉතා කෙටි වුවද රෝහණ පාර්ශ්වයේ උපසම්පදාව පිළිබඳ කථා පුවතේ තීරණාත්මක අවස්ථාව එය විය. රෝහණ සංඝ සභාවේ ලියාපදිංචියට මඟ පෑදුනේ මේ මගිනි. කඹුරුපිටියේ වනරතන නාහිමියෝ සිය නායක ධූරයෙන් හා මල්වතු පාර්ශවයෙන් ඉල්ලා අස්වූහ. ඉන්පසු ලියාපදිංචිය සම්පූර්ණ විය.

ස්‍යාමෝපාලි මහා නිකායේ රෝහණ පාර්ශවයේ ප්‍රථම මහානායක ධූරයට එම සංඝ සභාවේ නිර්මාතෘවර රාජකීය පණ්ඩිත සාහිත්‍ය සූරී පුරාවිද්‍යා චක්‍රවර්තී කඹුරුපිටියේ වනරතනාභිධාන මාහිමියන් වහන්සේ පත්කර ගනු ලැබූ අතර අනුනායක ධූරවලට පණ්ඩිත අත්තුඩාවේ රාහුල පණ්ඩිත කඳුරුපොකුණේ ධම්මාවාස යන නාහිමිවරු පත් කෙරුණාහ. අධිකරණ නායක ධූරයට රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රාවේදී ගොම්බද්දල නන්දාරාම හිමි පත්කර ගනු ලැබූ අතර මහාචාර්ය ගතාරේ ධම්මපාල හිමියන් ප්‍රධාන ලේඛකාධිකාරී ධූරයට ද ශාස්ත්‍රපති පොළොම්මාරුවේ හේමසිරි හිමියන් සංවිධායක ධූරයටද පත්කර ගනු ලැබූහ.

1986 අපේ‍්‍රල් මස 24, 25, 26, 27 යන දින සතර තුළ ප්‍රථම උපසම්පදාව මංගල උත්සවය පැවැත්වීමට සියලු විධි විධාන යොදනු ලැබී ය. සාමණේරයන් වහන්සේලා 33 ක් උපසම්පදාවට ඉදිරිපත් වූ හ. රෝහණ සංඝ සභාවේ ප්‍රථම මහෝපාධ්‍ය ධුරන්ධර කඹුරුපිටියේ බෝධිගුත්ත මාහිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් ඌරාපොළ සිරි රතනජෝති පරිවෙණාස්ථ මංගල උපෝසථාගාරයේ දී අති විශාල ජනතාවක ගේ සහභාගිත්වයෙන් චාරිත්‍රානුකූ®ලව උපසම්පදා මහෝත්සවය සිදුකරන ලදී. දකුණු පළාතේ සහ වෙනත් දුර බැහැර ප්‍රදේශවලින් ද වැඩම කළ පන්සියයකට අධික මහසඟ පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

1986 ආරම්භ කළ රෝහණ පාර්ශ්වයේ උපසම්පදාව මේ වර්ෂයේ පවත්වන්නේ තෙ විසිවන වරට යි. වසරින් වසර විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වෙමින් පවතී. මුලදී දිස්ත්‍රික් තුනකට පමණක් සීමා වූ නමුත් දැන් සබරගමුව, ඌව, බටහිර යන පළාත්වලද උතුරුමැද පළාතේද ව්‍යාප්ත වී පවතී.

අද හම්බන්තාට සිට මූලස්ථානයට ගොස් උපසම්පදාව ලබා ගැනීම සඳහා ගතවන කාලය, වැයකළ යුතු මුදල හා ශ්‍රමය ගැන බලන විට රෝහණ පාර්ශ්වයේ වැදගත්කම, මැනවින් වැටහෙනු ඇත. දකුණු පළාතේ කොතැනක සිට වුවද උපසම්පදා ලාභියකුට ගුරුවරුන් දෙමාපියන් හා දායකයින් කැටුව රෝහණ සංඝ සභා මුලස්ථානයට පැමිණ සියලු ආගමික කටයුතු බලා රෑ සිය නිවෙස්වලට යා හැකිය.

