UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අසිරිමත් සිරි මා බෝ වන්දනාව සහ පෙරහර 29 වනදා ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියස දී


අතීතයේ සිට පැවත එන උතුම් ජාතික උත්සවයක්

දුමින්දාගමනයෙන් ඇති වූ සංස්කෘතිය වසර 2315 ක් ගත වුව ද තවමත් මෙරට ක්‍රියාත්මක වෙමින් පවතී. එය හේතුකොටගෙන මෙරට සාමාජික - දේශපාලනික - ආර්ථික ආදී විවිධ ක්‍ෂෙත්‍ර තුළ ඇතිවූ ගුණධර්ම පෝෂණය ඉමහත්ය. ධර්මාශෝක අධිරාජයාගේ දූරදර්ශී ධර්මවිජය ප්‍රතිපත්තිය එහි පදනම වේ. එතුමා උඳුවප් පොහෝ දිනක දක්‍ෂිණශාඛා බෝධීන් වහන්සේ සමග නොයෙක් ශිල්පීය නෛපුණ්‍යයෙන් හෙබි ජන සමූහයක් මෙරටට එවා ඒ යටතේ සිංහල ජනසමාජය ප්‍රතිසංවිධානය කරවීය. ශ්‍රී ලාංකේය විවිධ පාරම්පරික වෘත්තිකයන්ගේ ආරම්භය සිදුවූයේ එමගිනි. මෙම සංස්කෘතික සමාජයේ ජාතික සංකේතය වන්නේ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේය. එය අනුස්මරණය කරමින් රජ දරුවන් ප්‍රමුඛ කර ගෙන උඳුවප් පොහොය දිනවලදී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වෙත දිවයිනේ දස දෙසින් මහ ජනතාව පැමිණ මහ බෝ වන්දනාව සිදු කොට තම මුතුන් මිත්තන්ට පුණ්‍යානුමෝදනා කිරීම හා රටට ජාතියට ආශිර්වාද කිරීම අතීතයේ සිට පැවත එන උතුම් ජාතික උත්සවයකි. විවිධ ආක්‍රමණ නිසා සිංහල රාජධානිය දකුණට සංක්‍රමණය වෙද්දී ගිහි පැවිදි ජනතා නායකයන් ගෙන් අනුරපුරය ශූණ්‍ය විය.

මහා විහාරය ආදී වෙහෙර විහාර නටබුන් විය. භික්‍ෂු ශාසනය ඇතැම් යුගවල මෙරටින් තුරන් විය. එසේ තිබියදීත් කාලිංග මාඝ එලාර වැනි විජාතික පාලකයන්ට හසු වී ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ හා උන්වහන්සේ සම්බන්ධ බෝධි මංග්‍යයන් නොනැසී ආරක්ෂා කරදීම ජාතියේ වාසනාවකි. එම උතුම් මෙහෙවර සිදුකළ ශ්‍රී මහා බෝධි ආරක්‍ෂක ජන පිරිසට ජාතියේ උපහාරය පුදකළ යුතුය.

උදාවන නව වසරේදී ලක්වැසි සැමට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරමින් හා තවත් බොහෝ යහපත් අරමුණු නිමිති කරගෙන අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා ලබමින් සිරි සිදුහත් භික්‍ෂු සංවර්ධන පදනම සහ සිරිමහබෝ පදනම මගින් වාර්ෂිකව මහ බෝ පෙරහර පැවැත්වීම ජාතික යුතුකමක් ලෙස සඳහන් කරමි. මෙවර ශ්‍රී ලංකා අමරපුර නිකායාරක්‍ෂක දායක සභාවේ සහයෝගය ද ඒ සඳහා ලබාදීම අගයකරන අතර මහ බෝ පෙරහර හා මහ බෝ වන්දනාව අඛණ්ඩව සිදුකිරීමට ගිහි පැවිදි සෑම දෙනාටම රත්නත්‍රයානුභාවයෙන් ශක්තිය හා ධෛර්ය ලැබේවායි ආශිර්වාද කරමි.

