UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

හෙළ බොදු හැදියාව ඔපවත් කළ සටහන

අමුණුපුර පියරතන හිමි

යස්සමූලෙ නිසින්නොව
සබ්බාරි විජයං අකා
පත්තො සබ්බඤ්ඤුතං සත්ථා
වන්දේතං බෝධි පාදපං

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පිරූ සම තිස් පාරමී ධර්මයන්ගේ පුණ්‍ය මහිමයෙන් පංච මාරයන් දිනීමෙන් ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පැමිණ වදාළ පසු තමන් වහන්සේ පිට දුන් බුද්ධගයා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සතියක් මුළුල්ලෙහි පැවැත්වූ අනිමිස ලෝචන පූජාවෙන් කෘතෝපකාරය පිළිබඳ අතිශ්‍රේෂ්ට ගුණය ප්‍රථමයෙන් ප්‍රකට කර වදාළ සේක. එකී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ සැවැත්නුවර ආනන්ද බෝධිය , අනුරාධපුර දක්‍ෂිණ ශාඛා ශ්‍රී මහා බෝධිය අෂ්ට ඵල රුහ, දෙතිස් ඵල රුහ බෝධි හා ශාඛා ප්‍රශාඛා බෝධීන් වහන්සේ දෙදහස් පන්සිය වසරකට අධිකව , දෙව් , බඹ , නර නගාදී කෝටිප්‍රකෝටි ජනී ජනයාගේ වන්දනා මාන පූජා සත්කාරවලට ලක් වෙමින් සගමොක් සුව ලබාදෙමින් මිහිමත කල්පවෘක්‍ෂ සේ විරජමාන වෙති. මෙතරම් ගෞරව සම්මානයට පාත්‍ර වූ , ශ්‍රද්ධාදී කුසල චේතනා පිරී ඉතිරි යන, දුටුපමණින් සහන් සුවය ලබාදෙන ආගමික සලකුණක් ලොව කිසිම තැනෙක නැත්තේමැයි.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් අතිපාරිශුද්ධ වූ ලංකා ධරණී තලයේ සිරි සම්බුදු සසුන තිරසරව පිහිටුවාලු පසු දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛා බෝධියත්, සංඝමිත්තා තෙරණියත් ලංකාවට වැඩමවා ගැනීම සඳහා අධිෂ්ඨානශීලිව දේවානම්පියතිස්ස මහ රජතුමන් ක්‍රියා කළ ආකාරය මහාවංශය , බෝධිවංශය , පූජාවලිය ආදී ඓතිහාසික ග්‍රන්ථවල ඉතා විචිත්‍රාකාරයෙන් විස්තර වෙයි.

දේවානම්පියතිස්ස රජතුමා , එම සද්කාර්ය තම බෑණා වන අරිට්ඨ ඇමැතිවරයාට පැවරූහ. එසේ වැඩමවාගෙන පැමිණී පසු පැවිදිවීමට අවසර දීමේ පොරොන්දුව ගත් ඇමැතිතුමා , රජුගේ මෙන්ම මිහිඳු මාහිමියන්ගේද, පණිවිඩ හා තුටුපඬුරු රැගෙන වප් මස පුර පස දෙවන දින ලංකාවේ උතුරු ප්‍රදේශයේ දඹකොල පටුනෙන් නැව් නැග, පිළිවෙළින් පුෂ්ප පුරයට සැපත් විය. මේ අතරතුර අනුලාබිසව ඇතුළු පන්සීයක් කාන්තාවන් තෙමේම කසාය වස්ත්‍ර හැ¼ඳ පොරවා දස සිල් සමාදන්ව , රජතුමන් විසින් කරවන ලද භික්‍ෂුණී ආරාමයේ වාසය කළේ, නොබෝදිනකින් සංඝමිත්තා රහත් මෙහෙණින් ප්‍රධාන භික්‍ෂුණී පිරිස ලංකාවට සැපත් වූ විගස භික්ෂූණී මහණ උපසම්පදාව ලබා සංසාර විමුක්තිය සාධා ගැනීමටය.

