UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සයුරට සම වන සසුනේ සලකුණු

අංගුත්තර නිකාය, අට්ඨක නිපාත මහා වග්ගය පහාරාද සූත්‍රය ඇසුරිනි

මාගේ අමාමෑණි බුදුපියාණෝ තම දොළොස්වන වස්සාන සමය ගතකරන ලද්දේ ‘වේරංජා’ නම් බමුණුගේ ආරාධනයෙන් වේරංජා නුවරය. දිනක් බුදුපියාණෝ වේරංජා නුවර ගඟ අසබට ‘අලේරු’ නම් යක්ෂයා අරක්ගෙන සිටි කොහොඹ රුක් මුල්හි වැඩ සිටි සේක. එකල්හි මහා සාගරය ඇසුරුකොට වසන්නා වූ පහාරාද නම් අසුරේන්ද්‍ර තෙමෙ බුදුපියාණන් සමීපයට පැමිණ සතුටු සාමීචි කථාකොට ‘ශාක්‍යවංශික බුදුන් ලොව පහළ වී ඇති බවත්, සංසාර ගත සත්ත්වයා සසර දුකින් මිදවීම උදෙසා ලෝ සතුනට මහත් වූ කරුණාවෙන් ශ්‍රී සද්ධර්මය දේශනාකරන බවත්, අසන්නට ලැබුණු බැවින් ඒ බුදුපියාණන් බැහැ දැකීමට මහත් කැමැත්තකින් පැමිණියෙමි යි සැළකර සිටියේ ය. අමාමෑණි බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර ක්‍රම උපයෝගී කර ගනිමින් බුදු සසුනෙහි පවත්නා සුවිශේෂ ලක්ෂණ බිඳක්, පහාරාදයනට හුරු පුරුදු මහා සාගරය හා සසඳමින්, හෙළි කළ සේක.

බුදුන් වහන්සේ - පහාරාදයෙනි ඔබ මහ සාගරය ඇසුරුකොට වසන්නේ වෙහිද?
පහාරාද - එසේය ස්වාමිනි, මම මහා සාගරය ඇසුරුකොට ගෙනම වසන්නේ වෙමි
බුදුන් වහන්සේ - ඇයි, පහාරාදයෙනි, ඔබ එසේ මහා සාගරය ඇසුරු කොටගෙනම වසන්නේ?
පහාරාද - ස්වාමීනි, මහා සාගරයෙහි ස්ථිතික ගති ලක්ෂණ අටක් මම දකිමි.

1. මේ සාගරයෙහි වෙරළේ සිට පතුල දක්වා ඉතා ක්‍රමානුකූ®ලව ඉදිරියට ඇති බස්මක්, ගැඹුරක් ඇත. එහි පතුල දක්නා රිසි යමෙක් වේ ද ඔහු සයුරෙහි වෙරළ, රැල්ල, ගල්පර, ගැඹුර , දියවැල් හා නපුරු සතුන් යනාදී අනේකවිධ බාධක මැඬගෙන සිහිනුවණින් යුතුව පතුල කරා ළඟා විය යුතුය. මහා සාගරයෙහි මනා පිහිටීමට බෙහෙවින් ඇළුම්කරන හෙයින් මම සයුර ඇසුරුකොට ගෙන ම වසනු රිසි වෙමි.

2. එතෙකුදු නොවේය. පෙරළි පෙරළී පෙණකැටි නංවමින් වෙරළ සිප ගැනීමේ අටියෙන් වේගයෙන් වෙරළ කරා ඇදෙන මේ රැල්ල ස්වභාවික බලපෑමකින් මිස වෙන කිසි අයුරකින් වෙරළ ඉක්මවන්නේ ද නැත. මහ සයුරට පමණක් ආවේණික වූ ඒ ලක්ෂණය ද මා මහා සයුර ඇසුරුකොට විසීමට හේතුවකි.

3. සතර දිගින් මහා සාගරය වෙත ගලා එන්නා වූ ජලකඳ සයුර සිපගන්නේ තනිවම නොවේ. කරපින්නාගෙන එන කැතකුණු, ජරාව, මළකුණ ආදී කොතෙකුත් අපද්‍රව්‍ය ද සමඟ ය. එහෙත් මේ මහා සාගරය තමනට අවශ්‍ය ජලය පමණක් රඳවා ගනිමින් අන්සියලු අපවිත්‍ර දෑ රැල්ල උපයෝගි කොට ගනිමින් ගොඩට ඇඳ දමා තම පවිත්‍රතාව රැක ගනියි. මා හට මේ සයුර ඇසුරේ දිවි ගෙවීමට එකරුණ ද ඉමහත් සේ බලපා ඇත. බුදුපියාණනි!

