UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරිපා කරුණා කරමු

වෙසක් පුර පසළොස්වක සඳ බැස ගිය පසු නිසලව සිටි සමනළ කඳුවැටියට, අවදිවන්න, ක්‍රියාශීලීවන්ත යැයි ඇරයුම් කරමින් මේ උඳුවප් ළහිරු කිරණ නැගෙනහිර අහසෙන් ගලා එයි. සාදු හඬින් පරිසරයේ නිහඬ බව බිඳිමින් සුදු පිරුවටයෙන් සිරුර වසාගත් අහස් ගව්ව නගින වන්දනා නඩවල ඡායාව, මිහිඳුම් කිරණ අතරින් මතුවෙයි. සර්ධාවෙන් උතුරා යන සැහැල්ලු සිත් ඇති ඔවුහු සීතලේ වෙවුලමින් සිරිපා මළුවට පිවිසෙති. මහ කඳු සිරස පීරා හමා එන මඳනල හා එක්වුන සමනළ රෑන් ශ්‍රීපාදය නමස්කාර කරමින් අහස් ගව්ව වටා අහසේ චමත්කාර සැරි සරති. පෙර රජ දරුවන් සියසින් දැක පැහැදී සත් රුවනින් පුදා එයිනුත් නොසෑහී දානශාලා නින්දගම් ආදියෙන් පවා පුදන ලද, වත්මනෙහි මතුපිට කරවන ලද සටහන් විනා ශ්‍රී පාද ලාංඡනය කිසිවෙක් දෑසින් නොදුටුවද, තුන්ලොව එකලු කළ සම්මා සම්බුදුපියාණන්ගේ මහත් ගුණ කඳින් සිතේ මැවෙන ශ්‍රී පා සලකුණු පුදා පින් රැස් කර ගැනීම කාගේත් අරමුණ ය.

සමනළ රෑන් මෙන් වැල නොකැඩී ශ්‍රී පාද මළුවට ඇදෙන සර්ධා භක්තියෙන් අනූන වන්දනා කරුවන්වෙතින් උතුරා යන භක්තිය හා බුද්ධ ගෞරවය සිව්මහා ගංඟා ජලයට එක් වී ලක්බිම සරුකරමින් සිවුදෙසට ගලා බසිති.

මොනතරම් අසිරිමත් දැකුමක් ද? මහමෙරට නොදෙවෙනි මහ ගිරි දඹ නැඟීමේදී වත් සිල්වතුන්ගේ සර්ධාව හීන නොවේ. කරුණාවයි... කරුණාවයි. වඳින්න යන මේ නඩේට ... වැඳල බහින මේ නඩේට... කරුණාවයි. කරුණාවයි. මහ කඳු සිරස පුරා මෙත්තා, මුදිතා, උපේක්‍ඛා ගුණයන් නිරතුරුවම පිළිරැව් දෙයි. උතුරායන සර්ධා සම්පන්න සිතින් යුතුව සිරිපා මළුවට සැපත් වූහ. සියලු දෙනා දැන් දැන් සූදානම්වන්නේ තමාගේ ශාස්තෲවරයාණන්ගේ සුවඳ විඳ ගන්නට ය. උන්වහන්සේගේ පා තැබූ පොළව සිප ගන්නට ය. පාද පද්මය වැඳ ගන්නට ය. හද උතුරා යන ගෞරවය පුද දෙන්නට ය. මහ මළුවේ දී ඒ සියල්ල කළ හැකි බවට කිසිම සැකයක් නැත.