රට දැය සමය වෙනුවෙන් රැකවරණය සලසනවා

අපේ ජාතික සංස්කෘතිය සංඝ සමාජය වත්පිළිවෙත් කලා නිර්මාණ සාහිත්‍ය ආදී ඓතිහාසික පුරාවෘත්තයන්ගේ සම්භවයට පදනම්ව ඇති බොදුනුවන්ගේ අත්‍යාදර ගෞරවයට පාත්‍ර මුදුන් මල්කඩ වන්නේ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේය. වසර දෙදහස් තුන්සිය පහලවක් තිස්සේ රාජරාජමහාමාත්‍යාදීන්ගෙන් පමණක් නොව සාමාන්‍ය පොදුජන සැදැහැවතුන්ගේද වන්දනාමානනා ආදියට ලක් වෙමින් අදත් මහත් තේජසින් උන්වහන්සේ විරාජමාන වෙති. එතරම් දිගු කලක් අපේ රට දැය සමය වෙනුවෙන් රැකවරණය සැලසූ බෝරදුන් තවත් වසර දහස් ගණනක් එම උදාර කර්තව්‍ය සිදුකරනු ඇත. ඒ නිසා එම උතුම් පූජ්‍ය වස්තුවට ගෞරව සත්කාර දක්වන්නාසේම එය මනා සේ ආරක්‍ෂා කරගැනීමද අප සතු වගකීමයි. උදාර අරමුණු කිහිපයක් පෙරදැරිව ශ්‍රී ලංකා අමරපුර නිකායේ දායක සභාවත්, සිරි සිදුහත් භික්‍ෂු සංසදයත් එක්ව සංවිධානය කෙරෙන අසිරිමත් මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර මේ මස 29 දින ජය ශ්‍රී මහ බෝ සමිඳු අභියස පැවැත්වෙන මොහොතේ එම උතුම් පුණ්‍යොත්සවය සඳහා අපගේ අවසරය හා ආශිර්වාදය පළකරන්නට ලැබීම පිළිබඳව බලවත් සේ සතුටු වෙමි.

අතිගරු මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ ශතාධික මහා සංඝරත්නය පෙරටු කොටගත් දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් දිවයිනේ නන්දෙසින් පැමිණ සහභාගිවන මේ මහා පින්කම තුලින් ජනිත පුන්‍යශක්තියත්, ජය ශ්‍රී මහ බෝ සමිදුගේ බලයත් හේතුවෙන් ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ රටවැසි සැමට සතුට සෞභාග්‍ය පිරි යුගයක් උදාවේවායි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්‍ෂාවත්, ගෞරවයත් රැකෙන අයුරින් බොදු හැගීමෙන් සංවරශීලිව මෙම අවස්ථාවට සහභාගි වීම කාගේත් ශාසනික යුතුකමක් බවද කාරුණිකව සිහිපත් කරමි.

සංඝමිත්තාගමනයෙන් ලද මහඟු දායාදය වන්නේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේයි

දීප චක්‍රවරති ධර්මාශෝක මහ රජතුමා ගේ කාරුණික අනුග්‍රහ ලබා ශ්‍රී ලංකාවේ බුදු සමය පිහිටවනු ලැබීය. එතුමා කිසිදු මිත්‍ර රටකට නොසැලකූ® අයුරින් ශ්‍රී ලංකාද්දීපයට සංග්‍රහ කරණු ලැබීය. එහි ප්‍රතිඵලය වූයේ සංඝමිත්තාගමනයයි. ඒ තුළින් ලද මහඟු දායාදය වන්නේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අප ජාතිය සතුවීමයි. ජාතිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සතුවීමයි. මෙවන් වාසනාවක් වෙනත් ජාතියක් සතු නොවීය.

මේ උදාරතර පූජනීය වස්තුව එතැන් සිට රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් ජීවිත පූජාවෙන් ආරක්‍ෂා කරගනිමින් අසදෘෂ පූජාවන්ගෙන් පූජා කරන ලද්දේය. ඒ අත්‍යඋදාර අතීතය නැවත කැදවනු වස් උඩරට අමරපුර නිකායේ සාසන ජෝතිකා කාරක සංඝ සභාව හා එහි දායක සභාවත් සිදුහත් සංසදයත් මූලිකත්වය ගනිමින් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව හා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාව මාර්ගෝපදේශකත්වය දරමින් 2007.12.29 දින අසදෘශ මහා බෝධි පූජාව හා අසිරිමත් පෙරහර ලංකාවේ සිව්දෙසින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පැමිණීමට නියමිතය.