සැබැවින් ම රෝහණ සංඝ සභාවේ වැඩ පිළිවෙළ විශිෂ්ට ජයග්‍රහණයකි. උන්වහන්සේගේ උගත්කම, පෞරුෂය, උට්ඨාන වීර්යය, ස්ථානෝචිත ප්‍රඥාව පරිත්‍යාගශීලීත්වය හා කැපවීම මේ සඳහා උපයෝගී විය. එසේ ම ඌරාපොල ශ්‍රී රතනජෝති පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති පොළොම්මාරුව හේමසිරි හිමිපාණන් ගේ කාර්යශීලිත්වය, පරිත්‍යාගය මේ සත්ක්‍රියාවේ සාර්ථකත්වයට හේතු විය. රුහුණේ යුක්තිගරුක මහා සංඝයා වහන්සේගේ කෘතඥතාපූර්වක ගෞරවය උන්වහන්සේලා දෙනටම හිමිවිය යුතුය.

සසුනටත් දැයටත් සමාජයටත් උදාර මෙහෙවරක් සිදුකළ යුග පුරුෂයකු වූ රෝහණ සංඝ සභාවේ ප්‍රථම මහානායක අතිගරු කඹුරුපිටියේ වනරතනාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1997 නොවැම්බර් 17 වැනිදින අපවත් වූ සේක. උන්වහන්සේ ගේ අපවත් වීමෙන් හිස් වූ රෝහණ පාර්ශවයේ මහානායක පදවියට අනුනායක ප්‍රවචන විශාරද රාජකීය පණ්ඩිත සාහිත්‍යසූරී අත්තුඩාවේ රාහුල හිමිපාණන් වහන්සේ පත්කර ගනු ලැබූහ. මහනාහිමිපාණන් වහන්සේ ජීවත් ව සිටියදී මාතර වෙරළබඩ උද්‍යාන මාවත ඉදිරිපිට දූපතේ ශ්‍රී රෝහණ උපෝෂථාගාරය පිහිටුවීම සුදුසුයයි කල්පනා කොට එවකට නගරාධිපති ධූරය දැරූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ චන්ද්‍ර කුමාර විජය ගුණවර්ධන මහතාණන් සමඟ සාකච්ඡාවට කීපයක් පැවැත් වූ නමුත් එය සාර්ථක නො වී ය.

මෙයට වසර කීපයකට පසු 2003 අපේ‍්‍රල් මාසයේදී නීතිඥ රෝහණ රංජන ශාසන බන්ධු මහින්ද විජේසේකර ධීවර හා සම්පත් ඇමැති දක්ෂිණ සංවර්ධන නියෝජ්‍ය ඇමැතිතුමන් හමු වී දූපතේ උපෝසථාගාරයක් තැනවීම පිළිබඳ අදහස දැනුම් දුනිමි. එතුමා එය පිළිගත්තේ බලවත් කැමැත්තෙනි. මේ සත්කාර්යය සඳහා ඇමැතිතුමා උද්‍යෝගිමත් වූයේ ය.

මුහුදු වෙරළේ සිට දූපතට යෑම - ඊම සඳහා තාවකාලික පාලමක් ඉදි කරන ලදී. 2003 අපේ‍්‍රල් 24 වෙනි දින උදය 9.00 ට මහින්ද විජේසේකර ඇමැතිතුමන් ගේ ආරාධනයෙන් ශතාධික මහා සංඝයා වහන්සේ සෙත් පිරිත් දේශනා කරද්දී බෞද්ධ ජනතාවගේ සාධුනාද මධ්‍යයේ වි.ජ.මු. ලොකුබණ්ඩාර බුද්ධශාසන ඇමැතිතුමන් විසින් රන් දූපතේ උපෝසථාගාරය ඇතුළු ගොඩනැගිලි සංකීර්ණය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. මෙම අවස්ථාවට එච්.ජී. සිරිසේන දකුණු පළාත් සභාවේ මහ ඇමැතිතුමා ලක්ෂ්මන් යාපා නියෝජ්‍ය ඇමැතිතුමා නීතිඥ චන්ද්‍ර කුමාර විජය ගුණවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ආදී පිරිසක් එදා සහභාගි වූහ.

මේ අවස්ථාවේ සභාව ඇමතූ මහින්ද විජේසේකර ඇමැතිතුමා පැවසුයේ 2004 උපසම්පදා උත්සවය රන්දූපතේ උපෝසථාගාරයේ දී සිදුකළ යුතු බවයි. 2004 ජනවාරි 15 වන දින සන්ධ්‍යාභාගයේ රන් ඤපතේ සීමා බන්ධන විනය කර්මය අත්තුඩාවේ සිරි රාහුල මහනාහිමියන්ගේ සහ ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමියන් ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එදින සවස 5.00 වනවිට චාරිකාරාමය, මාතර ඓතිහාසික බෝධිමාලකය හා වෙරලබඩ තීරය කාෂාය වස්ත්‍රයෙන් බබලන්නට විය. ෂඩ්වර්ණ බෞද්ධ කොඩියෙන් අලංකාර විය. චාරිකාරාමයේ සිට බෝමැඩ වෙත වැඩම කළ මහාසඟ රුවන එහිදී ආගමික වතාවත් කොට සෙත් පිරිත් දෙසා දෙවියන්ට පින් දී අපේක්ෂාව අත්‍යථියෙන් ම සාර්ථක වේවා යි අධිෂ්ඨාන කළහ.

