UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ආනන්ද මහ රහතන් වහන්සේ

සම්මා සම්බුුදුරජාණන් වහන්සේ මැදින් මස පුරපසළොස්වක් දිනෙක කාළුදායි මහරහතන් වහන්සේගේ ඇරියුමෙන් කිඹුල්වත් පුරගමන ඇරැඹූ සේක. වෙසක් පුන් පෝ දිනෙක කිඹුල්වතට වැඩි උන්වහන්සේ යමාමහ පෙළහර පෑම් ආදියෙන් දහම් වැසි වස්වා ශාක්‍යයන්ට ධර්මාවබෝධය ලබාදුන්හ. ශ්‍රී බුද්ධ ඓශ්වය්‍යය දුටු ශාක්‍යයෝ, ස්වභාවයෙන් ම මානාධික බැවින් ‘අපගේ බුදුරජාණන් වහන්සේ පිරිවරා සිටිය යුත්තෝ ශාක්‍ය කුමාරවරුමය’ යන තීරණයක් සම්මත කරගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස පන්සියයක් ශාක්‍ය රජකුමාරවරු රජසැප හැරදමා බුදුසසුනේ පැවිදිභාවයට පත්වූහ. එම පන්සීය අතුරින් කෙනෙක් ආනන්ද කුමරු. භගු කිම්බිල ආදි පිරිස සමඟ පැවිදි වූ ආනන්ද හිමියෝ සෝවාන්ඵලයට පත්වූසේක්, අග්‍රෝපස්ථායක තනතුර ප්‍රධානව අගතනතුරු ලබාගෙන බුදුරදුන් සමීපයෙහිම වැඩ සිටිමින් බුදු සසුන බැබලවූ බව අංගුත්තර නිකායේ ඒතදග්ග පාළියේ සඳහන් වේ.

උතුම් වූ සම්බුද්ධත්වයෙන් වසර විස්සක් ගත වූ තැන් සිට සම්බුදු පිරිනිවන දක්වා සංසාරිකව පැවති මිත්‍ර ධර්මය ආරක්ෂා කළ උන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සෙවණැල්ල මෙන් කටයුතු කළහ. බුදුරජාණන් වහන්සේට උවටැන් කිරීමට හා බුදුසිත සැනසීම සඳහා ම දිවා රෑ වෙහෙසුණු ආනන්ද හිමියන්ට උසස් ආර්ය මග ඵල එවකට ලබා ගත නොහැකි වූ නමුත් සිව්වනක් පිරිස අතර ජනපි‍්‍රයත්වයක් ලබාගත හැකිවිය.

සම්බුදු පිරිනිවනින් පසුව ද ආනන්ද හිමියෝ මගඵල ලැබීමට එතරම් උනන්දුවක් නොදැක් වූ බව පෙළ හා අටුවා විමසන විට පැහැදිලි වේ. සංයුත්ත නිකායේ කස්සප සංයුත්තයෙහි කාශ්‍යප මහරහතන් වහන්සේ ආශි‍්‍රතව දෙසූ සූත්‍ර ධර්ම දක්නට ලැබේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි ආරණ්‍යවාසීව ධූතාංගධාරීන් අතර අග්‍ර ව විසූ මහා කාශප්‍ය මහරහතන් වහන්සේ ග්‍රාමවාසී භාවයට පත්වූ සේක, සම්බුදු පිරිනිවනින් පසුව ය. කස්සප සංයුත්තයේ එන චීවර සූත්‍රයෙහි සඳහන් වන පරිදි මහාකාශ්‍යප මාහිමියෝ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති. ඒ සමයේ ආනන්ද හිමියෝ මහත් භික්ෂූ පිරිසක් පිරිවරාගෙන දක්ඛිණාගිරියෙහි චාරිකාවේ හැසිරුණහ. ඒ පිරිසේ සිටි ශ්‍රද්ධාවෙන් පැවිදි නොවූ ලාබාල හිමිවරු තිස් දෙනෙක් උපැවිදි වූ අතර එය මහත් ආන්දෝලනයකට හේතුවිය. සංයුත්ත නිකායට්ඨ කථාවට අනුව මේ තිස්දෙනා ඉතා ලාබාල වියේදීම මව්පියන්ගේ වුවමනාවට පැවිදි කරන ලද්දෝ වෙති. බුදුරජාණන් වහන්සේ සමීපයේ ම සිටින ආනන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් තම පුතුන් පැවිදි කළ මව්පියෝ, ‘අපට ඇවැසි වේලාවක බුදුරජාණන් වහන්සේ අපගේ් ගම්දනවුවලට වඩමවා ගත හැකිවේ’ යැයි සතුටුවූහ. ඒ ආනන්ද හිමියන් යටතේ සිටින තම දරුවන් ලවා ආරාධනා කරවීමෙනි. මෙවැනි හිස් ලෞකික අපේක්ෂාවකින් පැවිදි වූ ඒ ළදරු හිමිවරු බුදුපිරිනිවණින් පසුව තම අපේක්ෂාව ඉටුනොවන හෙයින් උපැවිදිවූහ. අටුවාව මෙවැනි අදහසක් දැක්වුවත් සම්බුදු පිරිනිවන සිදුවූ ආසන්නයේ එක්වර තරුණ හිමිවරු තිස් දෙනෙක් උපැවිදි වීම ඉතා බරපතල දෙයකි. එය අන්‍යාගමික බලවේගයන්ට බුදුසසුනට චෝදනා කිරීමට ලැබුණු කදිම අවස්ථාවකි.