අරිට්ඨ ඇමැතිතුමා ප්‍රධාන රාජ දූත පිරිස දහම් සෝ මහ රජතුමන් බැහැදැක රාජ සංදේශය පිළිගන්වා තම අදහස් ප්‍රකාශ කළහ. රජතුමාද මේ තොරතුරු මහාදේව ඇමැතිවරයාටද, මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ප්‍රධාන සංඝ සභාවටද , යළි සංඝමිත්තාමෙහෙණින් වහන්සේ ටද, දන්වා ඉතා තුටුපහටු සිත් ඇත්තේ, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩමවන අසහාය මහා පුණ්‍ය මහෝත්සවයට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සියලු අනුග්‍රහ ලබාදෙමින් මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි පොදු ජනතාවගේද සහභාගිත්වයෙන් එය ඉෂ්ට සිද්ධ කිරීමෙහිලා සූදානම් වූහ.

ප්‍රථමයෙන් ශ්‍රී මහා බෝධිය වැඩමවන සත් යොදුන් මඟ සකසා දද කොඩි වලින් සරසා තබා, අටඟුල් ඝන ඇති නව වියත් පළල පස් වියත් ගැඹුරු රන් කටාරමක් නිර්මාණය කරවා, චතුරංගනී සේනාව මෙන්ම දස දහස් ගණන් රහතන් වහන්සේ පිරිවරා ජය ශ්‍රී බෝධීන් වහන්සේ වෙත සැපත් වූ දහම් සෝ මහ රජතුමා අනේක විධ පූජාවන්ගෙන් නොයෙක් තූ®ර්ය නාද පූජාවන්ගෙන් හා ගාථා සාදුනාද ස්තුති පූජාවන්ගෙන් ඉතා ශ්‍රද්ධාවෙන් ගෞරව දැක්වූහ. එමෙන්ම සුවඳ පැනින් බෝධිය නාවා- තම රාජ්‍යයෙන් ද පූජා කොට අට තැනක ඇඳිලි බැඳ වැඳ නමස්කාර කොට, රන් කටාරම පූජාසනය මත තබා රන් තුලිකාවෙන් දක්‍ෂිණ ශාඛාව වටා ඉරක් ඇඳ මම සම්බුද්ධ ශාසනයෙහි ශ්‍රද්ධාව ඇත්තෙක් නම්, ලංකාදීපයෙහි බෝධිය පිහිටන්නේ නම්, ශ්‍රී මහා බෝධියෙන් මෙම ශාඛාව සිඳී රන් කටාරමේ පිහිටේවායි සත්‍ය ක්‍රියා කළහ. ක්‍ෂණයකින් මෙම නර ශ්‍රේ්ෂ්ටයාණන්ගේ අදිටන පරිදි තෙමේම බෝධිය සිඳී , ගඳ කලල් පිරූ රන් කටාරමේ පිහිටා සිය ගණන් මුල් ගත්තේය.

දස වියත් කඳින්ද , ශාඛා පසකින්ද සිවුවියත් ශාඛා හා ප්‍රශාඛාවන්ගෙන්ද සමලංකෘත ඒ මහා බෝධීන් වහන්සේ, නෙත් සිත් ප්‍රබෝධමත් කරමින් - ශ්‍රද්ධාව පී‍්‍රතිය වර්ධනය කරමින් රන් කටාරමේ වැඩ සිටි කෙණෙහි මිහිකත රාව ප්‍රතිරාව දෙමින් කම්පාවිය. විවිධ ප්‍රාතිහාර්ය සිදුවිය. සවණක් ඝන බුද්ධ රශ්මීන් පැන නැගී සක්වල පුරා ඒකාලෝක විය. රජතුමා අමාත්‍ය මණ්ඩලය සමග සත් දිනක් බෝධි පූජා පැවැත්වීය. ශ්‍රද්ධාවෙන් සොම්නසින් පිරී ඉතිරී ගිය රජතුමා යළි තම රාජධානියට වැඩමවා , විසිතුරු මා හැඟි මණ්ඩපයක් කරවා බෝධීන් වහන්සේ එහි වඩා හිඳුවා, තම රාජ්‍යයෙන් පුදා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩමවීමේ කාර්යයට, සූදානම් විය.

ලංකාවට ශ්‍රී මහා බෝධිය වැඩමවීමේ උතුම් පින්කම ලංකා ඉන්දියා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධයක් වශයෙන්ද දෙරටේ මහජනතාව ඒකරාශී වන ජාත්‍යන්තර උත්සවයක් වශයෙන්ද, එමෙන්ම ලාංකික ශිෂ්ටාචාරය දීප්තිමත් වන සුබ සලකුණක් වශයෙන් ද, සිංහල - පාලි - සංස්කෘතාදී පෙරදිග භාෂා සාහිත්‍ය ක්‍ෂේත්‍රය සාරවත් වීමේ බීජ වැපිරීමක් වශයෙන්ද , දෙරටේ ම ආරක්‍ෂා ප්‍රාකාරයක් ලෙස ද ඉතිහාසයෙහි සටහන් විය.

