UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලොවටම උතුම් බුදුරදුන්ගේ ගුණ-නැණ හෙළි කළ උපාලි සූත්‍රය

භාග්‍යවතුන් වහන්සේ නාලන්දාවෙහි පාවාරික අඹ උයනෙහි වැඩවසන සමයෙහි නිගන්ඨනාත පුත්‍රගේ ශ්‍රාවක දීඝ තපස්සි, භාග්‍යවතුන් වෙත පැමිණ - සතුටු ව - සිහි කටයුතු කතාවෙහි නිරත විය. අනතුරුව දීඝ තපස්සි එක් මිටි අසුනක හිඳ ගත්තේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගෙන් මෙවැනි පැනයක් විමසූහ.

තාපසය, නිගණ්ඨනාත පුත්‍ර පව් කිරීමට, පව්කම් පැවැත්මට කොතෙක් කර්ම පනවාද? ඇවැත්නි, ගෞතමයනි, නිගණ්ඨනාථ පුත්‍ර කර්මයා කිරිම යැයි නො කියන්නේය. දණ්ඩට දණ්ඩ යැයි කියන්නේය. තාපසය, නිගණ්ඨනාත පුත්‍ර කෙතෙක් දණ්ඩ පනවාද? අවැත්නි ගෞතමයනි, කාය දණ්ඩ, වචී චණ්ඩ, මනෝ දණ්ඩ වශයෙන් තුනක් පනවයි.

තාපසය, කෙසේද? කාය දණ්ඩ අනෙකක්ද? වචී දණ්ඩය අනෙකක් ද? මනෝ දණ්ඩය අනෙකක්ද?

ඇවැත්නි, ගෞතමයිනි, කාය දණ්ඩ අනෙකකි. වචී දණ්ඩය අනෙකකි, මනෝ දණ්ඩ අනෙකකි.

තාපසය, මේ දණ්ඩ තුන අතරින් කවරක් මහා සාවද්‍ය කොට පනවාද?

ඇවැත්නි, ගෞතමයෙනි, කාය දණ්ඩය මහා සාවද්‍ය කොට පනවයි.

තාපසය, කාය දණ්ඩය කියහි ද?

ඇවැත්නි ගෞතමයෙනි, කාය දණ්ඩ යැයි කියමි.

තාපසය, කාය දණ්ඩට කියහි ද?

ඇවැත්නි, ගෞතමයෙනි, කාය දණ්ඩයැ’යි කියමි.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ දීඝ තපස්සී එම කතාවෙහි තෙවරක්ම පිහිටුවීය.

අනතුරුව දීඝ තපස්සී භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විචාළේය.

ඇවැත්නි, ගෞතමයෙනි, පව් කිරීමට, පව්කම් පැවැත්මට කොතෙක් දණ්ඩ පනවාද?

තාපසය, තථාගතයනට දණ්ඩය දණ්ඩ යයි කීමේ පුරුද්දක් නැත. කර්මය. කර්ම යැයි කීමේ පුරුද්දක් ඇත.

ඇවැත්නි, ගෞතමයෙනි, පව්කම් කිරීමට, පව්කම් පැවැත්මට කෙතෙක් කර්ම පනවාද?

ාපසය, මම කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වශයෙන් කර්ම තුනක් පනවමි.

ඇවැත්නි, ගෞතමයෙනි, මෙසේ බෙදන ලද, මෙසේ වෙන් කරන ලද කර්ම අතර කවර කර්මයක් මහා සාවද්‍ය වේ ද?

තාපසය, මනෝ කර්මය මහා සාවද්‍ය යැයි කියමි.

ඇවැත්නි, ගෞතමයෙනි, මනෝ කර්මය මහා සාවද්‍ය යැයි කියත් ද?

තාපසය, මනෝ කර්මය මහා සාවද්‍ය යැයි කියමි.

ඇවැත්නි, ගෞතමයෙනි, මනෝ කර්මය මහා සාවද්‍ය යැයි කියත් ද?

තාපසය, මනෝ කර්මය මහා සාවද්‍ය යැයි කියමි.

මෙහි දී දීඝ තපස්සී භාග්‍ය වතුන් තෙවරක් එම කතාවෙහි පිහිටුවා සිය ශාස්තෘ නිඝණ්ඨනාථ පුත්‍ර වෙත ගියේය. භාග්‍යවතුන් වහන්සේ සමඟ සිදු වූ සියලු කතා බහ ඔහුට ප්‍රකාශ කළේය. නිඝණ්ඨනාථ පුත්‍ර ඔහුට ප්‍රශංසා කර, පව්කම් කිරීමට, පව්කම් පැවැත්මට කාය දණ්ඩයම මහා සාවද්‍ය බවත් ලාමක වූ මනෝ දණ්ඩය එසේ නොවන බවත් ප්‍රකාශ කර අනුමත කළේය.

