UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මිල කළ නොහැකි සමාජ මෙහෙවර

විවාහ සම්බන්ධයෙන් ස්ත්‍රී - පුරුෂයන් එක්වන්නේ දූ දරුවන් ඇතිදැඩි කොට යහපත් ජීවිතයක් ගතකිරීමේ අපේක්‍ෂාවෙනි එබැවින් දූ දරුවන්ගේ අයිතිවාසිකම් සියල්ල ඇත්තේ මවුපියන්ට ය. ඔවුන් හදාවඩා සමාජයට ඉදිරිපත් කිරීමේ වගකීමද මවුපියන් සතුවූවකි.

එසේම එය යුතුකමක්ද වගකීමක්ද වේ. එපමණක් ද නොව බුදුදහම අනුගමනය කරන මවුපියන්ට දරුවන් හොඳින් ඇතිදැඩි කොට සමාජයට ඉදිරිපත් කිරීමත් මහත්ඵල මහානිශංස ගෙනදෙන පින්කමක් වේ. එහෙත් බෞද්ධ නොවන ජනයා එම ධර්මතාව බොහෝවිට නොදනී. බෞද්ධ මවුපියන්ගේ ඒ පරිත්‍යාගශීලිභාවය නිසා ඔවුනට මෙලොවදීම එහි ආනිශංස ලැබෙනු ඇත. බෞද්ධ මවුපියන්ගේ් දරුවන් තමන් කොතරම් වයසට ගියද කිසිවිටෙකත් තම මවුපියන් අමතක නොකරති. අතහැර නොයති. නොසලකා නොහරිති. එවැනි වූ ශිෂ්ටාචාරයකට උරුමකම් කියන දූ දරුවන් පිරිසක් බිහිවී ඇත.

තවද සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් පරිදි දූ දරුවන් විසින් මවුපියන්ට ඉටුවිය යුතුකම් 5ක් ත්‍රිපිටකයේ සඳහන් වී ඇත. ඒවා පහත දැක්වේ.

මවුපියන් පෝෂණය කිරීම
මවුපියන්ගේ කටයුතු කිරීම
කුලපරම්පරාව රැක ගැනීම
මවුපියන් සතු වස්තුව ආරක්ෂා කිරීම
මියගිය මවුපියන්ට පින් අනුමෝදන් කිරීම

යන කරුණු සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වෙයි. මේ යුතුකම් ඉටුකිරීම දූ දරුවන්ට මහත්ඵල ආනිශංස ගෙනදෙන මහත් වූ පුණ්‍ය කර්මයකි.

මෙකල ලෝකයේ මේ තත්ත්වය වෙනස්වෙමින් පවත්නා බව සංවේගයෙන් වුවද මතක්කළ යුතුය. යුරෝපීය රටවල් සමඟ ඇති වී තිබෙන සම්බන්ධතා සහා ප්‍රවෘත්ති හා විද්‍යුත් මාධ්‍යවල බලපෑම නිසා බෞද්ධ රටවල්වලින්ද මේ තත්ත්වය මඟහැරී යමින් පවත්නා බව බොහෝ අවස්ථාවල පුවත්පත් වලින් දකින්නටත් විද්‍යුත් මාධ්‍ය තුළින් අසන්නටත් ලැබෙන දේ අනුව සිතාගත හැකි ය. මේ නිසා දරුවන් ඇති මවුපියන් ජීවත්වන්නේ සිතෙහි ඇතිකරගත් සැකයෙන් හා බියෙන් යුක්තව ය. එය දුකකි. හැකිතරම් දුරට දුක අඩුකරගෙන ජීවත්වීමේ මාර්ගය පෙන්වා දෙන්නේ ද බුදු දහම මගිනි. ඒ අනුව දරුවන් සැප ලබා ගැනීමේ මඟක් බවට පත් කරගත හකිවන්නේ මවුපියන් දරුවන් ඇතිදැඩි කිරීමේ දී බුද්ධිමත්ව ක්‍රියාකිරීමෙනි.

බුද්ධිමත් දරුවන් ඇතිදැඩි කර නොගතහොත් මවුපියන් සතු වගකීමෙන් තොරව ක්‍රියාකිරීමක් වන බැවින් දරුවන් ඇති මවුපියන් නිතර ඒ ගැන සැලකිලිමත් විය යුතුය. බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි විසූ ප්‍රසිද්ධ දායක පින්වතෙකු වූ අනාථපිණ්ඩික සිටුවරයා තමන්ගේ පුතා මුදලට රවටා හෝ ධර්මය අවබෝධ කරවා සත්පුරුෂයකු කළ බව අපි මීට පෙර ඇසුවෙමු.

මවුපියන් දරුවන් ඇතිදැඩි කළ යුතු වන්නේ ආශිර්වාදය පිණිස මිස, ශාපයක් වීම පිණිස නොවේ.

මෙකල දරුවන් නොමඟ යන බව ප්‍රසිද්ධ කරුණකි. බොහෝ විට බටහිර රටවල මවුපියන්ගේ අදහස වී ඇත්තේ දරුවන්ට අවශ්‍ය පරිදි ක්‍රියාකරන්නට ඉඩ දී මවුපියන් නිහඬව සිටිය යුතු බවයි. මේ අදහස අනුව ක්‍රියාකරන බොහෝ අනුවණ මවුපියෝ නිසා මවුපියන්ට සරිලන ආකාරයට වඩා දරුවන්ට වුවමනා ආකාරයට මවුපියන් සකස්වීම සිදුවනු දක්නට ලැබේ.