දහස් සංඛ්‍යාත සැදැහැවතුන් මේ අවස්ථාවට සහභාගිවනු ඇත. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේව ත්‍රිවිධ හමුදාව භාර කරුණු ඇත. දෙදහස් හයසීයේ සම්බුද්ධ ජයන්තිය පිළිබඳ සමාරම්භක උත්සවය වන්නේද මෙම මහා පුණ්‍ය කර්මයය.

ලොව ප්‍රථම වරට රන්වැට නිර්මාණය කොට පූජා පවත්වන්නට තරම් භාග්‍යවන්ත වූ ගරු යටිරාවන නාරද නායක ස්වාමීපාදයන් වහන්සේ අණුස්මරණය කරමින් කෘතඥතා පූර්වක පුණ්‍යානුමෝදනා සිදුකිරීමටද කටයුතු යොදා ඇත.

උදාවන නව වර්ෂය (2008) සාමයෙන් හා සෞභාග්‍යයෙන් පිරි වර්ෂයක් සඳහා ආශිර්වාද ලබාගැනීමත් මෙහිදී සිදුකෙරෙන වැදගත්ම සිද්ධියයි. මෙම මහා පුණ්‍ය කර්මය මනාව සිදුකරගැනීමට අවශ්‍ය ආශිර්වාදයද අවසරය හා අනුසාසනාවන් සාසනානුකම්පාවෙන් සිදුකරණු ලබන්නේ නුවර කලාවියේ සංඝනායක අටමස්ථානාධිපති පූජ්‍යපාද ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේය. මේ උතුම් අසිරිමත් බෝධිපූජා පිංකම සහ පූජා පෙරහර සාර්ථක කරගැනීමට සාධු ජනයාගේ සහයෝගය බලාපොරොත්තු වෙමු. එසේම ඒ සඳහා සහභාගිවන සැදැහැවත් ජනතාව සංවරශීලිව අපගේ පරමාර්ථයන් මුදුන්පත් කරගැනීම පිණිස සැදැහැබරව සහභාගි විය යුතු බව සාසනාලයෙන් සිහිපත් කරමු. පිංවත් සැමගේ සහයෝගයෙන් අසිරිමත් පිංකමක අසිරිය විදින්නට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සරණින් හැකිවේවායි ප්‍රාර්ථනය කරමි.

ජීවමාන බුදුරදුන් සංකේතවත් කරනුයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ය

ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානව වන්දනාමාන කිරීම පිණිස බෞද්ධයෝ පූජනීය චෛත්‍යයන් තුනක් අනුමත කරති. එනම් ශාරීරික චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය, උද්දේශික චෛත්‍යය යනුවෙනි. මේ අතුරින් කේශධාතු හැර ශාරීරික චෛත්‍යය ඉදිකිරීම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන තුරු සිදු නොවීය. උද්දේශික චෛත්‍යය වන බුද්ධ ප්‍රතිමා නිර්මාණය බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් කිහිපයක් ගතවන තුරුම දුෂ්කර කාර්යයක් විය. එනමුත් පාරිභෝගික චෛත්‍යය වන බෝධි වන්දනාව බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදීම ආරම්භ වූ බව ආනන්ද බෝධි රෝපණය හා සිද්ධියෙන් ප්‍රකට වේ. තවද දක්‍ෂිණ ශාඛා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩම කරවීමට සූදානම් වන විට බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලය මත බුදුරැස් විහිදුවමින් මහා ප්‍රාතිහාර්යයෙන් සිදුකළ බව ඉතිහාසයේ සඳහන් වේ. එබැවින් මේ වනතුරුම ජීවමාන බුදුරජාණන් වහන්සේ සංකේතවත් කරනුයේ විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේය. බුදුවන අවස්ථාවේදී සෙවන දුන් බුද්ධගයාවේ වැඩ සිටි ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගැනීමට ධර්මාශෝක අධිරාජයාට පවා නොහැකි විය. සතුරු බලවේග මගින් උන්වහන්සේ විනාශ කරන ලද සේක. එහෙත් උන්වහන්සේගේ ශාඛා බෝධීන් වහන්සේ අද පවා නිරුපද්‍රිතව අනුරාධපුරයේ මහමෙව්නා උයනේ වැඩ හිඳිති.