මෙම සිදුවීමෙන් පසුව ආනන්ද හිමියෝ දක්ඛිණාගිරියේ කැමතිතාක් කල් වාසය කර, රජගහ නුවරට වැඩමවා මහාකාශ්‍යප මහරහතන් වහන්සේට වැද එකත්

පසෙක හුන්හ. ආගිය තොරතුරු කථා කිරීමෙන් පසුව මහාකාශ්‍යප හිමියෝ ආනන්ද හිමිගෙන් මෙසේ ඇසූහ. ‘ආනන්දය! භාග්‍යවතුන්වහන්සේ විසින් තිකභෝජනය හෙවත් ගණභෝජන ශික්ෂාපදය පැනවූසේක් කවර කරුණු නිසාද?’ එයට පිළිතුරු දුන් ආනන්ද හිමියෝ ‘ කාශ්‍යපයෙණි, කරුණු තුනක් නිසා භාග්‍යවතුන් වහන්සේ සමූහ වශයෙන් ගිහි ගෙවලට ගොස් ආහාර ගැනීම පිළිකෙව් කරන තිකභෝජන ශික්ෂාපදය පැනවූහ. කවර තුනක්ද යත්

1. දුශ්ශීල භික්ෂූන්ට නිග්‍රහ කිරීමට

2. පි‍්‍රයශීලි භික්ෂූන්ගේ පහසු විහරණය පිණිස

3. පාපී පක්ෂයට යෑමෙන් සංඝයා නොබිදේවායි කුලයන්ට අනුග්‍රහ පිණිස මෙම කරුණු තුන නිසා තිකභෝජනය පැනවූහ’ යි පවසති. එය ඇසූ මහාකාශ්‍යප හිමියෝ ‘ආනන්දය! එසේ නම් මේ ඉන්ද්‍රිය

සංවරයක් නැති භෝජනයේ පමණ

නොදන්නා, නිදිවැරීමෙහි නොයෙදුණු ඉතා තරුණ ලාබාල භික්ෂූන් සමඟ ජනපද චාරිකාවේ හැසිරෙන්නේ මන්ද? නුඹ ශස්‍ය නසමින් හැසිරෙන්නකු වැනිය. නුඹ කුලයන් නසමින් හැසිරෙන්නෙකි. ආනන්දයෙණි! මෙසේ වැඩිදුර නොසිතා කටයුතු කරන නුඹගේ පිරිස බිඳීයි. අඩුවී යයි. බෙහෙවින් තරුණ වූ ඔවුහු වැනසෙති. මේ ළදරුවා තමන්ගේ් තරම නොදනී (අයං කුමාරකො න මත්තමඤ්ඤාති) යැයි දැඩිසේ ආනන්ද හිමියන්ට දෝෂාරෝපණය කළහ.