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රධාන එකොළොස් භික්‍ෂූණී පිරිස සහ මහා අරිට්ඨ ඇමැති තුමා ප්‍රධාන දූත පිරිස විසින් ශ්‍රී මහා බෝධිය ලක්දිවට, වැඩමවන ලද අවස්ථාවේ මෙහි පැමිණි මහාබෝධි ආරක්‍ෂක පිරිසට දේවකුල, අමච්ච , බ්‍රාහ්මණ වෙස්සගෝපක , තරච්ඡ , කුලිංඟ , පේසකාර, කුම්භකාර, සේනී , නාග , යක්‍ෂ ආදී පිරිස් අයත් විය.

එමෙන්ම පූජා හා ආවතේව කටයුතු සඳහා අවශ්‍ය අනර්ඝ රන් රිදී භාණ්ඩ ද රජතුමන් විසින් පරිත්‍යාග කරන ලදී. ධර්මාශෝක මහරජතුමා තම රාජධානියෙන් තාම්බ්‍රලිප්ති තොටුපොළ දක්වා පුද පෙරහරින් වැඩම වූ ශ්‍රී මහා බෝධිය , සමුද්‍ර තීරයේ මණ්ඩපයක වඩා හිඳුවා අවසන් වරට ද පුද පූජා පවත්වා සියතින්ම ගෙන නැවත මණ්ඩපයක් මත වඩා හිඳවූහ. මා බෝධීන් වහන්සේ රාජ්‍යයෙන් පිදුවා සේ මගේ යහළු ලංකා රජු තම රාජ්‍යයෙන් උන්වහන්සේ පුදනු මැනවැයි අරිට්ඨ ඇමැතිවරයා ප්‍රකාශ කොට, ශ්‍රී මහා බෝධිය සහිත නැව පාවී යන ආකාරය බලා දර්ශන පථය ඉක්මවත්ම කඳුළු සැලූහ.

මහා බෝධි වියෝගෙන

ධම්මාසොකො සංසොකවා

කන්දිත්වා පරිදේවිත්වා

ආගමාසි සකං පුරං

සමස්ත දඹදිව් තලයම තේජෝ බල පරාක්‍රමයෙන් විරාජමාන කළ ලොව රාජ්‍ය තේජසින් අග්‍රතම ධර්මාශෝක අධිරාජයාණන් ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩමවන අවස්ථාවේ දී බෞද්ධ බෞද්ධ මහෝපාකයකු ලෙසද, පි‍්‍රය විප්‍රයෝග දුකේදී කුඩා දරුවකු ලෙසද , ඉන්දු - ලංකා මිත්‍රත්වයේදී ලංකාවේ සුහද මිත්‍රයකු වශයෙන්ද ලංකා ජනතාවට ධර්ම මාර්ගය පෙන්වා දුන් නැණවත් ධර්ම දූතයකු ලෙසද ක්‍රියා කළ ආකාරය මිහිමත වෙනත් රාජ්‍ය පාලකයකුගේ චරිතයක දක්නට නොතිබූ උදාර චරිත ලක්‍ෂණයකි. එමතු ද නොව, තම පුතා වන මිහිඳු කුමාරයා මහණ කරවා, දුවණිය මහණ කරවා, ලංකාවේ ධර්ම දූත කාර්යයේ යෙදවීම තරම් උතුම් සත්ක්‍රියාවක් කළ දහම් සෝ නරනිඳුට ඉතිහාසයේ හිමි විය යුතු සුවිශේෂත්වය වචනයෙන් විස්තර කළ නොහැකි ය.