ඒ සඳහා අවශ්‍ය කරන රාජකීය සංවිධාන ගත පිරිස එදා ධර්මාශෝක අධිරාජයා විසින් මෙරටට එවන ලදුව අද පවා ඔවුහු එම උතුම් සේවාවන් බෝධීන් වහන්සේට පුද කරති. ඔවුන් වනාහි දහම්සෝ නිරිඳුගේ අගමෙහෙසියගේ සොහොයුරන් වන සුමිත්ත බෝධිගුත්තාදී කුමාර වරුන් අටදෙනා ප්‍රමුඛව පැමිණි අටළොස් කුලයක ජන පිරිස බව ප්‍රසිද්ධ කරුණකි. ඔවුන්ගෙන් මෙරට සිංහල සංස්කෘතිය ප්‍රතිපෝෂණය වූ අයුරු ඉතිහාසයේ සඳහන් වෙයි. තවද ඔවුන්ගෙන් පැවත එන පිිරිස් මෙරටේ දසදිසාවෙහිම අෂ්ඨ ඵලරුහ දෙතිස් ඵලරුහ - සූතිස් ඵලරුහ බෝධීන් වහන්සේලා පිහිටුවන විට එකී එකී බෝධීන් වහන්සේලාගේ භාරකාරත්වය දරමින් ආරක්‍ෂණ පරිපාලන ධූර භාරව ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වූහ. එසේ උවද වාර්ෂිකව උඳුවප් පෝය දිනට අනුරාධපුරයට පැමිණ මහබෝ පෙරහැර හා මහබෝ වන්දනා සිදුකරමින් ජාතික සමගිය තහවුරු කරමින් ලක්වාසි සැමට ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පිහිට හා ආශිර්වාදය ප්‍රාර්ථනා කළහ. වර්තමානයේ ලංකාවාසීන්ගෙන් බහුතරයක් සුමිත්ත බෝධිගුත්තාදී කුමාර වරුන්ගෙන් හා ඒ සමග පැමිණි විවිධ ශිල්පීය අටළොස් කුලයක ජනතාවගෙන් පැවතෙන්නෝ වෙති. එබැවින් පක්‍ෂ පාට පන්ති භේදයකින් තොරව සිදුකරනු ලබන මහබෝ පෙරහර හා මහබෝ වන්දනාව ජාතික සමගිය උන්නතිය ස්ථාපිත කරන මහා පුණ්‍ය කර්මයක් වන්නේය. එම මහගු කාර්යය වාර්ෂිකව ඉතා උසස් ලෙස සිදුකිරීමට කැපවී ක්‍රියා කරන සිරිසිදුහත් භික්‍ෂු සංවර්ධන පදනම හා සිරිමහබෝ පදනම ප්‍රමුඛ ගිහි පැවිදි සැමදෙනාට විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පිහිට ආරක්‍ෂාව සැලසේවා!

අසිරිමත් මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර උත්සවශ්‍රීයෙන්

උදාර අරමුණු කීපයක්ම මුල්කර ගනිමින් උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතික කාරක සංඝ සභාවේ මාර්ගෝපදේශකත්වය තුලින් හා එහි දායක සභාව වන සිරිමහ බෝ පදනමත් , සිරි සිදුහත් භික්‍ෂු පර්ෂදයත් එක්ව සංවිධානය කෙරෙමින් ශ්‍රී ලංකා අමුරපුර සංඝ සභාවත්, ශ්‍රී ලංකා අමරපුර නිකායාභිවෘධි දායක සභාවේද සභායෙන් වාර්ෂිකව පවත්වන මේ පුණ්‍යයෝත්සවය මෙවරද 2007.12.29 දින ප.ව. 3.00 සිට ප.ව. 6.00 දක්වා අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳු අභියසදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

රාජ්‍ය අනුග්‍රහයද ඇතිව අතිපූජ්‍ය උත්තරීතර මහා නායක මාහමිපාණන් වහන්සේ ප්‍රමුඛ විවිධ පාර්ශවයන්හි ගරුතර මහා නාහිමිපාණන් වහන්සේලාද මැති ඇමතිවරුන් මෙන්ම, රාජ්‍ය නිළධාරින්ද, දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය වන පරිදි ගරු මහා සංඝ රත්නය පෙරටු කරගත් දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගි වීමට නියමිත මෙම මහා පින්කමේ අරමුණු සකස්ව ඇත්තේ ජාතික ආගමික සංස්කෘතික හා සාමාජික වශයෙන් වැදගත් ප්‍රාර්ථනාවන් ජනතා හදවත්හි පවතින මොහතකය. එම ජනතා අරමුණු ඉටු කර දීමට බුද්ධ ශක්තිය ලබා දීම මේ පින්කම සංවිධානය කිරීමේ අපගේ අරමුණ බව සඳහන් කල හැකිය.