එය ඇසූ ආනන්ද හිමියෝ ඉතා දුකට පත්ව ‘ස්වාමිනි, කාශ්‍යපයිනි, මගේ හිසකෙසුත් දැන් පැසී ඇත. (මෙ සිරස්මිං පලිතානි ජාතිනි) නමුත් තවමත් ඔබවහන්සේ මට ළදරුවා යැයි (කුමාරකවාදෙන) බණිති’ යි පවසති. එවිට මහාකාශ්‍යප හිමියෝ මෙසේ ළදරු , තරුණ හිමිවරු පිරිවරාගෙන ජනපද චාරිකාවේ හැසිරෙන නුඹ ළදරුවා යැයි බැණීමට දෝෂාරෝපණය කිරීමට ඉතා සුදුසුයැයි තවදුරටත් දොස් කියති.

විශේෂයෙන් භික්ෂූන් අතර ජනපි‍්‍රයත්වයට ඉහළ පිළිගැනීමට ලක්ව සිටි ආනන්ද හිමියන්ට මෙසේ දෝෂාරෝපණය කරන ලද පුවත ඇසූ ථුල්ලනන්දා භික්ෂුණිය මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දෝෂාරෝපණය කරන්නීය. එයට පිළිතුරු දෙන මහාකාශ්‍යප මාහිමියෝ තමන් වහන්සේ ඊට සුදුසුබව පෙන්වා දෙති. චීවර සූත්‍රයේ අවසානයට දැක්වෙනුයේ කරුණු නොදැන මහරහතන් වහන්සේ නමකට දෝෂාරෝපණය කළ (විශේෂයෙන්ම ගෞතම බුදු සසුනේ තෙවැනි මහා ශ්‍රාවකයන් වහන්සේට) ථුල්ලනන්දාව ගිහි බවට පැමිණි ආකාරයයි.

ආනන්ද හිමියෝ ස්වභාවයෙන්ම පිරිස් පිරිවරාගෙන ධර්ම කථාවන්හි නියුක්ත වීම පි‍්‍රය කළහ. කොසොල් රජ මාලිගයේ බිසෝවරුන් පන්සීයයකට ධර්මය ඉගැන්වීමේ අවසරය ලැබුවෝ ද උන්වහන්සේමය.

භික්ෂුණී හුද ආනන්ද තෙරුන්ගෙන් ධර්මය ඇසීමට පි‍්‍රය කළහ. මෙසේ පිරිස් පිරිවරාගෙන සිටීම දැඩිසේ ශාසනභාරධාරී මහතෙරවරු පිළිකුල් කළහ. ඉහත කාශ්‍යප මහරහතන් වහන්සේගේ චෝදනාවෙන් මෙන් ම ථෙරගාථා පාළියේ එන වජ්ජිපුත්ත තෙරුන්ගේ ගාථාවෙන් ද ඒ බව මනාව පැහැදිලි වේ. ළදරු - තරුණ හිමිවරු පිරිවරාගෙන ජනපදයන්හි හැසිරෙන ඉතා වයෝවෘද්ධ වූ ආනන්ද හිමියන් ළදරුවෙකුම යැයි මහාකාශ්‍යප හිමියෝ චෝදනා කරති.

එලෙසින්ම සමූහයක් පිරිවරාගෙන ධර්මකථාවෙහි නියැලි ආනන්ද හිමියන්ට ෂඩ්අභිඥාලාභී මහතෙරනමක් වන වජ්ජිපුත්ත තෙරණුවෝ මෙසේ දොස් දක්වති.

රුක්ඛමූල ගහනං පසක්කිය
නිබ්බාණං හදයස්මිං ඔපිය
ඣාය ගොතම, මා පමාදෝ
කිං තෙ බිලිබිලිකා කරිස්සති

මේ ගාථාවට අටුවා සපයන ථෙර ගාථාට්ඨකථාවේ සඳහන් වන පරිදි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ නොබෝ කලකින් මහතෙරවරු ධර්ම සංඝායනාවට කාලය නියම කර ගත්හ.එසේ කල් නියම කරගෙන මුල් මාසයේ ඊට අවශ්‍ය කටයුතු සූදානම් කර ගැනීමට වෙහෙසුනහ. මේ කාලයේදී සේඛයකු වූ ආනන්ද තෙරුණුවෝ මහත් වූ පිරිසක් පිරිවරාගෙන ධර්මදේශනා කරනු (සෙඛං යෙව සමානං මහතියා පරියාස පරිවුතං ධම්මං දෙසෙන්තං දිස්වා) දුටු වජ්ජිපුත්ත මහරහතන් වහන්සේ ඉහත ගාථාවෙන් චෝදනා කරති.