මෙම විස්තරය මහ පිරිස් සමඟ එහි සිටි නිඝණ්ඨනාථ පුත්‍රගේ අග්‍ර දායක උපාලි ගෘහපති අසා සිටියේය. කාය දණ්ඩය මහා සාවද්‍ය බව පෙන්වා දීමට භාග්‍යවතුන් වහන්සේ සමග වාදයක් පැවැත්වීමට ඔහුට සිතක් පහළ විය. ලාමක වූ මනෝ දණ්ඩය මහා සාවද්‍ය බව දීඝ තපස්සී ට ප්‍රකාශ කළ පරිදි තමාටත් ප්‍රකාශ කළහොත්, බලවත් පුරුෂයෙක් දිග ලොම් ඇති එළුවකු ලෝමයෙන් අල්ලා එහාට අදින්නේ ද, මෙහාට අදින්නේ ද එහාට මෙහාට අදින්නේ ද එපරිද්දෙන් මම ශ්‍රමණ භවත් ගෞතමයන් වාදයන්ම එහාට අදින්නෙමි, මෙහාට අදින්නෙමි. එහාට මෙහාට අදින්නෙමි, යනාදී බස් දොඩා සිය බලවත් බව මතු කොට දක්වා, වාද කොට භග්‍යවතුන් වහන්සේ පහසුවම පරාජය කරන්නෙමැයි උපාලි ගෘහපති ඉදිරිපත් විය. ශ්‍රමණ භවත් ගෞතමයෝ මායාකාරයෙකි, ඔහු අනුන්ගේ සිත් බැඳ ගැනීමේ මායාවක් දන්නේය. මායාවකින් අන්‍ය ශ්‍රාවකයන් බැඳ ගන්නේ ය. එබැවින් ශ්‍රමණ භවත් ගෞතමයන් සමග වාදයට එළඹීම සුදුසු නොවේ යැයි කරුණු දක්වා තෙවරක්ම එයට දීඝ තපස්සීගෙන් විරෝධය ප්‍රකාශ විය.

උපාලි ගෘහපති ශ්‍රමණ භවත් ගෞතමයන් ගේ ශ්‍රාවකයකු බවට පත්වීම කිසිසේත් සිදු නොවන්නකි. ශ්‍රමණ භවත් ගෞතමයෝ උපාලි ගෘහපතිගේ ශ්‍රාවක බවට පත්වනු නියත ය. මෙම අදහස දැඩි ලෙස සිතට ගත් නිඝණ්ඨනාථ පුත්‍ර දීඝ තපස්සීගේ වචනය පිළිනොගෙන උපාලි ගෘහපතිට බුදුරජාණන් වහන්සේ සමඟ වාදයට එළඹීමට අවසරයත්, ආශිර්වාදයත් ලබා දුන්නේය.

උපාලි ගෘහපති භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, වැඳ එකත් පසෙක හිඳ දීඝ තපස්සී සමඟ කළ සංවාදය පිළිබඳ විමසුවේය. භාග්‍යවතුන් වහන්සේ ඒ සියලු විස්තර ඔහුට හෙළි කළහ. අනතුරුව වාදයට මුල පිරුවේය.

භාග්‍යවතුන් වහන්ස, මෙසේ ළාමක වූ මනෝ දණ්ඩය කෙසේනම් මහා සාවද්‍ය වේද? පව්කම් කිරීමට, පව්කම් පැවැත්මට කාය දණ්ඩයම මහා සාවද්‍ය වේ. වචී දණ්ඩය හෝ මනෝ දණ්ඩය එසේ නොවෙයි.

ඉදින් ගෘහපතිය, ඔබ සත්‍යයෙහි පිහිටා කතා කරන්නේ නම් අපගේ කතාව සිදු වෙයි.

භාග්‍යවතුන් වහන්ස, සත්‍යයෙහි ම පිහිටා කතා කරමි. අපගේ කතාව සිදුවේවා!