සම්මා සම්බුද්ධත්වයෙන් වර්ෂ දෙදහස් හයසීයක් සම්පූර්ණ වීමේ ආශ්චර්යමත් මොහොත තව වසර හතරකින් උදාවේ. මේ පිළිබඳ තවම කවරෙකුගේ හෝ අවධානය යොමුවී නැති බව පෙනේ. සකල ලෝකවාසීන් තුල මේ අදහස මතුව බෞද්ධ ප්‍රබෝධය ඇතිකරනු පිණිස සිද්ධකෙරෙන සමාරම්භක මහා පින්කමද මෙම බෝධි පූජාවයි. දඹදිව විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ දක්‍ෂිණ ශාඛාව ලක්දිවට වැඩම කොට වසර දෙදහස් තුන්සිය පහලවක් සපිරෙන්නේ මෙම උදුවප් පුර පසළොස්වක පොහෝ දිනටය. දුමින්දාගමනයෙන් සියවස් ගණනාවක් ඉක්ම ගොස් ඇත. එහෙත් බෝධියාගමනයෙන් ලැබුණු සංස්කෘතික හර පද්ධතිය නිසා ලෝකය තුල දෙපයින් නැගි සිටීමේ පෞරුෂය තවමත් අප සතුව පවතී. තවත් දිගු කලක් මේ ශක්තිය ලෝකය තුල විරාජමාන වේවායි අධිෂ්ඨානය කිරීමද මෙහිදී සිදුවනු වැදගත් සිද්ධියක් වන්නේය. ගරු මහා සංඝරත්නය ශාසනයේ පැවැත්මට අතිශයින් වැදගත් සාධකයකි. වසර දෙදහස් පන්සීයක් සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්මට උන්වහන්සේලාගෙන් සිදුවූ කාර්ය භාරය ප්‍රශංසා සහගතය. එනමුත් වර්තමාන භික්‍ෂු පරපුරේ චිර පැවැත්ම පිළිබඳ පවතින්නේ අවධානම් ස්වභාවයකි. එබැවින් මේ තත්වයෙන් සාසනය ආරක්‍ෂා කරගනු පිණිස කුල දරුවන් සසුනට පූජා කිරීමේ මහා පුණ්‍ය කර්මයද 2007. 12.29 දින බෝධි පූජාවට සම්බන්ධ කෙරෙන අසිරිමත් පින්කමකි. රටේ ආරක්‍ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ මගින් සිදු කෙරෙන ජාතික කාර්ය භාරය අගය කොට ඔවුන්ට අවශ්‍ය ශක්තිය, ධෛර්ය ලබා දීම ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස සිදු කෙරෙන අසිරිමත් බෝධි පූජාවේ අධිෂ්ඨාන පූර්වක අරමුණ වන්නේය.

දැනට වසර 38 ට ප්‍රථම අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියාකර ප්‍රථම රන්වැට නිර්මාණය කල රන්වැට නිර්මාතෘවර පූජ්‍යපාද යටිරාවන නාරද ස්වාමින්වහන්සේට කෘතවේදිත්වය එහිදී සිදු කෙරේ. ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවට සතුට සම්පත හා සෞභාග්‍යයෙන් පිරි යුධභියෙන් තොර සාමයෙන් පිරි නව වර්ෂයන් ප්‍රාර්ථනා කිරීමද මේ පින්කමේ ප්‍රධාන අරමුණු අතර පවතින්නකි.