එහි අර්ථය ‘ගෞතමයනි! රුක්මල්වදුලකට පිවිස (හුදකලා වී) නිවණ පිළිබඳ පැතුම හදවතේ තබාගෙන ධ්‍යාන වඩව! කිසිසේත් ප්‍රමාද නොවෙව! ඔය බිලි බිලි කථාවෙන් නුඹට ඇති ප්‍රයෝජනය කුමක්ද? මෙහිදී ධර්ම සාකච්ඡාව බිලි බිලි කථාවක් ලෙස හඳුන්වා ඉන් දේශකයන් වහන්සේට ලැබෙන අර්ථයක් නොමැති බව පෙන්වා දෙති.

එනිසා ස්වාර්ථය සිදුකරගෙන පරාර්ථයට යොමුවිය යුතු බවට එන ථෙරීය සම්ප්‍රදායේ ප්‍රශස්ත පිළිගැනීම මෙහිදී ධ්වනිතවත් වේ.

මෙම දොස් දැක්වීම ඇසු ආනන්ද හිමියෝ, හටගත් සංවේග ඇතිව වහා හුදකලා වී විදසුන් භාවනාවෙහි දැඩි සේ සිත් යොමා භාවනා කළ බව අටුවාවේ දැක්වේ. රෑ බොහෝ වේලාවක් භාවනා කළ උන්වහන්සේ එම දැඩි වීර්යය අත්හැර සැතපීීම සඳහා සයනය වෙත පිවිසියහ. සයනයෙහි හොත් මොහොතේම (මඤ්චකෙ නිපන්න මත්තොව) දැඩිව තිබූ සිත මධ්‍යස්ථ වූ හෙයින් සියලු කෙලෙසුන්ගෙන් මිදී අර්හත් ඵලයෙහි පිහිටියේය.

ආනන්ද හිමියන් අර්හත්ඵලය ලබාගත්තේ පළමු ධර්ම සංඝායනාව ඇරඹූ දිනට පෙරදින රැයේ බව සමන්තපාසාදිකාවේ සහ සුමංගලවිලා සිනියේ කියැවේ. එම අටුවා දෙකෙහි නො එන පුවත ථෙර ගාථාට්ඨකථාවේ ඉහත සඳහන් පරිදි දැක්වේ.

මුලින් ම දැක් වූ ලෙස මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ දෝෂ දර්ශනයට ආනන්ද හිමියෝ පත්වූයේත් පළමු ධර්ම සංඝායනාවට පෙර දී හා සම්බුදු පිරිනිවනට පසුවදී යන මාසයකට පමණ කාලයේදී බව සංයුත්ත නිකායේ කස්සප සංයුත්තය විමසුම්ශීලීව කියවූ විට පැහැදිලි වේ. වජ්ජිපුත්ත මහරහතන් වහන්සේගේ චෝදනාව - දොස් දැක්වීමද එම කාලය තුලම සිදු වූ බව අටුවාව පවසයි.

මෙසේ ශාසනභාරධාරී මහතෙරවරුනගේ දොස් දැක්වීම්, චෝදනා හා ගර්හාවන් නිසා ආනන්ද හිමියෝ අනර්ථකාරී කටයුතු හැරදමා අර්ථවත් කාර්යයෙහි තත්පරව, උතුම වූ අර්හත්වයට පත්ව භික්ෂුත්වයේ පරමාභිලාෂය මුදුන්පත් කර ගත්හ. අග්‍රීපස්ථායක ආනන්ද තෙරුන් මෙන් නිහතමානීව කටයුතු කරන්නේ නම් පරමාදර්ශී භික්ෂූ ශාසනයක් නිතැතින් ම බිහිවනු ඇත.

සැමදා සැමදෙනා යහපත ම දකිත්වා!

බක් අමාවක
පෝය

මැයි මස 4 වනදා ඉරිදා
අපරභාග 08.32 ට ලබයි.
5 වනදා සඳුදා අපර භාග 05.48 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මැයි මස 05 වනදා සඳුදාය

මීළඟ පෝය මැයි 12 වනදා සඳුදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]