අපට උපදින දරුවන් සියල්ල දැනගෙන අප වෙත නොඑන බව මවුපියන් නිතර කල්පනා කළ යුතු ය. ආර්ථිකය අනුව බලන කළ දරුවන් ගැන සිතන්නට වන්නේ අඩුවෙනි. මේ කාලයෙහි නගරබද මවුපියන්ට දරුවන් සමඟ කථා කරන්නට ලැබෙන්නේ ද දවසට මිනිත්තු දහයක්, පහළොවක් වැනි ඉතා සුළු කාලයකි. එවිට දරුවන් වැඩෙන්නේ මවුපියන්ගේ මඟ පෙන්වීමට කොතරම් ඈත්ව දැයි සිතා ගත හැකි ය. අපේ රටවල බොහෝවිට අනුගමනය කරන බටහිර අධ්‍යාපනයෙන් ලත් ආභාෂය ද මීට හේතු වී ඇත.

ඒ අනුව සකස් වු අධ්‍යාපන පිළිවෙත්වලට මුල්තැන දෙමින් ඉගෙනීම ලබන දරුවන්ගේ අනාගතය ගැන නොසලකා හැරීමේ ප්‍රතිඵලය ගැන අපි සැළකිය යුතු වෙමු. නැතහොත් එයින් වන හානිය විශාල විය හැකි ය. එයට නිදසුනක් ශාසන ඉතිහාසයෙන් ගත හැකි ය.

බුදුරජාණන් වහන්සේ එක්තරා දෙවියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, මෙසේ වදාරා ඇත. කීකරු පුත්‍රයා සත්පුරුෂ පුත්‍රයකු වන බව සංයුක්ත නිකායේ සඳහන්ව ඇත.

දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබාදී ඔවුනට කරුණු කියාදී ඔව්හු ලෝකයාට වැඩදායක, සමාජයට ආශිර්වාදයක් වන දරුවන් බවට පත් ‍ෙනාකරන මවුපියන්, ලෝකය හමුවේ වරදකරුවන් ය.

දරුවන් කෙරෙහි ඉවසීමත්, පරිත්‍යාගශීලි වීම හා අනුකම්පාකිරීමත්, මවුපියන්ට පින්සිදු කරගත හැකි ගුණධර්මයෝ ය. එමෙන්ම රටට වැඩදායක, ගුණවත් දරුවකු පරිත්‍යාග කිරීම උතුම් වූ මවුපියන් සතු වගකීමකි. එවැනි වූ මවුපියන්ට එහි ආනිශංස මෙලොවදීම ලැබිය හැකි බව, නුවණින් කල්පනා කොට වටහාගත යුතු ය.

එමෙන්ම තමන් නිසා අයහපත් දරුවකු ලෝකයට ඇතිවුවහොත්, එයින් තමන්ටත් අනුන්ටත් ඒ දරුවන්ටත් වන අපහාසයද අතිවිශාල ය. වරදකරන එවැනි දරුවකු නිසා කරදරයට ලක්වීමත්, කෝපවීමත් වෛරකිරීම් ආදියට පත්වීමත් ලෝභී හැඟීම් වැඩිවීමෙන් සිදුවිය හැකි අකුසල සම්භාරය ගැනත් සිතා බැලීය යුතු ය.

සොරකු, මිනීමරුවකු අපරාධකරුවකු විය හැකි පරිදි දරුවකු ඇතිදැඩි කිරීමට මග සැලසෙන ලෙස නොසලකා හෝ නොදැනීමෙන් ක්‍රියාකිරීමෙන් වන හානිය ප්‍රමාණ කළ නොහැකි ය. එහෙයින් දූ දරුවන් හැකි පමණින් යහපත් මිනිසුන් කිරීමට උත්සාහ කිරීම, මවුපියන් සතු යුතුකමක් බව සැළකිය යුතු ය. තවද සිඟාලෝවාද සූත්‍රයේ එන පරිදි මවුපියන් විසින් දරුවන්ට ඉටුකළ යුතු යුතුකම් 5 ක් ඇත.

දරුවන් පවින් වැළැක්වීම
යහපතෙහි යෙදවීම
ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම
සුදුසු කාලයෙහි ආවාහ විවාහ කරදීම
සුදුසු කාලයෙහි දායාද පැවරීම

වටිනා දරුවක ඇතිදැඩි කිරීමෙන් සමාජයට වන සේවය ඉතා විශාලය. මවුපිය ගුරුවරු ආදීන් ඒ බව සලකා ක්‍රියාකළහොත් එය බොහෝ දෙනාගේ යහපත පිණිස වන්නේ ය.

බක් අව අටවක
පෝය

අපේ‍්‍රල් 28 වැනිදා සඳුදා පූර්ව භාග 07.08 ට ලබයි.
29 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 08.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 28 වැනිදා සඳුදාය

මීළඟ පෝය මැයි මස 05 වැනිදා සඳුදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]