4. මේ දඹදිව් තලය පුරා ගලා බස්නා ගංගා, යමුනා, අචරවතී, ගාම්භීරව ගලාවිත් මහ සයුරට සම්ප්‍රාප්ත වෙති. එවිට ඒ ජලය ‘සාගර ජලය’ නමින් හඳුන්වනවා මිස ඔවුනොවුන්ගේ පූර්ව නාමයන්ගෙන් හඳුන්වනු නොලැබේ. තම ප්‍රෞඩත්වය එසේ රැක ගන්නා ඒ මහා සාගරය මගේ නිවහනයි, බුදු සමිදුනි!

5. එපමණක්ද නොවේ. වැසි, ඇළ, දොළ, ගංගා වැව් පොකුණු වලින් කොතෙක් ජලය ගලා ආවද සාගරය පිරී ඉතිරෙන්නේ ද නැත. ඒවායින් ගලා එන ජලය අඩු වුවද කිසි දා එය සිඳලන්නේ ද නැත. ඒ නම් ආශ්චර්යයක්ම ය.

6. බලන්න. බුදු හාමුදුරුවනේ! මේ අනන්ත සයුරේ කොතනකින් දිය බිඳක් ගත්තද එයලුණු රසම ය. සයුරෙහි ඒ අනන්‍යතාවට මම මහත් සේ ගරු කරන්නෙමි.

7. ඔබ වහන්සේ වසන මේ ගොඩබිමට වඩා මා වාසය කරන්නා වූ මේ මහා සාගරය වටිනා ධන සම්පත්තියෙන් ආඪ්‍ය ය. ධනය උපතට සයුර ආකාරයකි. එහි සක්, ශිලා , වෛරෝඩි, පුෂ්පරාග, රන්, රිදී, මුතු, මැණික්, පබළු ආදි නේක රත්නයෝ පැතිර ඇත්තාහ. 8. එතෙක් ද නොවේ. ස්වාමිනී, මේ ගොඩබිමෙහි ජීවත් වන විශාලතම සතා ඇතා වුව ද මේ මහ සයුර පතුලෙහි ඊටත් වඩා අති විශාල ආනන්ද, තිමිල, තිමිල පිංගලාදී සත්වයෝ සයුර පතුල නිවහන ;කාට වෙසෙති.

මේ හේතුන් නිසාද මම මහ සයුර ඇසුර කොටගෙන වසමි. එහෙත් මට ද ගැටලුවක් ඇත. අවසර බුදු සමිඳුනි! ඔබ සසුනෙහි භික්ෂූ, භික්ෂුණි , උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස ඔබ වහන්සේ ඇසුරුකොට වාසය කරන්නේ ඇයිදැයි දැනගනු රිසිවෙමි.

බුදුන් වහන්සේ - පහාරාදයනි, ක්‍රමයෙන් ගැඹුරට යන එක්වරම ප්‍රපාතයක් දැකිය නොහැකි මහ සයුරේ පතුල සොයා යන අයකුට බාධක මැඩ ඉදිරියට යෑමට සිදුවන්නේ යම් සේ ද මාගේ ශාසනය නමැති මහා සාගරයේදී පතුල (නිවන) සොයා යන නුවණැති පුද්ගලයා අනුපුබ්බ ශික්ෂා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා යන මුල, මැද, අග මනාව ගැලපෙන්නා වූ අනුපූර්ව ප්‍රතිපදා මාර්ගයක් ගත යුතුව ඇත.

ඔබේ මහ සයුර සිසාරා පෙරළි පෙරළි වෙරළට එන රැල්ල වෙරළ නොඉක්මන්නේ යම් සේ ද මාගේ ශාසනයද මහා සාගරයේ රැල්ල මෙන් කිසිදා කිසිවිටක විනාශය නමැති සීමාව ඉක්මවන්නේ් නැත.