මෙවන් උත්කෘෂ්ඨ පරමාර්ථ රාශියක් ඉෂ්ඨ කර ගැනීම සඳහා පවත්වන අසදෘශ මහා බෝධි පූජාවට සහ මහා බෝධි පෙරහැරට සාර්ථකත්වය සඳහා අවශ්‍ය ශක්තිය හා ධෛර්ය අටමස්ථානාධිපති නුවර කලාවියේ සංඝනායක ආචාර්ය පල්ලේගම සිරි නිවාස ස්වාමීන් වහන්සේගෙන් ලැබීම මෙහිදී කෘතවේදිත්වයෙන් සිහිපත් කල යුතුය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලැබෙන ආශිර්වාදය අතිවිශාලයි

හාරිස්පත්තුව , මැදවල ඉහගම සිරිසුගත මහා විහාරස්ථ සිරිමහ බෝ පදනම වාර්ෂිකව සංවිධානය කරන සිරි මහ බෝ වන්දනා පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳ සතුටට පත්වෙමි.

ලොවුතුරා බුදු රජාණන් වහන්සේට උතුම් සම්බුද්ධත්වය ලබා ගැනීම සඳහා පිහිට වූයේ ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේය. එම බෝධීන් වහන්සේට කෘතගුණ දැක්වීම තුළින් ලොවුතුරා බුදු රජාණන් වහන්සේ ලොවට දුන් ආදර්ශය වූයේ කෘතගුණ සැලකීමේ අගයයි. එම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාව ලක්දිවට වැඩම වීමේදී මූලික වූයේ සංඝමිත්තා මහා රහත් මෙහෙණින් වහන්සේ ය.

එය සිදුවූයේ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනකය. ඒ නිසාම ලක් වැසි ජනතාවට පොසොන් උදාව මෙන්ම, උඳුවප් උදාව ද ඓතිහාසික වශයෙන් අතිශයින් වැදගත් වේ.

එදා සිට අද දක්වා අනුරාධපුර මහමෙව්නාවේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් අප රටට ලැබෙන ආශිර්වාදය අති විශාලය.

එම උතුම් බෝධීන් වහන්සේට ගෞරවය හා පූජෝපහාරය දැක්වීම පිණිස සිරි මහබෝ පදනම වාර්ෂිකව සංවිධානය කරනු ලබන මේ උතුම් පුණ්‍ය කර්මය තුළින් මේ රටට සාමය උදාවී සෑම ජන කොට්ඨාසයකටම නිර්භයව ජීවත් වීමට අවශ්‍ය මංපෙත් විවරවේවා!යි ප්‍රාර්ථනා කරන අතර, මේ උතුම් කටයුත්ත සංවිධානය කරන සිරිමහ බෝ පදනමටත්, ඒ සඳහා උපකාර වන සැමටත්, මාගේ සුභාශිංසනය මෙයින් පිරිනමමි.

බුදු දහමේ ගුණ සුවඳ ලොව පැතිරේවා

අන්තවාදී නොවී මැදහත්ව ඉවසිල්ලෙන් කටයුතු කිරීමෙන් සියල්ල ජයගත හැකිය යන දර්ශනය බොදුනු අප වෙත උරුම වූයේ බුද්ධ දේශනාව සමගය

බුදුදහම අනුව යමින්, විනය ගරුක සමාජයක් බිහිකරන්නට අමරපුර මහ නිකායෙන් සිදුවූයේ අමිල සේවාවකි. ධර්ම ශාස්ත්‍රීය හැකියාවෙන් පිරුණු හා පොදු මහජනතාව වෙනුවෙන් නිතර නොයෙකුත් සද් ක්‍රියාවන්ට දායක වන අප අමරපුර නිකායේ, උඩරට අමරපුර නිකායික සාසන ජෝතික කාරක සංඝ සභාව හා එහි දායක සභාව මගින් සංවිධානය කරන යහපත් වැඩසටහන් මාලාවකට සම්බන්ධ වන්නට අවස්ථාව ලැබීම භාග්‍යයකි.

සම්මා සම්බුද්ධත්වයෙන් වසර දෙදහස් හයසීයය සැමරීම, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩමවා වසර දෙදහස් තුන්සිය පහළොවක් පිරීම හා අනුරපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට ප්‍රථම රන්වැට ඉදිකිරීමේ තිස් අට වැනි සංවත්සරය සැමරීම නිමිති කරගෙන සංවිධානය කරන සුවිශේෂී අවස්ථාවන් රැසකි. අසිරිමත් මහ බෝ වන්දනාව එහි උත්කර්ශවත් අවස්ථාවයි. කුළ දරුවන් පැවිදි කර අසූ හාරදහසේ මල් පූජාවකි. පිච්චමල් ලක්ෂයක්, නෙලුම් හා සපුමල් දස දහස බැගින් නව ශාස්‍ය පූජාවකින් සපිරෙන මෙම මහා පුණ්‍යෙීත්සවය සංවිධානය කරන්නට උඩරට අමරපුර නිකායික සාසන ජෝතිකා කාරක සංඝ සභාව හා එහි දායක සභාව ගන්නා උත්සාහය බෙහෙවින් අගය කරමු.