ශිවනඩි පාදම් (ශිව දෙවියන්ගේ පා සලකුනු) ඇඩම්ස් ස්පික් (ආදම්ගේ පා ලකුණු) වශයෙන් විවිධ ආගමිකයන්ගේ ගෞරවයට පාත්‍ර වන ශ්‍රී පාද වන්දනාවට බෞද්ධ සැදැහැවතුන් යොමු වී ඇත්තේ ක්‍රිස්තු උපතටත් පෙර සිට බව මහා වංසයෙන් සනාථ වෙයි. මහා පරාක්‍රමබාහු ශ්‍රී සංඝබෝධිවිජයබාහු, කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල, දෙවෙනි විමලධර්ම, කීර්ති ශ්‍රී රාජසිංහ ඇතුළු ශ්‍රී ලක්බිම එක්සේසත් කළ බොහෝ රජවරුන් ශ්‍රී පා වන්දනාවේ යෙදී මහත් පුණ්‍ය සම්පත් අත්කර ගත්හ. ශ්‍රීපා ගමනේ දුෂ්කර මඟ පිළියම්කළ ආකාරයත් ශ්‍රී පාද මලුවේ නඩත්තුව හා එහි වෙසෙන භික්‍ෂූන්වහන්සේලාගේ හා සිවුදිගින් වඩින භික්‍ෂූන් වහන්සේලාගේ නඩත්තුවට නින්දම් පූජා කළ බවත් දාන ශාලා හා ලැඟුම් ගෙවල් ඉදි කළ බවත් පෙනේ. සිරිපා වන්දනා කළ මහා ඇලෙක්සැන්ඩර් රජතුමා, මහගිරි දඹය නගින වන්දනා කරුවන්ගේ ආරක්‍ෂාව හා පහසුව සඳහා යකඩ දම්වැල් සවි කරවූ බවද ඉතිහාසයේ සඳහන් වෙයි. කවර නාමයකින් හැඳින්වූවද, කවර වර්ණයකින් සටහන් තැබූවද, කවර භාෂාවකින් උච්චාරණය කළද, සියලු ලක්වාසීන්ගේ මෙන්ම ලෝවාසීන්ගේ ද සාමයේ සංකේතය සමනළ කඳු මුදුන බවට විවාදයක් නැත.

සියලු ආගමිකයෝ සිරිපා මළුවේ දී සාමකාමීව හැසිරෙති. සමනළගිරි ශිඛරය වසා සිටි තිමිර පටලය ඉරා ගලා එන, අරුණලු දහරා සොම්නස් සිතින් වැළඳ ගන්නේ, ඉරසේවය නොදුටු දෑස් කුමටදැයි අසන්නාක් මෙනි. එයද බොහෝ දෙනකුට වන්දනාවකි.

සිරිපා වන්දනා ගමනේ ආනන්දණීය ස්වභාවය, ආකර්ශණීය චමත්කාරය, හෙළිදරව් කිරීම අපහසු ය. එය තමන් විසින්ම විඳ දරා ගත යුතු පාරිශුද්ධ රස වින්දනයකි. එම ආස්වාදය විඳ ගැනීමට තරම් පින් මඳ වූවන් එය හඳුන්වන්නේ එක්වරකට වඩා ශ්‍රී පාද වන්දනාවේ සතුට මෝඩකමක් ලෙස ය. එබැනි අඳ බාල තත්ත්වයකට ඔවුන්ගේ සිත් පත්කර ඇත්තේ ඔවුන්ගේම අසංවර හැසිරීම් රටාව විසිනි. මත්පැන්, මත්ද්‍රව්‍ය, ආදිය පාවිච්චි කරමින් ප්‍රේම පරාදීසයකට යන ගමනක් ලෙස සලකන අයට, සිරිපා වන්දනාවේ ඉමිහිරි ආස්වාදයෙන් අබමල් රේණුවක ප්‍රමාණයක්වත් විඳගත නොහැකි ය. එවැනි බොහෝ අය ආපසු ගෙවල් දොරවල් කරා පිවිසෙන්නේ වේදනා දෙන දෙපයින් හා සිරුරින් යුතුව ය. ඔවුන් පළමු ගමනින්ම ශ්‍රී පාද වන්දනාව එපාවීම පුදුමයක් නොවේ.