එමෙන්ම පහාරාදයෙනි මහ සයුර එහි කිසි අපවිත්‍ර දෙයක් රඳවා නොගන්නා සේ ශාසනය නම් වූ මහ සයුරද පරම පවිත්‍රත්වයෙන් යුත්තය. ශීල, සමාධි, ප්‍රඥා ත්‍රී ශික්ෂාව වඩමින් නිවන සොයා යන සිල්වතුන්ගෙන් අනූන එහි දුශ්ශීලයනට ඉඩක් නැත. මාගේ ශාසනය බුද්ධිමතුනට පමණකි. මෝඩයිනට එහි අවකාශ නැත.

ඔබේ සයුරට විවිධ නමින් යුත් ගංගා ගෙනෙන ජලය සයුරුගත වූ පසු ‘මුහුදු ජලය’ ම වන්නා සේ, මාගේ ශාසනය නමැති මහ සයුරට එක්වන ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛදශ්‍ය ශුද්‍ර යනාදී කවර කුලයක අය වුවද සසුන්ගත වූ පසු ඔව්හු සියල්ලෝම බුද්ධ ශ්‍රාවකයෝ ම වෙති.

ඔබ ඇසුරුකොට පවත්වා මහ සයුර කොතරම් ජල කඳක් ලැබුණ ද උතුරා නොයන්නාක් මෙන් ද, ජලය හිඟ වුව ද සිඳී නොයන්නාක් මෙන් ද, මාගේ ශාසන සාගරය ද අතීත , වර්තමාන, අනාගත යන තුන්් කල්හිම කොතරම් රහතුන් වැඩ සිටියද උතුරා නොයන්නා සේ ම, රහතුන් විරල වුවද සිඳීමක් සිදු නොවන්නේ ම ය.

ඔබේ සයුරු ජලය කොතනකින් ගත්තද ලුණු රසම දැනෙන්නක් මෙන් - මාගේ ශාසන සාගරයේ කොතනකින් වුවද ගන්නා දහම් දිය බිඳෙන් පෙරී එන්නේ පිරිපුන් නිවන් රසයම ය.

එමෙන්ම පහාරාදයෙනි. ඔබේ ඇසුරැති මහ සයුර අගනා වස්තූන්ගෙන් සපිරි ධන ආකරයක් වන්නේ යම්සේ ද ආර්ය ශ්‍රාවකයන්ගෙන් පිරුණු මාගේ ශාසන සාගරයෙහි සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධන් වීර්ය, සතර සෘද්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බෝධ්‍යාංග හා ආය්‍ය¡ අෂ්ටාංගික මාර්ගය යන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නම් වූ මිණි රුවනින් යුක්තය.

මේවා වඩන මාගේ ආර්ය ශ්‍රාවකයෝ සෝවාන්, සකෘදාගාමි, අනාගාමී, අර්හත් යන සතර මගද එකී සතරඵල ද නිවන ද නම් වූ නව ලෝකෝත්තර දහම් සපුරා මාගේ ශාසන සාගරයෙහි පතුල නම් වූ ‘නිවන’ ට පැමිණෙන්නාහුය.

එහෙයින්, පහාරාදයෙනි, මාගේ ශාසනයේ භික්ෂු , භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිස මවිසින් හෙළිකරන ලද නිවනේ දොරටු විවර කර දෙන ශ්‍රී සද්ධර්මය සරණ කොටගෙන, ඇසුරු කොටගෙන වෙසෙති යි දේශනා කොට වදාළ සේක.

සැදැහැවත් පින්වතුනි,

මාගේ් අමාමෑණි බුදුපියාණන් විසින් සයුරට උපමා කොට දක්වන ලද දහම් සයුරෙහි කිමිද, ශීල, සමාධි, ප්‍රඥා මිණි රුවන් මතුකොට ගෙන, කාම, භව, දිට්ඨි , අවිජ්ජා දී සංසාර ඕඝ තරණය කොට සංසාර දුකින් එතෙරව නිවන ලැබීමට අවශ්‍ය නැණස පහළ කරගන්න. ඒ සඳහා ඔබ සැමට තිසරණ සරණම වේවා!

බක් පුර අටවක පෝය

    අප්‍රේල් 12 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 12.47 ට ලබයි.
13 වැනිදා ඉරිදා පූර්ව භාග 11.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 12 වැනිදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 12

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

New Moonඅමාවක

මැයි 05

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]