තුන් සිවුරු පොරවා පටි බැඳි මහ සඟ රුවන ඉතා සන්සුන් ව පා ගමනින් බෝධිමාලකයේ සිට සමුදුර වෙරළාසන්තයට පෙරහරින් වැඩම වීම අසිරිමත් දැකුමක් විය. එය බැතිමත් බෞද්ධයාගේ නෙතට රසඳුනක්විය. උවසු උවැසියන්ගේ සාධුනාදය සවනට මිහිරක් විය. එසේ ම සිතට සැනසුමක් විය. වෙරළා සන්නයේ දී දකුණු පළාත් සභාවේ හිටපු මහ ඇමැති එච්.ජී. සිරිසේන ඇමැතිතුමාත් දෙව්නුවර බස්නායක නිලමේ තැන්පත් රංජිත් විජේසේකර මැතිතුමාත් ප්‍රධාන පිරිස පෙරහරින් වැඩම කළ මහ සඟරුවන බැතිබර සිතින් පිළිගත්හ.

රන් දූපතත්, වට පිටාවත් විදුලි ධාරාලෝකයෙන් ඒකාලෝක විය. මෙබඳු අසිරිමත් දැකුමක් මාතර පුරවරයේ දක්නට නොලැබිණැයි වැඩිහිටියෝ පැවසූහ.

වරුණ දෙව්රද රළ බිඳීමේ වේගය එක්තරා ක්‍රමයකට අඩු කළේය. නිල්වලා ගංගාවද වේගය සීමාකර සෙමින් මුහුදට ගලා ගියාය. විදුලි ධාරා ලෝකයෙන් මුළු පරිසරයම ආලෝකවත් විය.

රන් දූපතේ ගොඩනගා තිබෙන්නේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපෝසථගාරය පමණක් නො වේ. විහාරස්ථානයකට අවශ්‍ය සියලු අංගෝපාංග එහි අනතර්ගත වී තිබේ. සම්මන්ත්‍රණ ශාලාව, දර්ශනීය වටදාගෙය, සමාධි බුද්ධ ප්‍රතිමා පුස්තකාලය හා සංඝාවාසය හා සතර මහා දේවාලයද නිර්මාණය කර තිබේ. මුහුද මැද දූපතක වසරක් ඇතුළත මෙම ගොඩනැගිලි සංකීර්ණය සාදා අවසන් කිරීම ප්‍රාතිහාර්යයකි. විශ්ව කර්ම නිර්මාණයකි.

මෙම සත්කාර්යය සඳහා ප්‍රමුඛ දායකත්වය දැරූ ශ්‍රී රෝහණ රංජන ශාසන බන්ධු අධිනීතිඥ මහින්ද විජේසේකර ධීවර හා සාගර සම්පත් අමාත්‍ය හා දක්ෂිණ සංවර්ධන නියෝජ්‍ය ඇමැතිතුමන් ගේ ස්ථානෝචිත ප්‍රඥාව කාර්යශූරත්වය ස්ථිර අධිෂ්ඨානය එකට මූර්තිමත් වීමෙන් දර්ශනීය ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ අවසන් විය. ඇමැතිතුමන්ගේ අපේක්ෂාව පරිදි 2004 උපසම්පදාව එහි දී උත්කර්ෂවත් අන්දමින් සිදු කරන ලදී. මෙම උපෝසථාගාරය රෝහණ සංඝ සභාවේ ඇරයුමෙන් ගොඩනගන ලද නමුත් අනෙකුත් පාර්ශවවල උපසම්පදාදී විනය කර්ම සඳහාත් වෙනත් බෞද්ධ ආගමික කටයුතු සඳහාත් විවෘත ය.


මාතර පරෙයිදූවේ පිහිටි ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපෝසථාගාරය
ඡායාරූපය - දික්වැල්ල විශේෂ ජී.සිරිසේන

බක් අමාවක
පෝය

මැයි මස 4 වනදා ඉරිදා
අපරභාග 08.32 ට ලබයි.
5 වනදා සඳුදා අපර භාග 05.48 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මැයි මස 05 වනදා සඳුදාය

මීළඟ පෝය මැයි 12 වනදා සඳුදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]