මේ පුණ්‍යෙීත්සවය සමග බුදු දහමේ ගුණ සුවඳ ලොව පැතිරේවා. බුද්ධ දර්ශනය ලෝ වැසියන් අවබෝධ කරගෙන දැහැමි නිවහල් සමාජයක් වෙනුවෙන් මග සදත්වා.

බෝධි ආගමනයෙන් හෙළ සංස්කෘතිය ස්ථාපිත විය

වාර්ෂිකව පවත්වන සිරිමහ බෝ වන්දනාව සහ පෙරහර වෙනුවෙන් ආශිර්වාද පණිවිඩයක් එවීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙමි. විජය ශ්‍රී ජය සිරිමහ බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කොට මෙම වසර වන විට වර්ෂ 2315 ක් සම්පූර්ණ වෙයි. මේ උදාර බෝධි ආගමනය හේතුවෙන් හෙළ සංස්කෘතිය ස්ථාපිත විය. එසේම දේශය පෝෂණය විය. සම්බුදු පියාණන් වහන්සේ බොදු හදවතට නිතර සිහිගැන් විය. වසර දෙදහස් තුන්සීයයකට අධික කාලයක් ජීවමානව වැඩ වසන අසිරිමත් ජයසිරි මහ බෝ සමිඳු ජාතියේත් දේශයේත් පූජනීයත්වයට එමගින් පත්විය. ලොව පැරණිතම සංස්කෘතික ජාතික දායාදය අති පූජනීය වූ සිරිමහ බෝ වෘක්ෂය විය.

එම පරම පූජනීය අසිරිමත් සිරිමහ බෝධීන් වහන්සේ භාරතීය ද්වීප චක්‍රවර්ති ධර්මාශෝක අධිරාජයාගේ ආදරණීය එකම දියණිය සමඟින් කර්මාන්ත ශ්‍රේණි 18 ක පිරිස් සමඟ එවීමෙන් සිරිලක මහා සංස්කෘතික විප්ලවයකට මුල පිරිණි. ශ්‍රී මහා බෝධිය වසර දෙදහස් තුන්සීයක් සොරසතුරු පරසතුරු උවදුරුවලින් දිවා රෑ ආරක්ෂා කිරීමද පුද පූජා අඛණ්ඩව පැවැත්වීමද කොතරම් අගය කළ යුතු කාරණයක් දැයි මසිතට දැනේ. උඳුවප් මාසය බෞද්ධයින් පමණක් නොව ලාංකික ජනතාව ශ්‍රී මහ බෝධීන් වහන්සේට හරසර දක්වන්නටත් දිවයින පුරා සංඝමිත්තා පෙරහැර පවත්වමින් ජනතාව බොදු මගට එකමුතු කිරීම හා කෘතවේදිත්වය පළකිරීම පිළිබඳ පාඩම අප රටටත්, ලොවටත් මහත් ආදර්ශයකි. එම උදාර කරුණු හා කෘතවේදී ගුණය ගැන සිහිපත් කොට සිරි සිදුහත් භික්ෂු පදනම සහ සිරිමහ බෝ පදනම මඟින් වාර්ෂිකව සංවිධානය කරන අසිරිමත් සිරිමහ බෝ වන්දනාව සහ පෙරහර පිළිබඳ සතුට හා සමස්ත ලංකා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ ගරු ලේකම් වශයෙන් ඉතාමත් ගෞරවයෙන් පුද කරමි. මෙවන් පුණ්‍ය කටයුතු අඛණ්ඩව හා සාර්ථකව කරගෙන යාමට ඔබ සැමට ධෛර්ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනය කරමි.

ඔබ සැමට තෙරුවන් සරණයි.

උඳුවප් පසළොස්වක


උඳුවප් පසළොස්වක පෝය දෙසැම්බර් 23 වන දා ඉරිදා පූර්ව භාග 10.04 ට ලබයි. 24 වන දා සඳුදා පූර්ව භාග 06.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 23 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර්
31 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]