මුණි සිරිපා වන්දනාවේ යෑමට සූදානම් වන ඕනෑම කෙනකුට ඒ සඳහා වඩාත් පහසු කාලය සිරිපා සමය ඇරැඹී මුල් මාස තුනය. ඒ සඳහා ජනවාරි හෝ පෙබරවාරි මාස තෝරා ගන්නේ නම් වැඩි තදබදයකින් තොරව නිවී සැනසිල්ලේ ගමනේ යෙදීමටත් සිරිපා මළුවේ දී රිසිසේ වැඩි කාලයක් වන්දනා කිරීමටත් අවහිර බාධා ඇති නොවේ.

කවර මාර්ගයකින් ඔබගේ සිරිපාවන්දනා ගමන ඇරඹූවද වාහනයෙන් යා හැකි දුර ප්‍රමාණය ඉක්ම වූ පය පහසු තැනක් තෝරාගෙන සෑහෙන කාලයක් විවේක ගන්න. විවේක සුවයෙන් පසු දියනා සුදානම්වන්න. නල්ලතන්නිය පාරේ ගමන් කරන්නේ නම් පාලම අසල සීත ගඟුලේ වතුරට අපවිත්‍ර දෑ එකතුවන නිසා, ඈතින් පිහිටි වතුර ටැංකිවලින් හෝ සාම චෛත්‍ය ආසන්නයේ සීත ගඟුලේ බැස නා ගන්න. හිරු බැස ගොස් ලොව අඳුර රජකරන යාමයේ තෙරුවන් වැඳ මෙත් සිත් වඩා පිරිත් සජ්ඣායනා කර සැහැල්ලු සිතින් හා සැහැල්ලු කයින් යුතුව වන්දනා ගමන අරඹන්න. බර වැඩි ගමන්මළු ආදිය ඇතොත් ඒවා රැක බලා ගන්නා ස්ථානයකට බාරදී පුළුවන් තරම් සැහැල්ලු වෙන්න. සක්මන් භාවනාවක නිරත වන්නාසේ හෙමින් සීරුවේ ගමන අරඹන්න. මහ වනය මැදින් මහ හිමියෝ හුදකලාව ගියද ඔබට අනතුරක් ඇති නොවේ. නළලේ අළු ගා ස්තෝත්‍ර කියා ඔබට ආරක්‍ෂාව සලසන මුවාවෙන් ඔබව සූරා කන්නෝ විවිධ වෙස්ගෙන මඟ දිගට සිටිති. ඔවුනට නොරැවටෙන්න. ඔබට අමුතු ශක්තියක් ලබා දීමට හෝ ඔබගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට ඔවුනට නොපුළුවන. විවිධ නම්ගොත් වලින් යුත් දේවාල හා පන්සල් ලෙසින් මඟ දිගටම ඇත්තේ අහිංසක වන්දනාකරුවන් මුළාවට පත්කරවන ස්ථාන බව තරයේ සිතට ගන්න. තෙරුවන් කෙරෙහි ඔබතුළ ඇති විශ්වාසය, ගෞරවය ඉක්මවා යන කිසිම බලවේගයක් සමනළ කඳු වැටියෙහි නොමැත. සැදැහැවතුන්ගේ ගෞරවයට පාත්‍රව සිටින සමන් දෙවියන් ද වන්දනාකරුවන් ආරක්‍ෂා කිරීමට අල්ලස් ගන්නේ නැත. ඔබ සූරා කෑමට මඟ බලා සිටින බොරු කාරයින්ට නොරැවටී, මඟදී ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට ආහාර ආදිය ගෙනැවිත් නොමැතිනම්, අතර මඟ වෙළෙඳ සැල්වලින් මිලදී ගැනීම සඳහා මුදල් රැක ගන්න.