ගෘහපතිය, මේ පිළිබඳ කුමක් සිතනවාද? සිසිල් දිය බැහැර කර උණු දිය පමණක් ගන්නා නිඝණ්ඨයෙක් සිසිල් දිය නොලැබ ආබාධිතව, දුකට පත්ව, දැඩි ගිලන්ව මරණයට පත් වෙයි. ගෘහපතිය, නිඝණ්ඨනාථ පුත්‍ර ඔහුගේ උපත කොතැනක සිදුවේදැයි ප්‍රකාශ කරයි ද?

භාග්‍යවතුන් වහන්ස, මනෝ ප්‍රතිබද්ධ ව මරණයට පත්වන ඔහු මනෝසත්ව නම් දෙවියන් අතර උපදින බව ප්‍රකාශ කරයි.

ගෘහපතිය, ගෘහපතිය, හොඳට සිහි උපදවා පවසන්න. ඔබගේ පළමු ප්‍රකාශය සමඟ පසුව ප්‍රකාශ කළ දෙය නොගැලපේ. පසුව කළ ප්‍රකාශය සමඟ පළමුව ප්‍රකාශ කළ දෙය නොගැලපේ. ගෘහපතිය ඔබ සත්‍යයෙහි පිහිටා කතා කරන බව කීවෙහි. භාග්‍යවතුන් වහන්ස, සත්‍යයෙහි පිහිට කතා කරන බව කීවෙමි. එහෙත් කාය දණ්ඩයම මහා සාවද්‍ය බව පිළිගනිමි.

ගෘහපතිය, මේ පිළිබඳ ඔබ කුමක් සිතනවාද? චතුයාම සංවරයෙන් සංවරව සිසිල් දිය බැහැර කළ - සියලු පව් කිරීමෙන් වැළකීමෙහි යෙදුණු, සියලු පාප පවාරණයෙහි යෙදුණු නිඝණ්ඨයෙක් ගමන් කරයි.

ඔහුගේ පයට පෑගී බොහෝ කුඩා සත්තු මරණයට පත් වෙති. මේ පිළිබඳ නිගන්ඨනාථ පුත්‍ර කවර විපාකයක් පනවාද?

භාග්‍යවතුන් වහන්ස, අසංචේතනික කර්මය මහා සාවද්‍ය කොට නොපනවයි. ගෘහපතිය, ඉඳීන් සිතා කරයි නම් කෙබඳු වේද?, භාග්‍යවතුන් වහන්ස, මහා සාවද්‍ය කොට පනවයි, ගෘහපතිය, චේතනාව කවර කොටසෙහිලා පනවාද?, භාග්‍යවතුන් වහන්ස මනෝ දණ්ඩයෙහිලා පනයි.

ගෘහපතිය, ගෘහපතිය, සිහි උපදවා කියනු මැනවි. ඔබ පළමු ව කී බස හා පසුව කී බස නොගැලපෙයි. පසුව කී බස හා පළමුව කී බස නොගැලපෙයි. ගෘහපතිය, ඔබ සත්‍යයෙහි පිහිටා කතා කරන බව කීවෙහි.

භාග්‍යවතුන් වහන්ස, එසේ වූවද කාය දණ්ඩයම මහා සාවද්‍ය වෙයි.

ගෘහපතිය, ඔබ මේ පිළිබඳ කුමක් සිතනවාද? කඩුවක් ඔසවාගත් මිනිසෙක් පැමිණ මෙසේ කියන්නේ ය. ‘මම එක මොහොතකින් එක් ඇසිල්ලකින් මේ නාලන්දාවෙහි මිනිසුන් ඇතුළු සියලු සතුන් එකම මස් රැසක් කරමි’ ගෘහපතිය, ඔහුට එසේ කළ හැකි වේ ද?

භාග්‍යවතුන් වහන්ස, එවැනි මිනිසුන් දහයක්, විස්සක්, තිහක්, හතළිහක්, පනහක් පැමිණියත් එසේ කළ නොහැකිම ය. එක් මිනිසකුට එය කෙසේ කළ හැකිවේද?

ගෘහපතිය, එක් සෘද්ධි බලැති මහණෙක් හෝ බමුණෙක් පැමිණ මම මේ මුළු නාලන්දාවම එක් මොහොතකින්, එක් ඇසිල්ලකින් අළු බවට පත් කරමි. ගෘහපතිය ඔහුට එසේ කළ හැකි වේද?