උඳුවප් මස පුරපස පුරාසඳ අහසේ බබළද්දී සිහිල් සුළං දසතින් හමායද්දී ලක්දිව උතුරුදිග දඹකොළ පටුනේ සිට පිළිවෙළින් තිවක්ක බමුණුගම ආදී ගම් නියම් පසු කරමින් අනුරාපුර දකුණු දොරින් වැඩම වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම යන සිවු බුදුරඳුන්ගේ සිරිපා පහසින් අතිපරිශුද්ධ වූ මහමෙවුනා උයනේ රෝපණය කරන විට සිදු වූ ආර්චර්ය ජනක ප්‍රාතිහාර්ය දැකීමෙන් දේවානම්පියතිස්ස මහරජතුමන් ප්‍රධාන ජනීජනයාගේ සාධු නාදයෙන් , වන්දනා මාන පුද පූජාවන්ගෙන් අනුරාධපුර රාජධානිය පමණක් නොව, ලංකා ධරණී තලයම එකම පුණ්‍ය භූමියක් බවට පත්විය. මහා මේඝයකින් හාත්පස වැසී ගියේ සත්දිනක් ශ්‍රී මහා බෝධිය දක්නට නොහැකි විය.සත්දින අවසානයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සවණක් බුදු රැස් මාලා සමග දිස් වූයේ, සියල්ලන්ගේ නෙත් සිත් ආනන්ද සාගරයේ ගිල්වමිනි.

මිහිඳු මහ රහතන් වහන්සේ භික්‍ෂු ශාසනය ආරම්භ කළා සේම, සංඝමිත්තා මෙහෙණින් වහන්සේ හත්‍ථාළ්හක මෙහෙණවර පසුබිම් කරගෙන ලංකාවේ භික්‍ෂුණී ශාසනය ආරම්භ කොට කාන්තාවන්ට විශාල සේවයක් සිදු කළහ. සංඝමිත්තා තෙරණින් වහන්සේගෙන් ඉටු වූ සේවා අතර, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩමවීම, මෙහෙණිසස්න ආරම්භ කිරීමෙන් ලංකා කාන්තා ප්‍රබෝධය ඇතිකිරීම , කලා ශිල්ප ව්‍යාප්තිය සඳහා භාරතීය ජන වර්ගයාගේ සහාය ලබා ගැනීම , කාන්තා අධ්‍යාපනය දියුණු කරවීම යන ශාසනික හා අධ්‍යාපනිත සේවා ප්‍රධානය.

බුදු දහම ලාංකික ජනතාවගේ ජීවන ගමනේ ප්‍රධාන අංගය වශයෙන් දියුණු වීමට ජය ශ්‍රී මහා බෝධිය වැඩම වීම මෙන්ම කාන්තා පැවිදිකම ද මහෝපකාරී වූ වග , ඓතිහාසික වාර්තාවලින් පැහැදිලි වෙයි. දේවානම්පියතිස්ස රජුගෙන් පසුව රජ වූ බොහෝ නරපතියන් ගෙන් සිදු වූ ආගමික ජාතික කාර්ය අතර තම ශ්‍රද්ධා ප්‍රමාණයෙන් ශ්‍රී මහා බෝධිය ආරක්‍ෂා කිරීම එයට පූජා පැවැත්වීම , බෝධීන් වහන්සේගේ රාජකාරී සඳහා රාජසන්තක ඉඩකඩම් පූජා කිරීමාදියද වෙයි. එමෙන්ම භික්‍ෂුණී ආරාම කරවා භික්‍ෂූන්ට මෙන් භික්‍ෂුණීන්ටද එම රජවරු සිවුපසයෙන් උපස්ථාන කළහ. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ඉමහත් ලෝක ශාසන සේවාවක් සිදුකොට, උත්තිය රජ සමයේ දී එකුන් සැට වයස්ව, හත්ථාළ්හ මෙහෙණ වරේදීම පිරිනිවන් පෑහ. රජතුමා සත්දිනක් පුරා මෙහෙණින් වහන්සේගේ පූජා සත්කාර කොට, ථූපාරාමයට පෙරදිගින් චිත්තසාලාව සමීපයෙහි චිතකයක් කොට, ආදාහන කළේය. එදවස පටන් මෙදවස දක්වා මිහිඳු මහ රහතන් වහන්සේ මෙන්ම සංඝමිත්තා මෙහෙණියද ලාංකික ජනතාව විසින් සිහිපත් කරනු ලබන්නේ හද පිරි ශ්‍රද්ධාවෙනි.

 

 

උඳුවප් පසළොස්වක


උඳුවප් පසළොස්වක පෝය දෙසැම්බර් 23 වන දා ඉරිදා පූර්ව භාග 10.04 ට ලබයි. 24 වන දා සඳුදා පූර්ව භාග 06.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 23 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර්
31 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]