ගමේ හෝ නගරයේ මිලට ශ්‍රීපාද කඳු වැටියේ දී වෙළෙඳුන්ට ආහාරපාන විකිණිය නොහැකි බවත්, ඔවුන් ඔබ වෙනුවෙන් මේ වෙළෙඳාම් කරන්නේ, ප්‍රවාහන ගාස්තු ආදී විශාල වැයක් දරා අනන්ත අප්‍රමාණ දුක් පීඩාවන්ට ගොදුරු වෙමින් බවත් කරුණා සහගත සිතින් යුතුව අවබෝධ කරගන්න හය මාසයක් ගෙවී යෑමෙන් පසු උදාවන නව වසර දෙස අඹුදරුවන් සමඟ ඔවුන් බලා සිටින්නේ ජීවත්වීම පිළිබඳ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන බව අමතක නොකරන්න. ශ්‍රීපා වන්දනා ගමනේ දී ඔබගේ සිතට අවශ්‍ය ශාන්තිය හා සැහැල්ලුව සොයා දහම් මාතාවගෙන් නොමදව ලැබෙනු ඇත. දහම් අවබෝධය සිතේ තැන්පත් කරගෙන පියවරෙන් පියවර පඩියෙන් පඩිය හෙමින් සීරුවේ නගිමින් මඳක් නතරවී අවට පරිසරයේ චමත්කාරය විඳ ගැනීමට දඅමතක නොකරන්න. දසතින් හමන සුළඟේ සිසිලසින් පිබිදුන සිතින් යළිත් පෙරසේම සන්සුන්ව පඩියෙන් පඩිය පියවර තබන්න. දහම් අවබෝධයෙන් හා සොවභාදහමේ ආශ්වාදයෙන් ඔබතුළ හටගත් ශාන්තිය, අහස්ගව්ව නැ¼ගීමේ ශක්තිය බවට පත්වනු ඇත.

කරුණාවයි... කරුණාවයි.. වඳින්න යන මේ නඩේට සම්මා සම්බුදු සරණයි. ඔවුන් ඔබ වෙනුවෙන් එසේ පතනවිට ඔවුන් වෙනුවෙන් ඔබත් එසේ පතන්න. චූලෝදර මහෝදර නා රජවරුන්ගේ අරගලය සංසිඳවීමට කැලණියට වැඩිය භාග්‍යවතුන් වහන්සේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් සමනොළ කඳු මතට වැඩිය බවට අදහස් දක්වන සමහරු පාගමනින් වැඩිය උන්වහන්සේ ඉදිකටුපානේ දී සිවුරේ ඉරුණු තැන් මසාගත් බවටත්, හැරමිටි පානේ දී වෙහෙස අඩුකර ගැනීමට හැරමිටි වාරුවෙන් වැඩම කළ බවටත් ඇතැම් අය විශ්වාස කරති. සමන් දෙවියන්ගේ ඇරයුමෙන් බුදුපියාණන් සමාධි බලයෙන් සමනළ ගිර මතට වැඩම කළ බව ඇතැම් අය විශ්වාස කරති. රාවනා රජුගේ දඬුමොනර යන්ත්‍රයෙන් භාග්‍යවතුන් වහන්සේ සමනළ ගිරි මුදුනට වැඩිය බවටද මතයක් පවතී.මෙවැනි විවිධ මත ඇතත් සමනළ කඳු මුදුනේ ගල්තලාවේ සැඟවී අදත් බුදුපියාණන් පාද ලාංඡනය වැඩ සිටින බවට බැතිබර සැදැහැවත් සිත් ඇත්තන් තුළ සැකයක් පහළ නොවේ.

උඳුවප් පසළොස්වක


උඳුවප් පසළොස්වක පෝය දෙසැම්බර් 23 වන දා ඉරිදා පූර්ව භාග 10.04 ට ලබයි. 24 වන දා සඳුදා පූර්ව භාග 06.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 23 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර්
31 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]