භාග්‍යවතුන් වහන්ස, මේ නාලන්දාව මෙන් දහයක් විස්සක්, තිහක්, හතළිහක්, පනහක් වූවද ඔහුට එක් මොහොතකින් එක් ඇසිල්ලකින් විනාශ කළ හැකි ය. නාලන්දාව ගැන කියනු කුමකට ද? ගෘහපතිය, ගෘහපතිය සිහි උපදවා පිළිතුරු දෙනු මැනවි. ඔබගේ පළමු බස හා පසු බස නොගැලපේ. පසු බස හා පළමු බස නොගැලපේ. ඔබ සත්‍යයෙහි පිහිටා කතා කරන බව කීවෙහි. භාග්‍යවතුන් වහන්ස, එසේ වූවද කාය දණ්ඩයම මහා සාවද්‍ය වෙයි.

ගෘහපතිය, දණ්ඩක, කාලිංග, මෙජ්ඣ, මාතංග ආරණ්‍ය වල් බිහි වූ අයුරු ඔබ අසා තිබේද?

භාග්‍යවතුන් වහන්ස, මම අසා ඇත්තෙමි. සෘෂිවරුන්ගේ සිත් දූෂණය වීමෙන් එය සිදු වී තිබේ. ගෘහපතිය, ගෘහපතිය සිහි උපදවා පිළිතුරු දෙනු මැනවි. ඔබගේ පළමු බස හා පසු බස නොගැලපේ. පසු බස හා පළමු නොගැලපේ. ඔබ සත්‍යයෙහි පිහිටා කතා කරන බව කීවෙහි.

භාග්‍යවතුන් වහන්ස, පළමු උපමාවෙන්ම මම සතුටු වීමි. පැහැදුණෙමි. එහෙත් මම භාග්‍යවතුන් වහන්සේගේ විසිතුරු පැන විසඳුම් ඇසීමට කැමැති ව මෙසේ විරුද්ධ බස් කීවෙමි. භාග්‍යවතුන් වහන්ස, යහපත් ය. අතිශයින්ම යහපත් ය. යම් පරිදි යටිකුරු කරන ලද බඳුනක් උඩුකුරු කළාමෙන්, වසා තිබූ යමක් විවර කළා මෙන්, මුලා වූවකුට මඟ කීවාමෙන්, ඇස් ඇතියනට අඳුරෙහි රූප බැලීමට පහනක් දැල් වූවාසේ භාග්‍යවතුන් වහන්සේ මට නොයෙක් අයුරින් ධර්මය දේශනා කළ වදාළහ. මම බුදුන් දහම් සඟුන් සරණ යමි. දිවි ඇතිතාක් මා තෙරුවන් සරණ ගිය උපාසකයකු සේ සිතන සේක්වා!

ගෘහපතිය, හොඳින් සිතා, නුවණින් විමසා තීරණය කරන්න. ඔබ වැනි ප්‍රසිද්ධ අයට හොඳින් සිතා, නුවණින් විමසා තීරණ ගැනීම උචිත වෙයි.

භාග්‍යවතුන් වහන්ස, එයින් මම අතිශය ප්‍රසාදයට පත් වෙමි. අතිශය සතුටු වෙමි. භාග්‍යවතුන් වහන්ස, අන්‍ය තීර්ථකයෝ මා උපාසකයකු ලෙස ලැබුවේ නම් මේ සියලු නාලන්දාවටම කොඩි උසවා පී‍්‍රතියෙන් ඇවිදිනු ඇත. භාග්‍යවතුන් වහන්සේගේ මෙම ප්‍රකාශය නිසා මම දෙවනුවත් බුදුන් දහම්, සඟුන් සරණ යමි. දිවි ඇතිතාක් මා තෙරුවන් සරණ ගිය උපාසකයකු සේ පිළිගන්නා සේක්වා!

ගෘහපතිය, බොහෝ කලක් ඔබගේ නිවස නිගණ්ඨයනට පැන් පොකුණක් බඳු විය. එහෙයින් නිවසට පැමිණෙන ඔවුනට දන්දීම පිළිබඳ සිතනු මැනවි.

භාග්‍යවතුන් වහන්ස, මම අසා ඇත්තේ මටම දන් දිය යුතු ය. අන්‍යයනට නොදිය යුතු ය. මගේම ශ්‍රාවකයනට දන් දිය යුතු ය. අන්‍ය ශ්‍රාවකයනට නොදිය යුතු ය. මට දන් දීම මහත් ඵල ය. අන්‍යයනට දීම මහත්ඵල නොවේ. මගේ ශ්‍රාවකයනට දීමෙන් මහත්ඵල වෙයි. අන්‍ය ශ්‍රාවකයනට දීමෙන් එසේ නො ලැබෙයි. දේශනා කරන පරිද්දෙනි. එහෙත් භාග්‍යවතුන් වහන්සේ නිගණ්ඨයනට දන් දෙන ලෙස පවසති.

මෙයිනුදු, මම අතිශයින් සතුටු වෙමි. අතිශයින් පහදිමි. මම තෙවනුව ද බුදුන් දහම්, සඟුන් සරණ යමි. දිවි ඇතිතාක් මා තෙරුවන් සරණ ගිය උපාසකයකුගේ සේ පිළිගන්නා සේක් වා! අනතුරුව භාග්‍යවතුන් වහන්සේ උපාලි ගෘහපතිට අනුපිළිවෙළ කතාවෙන් දහම් දේශනා කර කාමයෙහි ආදීනවත්, කම් සැපතින් ඉවත්වීමෙන් ලබන ආනිශංසත් වදාරා චතුරාර්ය සත්‍ය දේශනාව කළහ. එහිදී ඔහු මඟඵල අවබෝධ කළේ ය. ඉන්පසු ව ඔහු භාග්‍යවතුන් වහන්සේට ඉතා ගෞරවයෙන් වැඳ අවසර ගෙන පිටව ගියේ ය. උපාලි ගෘහපති බුදුරදුන් සරණ ගිය බව දීඝ තපස්සී නිගණ්ඨ පුත්‍ර දැන ගත්තේ ය. එය සිය ශාස්තෘවරයාට දන්වා සිටියේ ය. දීඝ තපස්සී කරුණ සහිතව තෙවරක්ම ඒ බව ප්‍රකාශ කළ ද නිගණ්ඨනාථ පුත්‍ර එය කිසි ලෙසකින් පිළිගැනීමට සමත් නොවීය. අනතුරුව දීඝ තපස්සී සිය ශාස්තෘවරයා ප්‍රමුඛ සියලු නිගණ්ඨ පිරිසම කැඳවාගෙන උපාලි ගෘහපතිගේ නිවස වෙත ගියේ ය. එහෙත් වෙනදා මෙන් ඔවුනට එදින දොරටු විවර නොවිණි. නිගණ්ඨ නාථ පුත්‍රගේ බලවත් අයැදීම හේතුවෙන් උපාලි ගෘහපති හමුවීමට අවස්ථාව සලසා ගත්තේ ය. නිවසේ මැද ශාලාවේ ඔවුන් වෙනුවෙන් ආසන පනවා තිබිණි. ඔවුහු ශාලාවට ගියහ. පුදුමයකි, එහි මුල් අසුනේ උපාලි ගෘහපති අසුන් ගෙන සිටියේ ය. වෙනදා මෙන් පෙර ගමන් කොට ගරු කිරීමක් එදින දක්නට නො ලැබිණි. ඔහු අසුනේ සිටම ස්වාමීනී, ආසන පනවා ඇත. කැමැති නම් අසුන් ගන්න යි, නිගණ්ඨ පිරිසට ආරාධනා කළේ ය. මෙහිදී උපාලි ගෘහපති නිශ්චිතවම බුදුරදුන් සරණ ගිය උපාසකයකු බව ඔවුනට අවබෝධ විය. එහෙත් උපාලි ගෘහපතිගෙන් ඔබ කාගේ ශ්‍රාවකයෙකු වේ දැයි නිගණ්ඨ නාථ පුත්‍ර විමසුවේ ය.

එවිට ඒ මොහොතේ ම සිය අසුනෙන් වහා නැඟී සිට උතුරු සළුව ඒකාංශ කොට බුදුරජාණන් වහන්සේ සිටින දෙසට දොහොත් මුදුන් තබා වන්දනා කර බුදු ගුණ වර්ණනා කර තමන් තෙරුවන් සරණ ගිය උපාසකයකු බව නිගන්ඨනාථ පුත්‍ර පෙරටු පිරිසට ප්‍රකාශ කළේ ය.

භාග්‍යවතුන් වහන්සේ ලබන ගරු සත්කාර ඉවසා දරා ගැනීමට නො හැකිව, නිගණ්ඨනාථපුත්‍රගේ මුවින් එහිම උණු ලේ පිටවිය.

උඳුවප් පසළොස්වක


උඳුවප් පසළොස්වක පෝය දෙසැම්බර් 23 වන දා ඉරිදා පූර්ව භාග 10.04 ට ලබයි. 24 වන දා සඳුදා පූර්ව භාග 06.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 23 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර්
31 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]